අපට වැලඳෙන ඕනෑම රෝගයක් මුල් අදියරේම කළමනාකරණය කරන ආකාරය පිළිබඳ අවබෝධයක් අපේ පැරැන්නන් සතුව තිබිණි. සෙම් අමාරු, වාත අමාරු, බඩේ අමාරු, හිසරදය වැනි සරල රෝග සම්බන්ධව මුල් අදියරේ ඊට ප්‍රතිකාර කරගත හැකි ආකාරය සම්බන්ධව මූලික දැනුමක් ඔවුන් සතු විය.
ගේ තුළ අත් බෙහෙත් වර්ග ටිකක් තිබිණි. වාත අමාරුවට අලේප කරන තෙල් වර්ග ස්වල්පයක්, හිස අලේපන තෙල් වර්ග ටිකක් තිබිණි. ඔළුවේ ගාන්න ගන්න තෙල් ටික අපේ අත්තම්මලා නිවෙසෙහි සිඳ ගත්හ. එහෙත් දැන් ඒ අතීත පුරුද්ද නැත.
වත්මනේ පොඩි දරුවාගේ සිට මහල්ලා දක්වා ඇතිවන ලෙඩවලට බෙහෙත් පෙති අහුරු ගණනින් බොන්න හුරු වී සිටින අතර, මේ බෙහෙත්වල හොඳ සේම එහි අතුරු විපාක පිළිබඳ අපට අවබෝධයක් නැත. මේ බෙහෙත් වර්ගවලටම මුල් තැන නොදී සරල රෝග මුල් අවස්ථාවේ දී සරලව කළමනාකරණය කරගැනීමේ දැනුම අපට වැදගත්ය.
එදා අත් බෙහෙත්
අත් බෙහෙත් ලෙස අප සමහර රෝගවලට කැඳ බිව්වෙමු. සමහර රෝග සඳහා ආහාර ගත්තෙමු. ඒ ආකාරයෙන් රෝග කළමනාකරණය කර ගත්තෙමු. සෙම්ප්‍රතිශ්‍යාවක් වැලඳී එද්දී අපේ මවුවරු අපට ඉඟුරු කොත්තමල්ලි වෙනිවැල්ගැට තම්බා දුන්හ. උණක් සැදීගෙන එන විට වෙනිවැල්ගැට ටිකක් තම්බා දීම කළහ.
ඒ සමඟ කැස්සක් එනවා නම් කප්පරවල්ලිය ටිකක් රැගෙන වණ්ඩුවේ තම්බා මිරිකා මී පැණි ටිකක් සමඟ බොන්නට දුන්හ. කප්පරවල්ලිය ගෙවත්තේ වගා කර තිබිණි. දිගුකාලීන කැස්සක් තිබේනම් මවුවරුන් කළේ බටු දලු ටිකක් ගෙන කැඳ හදා පානය කිරීමට දීමය.
බොහෝ විට අපට අජීර්ණ තත්ත්ව, පාචන තත්ත්වවලදී අතීසාරය වැනි තත්ත්ව ඇති වේ.
එවිට අපේ මවුවරු කළේ ගැටතුඹ ටිකක් තබ්මා බීම. නොඑසේ නම් ගැටතුඹ වණ්ඩුවේ තම්බා මිරිකා රැගෙන ඊට මී පැණි එක් කර තේ හැන්දේ සිට මේස හැඳි දෙක දක්වා දීමට හුරුව සිටියහ. නවතින්නේ නැති ලෙස බඩ බුරුල් කර මල පිටවීමේ දී දෙළුම් ලෙලි දෙක තුනක් තම්බා වතුර ටික දීම ගුණය.
කාන්තාවන්ට මාස් ශුද්ධිය දින ගණනාවක් තිබෙන්නේ නම් තැඹිලි පොල්මල් ටිකක් රැගෙන එය තම්බා බීම හෝ ඒ තැම්බුමට අශෝක මල් පොතු ටිකක් ද එක් කර පානය කිරීමෙන් රෝග තත්ත්වය ක්‍රමිකව පහව ගියේය.
වාත අමාරුවලට මී තෙල් ටිකක් රත් කර ආලේප කිරීම, දණහිස් අමාරුවකට එඬරු තෙල් රත් කර ආලේප කිරීම, එඬරු කොළ පොතු ටිකක් රැගෙන කොටා කහ, ලුණු දමා වණ්ඩුවේ තම්බා තැවීමට පුරුදු වීම යහපත්ය.
පොඩි දරුවන්ට කෑම අරුචියක්, ග්‍රහණි රෝග පැමිණි විට මුල් අදියරේ දී කොක්මොට, මොනරකුඩුම්බිය කැඳ සාදා පෙවීමෙන් දරුවන්ගේ ග්‍රහණි රෝග, කෑම අරුචිය, පාණ්ඩු තත්ත්ව මඟහැරී යයි.
බඩේ අමාරුවට ඉරිවේරිය දඬු, බෙලි මුල් තම්බා පානය කිරීමද ඉරිවේරිය දඬු කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ඊට මී පැණි ස්වල්පයක් එක්කර පානය කිරීමෙන්ද බඩේ අමාරුව සුව වේ.
පීනස වැනි තත්ත්වවලදී ගොටු දඬු රතුලූනු ටිකක් කොටා රැගෙන කොටා උදේට හිස් බඩ බොන්නට හුරු විය යුතුය. ලේ අර්ශස් පැමිණි විට අපේ වැඩිහිටියන් කළේ වෙද කොහිල, හීන් කොහිල සහ රතු ලූනු දෙක එකට කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ඒ ඉස්ම බොන්නට දීමය. නැතිනම් රත්කරල්හැබ කැඳ සදා දුන්හ. මලබද්ධයේ දී කොහිල දළු වැල් කොහිල, දිය බෙරළිය, වැනි ආහාර ගැනීමට හුරු වූහ.
ඇස් රෝගවල දී රත්මල් ටිකක් ගෙන තම්බා ඇස් සේදීම, දෙළුම් කොළ ටිකක් තම්බා ඇස් සේදීම, ඇස් දැවිල්ලට සමන් පිච්ච පොහොට්ටු ටිකක් තැඹිලි ගෙඩියකට දමා ඇස් සේදීමට පැරැන්නෝ පුරුදුව සිටියහ. මුත්‍රා දැවිල්ලක දී තැඹිලි ගෙඩියට සුදු හඳුන් ටිකක් දා බිව්වේය. නැතිනම් අක්කපාන කොළ ටිකක් තම්බා බිව්වේය. දිගු කාලීන මුත්‍රා දැවිල්ලක් පවතීනම් නීරමුල්ලිය දළු සම්බෝලය කෑමවේලට එක් කර ගත්තේය.
අත් බෙහෙත් භාවිතයේ දී සැලකිය යුතු කරුණු
අත් බෙහෙත් නොකළ යුතු ඇතැම් රෝග තත්ත්ව තිබේ. දියවැඩියාව, අධි රුධිර පීඩනය, රුධිරගත මේදය, කොලෙස්ටරොල් වැනි රෝග තත්ත්ව සඳහා අත් බෙහෙත් කිරීම නුසුදුසුය. වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත්ය..
අත් බෙහෙත් භාවිතයේ දී නිසැකවම ඖෂධ, ශාක වර්ග දැනගෙන භාවිත කළ යුතුය. උදාහරණයක් ලෙස අපට කප්පරවල්ලිය සහ ඉරිවේරිය පැටලෙන්නට හැකිය. මේ ශාක දෙකෙන් ලැබෙන්නේ ගුණ දෙකකි. රත්මල් ගතහොත් හොඳම රත්මල්වල ස්වරූපය වෙනස්ය. අඩමානයට අත් බෙහෙත් භාවිත කිරීමට යෑම නුසුදුසුය. අතිශය වැදගත් කාරණාව නම් මෙම බෙහෙත් සංස්කරණයේ දී තිබිය යුතු පිරිසිදුකමය. පිරිසිදුකම සම්බන්ධව සියයට සියයක් වගවිය යුතුය. එසේ නොමැතිනම් අත් බෙහෙත් නොකළ යුතුය.
මේ අත් බෙහෙත් භාවිතය දැනගෙන කළ යුතුය. ඒ දැනුම සමාජයට අතිශය වටිනා සම්පතකි.
ඒ සම්පත් දැනුම් ප්‍රමාණය සමාජයෙන් වියැකී යමින් ඇත. එබැවින් අපේ අධ්‍යාපන ක්‍රමය තුළින් හෝ මෙම අත් බෙහෙත් පිළිබඳ දැනුම සමාජයට ලබාදීම වැදගත් බව අපි විශ්වාස කරමු.