Home » පුත්‍ර ස්නේහය

පුත්‍ර ස්නේහය

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

“පුතේ…………… පුතේ……………

මගේ රත්තරන් පුතේ…….”

කිසිවක් සිතා ගැනීමට තරම් ශක්තියක් මා හට නොමැති විය. උන් තැනම එකම ඉරියව්වෙන් මම මොහොතක් ඒ දෙස බලා සිටියෙමි. දෙදණ බිම හොවා අත්ල එක මත එක තබා ගෙන සිටින ඈ, සෙමින් සෙමින් එම වචන දෙක තුන මුමුණන්නී ය. ඇය සමඟ කතා කිරීමේ අභිලාෂයෙන් අදත් මා මෙහි පැමිණියත්, ඒ දර්ශනය දුටු පසුව කතා කිරීමට තරම් මා හට සිත් නොදෙයි. සෙමින් පියවර මාරු කළ මම ආපසු හැරුණෙමි.

යළිත් මා නිවෙසට පැමිණියේ සිත නොසන්සුන්ව ය. එක දිගට කිසිම දෙයක් පිළිබඳව සිතීමට තරම් නිරවුල් මනසක් මා හට නොමැති සේ ය. ඉස්තෝප්පුවට පැමිණි මම හාන්සි පුටුවෙහි වාඩි වූයෙමි. ඈතින් පිහිටා ඇති ඇගේ නිවෙස රූස්ස කොස් ගස් හා පොල් ගස් අතරින් මෙතැනට පෙනේ. උළු සෙවිලි කළ එම නිවෙස ඉදිරියෙන් දිගින් වැඩි ඉස්තෝප්පුවකි. ඉස්තෝප්පුවට කෙළින්ම ඇති දොර සමඟ ඇත්තේ කාමරයකි. මොහොතකට පෙර මා ඇය දුටුවේ එම කාමරය තුළ දී ය.

මා හට නැවතත් ඇගේ වචන ඇසෙන්නට සේ විය. දෙදණ බිම හොවාගෙන ඈ සිටි ස්වරූපය ඇගේ නිවෙස ඉදිරියෙන් මතු වී මා ඉදිරියට ඇදී එනු සේ මට පෙනුණි. ඒ සමඟ ම මගේ සිත වසර ගණනාවකට එපිට කාලයකට දිව යන්නට විය.

“‍එකයි …… දෙකයි……….තුනයි…….කෝච්චි පෙට්ටි දහයයි”‍

මගෙත් ඇගෙත් කුඩා කාලය මා හට සිහිපත් විය. ඉන්ද්‍රාණිත් මමත්, කුඩා කාලයේ දී එක් වී තරගයට කෝච්චි පෙට්ටි ගණන් කළේ එසේ ය.

එම කාල පරිච්ඡේදය අපේ ජීවිතයේ සැහැල්ලු‍වෙන් ම ගෙවුණ කාලය යැයි මට දැන් සිතේ. කුඩා කාලයේදී ම මවුපිය සෙනෙහස අහිමි වී ගිය ඉන්ද්‍රාණි හැදුණෙ වැඩුණෙ ඇගේ නැන්දා කෙනෙක් සමඟ ය. නැන්දා හැරුණ විට ඇයට සිටි එකම හිතවතිය වූයේ මා ය.

පාසල් දිවියෙන් මමත් ඇයත් සමුගත්තේ එකට ය. උසස් අධ්‍යාපනයට සුදුසුකම් නොලැබූ මම අධ්‍යාපනය නතර කළෙමි. ඈ උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලැබුව ද අගහිඟකම් විසින් ඈ වටා විශාල පවුරක් ඉදි කර තිබුණි. ඒ පවුර මැද අතරමං වූ නැන්දා ඉන්ද්‍රාණිගේ අසරණ බවට වෙනත් කෙනෙකුගේ රැකවරණය සොයන්නට පටන් ගත්තේ ඉන්පසුව ය.

“අනේ යශෝ.. අද ආ ඵක්කෙනා ඔයා දැක්කනම්, ඔයා මොනව හිතාවි ද දන්නේ නෑ. කතා නෑ බිම බලාගෙන හිටියා. අනේ මන්දා…”‍

බොහෝ දිනවල එවැනි අමුත්තකු ඇවිත් ගිය පසු ඇය කතාව අවසන් කරන්නේ එලෙසිනි. ඇය නිතරම අවසානයේදී “අනේ මන්දා”‍ වශයෙන් පැවසුවේ ඇගේ ජීවිතය හා අනාගතය පිළිබඳ අවිනිශ්චිත බවකින් යැයි ඒ දිනවල මට සිතුණි.

ඉන්ද්‍රාණි කෙදිනක හෝ තනි වේ යැයි සිතු නිසා ම, නැන්දා ක්‍රම ක්‍රමයෙන් ඉන්ද්‍රාණි පිළිබඳව නොරිස්සුම් ස්වරූපයකින් ඇයට දොස් පවරන්නට විය.

“උඹව කැන්දගෙන එන්න මුහුදින් එතෙර ඉඳලා රාජ කුමාරයෙක් එනකම් බලා ගෙන හිටපන්. උඹට මිනිස්සු තෝරන්න මට නම් තේරෙන්නෙ නෑ ”

වරෙක ඉන්ද්‍රාණිට දොස් පවරන ස්වරූපයෙන් ද වරෙක හැඬු කඳුළෙන් ද නැන්දා කතා කළ දින ගණන් බොහෝ සේ විය. ඒ කෙසේවුව ද දුක් කම්කටොලු‍ පිරි පවුරක් මැද තනි වී සිටි ඉන්ද්‍රාණිට එම පවුර කඩා බිඳ දමා පිටතට පැමිණීමට හැකි වූයේ ඇයත්, නැන්දාත්, අපත්, මුළු ගමත් මවිතයට පත් කරමිනි. කිසිවෙක් නොසිතූ ලෙසට ඇගේ නැන්දා කට පාඩම් කර ගෙන කිව් ලෙසට කරදිය වළල්ලෙන් එපිට සිට සිරිමෙවන් ඇය සොයා ගෙන ඇවිත් තිබුණි.

එතෙර රැකියාවක් කළ සිරිමෙවන් යළිත් තම උපන් රටට පැමිණ තිබුණේ සිහල මනාලියක් සොයාගෙන ය. ඒ මනාලිය ඉන්ද්‍රාණී බවට පත් වූයේ නැන්දාගේ ද ආශීර්වාදය සමඟ ය. ඉන්පසුව ඔවුනගේ ජීවිතය ඉතාම සතුටින් ගෙවුණ බව දැන ගත් මම ද සොම්නසට පත් වූයෙමි.

එහෙත් නැන්දා ට තමා සමඟ විඳි දුක් කන්දරාවට සරිලන සේ සැපක් දීමට ඉන්ද්‍රාණිට හැකි වූයේ නැත. ඔවුන් විවාහ වී මාස ගණනකින් පසුව නැන්දාගේ මරණය සිදු වූයේ නොසිතු මොහොතක ය. නැන්දාගේ මරණින් පසුව සිරිමෙවන්ගේ සෙවණ හා රැකවරණය නිසා ඉන්ද්‍රාණි ජීවිතයට ශක්තිමත්ව මුහුණ දුන්නා ය.

“‍ම් …. යශෝ… ඔයාට රහසක් කියන්න තියනවා”‍

ඔවුන් අතරට අමුත්තකු පැමිණෙන බව ඇය මට ඉඟි කළ අයුරු මට තවමත් මතක ය. ප්‍රමෝද් නමින් ඔවුන් අතරට පුතකු පැමිණියේ ඉන් අනතුරුව ය.

පුතු ලැබී අවුරුදු දෙක තුනක දී පමණ ඉන්ද්‍රාණි යළිත් තනි වූ අයුරු සිහිවන විට මගේ සිතේ කොනකින් තවමත් නැඟ එන්නේ සිහින් වේදනාවකි. සිරිමෙවන් ඉන්ද්‍රාණි සහ පුතණුවන් තනිකර දමා ජීවිතයෙන් සමුගත්තේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකිනි. සිරිමෙවන්ගේ මරණය නිසා ඉන්ද්‍රාණි පුතු සමඟ නැවත තනි වුවා ය. එදින තරම් ඉන්ද්‍රාණි හැඬූ දිනයක් මා කිසිදු දිනක දැක නැත. ඇය මා දුටු විගස ම මගේ උරහිස මත මුහුණ හොවාගෙන ඉකිබින්දා ය.

“මං තනි වුණා යශෝ …..මං තනි වුණා……”

ඉකිබිඳුම අතරින් ඕ ආයාසයෙන් පැවසුවා ය. සිරිමෙවන්ගේ මරණයෙන් මාස කිහිපයකට පසුව මගෙත් ඇගෙත් ඇසුර දුරස් විය. ඒ මට ද විවාහ වී ඈත පළාතක පදිංචියට යාමට සිදු වූ නිසා ය.

ඉන්පසුව අප වරින් වර දුරකතනයෙන් කතා බහ කෙරුවෙමු. ඒ හැර මට ඉන්ද්‍රාණි සමඟ කතා බහ කිරීමට හැකි වූයේ නිවාඩු සමයේ සැමියා සමඟ ගමට පැමිණි දින කිහිපය තුළ දී ය. එම කාලය තුළ දී කෙසේ හෝ ඉන්ද්‍රාණිත් මමත් අපේම දේ පිළිබඳව කතා කිරීමට පුරුදු වූයෙමු.

“‍නැන්දා මං හදාගන්න විඳින්න ඇති දුක් කන්දරාව දැනුයි මට තේරෙන්නේ යශෝ”‍

මා සමඟ කතා කළ සෑම දිනකම වාගේ ඈ පවසන්නේ නැන්දා පිළිබඳව තොරතුරු ය. ඒ සමඟම මිය යාමට පෙර නැන්දා නිතර නිතර පැවසූ දෙයක් ඕ මා සමඟ පැවසුවා ය.

“කවදා හරි උඹත් අමමා කෙනෙක් වේවි. එදාට ගුණ යහපත් විදියට දරුවෝ හදපන් ඉන්ද්‍රාණි”‍

මිය යාමට මාස ගණනකට පෙර ද නැන්දා ඉන්ද්‍රාණි සමඟ පවසා ඇත. ඇගේ හිත තුළ එම වචන කිහිපය තුළ තිබුණේ දැඩි භක්තියෙකි. ඇයට අවශ්‍ය වූයේ ද, තම පුතු පුමෝද් හොඳ මඟ යවා යහපත් මිනිසකු කිරීමට ය. එහෙත් යමක් කමක් තේරෙන වයසට එන විටදී ම, ප්‍රමෝද් නොමඟට යොමු වී ඇති බව දිනක් දුරකතනයෙන් කරන කතාබහ අතරේ දි ඉන්ද්‍රාණි පැවසුවා ය.

ගමේ සිදුවන අඬදබරයකට, සොරකමකට ප්‍රමෝද් නිතරම මුල් විය.

ප්‍රමෝද් නිසා අවමන්, දුක් පීඩා අහස උසට ඉන්ද්‍රාණි විඳින්නට ඇති යැයි මට දැන් සිතේ. අවසානයේ වැහැරී ගිය ඇගේ සිරුරත් තැනින් තැන සුදුවී ඇති ඇගේ කෙස් රොදවල් කීපයත්, වේදනාබර දෑසත් පමණක් ඇය සතු වන්නට විය.

“උදේ ගියාම රෑට ගෙදර එන්නේ. අර දහජරාව දැන් කටේ ගා ගත්ත ගමන්”‍

වරෙක ඉන්ද්‍රාණි එසේ පැවසුවා ය. කාලය කෙමෙන් ඉගිළ ගියේ ය. වරක් මා ගමට පැමිණි පසු ඉන්ද්‍රාණි මා සමඟ කතා කළේ ඉතා සතුටිනි. සැහැල්ලු‍වකිනි.

“දෙවියන්ගෙ පිහිටෙන් කරදර සේරම ඉවරයි යශෝ. පුදුම විදියට පුතා ටිකෙන් ටික වෙනස් උනා. දැන් ඉස්සර වගෙ නෙවෙයි පුතා”‍

ඉන්ද්‍රාණිට මෙන්ම මගේ සිතට ද ගෙන ආවේ අපමණ සතුටකි. ඉන්ද්‍රාණි තොරතෝංචියක් නැතුව පුතාගේ වෙනස් වීම පිළිබඳව මා සමඟ කතා කළා ය.

තම පුතු දුරු රටක රැකියාවක් සඳහා යාමට අවශ්‍ය කටයුතු සුදානම් කරන බව ද අනතුරුව ඕ මා සමඟ පැවසුවාය.

ඇය පැවසූ පරිදි ප්‍රමෝද් වසර තුනක පමණ කාලයක් විදේශ රටක රැකියාවක් කළේ ය. ඒ කාලය තුළ දී ඉන්ද්‍රාණි ළඟ තිබූ දුක් පීඩා ක්‍රම ක්‍රමයෙන් ඉවත්ව යන ලෙසක් ද මට ද දැනුණි.

එහෙත්…! එහෙත් මෙවර ගමට පැමිණි මට දැනගන්නට ලැබුණේ ඉන්ද්‍රාණි පිළිබඳව හිතට වද දෙන ආකාරයේ තොරතුරකි. පසුගිය මාස කිහිපයක සිදු වූ සිදුවීම් ඕ මා සමඟ දිගින් දිගටම පැවසුවා ය.

“යශෝ මේ මගේ කරුමේ. මං ගිය ආත්මෙ කළ පව් දැන් මට ගෙවන්න වෙලා”

ඇය ඇයගේ ඉරණම ගෙවා නිම කළ නොහැකි කරුමයකට බාර දී ඇත. ප්‍රමෝද් ඉන්ද්‍රාණිගේ විරුද්ධත්වය මැද මෙතෙක් රහසක්ව තිබූ ඔහුගේ ප්‍රේම සබඳතාවයේ ආදරවන්තිය සමඟ විවාහ වී ඇත. ඒ දැනට මාස හයකට පමණ පෙර ය.

“‍රට යන්න ඉස්සර වෙලා ඉඳලම මේ සම්බන්ධය තිබුණලු‍”

ඉන්ද්‍රාණි කතා කළේ කෝපයෙනි.

“ඉතින් ඉන්ද්‍රාණි ඒ දැරිවිගේ වරදක් නෑනෙ“

එවිට මම කීවෙමි.

“‍වැරැද්දක්? යශෝ දන්නෙ නෑ. ඒකිගේ තාත්තා අම්මගේ ආගිය තැන් මුල් ගිය තැන්… ඊටත් ගෙයක් දොරක් නැති කෙල්ලක්”

ඉන්ද්‍රාණි කෝපය පිරි වචන රැසක් මට ද දමා ගැසුවා ය.

“ප්‍රමෝද් උනත් හිටියෙ කොයිතරම් දඩබ්බර විදියට ද? ඉතින් ඒ දැරිවි ඒ කිසිම දෙයක් ගණන් නොගෙන නේ ඇවිත් තියෙන්නෙ“

ඇගේ සිතේ යළිත් මතු වී ඇති දුක් පීඩා නැති කරන අටියෙන් මම කිව්වෙමි.

“‍මෙහාට කැන්දන් එන්නයි හැදුවෙ. මං ඉඩ දුන්නෙ නෑ. ඔය වගෙ අය අපේ ගෙවල්වලට ගන්න පුළුවන් යැ. දැන් ඔය ගෙයක් බදු අරගෙන ඉන්නෙ”

ඉන්ද්‍රාණි කියාගෙන ගියා ය.

“මෙහාට එක්ක ආවොත් මං ගෙදරින් යනව කියල මං කිව්වා”

ඉන්ද්‍රාණි කතා කළේ හිතේ ඇති කෝපයත් සමඟ ය.

“ලේළි කෙනෙක් ආව නම් ඉන්ද්‍රාණිටත් හොඳයි. කිසි කරදරයක් නැතුව ඉන්න තිබුණා”

මා එසේ පැවසු විට කෝපය පිරි දෙනෙත් ඇය ඉවතට හරවාගෙන ස්වල්ප වේලාවක් කතා නොකර සිටියා ය.

“මට ඕනෙ නෑ යශෝ කවුරුවත්. දුක කියන එක මට අමුතු දෙයක් නෙවෙයි. මැරෙනකම් මං මෙහෙම ඉන්නවා. මොනව හරි තියෙන දෙයක් තම්බගෙන කාලා ”

දිගු නිහැඬියාවකින් පසුව අවසානයේ ඉන්ද්‍රාණි එසේ පැවසුවා ය. ඇයට ප්‍රමෝද් පුතු වරදක් කර නොමැති බව වටහා දීමට උත්සාහ ගත්ත ද එය ගඟට කැපූ ඉණි සේ විය.

“නෑ යශෝ මං හිත හදාගෙන දැන් ඉන්නේ. මං දුක් වෙන්නේ නෑ. මං හිතන්නේ නෑ පොඩ්ඩක්වත් පහුගිය දේවල් ”‍

ඊයේ ඇය එසේ පැවසුවේ තවදුරටත් පුතු ගැන කතා නොකරන ලෙස කීමට මෙන් යැයි ඒ මොහොතේ මට සිතුණි.

අදට දින දෙක තුනකට පෙර හදිසියේම මට ප්‍රමෝද් හමු විණි. ඉන්ද්‍රාණිගේ හිතේ ඇති වේදනාව දුරු කර ඇයව සැහැල්ලු‍ ජීවිතයකට අවතීර්ණ කිරීමේ අවශ්‍යතාව නිසාම මම ප්‍රමෝද් සමඟ ඔහුගේ මව ගැන කතා කෙරුවෙමි.

“යශෝ නැන්දා දන්නේ නෑ. අයෝමා තමයි මගේ ජීවිතය වෙනස් කළේ. දඩබ්බරයෙක් වෙලා හැමෝටම එපා වෙච්ච මාව හොඳ මිනිහෙක් කළේ අයෝමා. මම අම්මට කිව්වා මේ විස්තර”.

ප්‍රමෝද් මා මේ කතන්දරයේ නොදත් පැතිකඩක් පිළිබඳව මට කියා දුන්නේය.

ජීවිතයේ කීප වතාවක්ම ඉන්ද්‍රාණි සොයා පැමිණි, දුක් පීඩා ඇගේ ජීවිතය හෙම්බත් කළේ ය. එහෙත්……. එහෙත්…… මේ වතාවේ… ඉන්ද්‍රාණි විසින් ම තනිකම සොයා ගොස් ඇති බවක් මට සිතේ. පුතුත් ලේළිත් සමඟ එකම වහලක් යට සිටීමට හැකි කම තිබිය දී, ඇය විසින් ම දැන් තනිකම වැළඳ ගෙන ඇත.

කිසිදු දෙයක් පිළිබඳව නොසිතා සිත එක්තැන් කරගෙන සිටින බව ඉන්ද්‍රාණි පසුගිය දින කිහිපයේ දී ම මා සමඟ පැවසුවා ය. ඇය එසේ පැවසුවත් පුතු පිළිබඳ අසීමිත සෙනෙහස ඇගේ හදවත පුරාම දිව යන්නේ ඇයටත් නොදැනීම ය.

“පුතේ……….පුතේ මගේ රත්තරන් පුතේ… ”

එම වචන කිහිපය සමඟ යළිත් මගේ දෑස් ඉදිරියේ ඉන්ද්‍රාණිගේ රූපය ඇඳී නොපෙනී යන්නට විය.

චාන්දනී දේවිතා පුංචිහේවා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division