2024 වසර ගෙවිලා යන්න තවත් තියෙන්නේ මාස දෙකකටත් අඩු කාලයක්. මේ කාලය තුළ අපි අපේ ජීවිත ගැන ආපස්සට හිතලා බලමු. අපි කරපු හොඳ වැඩ, අපි අන් අයට උදව් කරපුවා, අපි වැඩිහිටියන් කියන දේ ඇහුවද, ඔවුන්ට ගරු කළා ද මේ හැම දෙයක් ගැනම අපි මුල ඉඳන්ම කල්පනා කරමුද? එහෙම බලන කොට පුංචි ඔයාලටම තේරේවි තමන් තමන් වෙනුවෙන් කර ගත්ත දේවල් මෙන්ම අනිත් අය වෙනුවෙන් කරපු දේවල් මොනවද කියලා.
ඉගෙන ගන්න දරුවෝ වශයෙන් ඔබ පොත් කීයක් කියෙව්වද? කවුරුන් හෝ ඒ ප්‍රශ්නය ඔබෙන් අසාවි. සමහර විට නිවෙසේ අය මෙන්ම පාසලේ ගුරුවරු වෙනත් බාහිර අය ඔබෙන් එවැනි ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්… අහන්නේ නැතිව ඉන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් අපි පොතක්, පත්තරයක් කියවන්න අවශ්‍ය තවත් කෙනකු අපි දිහා බලා ඉන්නවා නම් විතරක් නෙමෙයි. අපි හැම විටම දැනුම සොයා යා යුතුයි. පන්තියේ රචනාවක් ලියන විට විෂය බාහිර පොත පත කියවා තිබීම වැදගත්.
අද පාසල් පද්ධතිය තුළම පොත් කියනව දරුවන් ප්‍රමාණය බොහෝම අඩුයි. විෂය නිර්දේශිත පොත පත පමණක් කියවා දැනුමින් පිරිපුන් මිනිසකු ගොඩනඟන්න අපහසුයි. අපි හැම විටම විෂය බාහිර පොත පත මෙන්ම මනසට සුවය ගෙනෙන ක්‍රියාකාරකම්වල නිරන්තරයෙන්ම නියුතු විය යුතුයි.
අපේ දරුවන් අද අසීමාන්තික ලෙස පරිගණකය ඔස්සේ විවිධ දේවලට සම්බන්ධ වී සිටිනවා. නමුත් නිර්මාණශිලි, අන් අය ගැන සිතන පතන මිනිසුන් එයින් බිහිවන්නේ නැති තරම්.
සුන්දර ළමාහිත් පෝෂණය කිරීමට මවුපියන්ට වගේම ගුරුවරුන්ටත් වගකීමක් තියෙනවා.
අප බාල කාලයේ බොහෝ විට අපට පාඩම් කියා දුන්නේ ස්වාභාවික පරිසරය සමඟ ගැටෙමින්. හොඳින් ඉරපායා තිබෙන දවස්වලට පන්ති පැවැත්වුණේ විදුහල් මිදුලේ ගස් යට. නමුත් බොහෝ පාසල්වල වර්තමානයේ නම් එවැනි දේ දැකිය නොහැකියි.
ඒ කොහොම වුණත් දරුවා හැම විටම යමක් ඉගෙන ගන්නේ පරිසරය තුළින්.
අදටත් අතිදුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල් අපේ රටේ තියෙනවා. මේ දරුවන්ට ඇතැම් විට විදුලියවත් නැහැ. ගඟ ගැලුවොත් පාසලට එන්නට විදිහක් නැහැ. කන්ද නාය ගියොත් පාසලට එන්න විදිහක් නැහැ. ඒත් ඒ දරුවොත් ඉගෙන ගන්නවා. විභාග සමත් වෙනවා. මේ හැම දේකට අවශ්‍ය උනන්දුව, අධිෂ්ඨානය පමණයි.
ගුරුවරුන්ට කළ හැක්කේ දරුවන්ට ඉදිරියට යාමට මාර්ගය පෙන්වීමට පමණයි. එතැනින් එහා ලෝකයට යන්නට දොරකවුළු විවර කර ගත යුත්තේ තමන් විසින්.
ආදරණීය දුවේ පුතේ.
ඔබට ඔබේ හෙට දවස ගැන පැහැදිලි ඉලක්කයක් තිබිය යුතුයි. ඒ ඉලක්කය කරා යන මාවත එළිපෙහෙළි කර ගන්නට ඔබට හැකියාව තියෙන්න ඕන. හෙට දවසේ ඔබ කුමක් කරන්නේ ද යන තීරණය ගත හැක්කේ ඔබටයි.
අප බාල කාලයේ අපට කියා දුන්, ‘අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්‘ යන පාඨය වෙනස් කළ හැක්කේ ද ඔයාලටමයි. දිනෙක ඔයාලට කිව හැකි නම් අපි සංවර්ධිත රටක් කියා එය අද දවසේ වෙහෙසෙන කොයි කාගෙත් ජයග්‍රහණයක්.
මුලින්ම ඔබ ගැන සිතන්න. එතැනින් අපි අපේ ගමන අරඹමු.
ඉසවි