උත්තර භාරතීය රාගධාරී සංගීතයේ ස්වර රටා සියුම්ව ගෙන මෙරට ජනගී ජනකවි සහ නාදමාලා සමඟ මුසු කරමින් අපටම අනන්‍ය වූ සංගීතයක් උත්පාදනය කිරීමට කටයුතු කළ සංගීතඥයන් අතර ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. නොවැම්බර් 03 වැනිදාට පණ්ඩිත් අමරදේවයන් සිය භෞතික කාය අත් හැර වසර 8ක් පිරුණි. අමරදේව ගුණානුස්මරණ දිනයේදී විශේෂ කටයුතු කිහිපයක් සිදු විය. ඒ ඉදිවෙමින් පවතින අමරදේව අසපුවේ පිහිටි අමරදේව ස්මාරකයට පුෂ්පෝපහාර පිදීමත්, අමරදේව ආවර්ජනා සංගීතමය සන්ධ්‍යාවත්, පණ්ඩිත් අමරදේවයන් විසින් ලාංකේය සංගීත ක්ෂේත්‍රයට කළ මැදිහත්වීම සම්බන්ධයෙන් මහාචාර්ය කෝලිත භානු දිසානායක විසින් සිදු කරනු ලැබූ හරවත් දේශනයත් මෙහිදී කැපී පෙනිණි.
පණ්ඩිත් අමරදේවයන් මතකාවර්ජනය කරනු පිණිස අපි අමරදේව පුත් රංජන හමු වුණෙමු.
අමරදේවයන් පියකු ලෙස රංජනට දැනුණේ කොහොමද?
තාත්තා අපිත් එක්ක ඉන්නකොට පොඩි ළමයෙක් වගේ තමයි හැසිරුණේ. ඇත්තටම ඔහු අපට කිට්ටු මිත්‍රයකු වගෙයි. ඔහු කිසිදාක අපට සැරවැර කරන්න පෙළඹුණේ නැහැ. ඔහු බොහෝ වැඩ රාජකාරි මැද්දේ වුණත් අප සමඟ ගත කරන්න කාලය හොයා ගන්නවා. පාසල් නිවාඩු වාරයක් එනවිට කොහේ හෝ අප සමඟ සංචාරය කරන්න ඔහු කිසිදිනක අමතක කළේ නැහැ. ඔහු හෝටල් බුක් කරලා කලින්ම ඒ සඳහා සූදානම් වෙනවා. ඒ කාලය ජීවිතයට ඉතාම සුන්දර මතක ගොන්නක් එකතු කළ අවධියක්. මාතර පොල්හේන වෙරළ තීරය ඔහු ඉතාම ප්‍රිය කළ ස්ථානයක්. ඔහු ජීවිතය විඳින්න ඕන කියන මතයේ සිටි අයෙක්. විවේක සුවය ඔහු හරියට අගය කළා විතරක් නෙමෙයි එහි වටිනාකම අපටත් පහදා දුන්නා. ඔහු නිතර වැඩ කරමින්, ඉලක්ක හඹාගෙන ගිහින් හරි හම්බ කරපු කෙනෙක් නෙමෙයි. ඔහු ආතතියක ඉන්නවා අප දකින්නේ නැති තරම්. ඔහු ජීවත් වුණේ එතරම්ම සැහැල්ලුවකින්. ලොකු ප්‍රශ්නයක් ආවොත් පොඩ්ඩක් එක්තැන්වෙලා ඉඳලා නැවත සිනහමුසුව නැඟිටින ස්වභාවයක් තාත්තගේ තිබුණා.
මට මතකයි හැත්තෑව මුල වගේ තාත්තා විදෙස් සංචාරවලට යනවා. ඒ ගිහින් එයා ඉන්න ස්ථානයේ විශේෂත්වය ගැන ඡායාරූපයක්, සිතුවමක් තියෙන පෝස්ට් කාඩ් අරන් අපිට එවනවා. ඒ කාඩ් එකේ එයා කවියක් හරි ඉන්න තැන ගැන විස්තරක් හරි ලියලා එවනවා. ඒක තාත්තා බොහෝ අවස්ථාවල නොවරදවාම කරපු දෙයක්. අක්කල දෙන්නයි මායි හරිම ආසයි ඒ කාඩ්ස්වලට. ඒ එවන කාර්ඩ් එකතු කරන පුරුද්දකුත් අපට තිබුණා. ඒ වගේම එහෙම ගිහින් එනකොට ටොෆි, චොකලට්වලට අමතරව පුංචි පුංචි සෙල්ලම් බඩු, පොඩි අයට ආස හිතෙන දේවල් තාත්තා අරන් එනවා. ඒ කාලේ අපිට තාත්තව දැනුණේ සමහර සුරංගනා කතාවල පොඩි අයට එක එක දේවල් මවල දෙන කෙනෙක් වගේ. ඒවයින් අපි හරියට පුදුම වුණා. විශේෂ වැඩකට එළියට ගියේ නැත්තම් තාත්තා හිටියේ අපි එක්කමයි. එයාගේ ලෝකය ගෙදර තිබුණේ. තාත්තා අපිව සතුටින් තියන්න තමයි හැමදේම කළේ. තාත්තා සුන්දර මනුස්සයෙක් වගේම හරිම ආදරණීය පියෙක්.
එතුමා නිතර ආගිය තැනක් තමයි වැල්ලවත්තේ පීපල්ස් ක්ලබ් එක. ඒ ගියාම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් බොහෝමයක් එතැනදි හමුවෙන බව අමරදේවයන් මා සමඟ මීට ප්‍රථම පවසා තිබෙනවා. රංජනට ඒ අතීතය මතක ද?
ඉස්සර අපිට 4 ශ්‍රී පොඩි කාර් එකක් තිබුණා. අපිවත් ඒකේ දාගෙන තමයි තාත්තා ගියේ. එතැනදි චිත්‍රසේන මාමා, එච්. එම්. ගුණසේකර මාමා, අර්වින් වීරක්කොඩි මාමා වගේ ගොඩක් අය මුණගැසෙනවා. එතැන නිතර අය එකතු වන තැනක්. මායි අක්කලා දෙන්නයි තාත්තයි නාලා ගොඩට එන්නේ අව්ව සැරවෙද්දී. අපි ගෙදර යද්දී අම්මා රස කෑම උයල තියනවා. තාත්තා මොන දේ කළත් කාලසටහනක් තිබුණා. ඔහු ඒ අනුව කාලය කළමනාකරණය කළා. සල්ලි වියදම් කරලා ලොකු හෝටල්වලට එක්ක යන්න තාත්තා ළඟ සල්ලි තිබුණෙ නැහැ. ඒත් එයා අපව පුදුම විදියට එයාට හැකි පමණින් සර්ප්‍රයිස් කළා. ඒක මං තාත්තගෙ දැක්ක පුදුම ගුණයක්.
සීයා ආච්චි ගැන තාත්තා කතා කරනව ද?
ඔව්, අපිව ළඟට අරන් තාත්තා එයාල ගැන කියනවා. තාත්තා හරිම ආදරෙයි ඒ දෙන්නට. විශේෂයෙන් තාත්තා එයාගේ අම්මට හරිම ආදරෙයි. ආච්චි හරිම නිශ්ශබ්ද කෙනෙක්. කොරලවැල්ලේ ගෙවල් කිට්ටුවම තිබුණු ශ්‍රී සද්ධර්මෝදය මිශ්‍ර පාසලට තමයි තාත්තා මුලින්ම ගිහින් තියෙන්නේ. ආච්චි අග්ගලා ගුළියක් හදාගෙන කහට එකකුත් වක්කරගෙන විවේකය වෙලාවට පාසලේ ගේට්ටුව ළඟට ගිහින් තාත්තට දෙනවා.
ආච්චි අසනීප වෙලා රෝහලේ ඉන්දෙද්දි තමයි ‘රන්මුතුදූව’ චිත්‍රපටයට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ “පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ” ගීතයට සංගීතය නිර්මාණය කරන්න තාත්තට අවස්ථාව ලැබී තිබෙන්නේ. ආච්චිගෙන් ලැබුණු කරුණාව සෙනෙහස වගේම ආච්චි ගැන තාත්තට තිබුණු ආදරය ඒ ගීතයේ සංගීතයට බලපෑ බව තාත්තා කියනවා.
අපේ සීයා වඩුබාස් කෙනෙක්, එයා ඒකාලේ ඒ ප්‍රදේශයේ හිටිය එකම වයළින් අලුත්වැඩියා කරන්නා. හදන්න ගෙනාපු වයළින් නිතර ගෙදර තිබිලා තියෙනවා. ඒවා අතපත ගාන්න තාත්තා හරිම ආසයි. සීයත් ඒ වැඩවලට තාත්තව එකතු කරගෙන තියෙනවා. ඒවා එක්ක ඉද්දි තාත්තට වයලීන් එකත් එක්ක ලොකු බැඳීමක් ඇති වී තිබෙනවා. සීයා ඒවා හදලා ටෙස්ට් කරන්න ඉයර් එකට වාදනය කරනවා. ඒවා අහන් ඉද්දි තාත්තට තවත් ඒ ගැන ආස හිතිලා තියෙනවා. කොහොම හරි පස්සෙ කාලේ සංගීතය වැඩිදුර ඉගෙන ගන්න තාත්තා ඉන්දියාවට ගිහින් ඉද්දි තමයි සීයා නැතිවෙලා තියෙන්නේ.
තාත්තගෙ සංගීත දිවියේ ආරම්භය ගැන සිහිපත් කළොත්…
තාත්තගේ ආරම්භය සිද්ධ වෙන්නේ ගෙදරින්. සීයගේ වයලීන් වාදනය වගේම තාත්තගේ ලොකු අයියා වුණු චාර්ල්ස් පෙරේරා අපේ ලොකු මහප්පා එයා ක්‍රමවත්ව සංගීතය ඉගෙන ගෙන තියෙනවා. මහප්පා තාත්තට වයලීන් වාදනය කරන්න උගන්නල තියෙනවා. අයියා කියල දෙන දේ ඉතා සුළු කාලයකින් මල්ලි අල්ලගෙන තියෙනවා. පස්සේ පාසල් තරගවලට ඉදිරිපත් වී තාත්තා බොහෝ ජයග්‍රහණ හිමි කරගෙන තිබෙනවා. සංගීතය භාර ගුරුවරයා පන්තිය පවා ඒකාලේ තාත්තට බාරදී තිබෙනවා. පස්සේ එම ගුරුවරයා පාසල හැර යද්දී තාත්තව පාසලේ සංගීත ගුරුවරයා ලෙස බඳවා ගැනීමට කටයුතු සලසා දී තිබෙනවා.
එහෙම ගිහින් තාත්තා මුලින්ම වයලීන් වාදකයකු හැටියට ප්‍රසිද්ධ වී තිබෙනවා. සුනිල් සාන්තයන් තාත්තව හඳුන ගන්නේ මේ කාලයේ. සුනිල් සාන්තයන් ඔහුගේ ගීතවලට වයලීන් වාදනය කරන්න තාත්තව ගෙදරට ඇවිත් එක්කන් ගිහින් තිබෙනවා. ඔහුගේ ගීතවල වයලීන් වාදකයා තාත්තා. මොහෙමඩ් ගවුස් මාස්ටර්ගේ ඔකෙස්ට්‍රා එකට තාත්තට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වෙන්නේ මේ සම්බන්ධය නිසයි. ගව්ස් මාස්ටර්ගේ ඇසුරේ ප්‍රතිඵලයක් විදියට තමයි තාත්තා සංගීතය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට යන්නේ. එහිදී පණ්ඩිත් විෂ්ණු ගෝවින්ද ගෝෂි යටතේ වසර පහක් වයලීන් වාදනය සහ ගායනය හදාරනවා. පසුව ලංකාවට ඇවිත් ගුවන්විදුලිය සමඟ සම්බන්ධවී තිබෙනවා.
පණ්ඩිත් අමරදේවයන් ජනනාද මාලා, ජන ගායනා ගැන විශාල උනන්දුවකින් පර්යේෂණ කළ කෙනෙක්. ඒ පිළිබඳව ඔබේ අත්දැකීම කෙබඳු ද?
ඒ කාලේ අපට අනන්‍ය සංගීත සම්ප්‍රදායක් ගොඩනැඟීමේ ව්‍යාපාරයක් පැවතුණා. එය සරල ගීතය ඔස්සේ සිදු කිරීමට ගුවන්විදුලි සංස්ථාව ඉඩසලසා දී තිබුණා. මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස්, චන්ද්‍රරත්න මානවසිංහ වගේ අය ප්‍රමුඛව පර්යේෂණ ගීත ගොඩක් ඒ කාලේ තාත්තා කළා. තාත්තගේ බොහෝ නිර්මාණ ඒ පර්යේෂණවල ප්‍රතිඵල.
හෙළ හවුලේ බලපෑමත් එක්ක නේද මේ ප්‍රබෝධය වඩාත් ඉස්මතු වී ආවේ
ඔව්, ඒ බලපෑම මූලිකවම තිබුණා. තාත්තට ඒ බලපෑම පුංචිම අවධියේ සිටම බලපෑ කාරණයක්. තාත්තට කොරළවැල්ලේ සද්ධර්මෝදයේ උගන්නපු මුල් ගුරුවරයා කු.ජෝ. පෙරේරා ගුරුතුමා වයස අවුරුදු හයේ පුංචි ඇල්බට් පෙරේරව හෙළ හවුලේ රැස්වීම්වලට එක්කරගෙන ගිහින් තිබුණා. මුනිදාස කුමාරතුංග මහත්තයගෙ දේශන අහන්න ලොකු ආසාවක් තාත්තා තුළ තිබූ බව අපට කියලා තියෙනවා. තාත්තගේ භාෂා ඥානය පෝෂණය වෙන්න එය හුඟාක් බලපා තිබුණා. ඒවගේම තාත්තගේ සමකාලීනයෙක් වුණු අරිසෙන් අහුබුදු සමඟ බොහෝ ළඟ ඇසුරක් තාත්තට තිබුණා. කතා කරනකොට වුණත් භාෂාවේ හැම වචනයක් ගැනම දැනගෙනයි ඔහු කතා කළේ. ඒ නිසා ඔහුගේ කතාවක ඉවත් කරන්න දෙයක් තිබුණේ නැහැ. හරිම පරිපූර්ණ ලෙස, ව්‍යක්ත ලෙස ඔහු භාෂාව හැසිරවූවා. සුනිල් සාන්තයන් පවා ඔහුගේ මිත්‍රයකුව සිටියා. චිත්‍රසේන ළඟට තාත්තව එක්කගෙන ගිහින් තිබුණේ එතුමා. නමුත් ඔහු තාත්තගෙ ගුරුවරයෙක් නෙමෙයි. ඔහුටත් හෙළ හවුලේ ලොකු බලපෑමක් තිබුණා.
තාත්තා තියරිවලට වඩා ඔහු තැනක් දුන්නේ ප්‍රායෝගික ජීවිතයේ අත්දැකීම් මඟින් ලැබෙන සංවේදනාවන්ට. එයා හැම වෙලාවකම කිව්වේ “කිය කිය ඉඳල වැඩක් නැහැ; කරල පෙන්නන එක තමයි හරිදේ” කියලා. ඒ නිසා තාත්ත කළ හැම නිර්මාණයක්ම පර්යේෂණාත්මකයි. රසිකයන් මේ දක්වා එම නිර්මාණ වැලඳගෙන තිබීමෙන්ම ඒවා කොයිතරම් සාර්ථක වූණා ද කියා වැටහෙනවා.
1947 අප්‍රේල් 9 වැනිදා මෙරට දෙවන චිත්‍රපටය ලෙස තිරගත වූ “අශෝකමාලා” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ මොහොමඩ් ගවුස් මාස්ටර් සමඟ සහය සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ එවකට ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා.
ගවුස් මාස්ටර්ගේ වාද්‍ය වෘන්දයේ ප්‍රධාන වයලීන් වාදකයා ලෙස කටයුතු කර තිබුණේ තාත්තා. ඒ වගේම ගවුස් මාස්ටර්ගේ හොඳම ගෝලය වෙලා ඉඳලා තියෙන්නේ තාත්තා. ඒ නිසා ස්වර ප්‍රස්තාර ලියන, තනු නිර්මාණය කරන වැඩවලට තාත්තව හවුල් කරගෙන තිබෙනවා. අශෝකමාලා කරන්න ඉන්දියාවේ යද්දි මුළු ටීම් එකම එක්කන් යන්න බැරි නිසා කිහිපදෙනයි එක්ක ගිහින් තියෙන්නේ. ඉන් එක්කෙනෙක් තාත්තා. ඉතිං සමහර චරිතවලට රඟපාන්නත් ඒ අයට සිද්ධ වෙලා තියෙනවා. තාත්තට තාපසයට රඟපාන්න වෙලා තිබුණෙත් ඒ නිසයි.
තාත්තා දේශපාලනික වශයෙන් මොනවගේ ආකල්පයක් ද දැරුවේ?
ප්‍රසිද්ධියේ ඔහු දේශපාලනිකව පෙනී නොසිටියත් වාමාංශික අදහස්වලට නැඹුරුවයි කටයුතු කළේ. ඔහු දේශීයත්වයට මූලිකත්වය දෙමින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් පිළිබඳ මත දැරූ අයෙක්. දේශපාලන චරිතවලින් ඔහු ඇන්.එම්. පෙරේරාගේ අදහස්වලට ලොකු කැමැත්තක් දැක්වූවා. තාත්තගේ අයියා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙක්. සමසමාජයක් ඇති කළ යුතුයි කියන අදහසින් තමයි ඔවුන් කටයුතු කළේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවා එවැනි අදහස් තාත්තා සමඟ කතා කරනවා මා අසා දැක තිබෙනවා. මුල්කාලේ ඉඳලම තාත්තා ධනවාදී කඳවුරේ සිටි අයෙක් නොවෙයි. පසුව මධ්‍යම ප්‍රතිපදාවට නැඹුරු වුණා. ඔහු තුළ පසුකාලීනව අප දැක්කේ මානව දයාව මූලික කරගත් දේශපාලන දෘෂ්ටියක්. මිනිස්සුන්ගෙ භෞතික දියුණුවට වඩා මානසිකව උසස් මට්ටමකට ගේන්න කටයුතු කරන්න ඕන; සින්දුවක් කියලා අප්පුඩියක් ගහල සතුටු වෙන එක නෙමෙයි රසවිඳිනවා කියන්නේ; ඊට වඩා උසස් තලයකට චින්තනයෙන් රැගෙන යාම බවත්; කලාවෙන් විය යුත්තේ එයයි කියන අදහසත් ඔහු දැඩිව විශ්වාස කළා. කලාව තියෙන්නේ හිත් නිවන්න මිසක් කලාවෙන් විප්ලව කළ හැකියි කියන අදහසේ ඔහු සිටියේ නැහැ.
ලියෝ තොල්ස්තෝයි විප්ලව කළේ නැහැ; නමුත් ඔහු විප්ලවයේ කැඩපත වුණා කියලා තාත්තා කියනවා. සෝවියට් කෘති බොහෝමයක් ඔහු ඇසුරු කළා. ඒ අාභාසයෙන් අපත් වැඩිපුරම කියෙව්වේ රුසියන් නවකතා. අපට ලැබුණු ළමා පොත් පවා සෝවියට් ළමා සාහිත්‍ය කෘති. භෞතික වටිනාකම්වලට වඩා ආධ්‍යාත්මික ගුණාංගවලට තාත්තා ලොකු තැනක් දුන්නා.
අමරදේවයන් පෙරදිග සම්භාව්‍ය සංගීතය වගේම බටහිර සංගීතය පිළිබඳ අවදියෙන් සිටි අයෙක්. ඔහු ජීවත්ව සිටි සමයේ මා ඔහු සමඟ ඒ ගැන කතා කර තිබෙනවා. මේ ගැන ඔබේ මතකය අවදි කළොත්?
බටහිර සංගීතය පිළිබඳ තාත්තා තුළ ලොකු අවධානයක් තිබුණා. එය මහා සම්ප්‍රදායක් බවත් එහි ප්‍රගුණ කළ යුතු වටිනා ශිල්ප ක්‍රම ඇති බවත් ඔහු නිතර අප දැනුම්වත් කළා. ඔහු හැකි හැම අවස්ථාවකම ඒ සංගීතය රස වින්දා. නමුත් ඒ කාලයේ හිටියට එය ගැඹුරින් ප්‍රායෝගිකව අධ්‍යයනය කරන්න තාත්තට අවස්ථාවක් ලැබුණේ නැහැ. යුදෙව් ජාතික වයලීන් වාදකයකු වන ඉට්සාක් පර්ල්මාන්(Itzhak Perlman)ගේ වයලීන් වාදන ඔහු ඉතාම ප්‍රිය කළා. ඒ නිසා මේ සම්ප්‍රදායන් ගැන ඔහුට ඉතාම විවෘත මනසක් තිබුණ බව පැහැදිලිව පෙනුණා. නමුත් අප යුරෝපයේ යටත්විජිතයක්ව පැවති නිසා; ඒ කාලේ තිබුණු යටත්විජිත විරෝධය සමඟ යුරෝපයෙන් එන කිසිවක් හොඳ දේවල් නෙමෙ කියන ස්ථාවරයේ බොහෝදෙනා හිටියේ. නමුත් තාත්තා එතැන හිටියේ නැහැ. ඔහු ඒ දේවල් රස වින්ඳා. අවස්ථාවක් ලැබුණ නම් මම බටහිර සංගීතය ඉගෙන ගන්නවා කියා තාත්තා මට පවසා තිබෙනවා. තාත්තට එහෙම වියදම් කරල ඉගෙන ගන්න වත්කමක්වත් තිබුණෙ නැහැ. නමුත් ඔහු ඉතා කැමැත්තෙන් බටහිර සංගීතය රස වින්ඳා.
රසික කොටුදුරගේ