Home » AI ChatGPT වලින් මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්ද..?

AI ChatGPT වලින් මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්ද..?

ආචාර්ය ‍රොමේෂ් රණවන

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

හනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ විශේෂවේදි උපාධියක් හිමිකර ගත් ආචාර්ය රොමේෂ් රණවන, එංගලන්තයේ ඔක්ෆර්ඩ් සරසවියෙන් සිය ආචාර්ය උපාධිය හිමි කර ගත්තේ ය.

AI තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර උපදේශකයකු ලෙස වසර ගණනාවක් සේවය කළ ඔහු වර්තමානයේ ඩයලොග් ආසියාටා හි Group Chief Analytics and Al Officer Group Analytic & Ai – General තනතුරේ කටයුතු කරයි. එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ AI තාක්ෂණය පිළිබඳ ජාතික කමිටුව හෙවත් Committee to Formulate a Strategy for AI හි සභාපති ධුරය හොබවන ආචාර්ය ‍ රොමේෂ් රණවන සමඟ මේ කතාබහ පෙළ ගැසෙනුයේ, මෙරට මාධ්‍ය භාවිතාව තුළ AI තාක්ෂණයේ භූමිකාව විමසනු පිණිස ය.

AI කොහොමද මාධ්‍යවේදියකු ගේ භූමිකාව ඉටුකරන්නේ…

AI කියන්නේ එක් දේකට සීමා නොවී ඕනෑම විෂයකට භාවිත කළ හැකි මෙවලමක් හෙවත් General purpose tool එකක්. AI වල බලපෑම හැම අංශයකටම තිබෙනවා. Smart දුරකතනයක් පාවිච්චි කරන හැමෝම දෛනික ජීවිතයේ ගූගල් හරහා යමක් හොයන විට නොදැනුවත්වම AI භාවිත කරනවා. ඒ වගේම, ඊමේල් ලිපිනය ටයිප් කරද්දී ඉතුරු ටික ඉබේ එන්නේ AI අපිට එය හොයා දෙන නිසා. ටැක්සියක් හොයද්දී කෑම එකක් ඇණවුම් කරද්දී ඒ දේවල් සොයා දෙන්නේ AI. ඔය වගේ දෛනික ජීවිතයේ ගනුදෙනු කරන දහස් ගණනක් ක්ෂේත්‍රවල මේ ගෙවුණු අවුරුදු හතර පහ තුළ අප නොදැනුවත්වම AI භාවිත කර තිබෙනවා.

අනූ ගණන්වල අන්තර්ජාලය භාවිත කළේ අධ්‍යාපන අධ්‍යාපනඥයින්, වෘත්තීයවේදීන් වැනි විශේෂිත පුද්ගලයින් පමණයි. අවුරුදු ගාණක් ගියාට පස්සේ Internet කියන්නේ, හැමෝටම අත්‍යවශ්‍ය සහ හැමෝම පාවිච්චි කරන දෙයක්. දැන් AI තිබෙන්නේත් ඒ තැන.

ඇත්තටම මොනවද AI වලින් කෙරෙන්නේ….

සාමාන්‍ය කාලයක් තුළ මිනිස් මොළයට කළ හැකි දේ පරිගණකයිනුත් කරන්න පුළුවන්. නමුත් AI වලින් කරන්නේ මේ වෙනකම් මනුෂ්‍යයන්ට කරන්න අමාරු සියුම් දේ. උදාහරණයක් ලෙස චිත්‍රයක් පෙන්වා ඒ ගැන ඇහුවොත් මොනවද ඒකෙ තියෙන්නේ කියලා, විග්‍රහාත්මකව පැහැදිලි කරනවා. හඬ පටයක් ඇහුණොත්, එහි මොනවද කියන්නේ කියන එක ගැන විග්‍රහ කරනවා. ඒ වගේ හැකියාවන් හෙවත් Abilities ටිකක් ඒ AI ගෙනැත් තිබෙනවා. ඒ පහසුකම පාවිච්චි කර එදිනෙදා කටයුතු තව සරල සහ පහසු කරගන්න පුළුවන්. හැබැයි AI කියන්නේ හොඳ නරක දෙකම මිශ්‍ර වූ මෙවලමක්.

ඒ කියන්නේ….

ඉස්සර යම් වාර්තාවක් කියවන්න විශ්ලේෂණය කරන්න සමහර විට කණ්ඩායමක් අවශ්‍යයයි. දැන් මිනිස් ශ්‍රමය නැතිව AI මඟින් ඉතා පහසුවෙන් ඒ දේ කරන්න පුළුවන්. ඒක වාසියක්. හැබැයි අනෙක් අතට, මිනිස් ශ්‍රමය අනවශ්‍ය හෙයින් රැකියාවලට යම් බලපෑමක් ඇති කරනවා.

මාධ්‍ය ක්‍ෂේත්‍රය කියන්නෙත්, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය නිසා හුඟක් වෙනස් වෙමින් පවතින දෙයක්. මාධ්‍ය ආයතනවලට තිබෙන ලොකුම අභියෝගය තමයි වියදම් අඩු කිරීම සහ අන්තර්ගතයේ ගුණාත්මක බව වර්ධනය කිරීම. එහෙම බලද්දී AIවල වැඩිම බලපෑමක් සිදුවෙන ක්ෂේත්‍රයක් තමයි ජනමාධ්‍යවේදය කියන්නේ.

උදාහරණයක් ලෙස, යම් ලිපියක් සකස් කිරීම සඳහා පිටු 60ක මහ බැංකු වාර්තාවක් කියවා එයින් අවශ්‍ය තොරතුරු ටික එළියට ගන්න, සාරාංශ ගත කරන්න දහ දෙනකුට පැය කිහිපයක් යනවා නම්, AI තාක්ෂණයට පුළුවන් විනාඩි ගණනක් තුළ දත්ත රැස්කර ඒවා විශ්ලේෂණය කරන්න.

ඩේටා කලෙක්ෂන් රිසර්ච් එකක් කියන්නේ ඒ දේ. එය AI වලින් ලබා ගත හැකි ප්‍රබල වාසියක්.

ඕනෑම කෙනකුට AI හරහා ලේඛකයකු විය හැකිද…

AI හරහා ඕනෑම කෙනෙකුට තොරතුරු ගොනු කර ගත හැකියි. පරිවර්තකයෙක් වීමේ යම් හැකියාවක් තිබෙනවා. හැබැයි පරිපූර්ණ මාධ්‍යවේදියෙක් වෙන්න නම් බැහැ. මොකද, කොයිම වෙලාවකවත් 100%ක් AI වලින් සාර්ථක ලිපියක් ලියන්න බැහැ. ඒක කරන්න ගත්තොත් නිර්මාණශීලී ලේඛන හැකියාව නැතිවෙලා යනවා. හැම පත්තරේකම ලිපි, එක වගේ වෙනවා. නමුත් අලුත් අදහස් ගන්න ChatGPT හොඳයි. අපිට පේන්නේ අදහස් පහක් නම් AI ChatGPT අපිට අදහස් විසි පහක් පෙන්වා දෙයි. ඒකෙන් ලේඛකයාට හිතන්න පුළුවන් තව මානයන් පෙන්වනවා.

ඒ හරහා නිර්මාණශීලිත්වය දියුණු කරගන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම යමක් ලියූ පසු AI ChatGPT හරහා ඒ ලේඛනය තව විදියකට, තව වයස්‌ කාණ්ඩයකට ගැළපෙන්න ලිවීමට අදහසක් ගන්න පුළුවන්. AI තාක්ෂණයෙන් දෙන තොරතුරු හෝ අදහස් ඒ හැටියටම පළ කිරීමෙන් සාර්ථක ලේඛකයකු හෝ මාධ්‍යවේදියකු ගේ කාර්යභාරය ඉටුවන්නේ නැහැ.

ඒත් මේ වන විටත් එවැනි ලිවීම් සිදුවනවා නේද…

එය මේ වන විට ජනමාධ්‍ය තුළ ගොඩනැඟෙමින් තිබෙන විශාල ගැටලුවක්. AI වලින් ලියැවෙන ලිපි එන්න එන්නම වැඩිවීම සහ සමාජ මාධ්‍යයේ සංසරණයවීම විශාල වශයෙන් සිදුවනවා. ගැටලුව තමයි මේ ලිපිවල තිබෙන දේ පිළිබඳ විශ්වාසයක් නැතිවීම. මොකද ආයතනයකට වගකීමකින් බැඳී ලියූ දෙයක් නොවන නිසා, එවැනි ලිපිවල වගකිවයුත්තෙක් නැහැ. පාඨකයා සහ මාධ්‍ය ආයතන සමඟ තිබෙන සබඳතා ගොඩනැඟෙන්නේත් නැහැ. උදාහරණයක් විදියට ලේක්හවුස් ආයතනයේ ඩේලි නිවුස් පුවත්පත එසේ නැතිනම් අහවල් රූපවාහිනී චැනල් එකේ වැඩසටහන… වගේ තමන්ට ලැබෙන තොරතුරු සහ පුවත් පිටුපස තිබෙන ආයතනය පිළිබඳ ඔවුන් දැන සිටින විටයි, ඒ ප්‍රවෘත්තිය පිළිබඳ ඔවුන්ට අදහසක් තිබෙන්නේ.

නමුත් AI ලිපිවල දී එහෙම එකක් නැහැ. මේ තොරතුරු විශ්වාස කරන්න පුළුවන්ද…? යන ප්‍රශ්නය පාඨකයාට ශ්‍රාවකයාට ඇතිවනවා. මොකද, ඒ ප්‍රවෘත්ති ලැබෙන්නේ දන්නෙම නැති පාර්ශ්වවලින්.

ඒ වගේම ඒ වගේම මේ, Information Overload කාලයක්. කොයි එක හරි ද, කොයි එක වැරැදි ද…කියන තරමට ප්‍රවෘත්ති සහ තොරතුරු බහුලයි. සමාජ මාධ්‍ය Fake News නිසා, ප්‍රවෘත්තියක විශ්වාසය කියන දේ සහමුලින්ම බිඳ වැටෙනවා.

හැබැයි Investigation Research වලට AI හරිම ප්‍රයෝජනවත් tool එකක්. එයින් මාධ්‍යවේදියකු ගේ ඵලදායිතාව වෙනම ලෙවල් එකකට රැගෙන යනවා. වාර්තා විමර්ශන දැන් ෆෝන් එකෙන් හෝ ලැප්ටොප් එකෙන් කරන්නට පුළුවන්වීම විශේෂ වාසියක්.

ඊළඟ කාරණය තමයි ලිපියක් ලියන පිළිවෙළට සහ නිර්මාණශීලිත්වයට AI ChatGPT කියන්නේ සහායකයෙක්. ලේඛන කලාව තුළ AI ChatGPT සහායකයෙක් මිස ආදේශකයෙක් කර නොගැනීම තමයි සාර්ථකම දේ.

තුන්වැනි කාරණාව තමයි, අද මේ ක්ෂේත්‍රයේ ලොකුම ඉල්ලුමක් ගොඩනැඟී තිබෙන්නේ personalization කියන සංකල්පයට. ඒ කියන්නේ අපි යමක් ලියනවා නම් එය විවිධ වයස් කාණ්ඩවලට ගැළපෙන අයුරින් ලිවීම සහ ඉදිරිපත් කරන විදිය වෙනස් කිරීම. ඉස්සර එක පුවත්පතක් මුළු රටම කියවනවා. දැන් එක ලිපියක් එක එක වයස් කාණ්ඩවලට ගැළපෙන විදියට වෙනස් කරන්න AI තාක්ෂණයට පුළුවන්. මේ නිසා කියැවීමෙන් ඈත් වූ අය පවා කියවීමට ළං කර ගැනීමේ හැකියාව තිබෙනවා.

අලුත්ම කාරණය තමයි දත්ත භාවිත කර, Deep Dive Investigations හෙවත් ගැඹුරු විශ්ලේෂණාත්මක ඉදිරිපත් කිරිම් ලිවීමේ හැකියාව.

මිනිසුන් කණ්ඩායම් දින ගණනක් මාස හෝ අවුරුදු ගණන් විමර්ශනය කිරීම කිරීමෙන් පමණක් ලබා ගත හැකිව තිබූ සංකීර්ණ දත්ත වාර්තා දැන් පොඩි වෙලාවකින් හොයන්න, ලියන්න, රූප සටහන් ගොඩනඟන්න මේ ඔස්සේ හැකියාව ලැබෙනවා.

මේ වගේ සංකීර්ණ සහ ගැඹුරු දේ AI තාක්ෂණයෙන් විසඳා ගත හැකියි. හැබැයි 100%ක් මාධ්‍යවේදියෙකුගේ භූමිකාව කරන්න බැහැ. ඒ වගේම එහි වෙනසත් වටහාගත යුතුයි. නැතිනම් හැම මාධ්‍යවේදියෙකුගේම ලියැවිල්ල එක වගේ වේවි. හැම ආයතනයක්ම එක වගේ Tool පාවිච්චි කළොත් එකම විදියේ පුවත්පතක් තමයි ලැබෙන්නේ.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ AI විසින් ජය ගැනීමට උපකාර කර ඇති වඩාත් වැදගත් අභියෝග මොනවාද…

ඒක ටිකක් සංකීර්ණ තත්ත්වයක්. ඒ අභියෝග උදාවන්නේ AI පාවිච්චි කරන්නේ මොනවාටද, කියන දේ මතයි. කවදාවත් මාධ්‍යවේදියෙකුගේ පාලනය ඒ අය තාක්ෂණයට දිය යුතු නැහැ. අවසාන ප්‍රතිඵලය තාක්ෂණයට තීරණය කරන්න නොදිය යුතුයි. මාධ්‍යවේදියෙකු ගේ අධීක්ෂණය යටතේ පමණයි AI තාක්ෂණය මෙහෙයවන්නට ඕනේ. ඒ තුළ මාධ්‍යවේදියෙකුගේ මැදිහත්වීම අත්‍යවශ්‍යය යි. AI ChatGPT භාවිත කරනවා නම් ලේඛකයන්ට සදාචාරයක් තිබිය යුතුයි පාඨකයාට කියන්න අපි මේ තොරතුරු ලබා ගත්තේ AI තාක්ෂණය පාවිච්චි කරලා බව කියන්න. අනිත් කාරණාව තමයි AI කියන්නේ Black Box එකක්. මොනවා හරි දෙයක් ඇතුළට දානවා. එයින් මොනවා හරි දෙයක් එළියට එනවා. ඒ තොරතුරු පිළිබඳ කාටවත් වගකීමක් නෑ. එනිසා ඒ වගකීම දැරිය යුත්තේ AI වෙතින් තොරතුරු ලබා ගත් තැනැත්තා හෝ මාධ්‍යවේදියා විසින්මයි.

AI විසින් මාධ්‍යයට හඳුන්වා දෙන නව අභියෝග මොනවාද…

හුඟක් අභියෝග තිබෙනවා. AI සිස්ටම් එකක් හදන්නේ දත්ත පාවිච්චි කරලා. ප්‍රශ්නය තමයි, AI විසින් එම දත්ත ගත්තේ කොහොමද කියන එක. ChatGPT හැදුවේ අන්තර්ජාලයේ තිබෙන හැම තොරතුරක් ම ඩවුන්ලෝඩ් කරලා. ඒ සිස්ටම් එක පුහුණු කරලා. ඒ අය දැන් ඒකෙන් සල්ලි හොයනවා.

මේ වන විට ඩේටා අයිති කාටද කියන කාරණය පිළිබඳ ක්‍රමවේද සකසමින් පැවතීම තමයි මේ ක්‍ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ලොකුම වෙනස. AI තාක්ෂණය තුළ යම් මොඩල් එකක් තිබෙනවා. අනෙක් පැත්තෙන් තොරතුරු හෙවත් ඩේටා තිබෙනවා. මොඩල් එක හැදුවේ කවුරුහරි විද්‍යාඥයෙක්. හැබැයි ඩේටා ටික අයිති ඒ කොම්පැනියට නෙවෙයි. තොරතුරු අයිති හැම කෙනාටමයි. ඉස්සරහට යන්න යන්න බුද්ධිමය දේපළ යටතේ ඔබගේ පුවත්පතක ලිපියක් හෝ තොරතුරු යම් රූපවාහිනී මාධ්‍යයක් ගන්නවා නම් බුද්ධිමය දේපළක් ලෙස සලකා එය ගතයුතු ක්‍රමවේදයකට අනුව ගැනීම අනිවාර්ය වනවා. පුවත්පතක තොරතුරු අවසරයකින් තොරව රූපවාහිනී වැනි තවත් මාධ්‍යයකට හිතුමතේ භාවිත කළ නොහැකි තත්ත්වයක් උදා වනවා.

ඒ වගේම ඩේටා ආරක්ෂා කරන්නේ කොහොමද සහ තිබෙන ඩේටාවලින් උපරිම වටිනාකම ගන්නේ කෙසේද…කියන කාරණාවට වැඩි වටිනාකමක් එනවා. ප්‍රවෘත්ති ආයතනයක වුණත් ඉදිරි අවුරුදු දහයේ දී හොඳම ප්‍රවෘත්ති සංවිධානය හෝ ආයතනය වන්නේ ඔවුන් සතුව ඇති පෞද්ගලික දත්ත පද්ධතියේ ප්‍රමාණය අනුවයි.

ඉදිරියේදී ප්‍රවෘත්ති ආයතනවලට ඒ හරහා සිදුවිය හැකි බලපෑම කවරේ ද…

කිසිවකුත් ළඟ නැති ඩේටා පද්ධතියක් තමන්ගේ ප්‍රවෘත්ති ආයතනය තුළ රැස්කර ගැනීම අනිවාර්ය වනවා. කොහොමද ඒ දත්ත ආරක්ෂා කරගන්නේ තමන්ගේ ආයතනයට ආවේණික ලිපි ඉදිරිපත් කරන්නේ කෙසේද කියන එක පිළිබඳ විශාල අවධානයක් යොමු කළ යුතු වනවා. ඒ කියන්නේ Unique ඩේටා එකතුවක් හදාගන්න එක සහ ආරක්ෂා කර ගැනීම තමයි මාධ්‍ය ආයතනවලට ඉදිරියේදී එල්ලවන ලොකුම අභියෝගය. ඒවා වෙන කාටවත් නැති ඩේටා විය යුතුයි. ඩේටා රැස් කිරීම, ආරක්ෂා කිරීම සහ අධීක්ෂණය යටතේ මොන දත්තද රැස් කරන්නේ ඒවා කොහොමද Unique විදියට පාඨකයාට ඉදිරිපත් කරන්නේ, දින වකවානු, ඡායාරූප සහ පුද්ගලික තොරතුරු වැනි සවිස්තරාත්මක දේ තිබිය හැකියි. Data Ownership එකක් තමයි ඉදිරියේදී වැදගත්ම කාරණය.

නිර්මාණශීලි ලේඛන කලාවට AI ඉදිරි බලපෑම කවරේ ද…

මාධ්‍යවේදියෙක් පළමු කොට ඉගෙන ගන්න ඕනේ AI භාවිත කරන්නේ කෙසේද කියන එක සම්බන්ධව. මම හැම දවසකම පැය දෙක තුනක්වත් ChatGPT භාවිත කරනවා. මට පිටු බාගේ ලියුමක් ලියන්න අවශ්‍ය නම් මම AI එකට දෙන ප්‍රතිචාරය පිටුවක් හෝ පිටු එකහමාරක්. මොකද මම තමයි කළ යුතු කුමක්ද කියා AI තාක්ෂණයට ගයිඩ් කරන්නේ. මම හැමවෙලේම කියන්නේ ‘you have to control the AI…’ මගේ පාලනය යටතේ මට ඕන දේ මම AI වලින් ගන්නවා. මේක තමයි සියලුම පුරවැසියන් ඉගෙන ගත යුතු දේ. තොරතුරු ලබාගැනීම පමණක් නෙවෙයි, වැඩේ කොලිටිය තව වැඩි කරගන්න එකයි මෙයින් කළ යුතු.

ඒ අනුව, හරි විදියට පාවිච්චි කළොත් නිර්මාණ ලේඛනයට AI ලොකු උත්තේජනයක් ඇති කරනවා. ඵලදායීතාවයේ විශාල වර්ධනයක් ඇති කරනවා. ඒ කියන්නේ මාධ්‍යවේදියකු ඉස්සර ලිව්වේ ලිපි දෙකයි නම්, දැන් ඊට වඩා හොඳ කොලිටි ආටිකල් දහයක් ලියන්න මේ හරහා හැකියාව ලැබෙනවා. පුවත්පත් කලාවට අවශ්‍ය එයයි.

තමන්ගේ රචනා ශෛලිය AIවලින් වඩාත් හොඳින් ඉස්මතු කර ගන්න පුළුවන් වෙන්නේ, උපදෙස් දී අත්‍යවශ්‍ය තොරතුරු ගොනු කර ගත්තොත් පමණයි. ඒ සඳහා දෙන උපදෙස් දිග වුණාට කමක් නැහැ. AI තාක්ෂණයට බුද්ධියක් නැහැ. කටපාඩම් කරපු දේ තමයි නැවත තොරතුරු ලෙස අපිට ලැබෙන්නේ. මිලියන ගණනක් ලිපි ඒ තුළට ඇතුළත් කර තිබෙන නිසා ඒ තෝරා ගැනීම පහසු කරන්න උපදෙස් අවශ්‍යය යි. ඇත්තටම මේ Artificial Intelligent (AI) කියන වචනය ලෝකෙට ආවේ 1950 ගණන්වල. ඒ වුණාට මම මේකට කියන්න කැමැති Machine Learning කියලයි.

AI තාක්ෂණයේ නිශ්චිත අයිතිකාරයා කවුද…

අයිතිකරුවෙක් නැහැ. Openai, Google, Facebook… මේ හැමෝම AI පුහුණු කරන්නේ දත්ත හෙවත් ඩේටාවලින්. ඒ නිසා තව අවුරුදු පහකින් ඔය සේරම සමාජ ජාල එකක් බවට පත්වීමට ඉඩ තියෙනවා. එතකොට මේ කොම්පැනිවලට අන්තර්ජාලයේ තිබෙන ඩේටා අරගෙන පුහුණු කරන්න බැහැ කියන නීතිය එනවා. උදාහරණයක් විදියට, Daily News පත්තරේ ලිපි ටික AI ගන්නවා නම්, ගෙවලා තමයි ගන්න වෙන්නේ. එතකොට ඇති වන වෙනස තමයි AI මුලින්ම කියනවා, තමන්ට ප්‍රවිෂ්ට විය හැකි මොන ඩේටාවලට ද කියන එක. අනිවාර්යයෙන්ම තව අවුරුදු හතර පහක් ඇතුළත ඔය තත්ත්වය ඇති වෙන්න ඉඩ තියෙනවා. එතකොට දැන් කරන විදියට නිකම්ම ඩවුන්ලෝඩ් කරලා ගන්න බැරිවෙනවා. AIවල බැලන්ස් එක නැති වනවා. මොකද daily news එකට කියන්න පුළුවන්, අපි facebook එකට විකුණනවා. හැබැයි ගූගල් එකට විකුණන්නේ නැහැ කියලා. එතකොට ගූගල්වල daily news ලිපි නැහැ. අන්තර්ජාලයේ මිලියන ගණනක් තොරතුරු අරගෙන පෝෂණය වෙන එක යම් පමණකට සීමා වෙනවා.මොකද, AI වල වටිනාකම තිබෙන්නේ AI සතු ඩේටාවලයි.

AI අවදානම සහ භයානක කම ගැන ඔබ කීවා…

ඔව් තව ඉස්සරහට යන්න යන්න AI සිස්ටම් අලුත් වනවා. දැනටත් ඇමෙරිකා බැංකු ණය ශ්‍රේණිගත කිරීම්වලදී වගේම ණයක් ලබාදෙන්නේ කාටද යන කාරණය තීරණය කිරිමේ දී AI භාවිත කරනවා. ඔවුන් පුහුණු කළ දත්තවල පහළ ආර්ථික මට්ටමේ අය වැඩි පිරිසක් ඇතුළත් නොවන හින්දා AI එම ණය ස්වයංක්‍රීයව ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තියෙන නිසා දුප්පතුන් බොහෝ පිරිසකට ණය ලබාදීම ප්‍රතික්ෂේප කරනවා.

මෙතන තමයි AIවල තිබෙන භයානක සහ පක්ෂග්‍රාහී බව ඉස්මතු වන්නේ.

මෙයට හේතුව වන්නේ, AI දත්ත මත පුහුණු කර ඇති නිසා සහ පුහුණු කිරීමට භාවිත කරන දත්තවල සුදු ජාතිකයින්ට වඩා කළු ජාතිකයින් සිටී නම්, කළු ජාතිකයින් වැරැදිකරුවන් වීමට වැඩි ඉඩක් ඇති බව AI උපකල්පනය කරනවා. මෙය දත්තවල ‘Bias’ ලෙස හඳුන්වන අතර, එය AI හි ඇති විශාලතම ගැටලුවලින් එකක්. පුහුණු කිරීම සඳහා භාවිත කරන දත්ත පක්ෂග්‍රාහී වූ විට AI පක්ෂග්‍රාහී වනවා. ඊට, අදාළ තාක්‍ෂණ සමාගම් වගකිව යුතු අතර පරිශීලකයින් එවැනි නැඹුරුවක් පිළිබඳ දැනුම්වත් විය යුත්තේ මෙහිදීයි.

ඒ වගේම ඔබ වෛද්‍යවරයකු විස්තර කිරීමට AI ගෙන් ඉල්ලා සිටියහොත්, එය පිරිමියකු ගැන විස්තර කරනවා. ඔබ හෙදියක් විස්තර කිරීමට ඇසුවොත්, AI කාන්තා හෙදියක් විස්තර කරනවා. මෙය පක්ෂග්‍රාහීත්වයට තවත් උදාහරණයක්.

අපේ රටේ මාධ්‍යවේදීන්ට අදාළව ගත්තොත් AIවල සැඟවී ඇති මේ සීරියස් තත්ත්වය ගැන හුඟක් අය දැනුම්වත් නැහැ. AIවල පක්ෂග්‍රාහී තොරතුරු තිබෙන බව මාධ්‍යවේදීන් සෑම විටම ඔළුවේ තියාගන්න ඕනේ. ඒකයි, AI කිසිදු විටෙක Blindly පාවිච්චි කරන්න එපා කියන්නේ. අපි නොදැනීම පක්ෂග්‍රාහි තොරතුරු AI ලබා දෙනවා. මාධ්‍යකරණයට හානියක් විය හැකි තොරතුරු යම් නියාමනයකට, පාලනයකට ලක් කරන්න ඕනෙ කියා කීවේ ඒකයි.

ඒ වගේම මාධ්‍යවේදීන් ආයතනික වශයෙන් AI භාවිත කරන්න කලින් ආයතනයේ කවුරුන් හෝ යම් ඇගැයීමකට ලක් කළ යුතුයි, ඒ පාවිච්චි කරන AI ටූල් එකේ තිබෙන පක්ෂග්‍රාහීත්වයන් මොනවා ද කියන එක ගැන.

අපේ dialog ආයතනය ඇතුළෙත් AI ටූල් පාවිච්චි කරද්දී, ඒවා Whitelist සහ Blacklist ලෙස නම් කර තිබෙනවා. මොකද අපිත් තවම ඉගෙන ගන්නවා, මේ තෝරා ගැනීම කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. මොකද, AI ලබා දෙන්නේ හරි හෝ වැරැදි තමන්ට ඇතුළු කර තිබෙන තොරතුරු සහ දත්ත පමණයි. මේවා නිවැරැදි කිරීම් හෝ යාවත්කාලීන කිරීම් සිදු වන්නේ ඒ සමාගම්වලට අවශ්‍ය කාල සීමාවේ පමණයි.

ඇයි එහෙම වෙන්නේ…

AI හදන එක ඉතා මිල ඉහළ කාර්යයක්. මෑතකදී OpenAI සමාගම ChatGPT එක පාරක් පුහුණු කරවන්න ඒ කියන්නේ, දත්ත සහ තොරතුරු ඇතුළත් කිරීම ප්‍රකාශ කළා. එක වරකට වියදම අමෙරිකානු ඩොලර් මිලියන හැටක් . ඒ නිසා මේ සමාගම් හැම වෙලාවෙම යාවත්කාලීන කිරීම් කරන්නේ නැහැ . ඒ කරන එක වතාවකට ඩොලර් මිලියන 60ක් වැය වනවා වගේම, පරිගණක 10,000ක් ක්‍රියාත්මක කළ යුතු වනවා. මාස එකහමාරක කාලයක් ගත වනවා. ඒ නිසා ඒ අය මේ නිවැරැදි කිරීම් කරන්නේ ඊළඟ Update එකේදි පමණයි.

OpenAI Training Run එකේ ලිපි ට්‍රිලියන ගණනක් තිබූ බවයි කියැවෙන්නේ. ඒ කියන්නේ ඉන්ටනෙට් එකේ තිබෙන හැම ලිපියක්ම download කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතු වෙනවා. අනික කවදාවත් Manually පරික්ෂා කර, වැරැදි ලිපි තෝරලා ඇතුළත් කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ඒ නිසාම දෝ විකල්පයක් පැමිණෙමින් තිබෙනවා.

ඒ මොකක්ද…

Responsible AI. ඒ කියන්නේ මේ මෙවලම නිර්මාණය කරන අයම එහි වගකීමත් භාර ගත යුතුයි කියන කාරණාව. ඊට අනුව සාධාරණත්වය සහ පක්ෂග්‍රාහීත්වය ඔවුන් පරීක්ෂා කර ඉදිරිපත් කළ යුතුයි. මේ නිසා හුඟක් සමාගම්වලටත් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා. ඒ අයටත් AI මෙවලම පක්ෂග්‍රාහී නැහැ, සාධාරණයි කියන එක ඔප්පු කරන්න වෙනවා. ඒ වගේම ඒ සඳහා නීති හැදෙමින් පවතිනවා.

මේ වන විට ඇතැම් රටවල High Risk, Risk සහ No Risk System කියන සංකල්ප හැදෙමින් පවතිනවා. High Risk කියන්නේ මිනිසුන්ගේ ජීවිතවලට දැඩි බලපෑමක් කළ හැකි දේ. ඒ කියන්නේ මෙඩිකල් සිස්ටම්, රියැදුරන් රහිත කාර් වැනි විශේෂ අවස්ථා.

ලංකාවේ මේ තත්ත්වය සම්බන්ධ කරගත් විට, AIවල පක්ෂග්‍රාහී බව සහ සාධාරණත්වය පිළිබඳ තහවුරුවක් තිබිය යුතුයි. එය මානව අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කළ යුතුයි. Blindly භාවිත කළොත් එහි නරක බලපෑම මාධ්‍යවේදින්ට යි .

ඒ වගේම සමහර මාධ්‍ය ප්‍රකාශ කරනවා මේ වන විට මොනවටද අපි AI පාවිච්චි කරන්නේ කියන එක ගැන. ඒ නිසා AI වල තිබෙන භයානක පැත්ත ගැන ලොකු අවබෝධයක් මාධ්‍යවේදීන්ට තිබිය යුතුයි.

ඩයලොග් ආයතනයේ AI භාවිතය කෙබඳු ද…

අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු කාර්යක්ෂම කිරීමට, පාරිභෝගික අවශ්‍යතා අනුව වඩාත් උචිත සහ සමීප සේවා ලබා දීමට සහ සාධනීය සමාජ බලපෑමක් ඇති කරන Doc 99 වගේ නව ව්‍යාපෘති සමාජ ගත කිරීමට අපගේ AI භාවිතය වැඩි වශයෙන් යොදා ගැනෙනවා.

ඒ වගේම මුලින්ම AI භාවිතයට ආ සමාගමක් ලෙස විශ්වවිද්‍යාල, පාසල් සහ ආයතනවලට අපගේ දැනුම දෙන්න අපි කැමැතියි. සිංහල ChatGPT පාසල්වලට දෙන්නේ කොහොමද කියන කාරණාව ඇතුළු ඉදිරි ව්‍යාපෘති ගණනාවක් පිළිබඳ අපගේ අවධානය යොමු වී තිබෙනවා.

අපේ රටේ AI සඳහා ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා ද…

ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් සහ AI ප්‍රතිපත්තියක් වශයෙන් අපි නිර්මාණය කළ ඒ ජාතික ප්‍රතිපත්තිය පසුගිය අගෝස්තුවේදී රජයට භාර දුන්නා. ඒ තුළ ලංකාවට ගැළපෙන සිස්ටම් හැදිය යුතු යැයි පෙන්වා දුන්නා.

උදාහරණයක් විදියට ලකාවේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් හෝ ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් හෝ කෘෂිකර්මය සම්බන්ධයෙන් හදන සිස්ටම්, රටට ආවේණික දේ විය යුතුයි. මොකද වෙන රටකින් ගේන සිස්ටම් එකක තොරතුරු නිර්මාණය කර තිබෙන්නේ ඒ රටේ මිනිසුන්ගේ දත්ත ඇතුළත් කරලා. ඒවා අපේ රටට හරියන්නේ නැහැ. මේ සඳහා අපේ පර්යේෂකයන් ඉදිරිපත් විය යුතුයි. ඒ අයට අවශ්‍ය යටිතල පහසුකම් දිය යුතුයි. AI සිස්ටම් හදන්න පුළුවන් සමාගම් සහ අයෝජකයින් ඉදිරිපත් විය යුතුයි. ඒ සඳහා අවශ්‍යයි දත්ත එක් රැස් කිරීමේ මධ්‍යස්ථානයක් තිබිය යුතුයි. විශ්වවිද්‍යාල පද්ධතියේ දැනුම ඒකරාශී විය යුතුයි. බැංකු සහ ව්‍යාපාරික ප්‍රජාව AI පුරුදු පුහුණු විය යුතුයි. ඒ වගේම Research & Development සඳහා දැඩි අවධානයක් දිය යුතුයි. මේ කාරණා ම තමයි අපේ ජාතික ප්‍රතිපත්තිය තුළත් අඩංගු වූයේ.

ඡායරූප – විමල් කරුණාතිලක

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division