Home » කළු සුද්දන්ගෙන් රට බේරා ගැනීම ඔබේත් මගේත් වගකීමක්

කළු සුද්දන්ගෙන් රට බේරා ගැනීම ඔබේත් මගේත් වගකීමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ හිටපු මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ පටන් මේ දක්වා පැවති දේශපාලන ගමන්මඟ වත්මන් පාලනයත් සමඟ වෙනස් වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ හිටපු මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි සමඟ කළ කතාබහකි.

පෙර යටත්විජිත සමයත්, කළු සුද්දන් විසින් ගෙනගිය පසු යටත් විජිත සමයත් හමාර කරමින් ඇරැඹුණු මේ නව පුනරුද සමය ඔබ දකින්නේ කොහොමද?

සැප්තැම්බර් 21වැනිදා ඇති වුණේ පූර්ණ දේශපාලනික සුසමාදර්ශ මාරුවක් නොවුණත් එය සුසමාදර්ශ මාරුවක් කරා ගැබගත් කලල බීජයක අතිශය තීරණාත්මක සහ ඓතිහාසික සන්ධිස්ථානයක් ලකුණු කිරීමක් ලෙස පෙන්වාදිය හැකියි. එසේම මෙතෙක් පැවති පසු යටත්විජිතවාදී දේශපාලනයෙන්ද තීරණාත්මක ආකාරයෙන් වෙනස් වූ තත්ත්වයක් ලෙසයි මම මෙය දකින්නේ.

1948 දී අප බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලැබුවත්; එය ඉන්දියානු නිදහස් සටනින් පසුව ඉන්දියාවේ ඇති වූ ආකාරයේ ව්‍යුහාත්මක වෙනසක් වුණේ නැහැ. ශ්‍රී ලංකාවේ නිදහසින් පසුව 2024 සැප්තැම්බර් 21 වැනිදා දක්වා පැවැතියේ යටත්විජිත වාහල් මානසිකත්වයකින් හෙබි කළු සුද්දන්ගේ පාලන ව්‍යුහයක්. මේ ටයිකෝට් ඇඳ පැලඳ ගත් කළු සුද්දන් විසින් ගෙන ගියේ සුද්දන් වගේම ප්‍රභූ දේශපාලනයක්. එනිසා අපේ රටට භුමියේ ස්වාධීනත්වයක් හිමිවුවත් ජනතාවට සැබෑ නිදහසක් ලැබුණේ නැහැ. ඉංග්‍රීසී ගැති කළු සුද්දන්ගේ වසර 76ක පාලනයත් සුදු පාලනයේම කළු දිගුවක්. ඒ නිසා 1948 සිට 2024 දක්වා වසර 76ක් ම අපි ජීවත් වුණේ අපේම කළු සුද්දන් විසින් අපව යටත් කරගෙන සිටි යටත්විජිත සමයකයි. ඔවුනුත් ඇඳ පැලඳ ගෙන හිටියේ, ගමන් බිමන් ගියේ, හැසිරුණේ කතා කළේ සුද්දන් විදියටමයි. උදාහරණයකින් කිව්වොත් ඩී. එස්. සේනානායක, ජෝන්. කොතලාවල වගේ ප්‍රභූන් ගමන් කළේ අශ්වයා පිටින්. ඩී.එස්. සේනානායක අවසන් ගමන් ගියෙත් අශ්වයා පිටින් වැටිලා. එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක කේම්බ්‍රජ් විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගෙන මෙහෙට එද්දී හරියට සිංහලවත් කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.

නමුත් ඉන්දියාවේ නායකයන් එහෙම නෙමෙයි; ඔවුන් විදේශගතව අධ්‍යාපනය ලැබුවා වුණත් කෝට් කලිසම් ඇන්ඳා වුණත් අප තරම් සුද්දන් අනුගමනය කළේ නැහැ. විශේෂයෙන්ම මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු, මොහොමඩ් අලි ජින්නා, සුභාෂ් චන්ද්‍ර බෝස්, රබින්ද්‍රනාත් තාගෝර් ආදී නොයෙක් දෙනා පෙරට එමින් සියලු ජාතීන් එක් ධජයක් යටතට රැගෙන ආවා. ඔවුන් රටේ සියලු දෙනා දේශමාමකව හිතන්න කටයුතු කරන්න පදනම සකස් කළා. නිදහසට පෙර සිටම ඔවුන් ටයිකෝට් ගැලෙව්වා; වේට්ටියට කුර්තාවට මාරු වුණා; ඒ සියල්ලම දේශීය නිෂ්පාදන. ජාතික ගීයෙන් සියලුම ජාතීන්ට ආරාධනා කළා; මව්බිමේ ජයග්‍රහණය උදෙසා නැඟීසිටින ලෙස ඉල්ලා සිටියා. ඔවුන් සිය පැවැත්මෙන්ම ප්‍රයෝගිකව වෙනස් වුණා. නිෂ්පාදන ආර්ථිකයට මුල්තැන දෙමින් ඔවුන්ගේම ආර්ථික ක්‍රමයක් හඳුන්වා දුන්නා.

අද ඉන්දියාව ලෝකයේ තෙවන ආර්ථික බලවතා ලෙස නැඟී එමින් සිටිනවා. ඉන්දියාව අද හඳට රොකට් යවනවා. නිදහස් සටනින් පසුව ඉන්දියාවේ ඇති වූ දේශපාලන ව්‍යුහාත්මක වෙනස එයයි. ඒ ව්‍යුහාත්මක වෙනස ඔවුන්ගේ සාහිත්‍යයෙන්, භාෂාවෙන්, සංගීතයෙන් වගේම සුද්දව එළවපු අරගලයෙනුත් පිළිබිඹු වුණා.

බණ්ඩාරනායක ජාතික ඇඳුමට බැස්සෙ, ගාන්ධි වේටිටියට බැස්ස භාරත දේශය ගැන ඔහු තුළ වූ අවංක හැඟීමෙන් නොවේ, දේශපාලන වාසියට. ඒ නිසා එහෙම දෙයක් ලංකාවේ කළු සුද්දන් අතින් සිදු වුණේ නැහැ. ඔවුන් තමන්ට අවශ්‍ය ඇඳුම් පැලඳුම් ගෙනාවේ පිටරටෙන්. අදත් එහෙමයි. ලංකාවේ නිදහස් සටනක් ඇති නොවූ තරම්. බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයෙන් පසුව අප යටත් වුණේ අපේම එවුන්ට, අපේම කළු සුද්දන්ට; යටත් විජිත නූනත් දේශීය යටත් විජිතවාදයකට. ඒකට අපි නිකමට කියමු යටත් පුරවැසිවාදයකට කියලා. අපි සුද්දන්ගෙන් බැටකෑවට වඩා කළු සුද්දන්ගෙන් බැට කෑවා. ඒ නිසයි මේ ඇති වී තිබෙන දේශපාලන ව්‍යුහාත්මක වෙනස ඉතාම වැදගත් සන්ධිස්ථානයක්.

පළමුවතාවට යටත් විජිතවාදීන්ගෙන් හා කළු සුද්දන්ගෙන් වෙනස්ව දේශීය පාලන ව්‍යුහයක ආරම්භයක් මෙයින් සලකුණු ‍ෙවනවා. මේක තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක්. ඒ වගේම මේ දේශපාලන ශරීරය නොමේරූ කුලුඳුලේ උපන් දරු පැටියෙක් වගේ. ඒ ශරීරය ඉදිරි මැතිවරණයත් සමඟ තව තවත් ශක්තිමත්ව වැඩෙන්නට ඕනෑ. එහෙම වුණොත් පමණ, අපට මේ අලුත් ගමනේ ඉදිරියටම ගමන් කළ හැකි වන්නේ.

ඉන්දියාව යටත්විජිතවාදීන්ට එරෙහිව ගෙන ගිය සටනේ මූලිකත්වය ගත්තේ ප්‍රභූ පැළැන්තිය හා මධ්‍යම පන්තියයි. නමුත් ඔවුන් තමන්ගේ ඒ ප්‍රභූමාන්‍ය ඉස්මතු වීමට ඉඩ නොදී නිර්ප්‍රභූ දේශපාලන භූමිකාවකට අවතීරණ වෙමින් ඉතාම පරෙස්සමෙන් ජනතාව සමඟ මේ ගමන ආවා.

ප්‍රභූ පන්තියට හෝ මධ්‍යම පන්තියට පමණයි අරගලයක් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට හැකි වෙන්නේ. ඔවුන් තමයි ජනතාව අවදි කරමින් මේ ගමනේ සුක්කානම අතට ගන්නේ. ලංකාවේ පසුගියදා සිදු වූ වෙනස තුළත් අප එය හොඳින්ම දැක්කා. මේ රටේ මධ්‍යම පන්තිය තමයි සුක්කානම අතට ගත්තේ. ලංකාවේ පමණක් නෙමෙයි වෙනත් රටවලත් ඇති වූ අරගලවල ස්වරූපයත් ඒකයි. රටක් වැටෙද්දී විශාල වශයෙන් දේවල් අහිමි වෙන්නේ මධ්‍යම පන්තියට. කම්කරු පන්තියට අහිමි වෙන්න දෙයක් නැහැ. ඔවුන්ට සියල්ල අහිමි වී අවසන්. ඒ නිසා වෙනසකට මුල පුරන්නේ මධ්‍යම පන්තියයි. ඔවුන්ට සංස්කෘතික, ශිෂ්ටසම්පන්න පැවැත්මක් අවශ්‍යයි. ප්‍රංශ විප්ලවයට පවා මුල් වුණේ මධ්‍යම පන්තියේ නැඟී සිටීමයි. අනතුරුව තමයි ගොවියන්, කම්කරුවන් ඒ සඳහා එකතු වුණේ. අපේ කම්කරු පන්තියත් එක්ක සාපේක්ෂව බලද්දී මේ රටේ මධ්‍යම පන්තියේ යම් යම් අඩුපාඩුකම් තිබෙනවා.

මාක්ස්ට නම් මධ්‍යම පන්තිය දිරෙව්වෙම නැහැ. මාක්ස්, විශ්වාසය තිබ්බේ කම්කරු පන්තිය මතයි. මක්නිසාද; මේ සමාජ ක්‍රමය පෙරළා දාන්න පුළුවන් ශක්තිය තියෙන්නේ ඔවුන්ට පමණක් බව මාක්ස් කල්පනා කළා. නමුත් මධ්‍යම පන්තියේ සහාය අවශ්‍ය නොවන බව මාක්ස් පවසා නැහැ. මාක්ස් පවා මධ්‍යම පාන්තිකයෙක්. ඔහුගේ මිත්‍රයා ඒන්ගල්ස් ව්‍යාපාරිකයෙක්; හැබැයි දිලිත් ජයවීර, දයා ගමගේ, ධම්මික පෙරේරා වගේ ව්‍යාපාරිකයෙක් නෙමෙයි. ඔහු ඓතිහාසික භෞතිකවාදය හදාරා ලෝකය වෙනස් කිරීමට තම ව්‍යාපාර පවා දන් දීලා. ඒවයින් ලැබෙන ආදායමෙන් තමන් සුඛවිහරණය නොකර මාක්ස් නමැති දරිද්‍රතාවෙන් පෙළිච්ච දාර්ශනිකයගෙ ජීවිතය ගොඩගන්න උදවු වුණු ඒ වගේම මේ සටනට තම දැනුමින් හා පැවැත්මෙන් සම්මාදම් වෙච්ච දැවැන්ත චරිතයක්. ඔහු මිනිස්සුන්ට දෙන්න ගෙනාපු ඇන්ටිජන්වලින් ගහන්න ගිය කෙනෙක් නෙමෙයි. පිකාසෝ පවා මධ්‍යම පාන්තිකයෙක්. නමුත් ඔහුගේ නිර්මාණ විශේෂයෙන්ම, ස්පාඥ්ඥ ඒකාධිපති ෆ‍්‍රැන්කෝගේ පාලන සමය විවේචනයට ලක්කරමින් ඇඳි දේශපාලනික සිතුවමක් වූ ගුවර්ණිකා සිතුවම රස විඳින්නේ මධ්‍යම පන්තිය පමණක් නෙමෙයි. එය මුළුමහත් මානව සංහතියටම ප්‍රදානය කළ විශිෂ්ට කලා කෘතියක්. ඒ නිසා මේ ගමන අනෙක් ජන කොටස් වෙත රැගෙන යා යුත්තේ ඔවුන්. ඔවුන්ගේ සමාජ පරිකල්පනය දියුණු කිරීමට මැදිහත්විය යුත්තේ ඔවුන්. මා සිදු කරන්නෙත් එවැනිම වූ කාර්යයක්.

ලෝක දේශපාලනික වටපිටාවත් එක්ක මෙවැනි ව්‍යුහාත්මක වෙනසක් සහිත දේශපාලන ගමනකට අභියෝග රාශියකට මුහුණදීමට සිදු­‍ෙවනවා. ඒ පිළිබඳ ඔබේ කියැවීම කවරාකාර ද?

පෙර පැවති බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයටත් එයින් පසුව පැමිණි ‘පසු‘ යටත්විජිතවාදයටත් අනතුරුවයි මේ නව තත්ත්වය උත්පන්න වී තිබෙන්නේ. එය අප ඉතාම සංකීර්ණව හා ඉතාම පරෙස්සමෙන් තේරුම් ගත යුතුයි. මේ වනවිට භූ දේශපාලනය විශාල වෘක්ෂයක් ලෙස වැඩී අවසන්. ඒ හා සාපේක්ෂව බලන විට අපි දේශපාලන මොටෙයියක්. අර රූස්ස ගස් එක්ක හැප්පෙන්න නම් අපි මේ මොටෙයිය ඉතාම පරෙස්සමෙන් ශක්තිමත්ව රැකගන්න ඕනෑ. භූ දේශපාලන කලාපය තුළ තීරණාත්මක අයුරින් චීන බලවතා ඉන්නවා, ඉන්දියානු බලවතා ඉන්නවා, අමෙරිකානු බලවතා ඉන්නවා. මේ තුන්ගොල්ලන්ම ඩැහැගන්න බලන් ඉන්න සම්පත් අපේ රටේ තියෙනවා. මක්නිසාද අප සිටින්නේ භූ දේශපාලනිකව ඉතා වැදගත් නාවුක ගමන් මාර්ගයක. ඒ තත්ත්වය අප රැකගත යුතුයි. ඒ නිසා අපේ නව දේශපාලනය විය යුත්තේ මේ භූ දේශපාලන පතාකයෝ සමඟ ඉතාම යහපත් සහසම්බන්ධතාවක් පවත්වා ගැනීමයි. චීන රජයෙන් අපේ දරුවන්ට පාසල් නිල ඇඳුම් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගැනීමට සමත් වී තිබෙනවා. ඉන්දියාවේ වගේම ජාත්‍යන්තරයේ සහාය හිමිවී තිබෙනවා. මෙය ආරම්භයේදීම නව රජය පෙන්වූ සුබ ලකුණක්. එහිදී මධ්‍යස්ථව කටයුතු කිරීම ඉතාම වැදගත්.

මේ දේවල් ඉදිරියට ගෙනයන්න නම් ශක්තිමත් ආණ්ඩු බලයක් අවශ්‍යයි. නමුත් අප දකිනවා සමහරු ජනාධිපතිවරයා ප්‍රමුඛ තිදෙනකුගෙන් යුත් කැබිනට් එකෙන් අරක කළා ද මේක කළා ද කියල අහනවා?.

මේ මාස එකහමාරේ දරුවාගෙන් උඹ බොක්සින් ගහලා දින්න ද ; උඹ කැරම් ගහලා දින්න ද; උඹ මීටර් හාරසීය දුවල දින්න ද වගේ තිරස්චීන ප්‍රශ්න ඇසීම අසාධාරණයි. අද විපක්ෂයෙන් වගේම ඇතැම් අයගෙන් අප දකින්නේ එවැනි ප්‍රතිචාරයක්. මෙතැන තියෙන්නේ කුහක දේශපාලන පළිගැනීමක්. අප මේ සැත්කම් ගණනාවක් කරලා අමාරුවෙන් එළියට ගත් දේශපාලන දරුවා බෙල්ල මිරිකල මරලා දාන්නයි ඔවුන් සැරසෙන්නේ. ඒ සඳහා මේ රටේ ජනතාව කිසිම ඉඩක් නොතැබිය යුතුයි.

වසර 76 තිස්සේ කළු සුද්දෝ එකතු වෙලා කළේ; තමන්ගේ පවුල් තරකරගන්න මහජන මුදල් කොල්ලකාපු එකයි. ඥාති හිතවතුන් සතුටු කරපු එකයි. ඩී. එස්ගෙන් පස්සේ ඩඩ්ලි; ඊළඟට කොතලාවලගෙ නෑයෝ; ඊට පස්සේ බණ්ඩාරනායකලා; ජයවර්ධනලා සහ වික්‍රමසිංහලා, ඊට පස්සේ රාජපක්ෂලා මේ විදියට තමයි මේ අය මේ රට හපයක් කරල බංකොලොත් කළේ. මේ තත්ත්වය අනුරලා උගුර කට ලේ රහ වෙනකම් කියල කියලයි දිනා ගත්තේ.

මේ වසර 76 ඇතුළේ අපව යටත් විජිත මානසිකත්වය තුළ හිරකරපු ආකාරය, රට ණය උගුලෙ හිරකරපු ආකාරය, සදාචාරය විනාශ කරපු ආකාරය, අධ්‍යාපනය විනාශ කරපු ආකාරය, මාධ්‍යවේදීන්ගේ, නිදහස් මතධාරීන්ගේ ක්‍රීඩකයන්ගේ, ව්‍යාපාරිකයන්ගේ ජීවිත බිලිගත් ආකාරය, දකින කොට දැනෙන කොට මට; ඔබට විතරක් නෙමෙයි. ලංකාවේ සිටින සෑම ඡන්ද දායකයකුටම යුතුකමක් තියෙනවා; නැවත මේ කළු සුද්දන් අතට මේ රට පත් නොවීමට වගබලා ගන්න. ඒ සඳහා අපට කළ හැකි උතුම්ම කාර්යය ලෙස මම සලකන්නේ ශ්‍රී ලාංකේය දේශපාලන මවගේ ගර්භාශය තුළ පිළිසිඳ ගත් කලලය ගබ්සා වීමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමයි. ඒ දරුවා බිහිකරගෙන ඇති දැඩි කරගත්තොත් ලක් මවට තවදුරට වැළපෙන්න වෙන්නෙ නැහැ. කළ යුත්තේ කලලය ගබ්සා කරන්න බලන් ඉන්න දොස්තරලාගෙන් බේරා ගැනීමයි. නොවැම්බර් 14 වැනිදා කළු සුද්දන් පලවා හැර ජනතාව අතට බලය ගැනීම රටට ආදරය ඇති පුරවැසියන්ගේ යුතුකමක්.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division