ශ්‍රී ලංකාව අධික ණය බරකින් පෙළෙන වග මේ වන විට කිසිවෙකුටත් රහසක් නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන මෙන්ම තවත් රටවලින් ද්විපාර්ශ්වික ගිවිසුම් මඟින් ද ලබාගෙන ඇති මේ ණය කන්දරාව ගෙවා ගන්නේ කෙසේද යන්න සිතද්දී එය දැනුම් තේරුම් ඇති පුරවැසියාට උණ ගැනෙන තරම් හේතුවක් ද වනු ඇත.
ඕනෑම රටක් ණයක් ලබා ගන්නේ තමන් අභිමුව ඇති ප්‍රශ්න විසඳා ගැනීම උදෙසා බව සත්‍යයකි. එබැවින් එම ණය මුදල් නිසියාකාරව අවශ්‍ය දේට විධිමත් හා විනිවිද පෙනෙන ආකාරයෙන් යුතුව අර්ථාන්විත කාර්යයන් සඳහා යෙදවිය යුතුය. එසේ ණය ලබාගෙන ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවලට අදාළ ක්‍රියාකාරකම් අර්ථාන්විතව, විනිවිදභාවයෙන් යුතුව සිදු කරන්නේ යන්න ද වැදගත් වේ. එසේ වූයේ නම් එම නිලධාරින්ගේ වගකීම නිසි පරිදි ඉටු කර ඇතැයි රජයට මෙන්ම පුරවැසියාට ද සෑහීමකට පත්විය හැකිය. එසේ නොවූයේ නම් නිලධාරින්ගේ වගකීම පැහැර හැරීමකි.
සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කරන්නට රුපියල් මිලියන 937ක ණයක්
ඉහත පූර්විකාව ලියන්නට සිදු වන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා ලබා දුන් රුපියල් මිලියන 937ක ණය මුදලක් සම්බන්ධයෙන් සිදු කර ඇති සැක සහිත ක්‍රියාකාරකම් කිහිපයක් නිසාවෙනි. මෙම ණය මුදලට සමගාමීව ශ්‍රී ලංකා රජය උක්ත ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 100ක් ආයෝජනය කර තිබේ.
මෙම ව්‍යාපෘතියේදී උතුරුමැද පළාතේ ක්‍රියාත්මක කළ වැඩසටහන සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් සැක සංකා මතුවේ. 2023 ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා වියදම්වලට අදාළව MED/C/HSEP 04/2023/05 දරන උක්ත විගණන වාර්තාවෙන් ද ඉස්මතු වන්නේ පහත සඳහන් ගැටලුය.
විගණන වාර්තාවෙන් මතු වන සැක සංකා
මෙම විගණන වාර්තාවට අනුව 2023 වර්ෂයේදී මිලදී ගත් මිලිග්‍රෑම් 100 ඩොක්ෂි සයික්ලීන් කැප්සූල්ස් 5,000,000ක් වෙනුවෙන් රුපියල් මිලියන 43ක් ගෙවා ඇත්තේ 2024 වසරේ ජනවාරි 22 වැනිදාය. එසේ වුවත් ව්‍යාපෘතියේ 2023 වසරට අදාළ ව්‍යාපෘති වාර්තාවල එවැනි මිලදී ගැනීමක් ගැන සඳහන් නැති බව විගණන වාර්තාවේ සඳහන්ය.
දඹුල්ල සහ තඹුත්තේගම කලාපවල සෞඛ්‍ය පද්ධති සඳහා පරිගණක පද්ධතියක් (ජාලයක්) ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 7.4ක් වියදම් කර ඇතත් මෙම ව්‍යාපෘතියට අදාළ වාර්තාවල ඒ සම්බන්ධයෙන් කිසිදු සටහනක් නැති බවද විගණන වාර්තාවේ සඳහන්ය. තඹුත්තේගම සහ දඹුල්ල තොරතුරු පද්ධතිය සඳහා රුපියල් මිලියන 99ක් වියදම් කර පරිගණක යන්ත්‍ර 650ක් මිලදී ගෙන ඇතත් මෙම කලාප දෙකට බෙදා හැර ඇත්තේ පරිගණක 33ක් පමණි. ඉතිරි පරිගණක පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගන්නට නැති බවද විගණන වාර්තාව කියයි.
මෙම පරිගණක යන්ත්‍ර බෙදාහැරීම සඳහා වියදම් කර ඇති මුදල රුපියල් මිලියන එකක් හෙවත් දස ලක්ෂයකි.
ව්‍යාපෘති ප්‍රධානියා ඇතුළු නිලධාරීන්ගේ වැටුප්
ණය මුදල් යනු නැවත ගෙවිය යුතු ඒවා බව පෙරදී ද පැවසුවෙමු. මේ සඳහා පොලියක් ද ගෙවිය යුතුවේ. එබැවින් මේ ණය මුදල් දුරාචාරයේ යෙදවීම මඟින් රටට හා පුරවැසියාට වෙන සෙතක් නැත. අනෙක් අතින් ව්‍යාපෘතියේ ප්‍රධානියා ඇතුළු සියලු නිලධාරීන්ට වැටුප් ගෙවන්නේ ද මේ ණය මුදලෙන්ම බව සිහි කටයුතු වේ. ශ්‍රී ලංකා රජයේ ආයෝජනය ද සමඟ සමස්ත ව්‍යාපෘති මුදල රුපියල් මිලියන 1037කි. එය ලක්ෂවලින් ගණනය කරන්නේ නම් (1037×10 = 10370) ලක්ෂ 10370කි. ඒ ගණන සුළුපටු නොවේ.
මේ සම්බන්ධයෙන් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක දුරකථනය ඔස්සේ අමතා තොරතුරු විමසීමට උත්සාහ කළද එය අසාර්ථක විය. පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාලගේ දුරකථනයට ඇමතීමට උත්සාහ කළද එයද අසාර්ථක වූයෙන් වට්ස්ඇප් සහ මැසේජ් මඟින් පහත ප්‍රශ්නාවලිය යොමු කළෙමු.
මිලදී ගත්තේ මොනවාද?
2024 ජනවාරිවලදී මිලිග්‍රෑම් 100 ඩොක්ෂි සයික්ලීන් කැප්සූල්ස් 5,000,000ක් රුපියල් මිලියන 43ක් ගෙවා ඇත. 2023 පොත්පත්වල ඒ බව සඳහන්ව නැත.
පරිගණක 650ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 99ක් වියදම් කර බෙදාහැර ඇත්තේ 33කි. ඉතිරි ඒවාට මොකද වුණේ? මේවා බෙදාහැරීමට රුපියල් මිලියනයක් වියදම් කර ඇත.
බලධාරීන් නිහඬ ඇයි?
ඒ සමඟ විගණන වාර්තාවේ අදාළ පිටපත ද අමුණා යැව්වෙමු. ලේකම්වරයා පෙරළා වට්ස් ඇප් මඟින්ම පිළිතුරු ලෙස දක්වා තිබුණේ කරුණාකර ADB ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සහ උතුරුමැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා අමතන ලෙසටය. ඔවුන්ගේ දුරකථනවලට කථා කළද ඔවුන් තවමත් ප්‍රතිචාරයක් දක්වා නැත.
එසේ ඔවුන් ප්‍රතිචාර දැක්වීම මග හරින්නේ විගණන වාර්තාවෙන් මතුකර ඇති ගැටලුවලට පිළිතුරක් සපයන්නට ඔවුන් අසමත්වන බැවින් යැයි අපට සිතන්නට සිදු වේ. ඒ අතරේ මෙම ව්‍යාපෘතියට අදාළ වෙබ් අඩවිය යාවත්කාලීන නොවේ. අවසන්වරට එය යාවත්කාලීන කර ඇත්තේ 2021 වසරේ ඔක්තෝබර් මාසයේදීය.
නිමල් අබේසිංහ