ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිට මේ දක්වා කාලය සලකා බැලීමේදී එහි ප්‍රධාන ලේකම් ධුරය වැඩිම කාලයක් දරනු ලැබුවේ ටිල්වින් සිල්වා සහෝදරයා විසිනි. ජයග්‍රහණය විජයග්‍රහණයක් ලෙස තහවුරු කෙරෙන මොහොතක තිරයේ පිටුපස දැවැන්ත සෙවණැල්ල ඔහුය. මේ ඔහු හා කළ කතාබහක් ඇසුරින් කෙරුණු සටහනකි.
90 දශකයේ මැදභාගයේ ඔබ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලෙස පත්වුණාට පසුව කවදා හරි දවසක මේ රටේ බලය ගන්නා බවට ඉලක්කයක් තිබුණද?
මං දේශපාලනය පටන් ගන්නකොටත් අරමුණක් තිබුණා.1994දි බන්ධනාගාරයෙන් නිදහස් වෙලා ඇවිත්, 95දි තමා ප්‍රධාන ලේකම් හැටියට පත්වෙන්නෙ. ඒ වෙලාවෙ සිටම වැඩ කළේ කවදාහරි දවසකට ජනතාවගේ කැමැත්තෙන් මේ රටේ බලය ලබා ගන්නා බවට විශ්වාසයෙන්. ඒ ගමන් මගේදි මුහුණ පාන්නට සිදුවුණු සංකීර්ණතා, දුෂ්කරතා බොහෝ තිබුණා. ඒ හැමතැනකදීමත් කවදාහරි දවසක ජනතාවට අපි ඕනවෙන බවට විශ්වාසයක් තිබුණා. එතෙක් අපි අපේ හොඳ දේවල් රැකගෙන දේශපාලනය කළ යුතුයි කියන අධිෂ්ඨානය තිබුණා. ඒ අධිෂ්ඨානයේ ජනතා විශ්වාසයේ ප්‍රතිඵලය තමා මේ ලැබිල තියෙන්නෙ. දැන් තියෙන්නේ මේ රට හැදීමේ වගකීම. ඒකත් අපි ඉටු කරනවා.
ජවිපෙ ඉතිහාසය තුළ දීර්ඝතම කාලයක් ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කර ඇත්තේ ඔබ. ලබන වසර වෙද්දි ලේකම් ධූරයට අවුරුදු 30ක් සම්පූර්ණ වෙනවා. වැඩිම පිරිසක් ජවිපෙ හැර ගියේත් ඔබේ කාලයේදී. ඒ පිළිබඳ ඔබට යමක් කිව හැකිද?
දේශපාලන ව්‍යාපාරයක් හදාගෙන පරාජයන් හෝ දුෂ්කරතාවන් එක්ක දිගු ගමනක් යනවා කියන්නෙ අමාරු වැඩක්. දිගු කාලයක් දරාගත හැකි අයත් ඉන්නවා. බැරි අයත් ඉන්නවා. දිගුකාලීන ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සටන් කරන අයත් ඉන්නවා. ප්‍රතිඵලයක් පේන තෙක් මානයේ නැතිවුණාම අතහැර යන අයත් ඉන්නවා. විශේෂයෙන් පරාජයේදි එහෙමයි. ලෙනින් වුණත් වරෙක කියා තිබෙන්නෙ අයෙක් තමාගෙ නිවරදි මිතුරන් හඳුනා ගන්නේ පරාජයේදි කියලා. දේශපාලන ව්‍යාපාරයක් පන්නරය ලබන්නේ එවැනි හැලහැප්පීම් මැද්දෙ ඉස්සරහට ගිහින් තමයි. කවුරු ගියත් අතෑරලා යද්දි වේදනාවක් දුකක් දැනෙනවා. යමක් ඔබ නිවැරදි යැයි විශ්වාස කරයිද? ඒ වෙනුවෙන් එය දරාගෙ අල්වාගෙන සිටිය යුතුයි. දැන් සතුටක් තියෙනවා. ඒ අපි දැන් ඉන්නෙ දිනලා නිසා. ඒත් ඔළුවට බරක් තියෙනවා. අපි බාර අරන් තියෙන්නෙ වට්ටපු රටක්. මේක ගොඩනැඟීමේ වගකීම තියෙනවා. අපි වැරැද්දුවොත් මේක වෙනත් කාටවත් අත තියන්න පුළුවන් වෙන්නෙ නෑ.
මිනිස්සු මාලිමාවට ඡන්දය දෙන තැනට වෙනස් වෙච්චි එක අහම්බයක්ද? අනිවාර්යයක්ද?
අපි දේශපාලනය කියවා ගත්තු මාදිලියක් තිබුණා. මේක මිනිස්සුත් එක්ක කරන ගනුදෙනුවක්නෙ. මිනිස්සු එක එක වෙලාවෙදි එක එක විදිහට හැසිරුණාට අත්දැකීම් ලබලා එකට වෙනස් වෙන්න එක වෙලාවක් එනවා. ලෝකයේ ගොඩක් පෙරළි වෙලා තියෙන්නේ 1234 පිළිවෙළට නෙවෙයි. එක විට. දේශපාලන දර්ශනයේ භාෂාවෙන් කියනවා නම් ප්‍රමාණාත්මකව ඇති වන වෙනස්කම් එක මොහොතක ගුණාත්මක පරිවර්තනයන් බවට පත්වෙනවා. වෙනස්වීම හැර වෙනත් උත්තරයක් නෑ කියලා හිතන්න පහුගිය අවුරුදු දෙකක කාලය විසින් මිනිසුන්ට බල කළා. අනෙක් අතට ජනතාව වෙනස් වෙද්දී ඒ වෙනස බාරගන්න පැහැදිලි දේශපාලන ව්‍යාපාරයක් නැතිනම් වැඩක් නෑ. අපි කළේ ජනතාවට අලුත් දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය වන වෙලාව වෙනකල් අපි අපේ ව්‍යාපාරය කුණු කරගන්නෙ නැතිව, ජරා කරගන්නෙ නැතිව පීලිපන්න ගන්නෙ නැතිව අල්ලගෙන හිටියා. ඒ මොහොත වෙනකල් ඉඳලා ව්‍යාපාරය පුළුල් කරගත්තා. ජවිපෙට සීමා නොවී ජාතික ජනබලවේගය ලෙස පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීමේ මේ දේශපාලන ව්‍යාපාරය තුළ අපි ගත්තු දැවැන්ත පියවරක්. අපිට තිබුණේ අන්ධ විශ්වාසයක් නෙවෙයි. ලෝක ඉතිහාසය ගමන් කරල තියෙන්නෙ මේ විදිහේ පිමි හැටියටයි.
ඔබට පාර්ලිමේන්තු යන්න අදහසක් නැද්ද?
මං මේ වෙලාවෙත් දරන්නෙ ලොකු වගකීමක්. මං ඒක තවත් ටික කාලයක් දැරිය යුතුයි. පාර්ලිමේන්තු යන්න මටවත්, අපේ කාටවත් එහෙම ලොකු ආසාවක් නෑ. අපට පැවරුණු වගකීමක් තියෙනවා. අනුර සහෝදරයට ඒ වගකීම පැවරුණා. විජිත සහෝදරයට තව වගකීමක් පැවරුණා. මට මේක පැවරිලා තියෙනවා. මට පාර්ලිමේන්තු යන්න හිතිලා නෑ. මං හිතන්නෙ හෙටත් එහෙම හිතෙන එකක් නෑ කියලා.
දැන් සමහරු කියන්නේ මාලිමාව ආවට හිතන තරම් වේගයෙන් දේවල් වෙනස් වෙන්නෙ නෑ කියලා. මේ ගැන මොකද කියන්නේ?
අවුරුදු 70ක් තිස්සේ වට්ටලා සමතලා කරපු රටක් සති දෙක තුනකින් මාසයකින් ගොඩනඟනවා කියන්නේ ඒක ප්‍රාතිහාර්යයක්. ජනාධිපති වෙච්චි අනුර සහෝදරයත් ඒක කීවා. අපි මැජික් කාරයෝ නෙවෙයි. අපට ප්‍රාතිහාර්ය පාන්න බෑ. හැබැයි මේ වට්ටපු රට අපි ගොඩනඟනවා. ඒකට අපිට යම් කාලයක් ගතවෙනවා. දැනටමත් පරාජයට පත්වුණු බලවේග කියමින් ඉන්නෙ අපි ජනතාව රවටලා බලයට ආවා හෝ බොරු කියලා බලයට ආවා කියලා. අපි ජනතාවට බොරු කීවෙ නෑ. ඇත්තම ඇත්ත කියලා තමා බලය ගත්තෙ. එකම දේ අපි ගත්තු බලය අංගසම්පූර්ණ නෑ. අපට ලැබුණෙ පාර්ලිමේන්තු බලයක් නැති රටක්. දැන් ගෙවෙන්නේ සංක්‍රමණීය කාලයක්. ජනතාව අපට ශක්තිමත් පාර්ලිමේන්තුවක් දේවි. අපි බලාපොරොත්තු වන, ජනතාව බලාපොරොත්තු වෙන වෙනස ඇති කරන්න නම් සමහර නීති සංශෝධනය කරන්න වෙනවා. සමහර නීති අලුතෙන් පනවන්න වෙනවා. පාර්ලිමේන්තුව ඇතුළෙ ආදර්ශයක් හදන්න වෙනවා. රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ ඕනකමක් අපට තියෙනවා. ඒකට මුදල් වෙන්වෙලා නෑ. මුදල් බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට. ජනාධිපතිවරයාටවත් මුදල් බලය නෑ. පාර්ලිමේන්තු බලය නැතිව ඒකට මුදල් වෙන් කරන්න බෑ. අස්වැසුම සහන නොලැබුණු පිරිසක් ඉන්නවා. ආණ්ඩුව විසින් මේ දවස්වල ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා, තවදුරටත් සහන ලැබිය යුතු පිරිස් ඉන්නවද? අසාධාරණයට ලක්වුණු පිරිස් ඉන්නවද කියලා හොයල බලමින් ඉන්නවා. අපට මේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕන. බදු සහනයක් ජනතාවට දෙන්න ඕන. ඒක වෙනස් කරන්න නම් පාර්ලිමේන්තු බලයක් ඕන.
පාර්ලිමේන්තු බලයක් නැතිව වුණත්, යම් යම් ක්‍රියාමාර්ග ගත් බවක් පේනවා. එහෙම නේද?
ඔව්. පාර්ලිමේන්තු බලයක් නැතත්, අපි ගිය මාසෙ විශ්‍රාමිකයන්ට රු.3000ක අමතර දීමනාවක් දුන්නා. වී ගොවියන්ට හෙක්ටයාරයකට රු.15,000ක් තිබුණු එක අපි 25,000ක් කළා. මෙච්චර කාලයක් මහජන මුදල් නාස්ති කළ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළා. අලුත් දේශපාලන සංස්කෘතියකට පියවර තිබ්බා. ඒක ලෝකයේ රටවල් අගය කරන්න පටන් අරන් තියෙනවා. අමෙරිකානු තානාපතිනිය පවා දැන් මේ ආණ්ඩුව වංචා දූෂණවලින් තොරව ඉතා විනිවිදභාවයෙන් ක්‍රියා කරන නිසා ආයෝජන තව තවත් ගේන්න පුළුවන් කියලා කිව්වා. අනුර ජනාධිපතිවරයාගෙ පත්වීම ඉතා අගය කරන බව චීන තානාපතිවරයා කීවා. ඔහු ලබන අවුරුද්දෙ පාසල් දරුවන්ට නිල ඇදුම් ලබාදෙද්දී සමස්ත රෙදි ප්‍රමාණයම ප්‍රදානයක් හැටියට නොමිලේ දෙන බව කීවා. අනුර සහෝදරයා දිවුරුම් දුන්නට අපි උත්සවයක් ගත්තෙ නෑ. මේ වෙද්දි අපේ තුන්දෙනා අමාත්‍යංශ 15ක වැඩ බාර අරන් තියෙනවා. කිසිම උත්සවයක් ගත්තෙ නෑ. අනුර සහෝදරයා පක්ෂයේ නායකයා හැටියට මැතිවරණ රැලි අමතන්න සහභාගි වෙනවා. හෙළිකොප්ටර් නෑ. වාහන විශාල සංඛ්‍යාවක් සමඟ රථ පෙළපාලි නෑ. ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර පාන සංස්කෘතිය පවා වෙනස් කරලා තියෙන්නෙ. රටේ මිනිස්සු කෑම කන්න නැතිව දුක් විඳිද්දී, සුපිරි කෑම කාපු සංස්කෘතිය අපි වෙනස් කළා. ඒ දේවල්වලට මහජනතාවගේ විශාල පිළිගැනීමක් තියෙනවා. ඒත් මේවායෙන් වක්‍ර ලෙස වාසි ගත්තු අය මේකට විරුද්ධයි. ඒත් පරාජිතයින්ගේ නන් දෙඩවිලි අපි ගණන් ගත යුතු නෑ.
රාජ්‍ය සේවක වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා කළාම රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ වැටුප් වැඩි කරලයි ගියේ කියලා. මොකක්ද ඒ කතාව?
රනිල් වික්‍රමසිංහ මේ දවස්වල කියන දේවල් මොනවද කියලා එයාවත් දන්නෙ නෑ. සමහරවිට පරාජයේ කම්පන තත්ත්වයක් නිසා ඔළුව විකාර වෙලාද දන්නෙ නෑ. බොරු කතා ගොඩක් කියනවා. වැටුප් වැඩි කරලා ගියා නම් මොකක්ද වැය ශීර්ෂය කියලා රටට කියන්න කියලා මං අභියෝගයක් කරනවා. හැබැයි හීනයක් දැකල කීවද දන්නෙ නෑ. ඒත් අපි ඒක කරනවා. එයා කරන්න හිටපු සමහර වැඩ අපි වෙනස් කළ බව නම් ඇත්තක්. උදාහරණයක් විදිහට එතුමා නිවාස බද්දක් යෝජනා කරලා තිබුණා. කෙනෙකුට ගෙවල් දෙකක් තිබිලා එක ගෙයක් කුලියට දෙනවා නම් ඒකට බද්දක් ගහන්න තීරණයක් අරන් තිබුණා. ඒක අපි ඉවත් කළා. පඩි වැඩි කිරීම් නෙවෙයි, බදු වැඩි කිරීම් තමයි එයා ක්‍රියාත්මක කරන්න තීන්දු කරලා තිබුණේ. මිල්කො එකයි, කිරි ගොවිපළවල් 31යි, අක්කර 28,000යි විකුණන්න හිටියෙ. අපි ඒකත් නැවැත්තුවා. දැන් ලාභ ලබමින් දුවන්න පටන් අරන් තියෙන්නෙ. ශ්‍රී ලංකන් එයාර් විකුණන්න වෙන්දේසියෙ දාලා තිබ්බෙ. අපි ඒකත් නවත්තලා, දැන් යම් කිසි විදිහකට වියදම් අවම කරලා නැවත ගොඩගන්න උත්සාහ කරමින් ඉන්නෙ. එයා රට විකුණලා කජු කාපු ජනාධිපති කෙනෙක්. අපි රටේ සම්පත් ආරක්ෂා කරන අලුත් දේශපාලන සංස්කෘතිය පටන් අරන් තියෙනවා.
හොරු අල්ලනවා කීවට තාම පරක්කු ඇයි?
අපට හොරු අල්ලන එක සංදර්ශනයක් නෙවෙයි. එහෙම කරනවා නම් දැනටමත් 10-15ක් අල්ලලා, අයිටීඑන් හා ජාතික රූපවාහිනියේ මූණු පෙන්නලා ඒක කරන්න පුළුවන්. ඒත් අපට හොරු ඇල්ලීම සංදර්ශනයක් වත්, පලිගැනීමක්වත් නෙවෙයි. පහුගිය ආණ්ඩු මේ අය කීපදෙනෙකුට හරි නඩු පැවරුවා නම් පැවරුවෙ තාක්ෂණික දෝෂ තියලා උසාවියේදී චූදිතයන් නිදහස් වෙන විදිහටයි. ඊට පස්සෙ දවස් කීපයකින් ඒ හොරු ටික අපට ටටා බායි කියලා යන්න යනවා. ඒක වෙන්න දෙන්න බෑ. අපේ ආයතන 3ක් තියෙනවා. එකක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව. අනික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව තියෙනවා. ඒ ආයතන ත්‍රිත්වය දැන් පැරණි ෆයිල් එළියට අරන් නිසි ලෙස අධ්‍යයනය කරලා නැවත නඩු ගොනු කරමින් යනවා. අපි හදිසි වෙලා වැරැද්දක් නොකරපු කෙනෙක් හිරේ යන එක හොඳ නෑ. ඒ වාගේම වැරැද්දක් කරපු කෙනෙක් නිදහස් වෙලා ගෙදර යන එකත් හොඳ නෑ. ඒ නිසා අපි පූර්ණ විනිවිදභාවයකින් නීතිය ක්‍රියාත්මක කරනවා. හදිසියක් නෑ.
වංචා දූෂණ නැවැත්වීමෙන් හෝ හොරු ඇල්ලීමෙන් විතරක් රට හදන්න පුළුවන්ද?
අපි එහෙම කියලා නෑ. කියන්නෙත් නෑ. ඒත් වංචා දූෂණ නවත්වන්නෙ නැතිව රටක් ඉදිරියට යන එක හිතන්නවත් බෑ. එක උදාහරණයක් කියන්නම්. අපේ ගුවන්තොටුපළ අලුත්වැඩියා කරන්න ජපන් සමාගමක් ආවා. ඒ කාලෙ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා. ඉතිං ඇමතිවරයා අර ජපන් සමාගමෙන් කොමිස් ඉල්ලුවා. ඒ නිසා සමාගම වැඩේ අතෑරලා යන්න ගියා. හැබැයි ජපාන තානාපතිවරයා විසින් ජනාධිපති ගෝඨාභයට දැනුම් දුන්නා ඔබේ ඇමතිවරයා අපෙන් පගාව ඉල්ලුවා කියලා. ඊට පස්සෙ ජනාධිපතිවරයා විසින් නිමල් සිරිපාලව ඒ ඇමති ධූරයෙන් අයින් කළා. හැබැයි රනිල් වික්‍රමසිංහ ඇවිත් ආයෙම ඒ ඇමතිකම නිමල් සිරිපාලටම දුන්නා. අපට ලැබෙන්න තිබුණු ආයෝජන ගොඩක් නතර වුණේ මේ විදිහට සිද්ධ වුණු වංචා දූෂණ හා කොමිස් ගැහිලි නිසා. තිබුණු එක නැවතුණා විතරක් නෙවෙයි, එන්න තියෙන අවස්ථා පවා නැතිවුණා. ඇමරිකානු තානාපතිනිය පවා දැන් අපට තවත් ආයෝජන ගේන්න පුළුවන් කියලා කියන්නේ දූෂණයෙන් වංචාවෙන් තොර පාලනයක් ඇවිත් තියෙන නිසා. ඒ නිසා වංචා දූෂණයෙන් තොරව රටක් හදන්න තියා හිතන්නවත් බෑ. හැබැයි එතනින් නතර වෙන්න බෑ. නිෂ්පාදන ආර්ථිකයක් හදලා ඒකෙ ප්‍රතිලාභ රටේ පොදු ජනයාට බෙදීයන ක්‍රමයක් හදන්න ඕන. අපි ඒක කරනවා.
ඡන්දයක් ප්‍රකාශයට පත්වී තිබුණාට ඒ උණුසුම මිනිසුන්ට දැනෙනවද?
පහුගිය ජනාධිපතිවරණය කියන්නෙ කිසිදු පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවුණු මැතිවරණයක්. රතිඤ්ඤයක් වත් දැම්මෙ නෑ. අපි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අනෙකාට රිදවන්න පාවිච්චි කළේ නෑ. දැනුත් ඡන්දයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මිනිසුන්ට දැනෙන්නෙ නෑ. මොකද කාර්යාල කඩන්නෙ නෑ. ගිනි තියන්නෙ නෑ. අනිත් පැත්තෙ ප්‍රබලයෝ ඡන්දෙ ඉල්ලන්නෙ නෑ. ඉල්ලන අයත් ගොඩක් පරදින නිසා ලොකුවට වියදම් කරලා සද්දෙ දාන්නෙ නෑ. අපේ පැත්තෙන් වෙනත් අය ජනාධිපතිලා වුණා වගේ අපි රාජ්‍ය බලය පාවිච්චි කරන්නෙ නෑ. අමාත්‍යංශ වාහන හෝ රාජ්‍ය දේපළ පාවිච්චි කරලා බඩු බෙදන්න යන්නෙ නෑ. ඒවගේ දේවල්වලට රාජ්‍ය මාධ්‍ය තුළ පුළුල් ප්‍රචාරයක් දෙන්නෙ නෑ. මිනිස්සු සාමකාමීව තමන්ගෙ පාඩුවෙ දෛනික ජීවිතය පවත්වාගෙන යනවා. ඒක හොඳයි. ඒත් 14 වෙනිදාට ඡන්ද පොළට ගිහින් මාලිමාවට කතිරය ගහල අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදල දෙයි කියලා විශ්වාසයකුත් අපට තියෙනවා.
මහමැතිවරණයේ අභියෝගයක් ඇත්තෙම නැද්ද?
ඉතිහාසයේ පළවෙනි වතාවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලැයිස්තුවට රාජපක්ෂ කෙනෙක් ඡන්දෙ ඉල්ලන්නෙ නෑ. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් පටන් ගත්තු රාජපක්ෂලා අද නෑ. ඇයි ඒ? නාමල් රාජපක්ෂවත් දිස්ත්‍රික්කයකින් ඡන්දෙ ඉල්ලන්නෙ නෑ. හැබැයි ජාතික ලැයිස්තුවෙ ඉන්නවා. මහින්ද රාජපක්ෂ ගිය සැරේ හම්බන්තොට අයියට දීලා කුරුණෑගලට ගියා. නාමල් කුරුණෑගලටවත් ගියෙ නෑ. පොහොට්ටුවට ලංකාවෙ කිසිම දිස්ත්‍රික්කයක මන්ත්‍රී ධූරයක් ගන්න බෑ. ඇප නැතුව පරදිනවා. ඒ නිසා ජාතික ලැයිස්තුවෙන් එන්නෙ රටේම ප්‍රතිශතයක් විදිහට ලැබෙන ඡන්ද ටික එකතු කරලා රනිල් වික්‍රමසිංහ කළා වගේ එකම එක මන්ත්‍රී ධූරයක් වත් ගන්න බලාගෙනයි. සමගි ජනබලවේගය කිසිම සමගියක් නැතිව බෙදිලා වැටිලා තියෙන්නෙ. අලුතින් හදාගත්තු පුංචි කණ්ඩායම් ටිකක් කෑ ගැහුවට මොකුත් වෙන්නෙ නෑ. ජයග්‍රහණය සම්බන්ධයෙන් අභියෝගයක් නැත්තේ ඒ හැමෝම දැනටමත් පරාජය පිළිඅරන් නිසා. ඒ නිසාම අපේ වැඩ කරන අයටත් උනන්දුවෙ අඩුකමක් තියෙනවා.
සටහන – ප්‍රියාන් ආර් විජේබණ්ඩාර
සංවාදය - සිසිර යාපා