මහ මැතිවරණයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු සිදු කරන්නා වූ මැතිවරණ කොමිෂන් සභාවට ඇත්තේ භාරදූර කාර්යයකි. මහමැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සිළුමිණට දැක්වූ අදහස් ඇසුරින් මේ ලිපිය සකස් කර ඇත.
කොහොමද මහමැතිවරණයට කොමිසම සූදානම්ද?
මහමැතිවරණ දිනය ප්‍රකාශ කළ විගසම අප සූදානම් වෙලා ඉන්නෙ.
මෙවර මහමැතිවරණය වෙනත් වසරවලට වඩා ප්‍රචණ්ඩ ක්‍රියා අඩු බවක් වාර්තා වනවා නේද?
ඔව්. කලින් මැතිවරණවලට වඩා නීති විරෝධී ප්‍රචාරක කටයුතු, පෙළපාළි ආදිය සම්බන්ධව වාර්තා වන්නේ ඉතාම අඩුවෙන්. ඇත්තෙන්ම එය මහමැතිවරණයට බලපෑමක් ඇති නොවන බව කිව්වත් නිවැරැදියි.
මෙවර මැතිවරණයේදී වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතුයි. ඒ තත්ත්වය මත අපේක්ෂකයන්ගේ හැසිරීම් රටාව, ක්‍රියාකාරීත්වය කෙසේද?
වත්කම් බැරකම් ලබා දීම කලිනුත් සිදු කළ යුතුව තිබුණා, මෙවර නාමයෝජනා භාරදීමත් සමඟම එය සිදු කළ යුතු වුණා. දිස්ත්‍රික් මට්ටමින් ඒ කටයුතු සිදු වෙනවා. නමුත් නාමයෝජනා ප්‍රතික්ෂේප වෙන්න වත්කම් බැරකම් කිසි ලෙසකින් බලපාන්නේ නැහැ. වත්කම් බැරකම් සම්බන්ධයෙන් කටයුතු කෙරෙන්නේ පසුවයි.
නාමයෝජනා ප්‍රතික්ෂේප වීම සෑම මැතිවරණයකදීම සිදු වෙනවා. නමුත් අදාළ පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් අධිකරණයට ගිහින් එම නාමයෝජනා යළිත් බලාත්මක කර ගන්නවා. මොකක්ද මේ තත්ත්වය, නීතියේ ඇති හිලක්ද?
අප නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්නේ මැතිවරණ පනතට අනුවයි. එක් එක් ප්‍රතික්ෂේප වීම්වලට බලපාන්නා වූ හේතු තියෙනවා. ඒ අනුව තේරීම්භාර නිලධාරීන් එම ප්‍රතික්ෂේප කිරීම් කරනවා.
නමුත් අධිකරණය ඇයි එහෙනම් එම නාමයෝජනා භාරගන්නා ලෙසට තීන්දු දෙන්නෙ. ඇල්පිටියේ පළාත් පාලන මැතිවරණයේදී මෙන්ම මෙවර මහමැතිවරණයේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානයේ වන්නි දිස්ත්‍රික් නාමයෝජනා පත්‍ර භාරගත යුතු බව අධිකරණය තීන්දු කළානෙ.
අධිකරණ තීන්දුව ගැන අපිට අර්ථ දැක්වීම් කරන්න හෝ විවේචනය කරන්න බැහැ. එක් එක් සිද්ධියට අදාළ සිදුවීම් වෙනස් වෙනවා. කොහොම වුණත් මේ සිදුවීම් පූර්වාදර්ශයක් නෙමෙයි. අපි මැතිවරණ පනතට අනුව කටයුතු කරන බවයි කිව හැක්කේ.
ඇතැම් අපේක්ෂකයන් දිගින් දිගටම ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළහොත් නැත්නම් මැතිවරණ නීති දිගින් දිගටම උල්ලංඝනය කළහොත් පොලිසියට අමතරව මැතිවරණ කොමිසමට ගත හැකි ක්‍රියාමාර්ගයක් තිබේද?
පොලිසිය හරහා නඩු පැවරීම තමයි සිදු කළ හැක්කේ. මැතිවරණ පනතේ පැහැදිලිව සඳහන් වෙනවා සිදු කරන්නා වූ හෝ උල්ලංඝනය කිරීම හෝ වරදේ ස්වභාවය අනුව ලබා දෙන දඬුවම් පවා මොනවාද කියා.
තවමත් නීති විරෝධී ලෙසින් අපේක්ෂකයන්ගේ මනාප අංක ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පවා විවිධාකාරයෙන් සිදු කෙරෙනවා.
සියලු දේ එකපාර නවතියි කියල බලාපොරොත්තු වෙන්න බැහැ. එක පාරටම මස් රාත්තලම අපි බලාපොරොත්තු වෙන එක වැරැදියි. පොඩි අඩුපාඩුවක් දැකල කතා කරන එක නෙමෙයි අපි කළ යුත්තේ සමස්තයක් ලෙසයි මේ තත්ත්වය දකින්න ඕන. සමස්තයක් ලෙස මෙවර මහමැතිවරණය ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් අවම මැතිවරණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
නමුත් ඇතැම් අපේක්ෂකයන් නිවෙස් කරා ගොස් මනාප ඉල්ලනවා කියා වාර්තා වනවා..
එය වැරැදියි. අපේක්ෂකයාට එහෙම කටයුතු කළ නොහැකියි. අපේක්ෂකයා වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සඳහා 5 දෙනකුට අඩු පිරිසක් පමණක් යාම කළ හැකියි.
පෙර පැවැති 2020 ජනාධිපතිවරණයට වඩා පසුගිය ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරීමේ අඩුවක් තිබුණා. මෙවර මහමැතිවරණයේ තත්ත්වය ගැන යමක් ප්‍රකාශ කළ හැකිද?
මැතිවරණ කොමිෂන් සභාව කරන්නේ ඡන්දදායකයාට ඡන්දය පාවිච්චි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. දේශපාලන පක්ෂ විසින් තමයි ඡන්ද දායකයන් දැනුවත් කිරීම කළ යුත්තේ.
ජනතාව දැනුවත් කර ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන දක්වා ගොස් ඡන්දය දැමීම දක්වා වූ කාර්යයන් පිළිබඳ දැනුවත් කිරීම දේශපාලන පක්ෂ විසින් කළ යුතු වෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සිදු කරන්නේ මහමැතිවරණය පැවැත්වීම පමණයි. ඡන්ද දායකයන් දැනගත යුතුයි තම ඡන්දය භාවිත කරන්න. එය කළ යුතු නිවැරැදි ආකාරය ගැන ඔවුන් දැනගත යුතු වෙනවා.
නමුත් මෙරට බොහෝ ඡන්ද දායකයන් මැතිවරණ කටයුතු ගැන දැනුමෙන් අඩුයි කියල කිව්වොත් ඔබ එය පිළිගන්නවාද?
මැතිවරණ සාක්ෂරතාව ඇති කරන එක කොමිෂන් සභාවේ කාර්යයක් නෙමෙයි. පාසල් අධ්‍යාපනයේ සිට මේ සම්බන්ධව විධිමත් දැනුමක් ඇති කළ යුතු වෙනවා. නිසි පරිදි මැතිවරණ සාක්ෂරතාවක් ඇති කර ඡන්දදායකයා ඡන්ද පොළ කරා ගෙන යායුතු අධ්‍යාපනයක් සාක්ෂරතාවක් ඇති කළ යුතුයි. අපේ රටේ එවැනි තත්ත්වයක් ඇති කළ යුතු වෙනවා.
ඇතැම් ඡන්දදායකයන් තමන් ඡන්දය ප්‍රකාශ කළේ කාටද යන්න පැවසීම සිදු කරනවා. මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?
ඡන්දයක් කියන්නෙ රහසේ භාවිත කරනු ලබන දෙයක්. එය ප්‍රකාශ කිරීම නීති විරෝධී කාර්යයක්. අධිකරණයෙන් දඬුවම් නියම කළ හැකියි. මෙයට හේතුව නිසි මැතිවරණ සාක්ෂරතාවක් නොමැති වීමයි, පුරවැසි අධ්‍යාපනයක් නැතිවීමයි. මේ තත්ත්වය ද්විතීයීක හෝ උසස් අධ්‍යාපන මට්ටමින් හෝ ඇති කළ යුතු වෙනවා.
යම් අයෙක් ඡන්දය දැම්මේ කාටද යන්න ප්‍රකාශ කළහොත් ඊට එරෙහිව පැමිණිල්ලක් කළ යුතුයි. එම ක්‍රියාව ඔප්පු කළ යුතුයි. ඒ අනුව කටයුතු කිරීමේ බලය තිබෙනවා.
මහමැතිවරණයට ඉදිරිපත්ව ඇති පක්ෂ කණ්ඩායම් සම්බන්ධයෙන් විස්තර කළොත්..
මහමැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා 408ක් ඉදිරිපත් කර තිබෙනවා. ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා 282ක් ඉදිරිපත් කර තිබෙනවා. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13421ක් ස්ථාපිත කෙරෙනවා. එමෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2034ක් යොදා ගන්නවා.
මුද්‍රිත හා විදත් මාධ්‍ය හරහා සමාන ප්‍රචාරයක් නොලැබෙන බවට ඇතැම් පක්ෂවලින් චෝදනා එල්ල වෙනවා නේද?
මාධ්‍ය උපමාන පැහැදිලිව ඉදිරිපත් කර තියෙනවා. මාධ්‍ය ආයතනවලට ඒ ගැන දැනුවත් කර තියෙනවා. ඒ අනුව මාධ්‍ය ආයතන කටයුතු කළ යුතුයි. එසේ කටයුතු කරන්නේ නම් ගැටලුවක් ඇති වන්නේ නැහැ.
කොහොම වුණත් අප මාධ්‍ය හැසිරීම් නිරීක්ෂණය කරනවා.
විශේෂ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් ලබා දී ඇති පහසුකම් කවරේද?
ඡන්ද මධ්‍යස්ථාන ප්‍රවේශ පහසුකම් ආදිය ඔවුන් වෙනුවෙන් සපයා දීමට මෙවරත් කටයුතු කර තියෙනවා. එමෙන්ම තමන්ට ඡන්දය ලකුණු කිරීම අපහසු අයට වෙනත් අයකුගේ සහාය ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකසා තිබෙනවා.
මෙවර මහමැතිවරණයේ රාජකාරි කටයුතු වෙනුවෙන් කොපමණ රාජ්‍ය සේවකයන් සංඛ්‍යාවක් යොදා ගන්නවාද?
මෙවර 225,000ක් පමණ රාජ්‍ය සේවකයන් සංඛ්‍යාවක් මැතිවරණ රාජකාරි කටයුතු වෙනුවෙන් යොදා ගන්නවා. ජනාධිපතිවරණයට වඩා වැඩි පිරිසක් මෙවර මහමැතිවරණයට යොදා ගැනීමට කටයුතු කරනවා.
පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීන් කොපමණ සංඛ්‍යාවක් යොදා ගැනීමට කටයුතු කෙරෙනවාද?
පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩි පිරිසක් යොදා ගැනීමට බලාපොරොත්තු වනවා. වෙමර ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි නිසා නිලධාරීන් 65,000කට වැඩි සංඛ්‍යාවක් යොදා ගැනීමට සිදු වේවි.
මෙවර මහමැතිවරණය ගැන ඡන්දදායකයන්ට ඔබට ලබා දිය හැකි පණිවුඩයක් තිබේද?
රටේ ජනතාවගේ අයිතීන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනු ලබන පාර්ලිමේන්තුවට නිසි පරිදි තෝරා සුදුසුකම් ඇති අය යැවීමේ වගකීම ඡන්දදායකයා විසින් කළ යුතුයි. සෑම ජනකොටසක්ම නියෝජනය වන පරිදි එම කාර්යය සිදු කළ හැකිනම් ඒ හරහා නිවැරැදි තීන්දු තීරණ ගනීවි.
සේයාරුව- රංජිත් අසංක
තාරක වික්‍රමසේකර