රටේත්, ජනතාවගේත්, ආරක්ෂාවට නීතියේ, සාමයේ පැවැත්මට ප්‍රමුඛත්වය දීම නව ජනාධිපතුමන් ඇතුළු රජයේ පාලන තන්ත්රයෙන් සිදු විය යුතු මහත් මෙහෙවරකි. එය ජනතාවගේ ද අපේක්ෂාවයි. ප්‍රදේශයේ විශාල ජනතාවකට අත්‍යවශ්‍ය වූ වැදගත් සුවිශේෂ වු සේවාවක්, අපහසුතාවලින් තොර කාර්යක්ෂම සේවාවක් සඳහා වසර 3කට පමණ පෙර පල්ලෙබැද්ද නමින් පොලිස් ස්ථානයක් පිහිටුවීමට අනුමත වී ඒ සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ පවා වෙන් කරන ලදි. මේ වැදගත් අවශ්‍යතාව අත්‍යවශ්‍ය කරුණක් බවට මහා සංඝරත්නය හා ප්රභූවරු, විවිධ සමිති සමාගම් හා ජනතාව විසින් නිරන්තරයෙන්ම අදාළ වගකිව යුත්තන්ගේ අවධානයට යොමු කළේ ප්‍රදේශයේ පවතින අපරාධ මිනීමැරුම්, විවිධ නීති විරෝධී ජාවාරම් මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි දූෂිත ක්‍රියා වර්ධනය වීම නිසාවෙනි. එමෙන්ම අනුමත වු මෙම පොලිස් ස්ථානය කොස්වැටිය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ඒ ආසන්නයෙන්ම පිහිටුවන ලෙසට ද කරුණු කාරණා පැහැදිලිවම සාක්ෂි සහිතව පෙන්වා දෙන ලදි.
ප්‍රධාන වශයෙන්ම මේ ජනතාවට පොලිසියක අවශ්‍යතාවක් වෙනුවෙන් උඩවලව හා ගොඩකවෙල පොලිස් ස්ථානවලට විශාල දුරක් ගෙවා යාමත් මධ්‍යස්ථ ප්‍රදේශය කොස්වැටිය ප්‍රදේශය බවත් අපහසුතාවලින් තොර කාර්යක්ෂම සේවයක් අතුරු ගම්මාන රැසක දුගී දුප්පත් ජනතාවගේ පහසුවත් ප්‍රදේශයේ පවතින වාතාවරණයත් හේතුකොට ගෙන ඉල්ලීම් කරන ලදි. නමුත් මෙම මහජන අවශ්‍යතාව ඉටු කිරීමට වඩා ඉටු නොකිරීමට කරුණු කාරණා, පුහු තර්ක ඉදිරිපත් කරමින් කටයුතු කිරීම නිසා නීතියට, සාමයට, ආරක්ෂාවට ජනතාවට සිදුවන ඉමහත් සේවාවට අභාග්‍යසම්පන්න තත්ත්වයක් උදා වීම ජනතාවගේ විශාල කල කිරීමට හේතුවකි.
ගොඩකවෙල උඩවලව පොලිස් ස්ථාන දෙක වෙන් කරන සීමාව බෙදී යන්නේ කොස්වැටිය ප්‍රදේශය අසලින් වීම හේතු කොටගෙන මෙම මායිම් ප්‍රදේශවල පැවති බරපතළ නීතිවිරෝධී ක්‍රියා, අපරාධ යාන්තමකින් හෝ අවම වී ඇත්තේ වසර ගණනාවක් තිස්සේ කොස්වැටිය ප්‍රදේශයේ දිවා රාත්‍රී ක්‍රියාත්මක වන පොලිස් සේවාව නිසාවෙනි. මේ ගැන සංඝරත්නය හා ජනතාව නිරන්තරයෙන්ම කරුණු කාරණා බලධාරීන් වෙත අවධාරණය කරන ලදි. මෙහි පර්චස් 10 ක ඉඩම් කොටසක් ද ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරාගෙන ඇති බවත් සංඝරත්නය හා ජනතාව මේ ස්ථානයේ කුඩා කාමරයක් සාදා ජල පහසුකම් පවා ලබා දුන්නේ සිදුවන මහත් සේවාව වෙනුවෙනි. කරුණු පෙන්වා දී ඇති රජයට අයත් ඉහත ඉඩම හා ගොඩනැඟිල්ල ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී පවරාගත්තේ නම් මෙහි සේවයේ යෙදෙන නිලධාරීන්ට මෙන්ම අනුමත වු පොලීසිය පිහිටුවා රටට, ගමට, ජනතාවට අති මහත් සේවාවක් සැලසිය යුතුව තිබුණි.
තව ද ඇඹිලිපිටිය සිට ගොඩකවෙල දක්වා ප්‍රධාන මාර්ගයේ විශාල දුරක් තුළ පොලිස් ස්ථානයක් නොමැති බවත්, තිබෙන එකම ස්ථානය කොස්වැටිය ප්‍රදේශය බවත් මේ ස්ථානය වැඩිදියුණු කිරීමට ඉහත ඉඩම හා ගොඩනැඟිල්ල පවරා ගැනීම සිදු කරන මෙන් ඉල්ලා සිටින අතරම ගොඩකවෙල පොලීසියේ සිට පල්ලෙබැද්දට සුළු දුර ප්‍රමාණයක් තිබෙන බැවින් අනුමත වූ නව පොලිස් ස්ථානය පිහිටුවීමට මධ්‍යස්ථ ප්‍රදේශය කොස්වැටිය බවත් අවධාරණය කරන අතර ගොඩකවෙල සිට කොස්වැටිය ප්‍රදේශයට විශාල දුරක් තිබෙන බව ද ප්‍රකාශ කරන්නෙමු.
නව රජයේ ආර්ථිකය ගොඩනගමින් ජනතා සේවාවන් වෙනුවෙන් අති මහත් වූ කැපවීමෙන් කටයුතු කරන නව ජනාධිපතිතුමනි, අදාළ අමාත්‍යතුමනි, ආරක්ෂක අමාත්‍යාංශයේ හා පොලිසිය භාර අමාත්‍යංශයේ නව ලේකම්තුමනි. පොලිස්පතිතුමනි, අපගේ ඉල්ලීම ඉටු කර දී කාර්යක්ෂම ජනතා සේවාවක් ඉටු කර දෙන්න. ආරක්ෂාවට මුල් තැන දෙන්න.
– ඩබ්. ඒ. සිරිපාල
කොස්වැටිය පල්ලෙබැද්ද.