නව දැක්මක් සහිතව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරියට මෙහෙයවීම සියලු දෙනාගේම වගකීමක් වන්නේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉතා විශාල සමාජ මෙහෙවරක් සිදු කරනු ලබයි. විශේෂයෙන්ම රටට අර්බුදයක් වී තිබෙන විදේශ විනිමය උපයන මහඟු ආයතනයක් ලෙස මෙම ආයතනය හැඳින්විය හැක. නමුත් මේ වන විට මෙම ආයතනය පිළිබඳ රටේ ජනතාව අතර තිබෙන මතය අභාග්‍ය සම්පන්නය. නව දැක්මක් නව රජයක් විදියට ඉදිරියට යන ගමනට ඒ ජනතාවට අවශ්‍ය සේවය ලබාදීමට නම් ඔවුන්ගේ ගැටලු විසඳිය යුතුයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විගමනික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව, රැකවරණය හා සුභසාධනය යන ප්‍රධාන කරුණු මූලික කරගෙන ක්‍රියාත්මක වන ආයතනයකි. රැකියා සඳහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ගේ කුසලතාව ඉහළ නැංවීම තුළින් ශ්‍රමිකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සකස් කර ඇත. පසුගිය සමයේ නම් ඊට පරිභාහිරව වෙනත් කාර්යයන් සිදු කර ඇති බවටද අනාවරණය වී තිබේ.
සාමාන්‍යයෙන් වසරකට ලක්ෂ තුනකට ආසන්න ශ්‍රමිකයන් ප්‍රමාණයක් ඒ හරහා විදේශගත වේ. ඔවුන්ගේ සුබසාධනය සහ නිපුණතාවය වෙනුවෙන් නව ක්‍රියාමාර්ග රැසක් සිදුකිරීමට බලාපොරොත්තු වන අතර, ලෝකයේ අනෙකුත් රටවල ශ්‍රමිකයින්ට ලබා දෙන වැටුපට සමාන මුදලක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබා දීම වෙනුවෙන්ද ඉදිරියෙදී පියවර ගැනීමට අවශ්‍ය කටයුතු යෙදීමට සූදානම්ව ඇත. එසේම ලෝකයේ වැඩිම ඉල්ලුමක් පවතින රැකියා අවස්ථා සඳහා මෙරටින් පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීමට කාර්යාංශය පුහුණු වැඩපිළිවෙළක් සැකසීමට කටයුතු යොදා ඇත.
විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයින් විසින් නිත්‍යනුකූලව මෙරටට එවනු ලැබන ප්‍රේෂණ ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. ඒ අනුව 2023 වර්ෂයේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 වර්ෂයේ විගමනික ප්‍රේෂණ සියයට 15.17 කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව 2023 වසරේ සැප්තැම්බර් මස අමෙරිකානු ඩොලර් මිලියන 482.4 ක් වු ශ්‍රමික ප්‍රේෂණ මේ වසරේ සැප්තැම්බර් මස අමෙරිකානු ඩොලර් මිලියන 555.6 දක්වා සියයට 15.17 කින් ඉහළ ගියේය. මේ අතර 2023 වසරේ පළමු මාස 9 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 4345.2 ක් වු විගමනික ශ්‍රමික ප්‍රේෂණ මේ වසරේ ගෙවුණු මාස 9 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 4843.8 (රුපියල් ට්‍රිලියන 1.42 ක් හෙවත් රුපියල් මිලියන 1,424,077 ක්) දක්වා සියයට 11.5 කින්ද ඉහළ ගොස් තිබේ.
විගමනික ශ්‍රමික ප්‍රජාව වෙත ලබාදෙන සුබසාධන පහසුකම් ඉදිරියේදී තවදුරටත් කාර්යක්ෂම කිරීම හා නව පහසුකම් හඳුන්වාදීමට ද කටයුතු කරමින් සිටින බවද කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 2024 මෙරට අපේක්ෂිත ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 6000 ඉක්මවනු ඇති බවටද එහි සභාපතිවරයා අපේක්ෂා කරයි.
පසුගිය සමයේ වඩාත් කතාබහට ලක්වූ E-8 වීසා කාණ්ඩය යටතේ ඉදිරියේදී රැකියා නොලැබේ. එයට කිසිදු ආකාරයකට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමක්ද නැත. එසේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකාරන පුද්ගලයින්ට නොරැවටෙන්න. EPS – E9 වීසා කාණ්ඩය යටතේ ශ්‍රී ලාංකිකයින්ට හිමිවන දකුණු කොරියානු රැකියා කෝටාව වැඩිකර ගැනීමට අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා මේ වන විටත් සිදු වෙමින් පවතියි.
විගමනික ශ්‍රමිකයින්ගේ ප්‍රශ්න, ගැටලු, අසාධාරණකම් පිළිබඳ පැමිණිලි කිරීමට ස්ථාපිත කරන ලද “සභාපතිට කියන්න” ඒකකයේ ප්‍රගතිය අනුව, එය වෙත ලැබුණු පැමිණිලි අතරින් 500 ක පමණ ප්‍රමාණයක් සඳහා ක්ෂණිකව විසඳුම් ලබා දී ඇත.
තවදුරටත් කාර්යාංශය වෙත යෝජනා, චෝදනා එවිය යුතු සහ යාවත්කාලීනවීම පිළිබඳ තොරතුරු ද දන්වා එවන ලෙස ඉල්ලා සිටියි.
ඊශ්‍රායල් රැකියා සඳහා පසුගිය කාලයේදී විවිධ පුද්ගලයන් මැදිහත්වෙලා තිබෙන බවට “සභාපතිට කියන්න” වැඩසටහනට පැමිණිලි රැසක් ලැබිණි. යම් කෙනකු වංචනිකව මුදල් අය කරනවා නම් ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන්නේ පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසුවයි. එසේ හෙයින් එවැනි පැමිණිලි බයක් නැතිව ඉදිරිපත් කළ හැක.
පෙර පැවති රජයන් කිසිදු ප්‍රමිතිකරණයකින් තොරව දේශපාලන වාසි තකා, පුද්ගලයින් හිතුමතේ ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමුකර ඇත. එසේ පිටත් වූ පුද්ගලයින්ට එම ස්ථානවල රැකියා කිරීමට නොහැකි වූ නිසා එරටින් ශ්‍රී ලාංකිකයින්ට ලබා දෙන රැකියා කෝටාව අඩු වූ හෙයින්, නිශ්චිත කුසලතා පරීක්ෂණය සමත් වූවන්ට පමණක් ඊශ්‍රායලයේ රැකියා ලබාදීමට කටයුතු කරයි.
විශේෂයෙන්ම ශ්‍රමිකයින් විදේශ රැකියාවට යෑමේදී අනේකවිධ පීඩනවලට ලක්ව ඇත. විවිධ තරාතිරමේ නිලධාරීන් සහ තැරව්කරුවන් අතරමැදියන් වී ඔවුන්ගේන් මුල්‍යමය වාසි අත්පත් කර ගැනීමට කටයුතු කර තිබේ. මෙම ක්‍රියාවලිය නව රජය මඟින් සියයට 100 ක්ම නැවැත්වීමට කටයුතු කරනු ඇත.
ඒ සඳහා පළමු පියවර ලෙස මේ ගැටලු ඉදිරිපත් කිරීමට පොදු ස්ථානයක් නිර්මාණය කර සියලුම වර්ගයේ, චෝදනා, විවේචන, දුක් ගැනවිලි සටහන් කර ගැනීමට අවස්ථාවක් නිර්මාණය කර ඇත. ඒ සඳහා ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය තුළ බිම් මහලේ “සභාපතිට කියන්න ” යනුවෙන් නව කවුළුවක් විවෘත කර තිබේ. රටේ ඕනෑම පුරවැසියකුට තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට එහිදී හැකියාව ලැබේ.
විවිධ මාර්ග කිහිපයක් ඔස්සේ ඒ සඳහා පැමිණිලි ඉදිරිපත් කළ හැක. ඇතැම් විට බාහිර පුද්ගලයින්ගෙන් සිදු වන අසාධාරණකම්, රජයේ නිලධාරීන්ගෙන් සිදු වීමට හැකි කුමන හෝ ආකාරයේ අසාධාරණකම් වුවත් ඊට ඉදිරිපත් කළ හැකි අතර තරාතිරම් නොබලා කටයුතු කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානමින් සිටියි. මෙම වැඩසටහන තුළින් සාධාරණ සේවයක් ලබාදීමට උත්සාහ කරයි. එමෙන්ම රටේ ජනතාව ලෙස ඒ පිළිබඳ කිසිදු අවිශ්වාසයක් තබා ගැනීමටද අවශ්‍ය වන්නේ නැත.
නෙත්මි පූජනී රත්නායක