Home » ප්‍රශ්න ගැන විතරක් කතා කරලා හරියන්නේ නෑ දැන් උත්තර ඕනෑ 

ප්‍රශ්න ගැන විතරක් කතා කරලා හරියන්නේ නෑ දැන් උත්තර ඕනෑ 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික්කයේ, කළුතර ආසනයේ සංවිධායක යොහාන් වඩුගේ

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

ඔබ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරග කිරීමට තීරණය කළේ ඇයි ?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ, මගේ දේශපාලන පක්ෂයයි. මම 2018 ඉඳලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරම්භක සාමාජිකයෙක්. 2018 පළාත් සභා මැතිවරණයෙන් කළුතරින් නගර සභාවට පොදු ජන පෙරමුණෙන් තරග කළා. ඊට කලින් මම කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නෙවෙයි.

ඔබ ඡන්ද අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙන්නේ පළමු වතාවටද?

පාර්ලිමේන්තුවට තරග කරන්නේ පළමු වතාවට. මොකද මම මේ එන්නේ කළුතර ආසනයේ සංවිධායක විදිහටයි. මේ පුටුවේ කලින් හිටියේ රෝහිත අබේගුණවර්ධන. අද එයා පක්ෂය හැර දාලා ගිහින්, කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනෙක් විදිහට. මම ප්‍රතිපත්තියක් එක්ක පක්ෂයේ හිටපු හින්දා, කළුතර ආසනය සහ කළුතර දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු සිදු කරනවා.

පසුගිය කාල වකවානුව තුළ පොදුජන පෙරමුණ පසුබෑමකට ලක් වුණා. ඒ පසුබෑම මෙවර මහමැතිවරණයේදී කුමන ආකාරයකට බලපෑමක් සිදු කරයි කියා ඔබ විශ්වාස කරනවාද ?

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මහමැතිවරණ ප්‍රතිඵලත් එක්ක සම කරන්න බෑ. ඒක ප්‍රතිඵල දෙකක්.

ඔබ මහමැතිවරණයෙන් කළුතරට තරග කරලා, කළුතර ජනතාව වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද ?

කළුතරට ආසන අටක් තියෙනවා. ආසන අටට ප්‍රාදේශීය ප්‍රශ්න අටක්. මේ ප්‍රශ්න ප්‍රාදේශීයවයි තියෙන්නේ. මතුගම ජනතාවට තියෙන ප්‍රශ්නය නෙවෙයි බේරුවල ජනතාවට තියෙන්නේ. බේරුවල අයට තියෙන ප්‍රශ්න නෙවෙයි, හොරණ ජනතාවට තියෙන්නේ. මේවා ප්‍රාදේශීයව හඳුනා ගෙන ඒ ඒ ප්‍රදේශයට ගැළපෙන, සමාජ දේශපාලන ආර්ථික විසඳුම් දෙන එකයි, රටේ දේශපාලනඥයකුගෙන් විය යුත්තේ. හැමෝටම ගැළපෙන එක තොප්පියක් නොදා, හරියටම ඔළුවට ගැළපෙන තොප්පිය දාගන්න ඕනේ.

පොදු ජන පෙරමුණ බලාත්මකව ඉන්නකොට, කළුතර ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලැබුණේ නැද්ද?

පොදු ජන පෙරමුණෙන් හැම ගමකටම තාර ටික දාලා, කොන්ක්‍රීට් පාරවල් හදලා, ගම නැඟුම, රට නැඟුම, මඟ නැඟුම මේ වගේ කරන්න තියෙන සියලුම යටිතල පහසුකම් කරලා ඉවරයි. ආයේ ගැන කිසිදු තර්කයක් නෑ. කළුතරට එයාපෝට් එකක් හදන්න බෑනේ. මහින්ද රාජපක්ෂ රජය යටතේ කළුතර ජනතාවට කරන්න පුළුවන් උපරිමය කරලයි තියෙන්නේ.

නමුත් 2015දී කරගෙන ආපු සියලුම සංවර්ධන කටයුතු නතර වුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වීමත් සමඟයි මේ දේ සිද්ධ වුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩුණා. මහින්ද රාජපක්ෂ යුගයේ කරගෙන ආපු වේගවත් සංවර්ධනය නතර වුණා. ඒත් එක්කම රට ඉස්සරහට යන එකත් නතර වුණා. ඊට පස්සේ කුමන්ත්‍රණකාරී දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තා. පාස්කු දින ප්‍රහාරය ආවා. කොවිඩ් අර්බුදය ආවා. මේවත් එක්ක රටේ සංවර්ධනය අඩාළ වුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට රට භාර දෙන විට ආසියාවේ සංවර්ධනයේ වැඩිම වර්ධනයක් වුණු රටක් විදියට නමක් දිනාගෙනයි හිටියේ. ඒ තරමට මූලික අත්තිවාරම දාලා ඉවර වෙලයි හිටියේ. කරනවා නම් කරන්න තිබුණේ පුද්ගල සංවර්ධන වැඩසටහන් පමණයි.

නව ජනාධිපතිතුමාගේ දේශපාලන දැක්ම පිළිබඳව ඔබගේ අදහස කුමක්ද ?

මම දැනගන්න කැමතියි එතුමාගේ දේශපාලන ප්‍රතිපත්තිය කුමක්ද කියලා. ඒ වගේම මාලිමාව කියන්නේ කුමන දේශපාලන ප්‍රතිපත්තියක් අරමුණු කරගෙන තියෙන එකක්ද කියලා. විජේවීර ජනතා විමුක්ති පෙරමුණ හැදුවේ මාක්ස්වාදය සහ කොමියුනිස්ට්වාදය කියන සංකල්ප දෙක අරගෙන. එතකොට මාලිමාවේ හරය හැදෙන්නේ, වමට බරවද දකුණට බරවද නැතිනම් මැද මාවතේ ද කියන එක අපි දැනගන්න කැමතියි.

ජනාධිපතිවරණයේදී පොදු ජන එක්සත් පෙරමුණ කියන පක්ෂය පාක්ෂිකයන්ගෙන් ඈත් වුණා. එයට හේතුව කුමක්ද ?

ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණ ජනතාව අතින් ප්‍රතික්ෂේප වුණා. හේතුව තරගයක් දෙන්න බැරි වෙච්චි එකයි. තරගයට සූදානම් වුණු ධම්මික පෙරේරා, අවසන් මොහොතේදී තරගය දාලා යනවා. ධම්මික පෙරේරාට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න තීරණය කිරීම, පක්ෂයේ නායකයන් විසින් ගත් වැරදි තීරණයක්. අපිත් මෙයට විරුද්ධව නැඟී සිටියා. නමුත් අවසන් මොහොතේදී සිදු වුණේ පක්ෂය වෙනුවෙන් නාමල් රාජපක්ෂව ඉදිරිපත් කරන්න සිදුවීමයි. අපි නිසි සැකැස්මක් සහ ප්ලෑන් එකක් නැතිව කරපු තරගයක් ඒක. ඒ නිසා එවැනි ප්‍රතිඵලයක් අත්විඳින්න සිදුවීම සාමාන්‍ය දෙයක්. රේස් එකකට යනකොට පෙර සූදානමක් තියෙන්න ඕනෑ. මේකෙදි එහෙම පෙර සූදානමක් සිදුවුණේ නෑ. ඒ නිසා එවැනි ප්‍රතිඵලයක් ලැබුණා. මේකෙ වැරැද්ද පක්ෂය ඇතුළේ හිටපු, ප්ලෑන් කළ නායකයන් බාර ගන්න ඕනෑ. ඒ වගේම අවසන් මොහොතේදී, බැසිල් රාජපක්ෂත් ඡන්දයට දවසක් තිබියදී ලංකාවෙන් පිටවෙලා යනවා. ඒ වගේම ඇතැම් මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් නිසා මිනිස්සු පක්ෂය කෙරෙහි කලකිරුණා. අපට ඡන්ද සෑහෙන්න නැතුව ගියා. ඇතැම් පාක්ෂිකයන් ඡන්දය දාන්න ඡන්ද පොළට ගියේ නෑ. මිනිස්සු කොච්චර කලකිරුණා ද කියනවා නම් පළිගන්න මාලිමාවට ඡන්දය දුන්නා.

මෙවර මහමැතිවරණයේදී පොදු ජන පෙරමුණ ජයග්‍රහණය ලබා ගන්න හැකිවේවි කියා ඔබ විශ්වාස කරනවාද ?

මිනිස්සුන්ට නායකයෙක් ඕනෑ. මිනිස්සුන්ට කරදරයක්, දුකක් ඇතිවුණාම තාත්තා කෙනෙක් ළඟට යනවා වගේ, දුක කරදරය කියන්න, දන්නැති කෙනෙක් ළඟට යන්නේ නෑනේ. ඒ වගේම ගමේ ප්‍රශ්න කියන්න, ගමේ කරදර කියන්න, රටේ ප්‍රශ්න හඳුනාගන්න පුළුවන්, සිතුම් පැතුම් තේරුම් ගත් කෙනෙක් ළඟට දුවලා යන්න තියෙන්න ඕනෑ. ඒකට තමන්ට හුරු පුරුදු, දැන පුරුදු තමන් දන්න කියන කෙනෙක් පත්කරගන්න ඕනෑ. නුවර ප්‍රශ්න දන්නේ නුවර මිනිස්සු. කොළඹ ඉන්න කෙනෙක් නුවර ප්‍රශ්න දන්නේ නෑ. ඒ අවුල තමයි දැන් තියෙන්නේ. ඒවා පිටරටල්වල කරන්න පුළුවන්. ඒත් ලංකාවේ බෑ. මේ අස්ථාවරත්වය තමයි ඇත්ත කතාව. ඒ නිසා ටෙස්ට් කරන්න බඩු ගේන්න එපා. කලින් පාවිච්චි කරලා, දන්න කියන ප්‍රතිපත්තියක් තියෙන එකම පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. අපි වැඩ කරලා තියෙනවා. ඒ වගේම වැඩ පෙන්නලත් තියෙනවා. පොඩි පොඩි අවුල් තිබුණා. නමුත් පක්ෂය කියන්නේ මහින්ද රාජපක්ෂ සහ මහින්ද චින්තනයටයි. පක්ෂයක විනයක් සහ ක්‍රියා පටිපාටියක් තියෙනවා. ඒක තියෙන තාක් කල් අපි ඒ සීමාව තුළයි හැසිරෙන්නේ. ඒ නිසා එවන් ක්‍රියාපටිපාටියක් ඇති මහින්ද චින්තනය තුළ හැසිරෙන මිනිස්සුයි අපි.

මහින්ද රාජපක්ෂ රටට ආදරය කරන අයෙක්. එයාගෙන් රටට හානියක් නෑ. දැන් ප්‍රශ්න ගැන විතරක් කතා කරලා හරියන්නේ නෑ. දැන් උත්තර ඕනෑ. ඒකට තවම මේ ආණ්ඩුවට අතහුරු නෑ.

ඒ නිසා පැහැදිලිවම අපි දන්නවා අපි මෙවර එනවා කියලා. ඒක මේ වෙලාවේ නවත්වන්න බෑ. කුමාර වෙල්ගම, පාලිත තෙවරප්පෙරුම කියන චරිත කළුතරට වැඩ කරපු අය. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් දැන් දේශපාලන අනාථයන් වෙලා. ඒ නිසා මම ඒ සියලු දෙනාටම ආරාධනා කරනවා, පක්ෂය ගැන නොහිතා යොහාන් වඩුගේ කියන පුද්ගලයා සමඟ එකතු වෙන්න කියලා. ඔබට අවශ්‍ය කළුතර දිස්ත්‍රික්කයේ නායකත්වය දෙන්න මම සූදානම්.

ශ්‍යාමා සමරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division