Home » අපිට අවශ්‍ය පාර්ලිමේන්තුවේ බලය ගන්න

අපිට අවශ්‍ය පාර්ලිමේන්තුවේ බලය ගන්න

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායක

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

– අපි පක්ෂ වශයෙන් එකතු වෙයිද නැතිනම් පුද්ගලයන් වශයෙන් එකතු වෙයිද කියලා කියන්න බැහැ
– සජිත් දැන් අගමැති හීනය නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිට සහය දෙනවා

තවමත් කිසිදු මැතිවරණ උණුසුමක් දකින්නට නැහැ. තරගය දිනන්න අමාරු වෙයි කියා හිතනවාද?

මේ මෝසම් වර්ෂා කාලය. මැතිවරණ ව්‍යාපාරයක් කරද්දි අපි ඒ ගැනත් සැලකිල්ලට ගත යුතුයි. මේ නිසා කුඩා ජනහමු නිවෙස් තුළ හෝ ශාලාවන් තුළ හෝ පැවැත්වීමට අපි යෝජනා කළා. ඒ සෙනඟ නැති ප්‍රශ්නයක් නිසා නෙමෙයි. දෙවැන්න අපි නීතියට යටත්ව වැඩ කරන නිසා මැතිවරණ වියදම් ගැන අපි නිරන්තර අවධානයෙන් සිටිය යුතුයි. ඒ නිසා මෙවැනි ජනහමු සඳහා වියදමක් යන්නේ නැහැ. මැතිවරණ වියදම් පනතට අනුව අපිට වියදම් කළ හැකි සීමා වෙනත් කටයුතු සඳහා යොමු කළ හැකි වෙනවා. මේ කාර්යයේදි ජනතාව නියමාකාරයෙන් ආමන්ත්‍රණය කිරීමේ අවස්ථාව අපිට හිමි වෙනවා. සමහර දිනවල කුඩා රැස්වීම් දිනකට 18 ක් පමණ කළ අවස්ථා තිබුණා. දිනකට ජනතාව විශාල පිරිසක් හමු වෙනවා. ජාතික ජන බලවේගයේ රැස්වීම් සඳහා එක බස් එකක සිටින සෙනඟ තමයි අනිකුත් රැස්වීම්වලට ගෙනියන්නේ. ඒ නිසා ඒ බොරුව නැතිව අවංකව කතා කරන්න පුළුවන් අය අපට හමු වෙනවා. ඒ අතින් අපි ජනතාවට ගොඩාක් සමීප වුණා. ආණ්ඩුව තවමත් විපක්ෂයේ දේශපාලනය ගැන කෑගහනවා.

ප්‍රබලයන් රැසක් මැතිවරණ සටනින් ඉවත් වෙද්දි සිලින්ඩරයට ලැබෙන ඡන්ද ප්‍රතිශතය මෙවර වැඩි වෙයි කියා හිතනවාද?

මෙසේ ඉවත් වූ සෑම දෙනාම අපේ මැතිවරණ ව්‍යාපාරයට උදවු කරනවා. එ් හැම දෙනාටම මැතිවරණයට ඉදිරිපත් නොවීමට විවිධ හේතු කාරණා තිබුණා. සමහරුන්ට මුදල් සම්බන්ධ ගැටලු මතු වුණා. එක මැතිවරණයක් අහවර වීමත් සමඟම තවත් එකක් කිරීමට සිදුවීම හරිම අසීරු කාර්යයක්.

එසේ නොමැතිව ජයග්‍රහණය කිරීමට ඇති අඩු ඉඩ ප්‍රස්ථාව, හෝ කලකිරීම නිසා ඉදිරිපත් නොවූ බව බොහෝ දෙනා පවසනවා?

දේශපාලනයේදි කලකිරෙන්න බැහැනේ. දිනුම පැරදුම අපි භාරගත යුතුයි. එය පාසල් අවදියේදි පවා අපි ඉගෙන ගත් දෙයක්. මෙයට අපි සූදානම් විය යුතුයි. අපේ කණ්ඩායමේ සිටියේත් දැන් සිටින්නේත් පරිණත දේශපාලන කණ්ඩායමක්.

හිටපු ජනාධිපති රනිල් පවසනවා රට කරන්න සුදුසු කණ්ඩායමක් සිටින්නේ සිලින්ඩරය සමඟ බව. සජබයත් ඒ දේම පවසනවා?

අනිවාර්යයෙන් සුදුසුම පිරිසක් ඉදිරිපත් වන්නේ අපේ කණ්ඩායමෙන්.

හිටපු ජනාධිපතිවරයා පවා පවසා තිබුණා අලුත් අයගෙන් පාර්ලිමේන්තුව පුරවන්න එපා කියලා.

වර්තමාන රජයේ ඉන්නේ තුන් දෙනයි. ඒ ඔක්කොම එල් බෝඩ්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කණ්ඩායමත් එල් බෝඩ්. ඒ අයත් ආවිට මේ රට දුවන්නේ එල් බෝඩ් අයගෙන්ද? ආර්ථික අර්බුදයකට මුහුණ දීලා රට බොහෝම අමාරුවෙන් ස්ථාවර වුණාට පස්සේ යායුතු ගමනක් අපිට තියෙනවා. ඒ ගමන යාමේදි හරි විදිහට ගියේ නැතිනම් අපේ ජනතාව දුක් විඳිනවා. ඒ වගේම නැවත රට වැටෙන්න පුළුවන්. අපේ ණය තව අවුරුදු 5කින් ගෙවිය යුතු වෙනවා. අලුත් කණ්ඩායමක් සමඟ ගිහින් මේ කොටස කරන්න බැරිවන බවයි මගේ අදහස. ඒ නිසයි අපි කිව්වේ අපේ කණ්ඩායම පරිණත අත්දැකීම් ඇති පිරිසක් ඉන්නේ කියලා. ඒ ඔවුන් සාර්ථකව ආර්ථික අර්බුදයට මුහුණ දුන් නිසා.

මේ ආණ්ඩුව ගමන් කරන්නේත් රනිල් ගිය මඟ කියලා චෝදනාවක් තියෙනවා.

අපිට තාම මේ අය කරන දේ අපැහැදිලියි. ඔවුන් කරන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. අපිට මුලින් කිව්වේ අපි ගෙනියන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන හොඳ නැහැ කියලයි. නමුත් දැන් යන විදියට අපිට පේන්නේ අපි අනුගමනය කළ පාරේම යන බව. එ්ත් ඔවුන්ගේ ගමන පැහැදිලි නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි වාරිකයට ලැබෙන දින දන්නේ නැහැ. ඒ ප්‍රමාදයත් අපිට ගැටලුවක්. ඒ නිසා අපි ඔවුනට කියන්නේ වැඩපිළිවෙළ අපිට පෙන්වා දෙන්න කියලා. නමුත් තවමත් එහෙම පෙන්වා දීමක් කළේ නැහැ.

ඡන්දයට කලින් කියූ සියල්ල ඔවුන්ට අමතක වෙලා. ඔහු කිව්වා රජයේ සේවක වැටුප් මාස 6න් 6ට වැඩි කරනවා කියලා. දැන් කියනවා එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා. සල්ලි තිබුණොත් දෙන්නම් කිව්වා. ඉන්ධන, විදුලි බිල් අඩු කරනවා කිව්වා. දැන් එයත් සිදු වන්නේ නැහැ. මොකක්ද දැන් ඔවුන් කියන්නේ? ඔවුන් යම් යම් දේ වේදිකාවේ කිව්වත් වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළේ නැහැ. නමුත් බලයට ආ පසුව හෝ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න තිබුණා.

මෙතෙක් සිටි නායකයන් පාර්ලමේන්තවේදි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළා. නැතිනම් ජාතිය අමතා තම ප්‍රතිපත්තිය දැනුම් දුන්නා. මේ වන විට දින 40ක් ඉක්ම ගිහින්. අපිට සිතා ගන්න බැහැ, ඔවුන් මේ කරන්නේ කුමක්ද කියලා. අපි ඔවුන් කොනිත්තනවා නෙමෙයි. අපි අහන්නේ වැදගත් ප්‍රශ්න. නමුත් එදා ඔවුන් අපේ කකුලෙන් දිගින් දිගටම ඇද්දා. අධ්‍යාපනය කඩා කප්පල් කළා. රාජ්‍ය සේවකයන් පාරට බැස්සවා ගත්තා. මාස 5ක් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය හා ගුරුවරු පාරට බැස්සුවා. ඔවුන් ඇද්දේ ආණ්ඩුවෙන් නෙමේ රටේ කකුලෙන්.

අනුරට බැරි වුණොත් යළි රට භාර ගන්න රනිල් සුදානම් බව පවසනවා. නමුත් එතුමා ජාතික ලැයිස්තුවේවත් නැහැ?

ඒ තත්ත්වය ඇති වුණොත් අපි ඒ අවස්ථාවේදි ඊට මුහුණ දෙනවා. ඒ ව‍ගේම අපේ වැඩපිළවෙළ අපි ඉදිරිපත් කර තියෙනවා. ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්ම රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඒ තුළ අන්තර්ගතයි. එසේම ආර්ථිකය වේගයෙන් වර්ධනය කරන්න අපි වැඩපිළිවෙළ රැසක් ඉදිරිපත් කළා. ආර්ථික පරිවර්තන පනත තුළ අපේ ගමන් මාර්ගයේ විශ්වාසවන්ත බව තහවුරු කළා. ඒ වැඩසටහන තුළ සිටයි අපි ඉදිරියට යන්නේ. ඒ තුළ සිටයි අපි ණය ප්‍රතිසංස්කරණ වැඩසටහන පවා ඉදිරියට ගෙන ගියේ. ඒ අනුව නොගියොත් රටේ ජනතාවගේ ජීවන මට්ටමත් අපේක්ෂිත තැනට ගන්න බැරි වනවා සේම රටේ සංවර්ධනය කිරීම මෙන්ම ණය ගෙවීමට නොහැකි වෙනවා. පසුගිය කාලයේ රටේ ජනතාව විඳි දුක් කාටත් අමතක නැහැ. ගෑස්, තෙල් බෙහෙත් නැතිව කොතරම් දුක් වින්දද? සමහරු බොහෙත් නැතිව මිය ගියා. රට නැවතත් මේ තත්ත්වයට ගියොත් මොකද වෙන්නේ. තත්ත්වය දරුණු වෙයි.

ඔබ මෙවර කොළඹින් ඉදිරිපත් වන්නේ. කොළඹ එක්සත් ජාතික පක්ෂ බලකොටු පසුගිය ජනාධිපතිවරණයෙන් මාලිමාවට ගියා. මෙවර ඒ බලකොටු ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් තියෙනවාද?

අපේ මූලික වැඩපිළිවෙළ වන්නේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට තිබූ ස්ථානය ආරම්භක ස්ථානය වශයෙන් පවත්වා ගැනීම. ඒ මතයි ඉදිරියට යන්නේ.

මෙවර පාර්ලිමේන්තුවට කි දෙනෙක් යැවිය හැකි යැයි විශ්වාස කරනවාද?

අපිට අවශ්‍ය පාර්ලිමේන්තුව තුළ බලය ගන්න. අපි වගේම තවත් පක්ෂවලටත් ඒ ඉලක්කය තියෙනවා. අපි එතැනට ගියපසු සුදුසු වැඩපිළිවෙළක් සකසා ගන්නවා.

ජයග්‍රහණයේ ගමන වේගවත් වෙන්නේ නැද්ද, සජබයත් සමඟ එකට එකතු වුණා නම්?

අපි ඒ වෙලාවේ උත්සාහ කළා. ඇත්තටම එය හොඳ ප්‍රශ්නයත්. 2015-2019 ආණ්ඩු කාලයේ සජිත් ප්‍රේමදාස මහතා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාත් සමඟ කුමන්ත්‍රණ කරනවා, රනිල් වික්‍රමසිංහ මහතා එළවලා අගමැති වෙන්න.

එය ෆේල් වන විට රාජපක්ෂලා සමඟ මෛත්‍රීපාල සිරිසේන එකතු වී දින 52 වැඩසටහනට යනවා. ඊට පසුව ආණ්ඩු කරගෙන ආ පසු අපි එතුමා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කරනවා. එයින් පසුව ගෝඨාභය ආ පසු අපි එතුමාට කිවවා විපක්ෂ නායක වෙන්න කියලා. අපි හැම විටම එතැන දුන්නා.

පසුව ගෝඨාභය රාජපක්ෂ සමයේ කියනවා එතුමා අගමැති විය යුතු බව. පසුව ගෝඨාභය ගිය පසු පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයා තේරීමේදි ඔහු පාර්ලිමේන්තුව තුළ ඩලස් අලහප්පපෙරුම මහතාට සහය දෙනවා, ඔහුව ජනාධිපති කර මෙතුමාට අගමැති වීමට.

මේ අගමැති සිහිනය ඔහුට තියෙනවා. දැන් අගමැති හීනය නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිට සහය දෙනවා. එතුමා අපේ පක්ෂයේ නියෝජ්‍ය නායක කළා. ජනාධිපති අපේක්ෂක කළා. විපක්ෂ නායක කළා. මෙතුමාට අවංක කමක් නැහැ. අපි මෙවරත් උත්සහ කළා. එතුමා දුර්වල වෙනවා. මේ නිසා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරමින් බලාපොරොත්තු වෙන්නේ අපට අහිමි වූ පිරිස එකතු කර ගැනීමට.

ඔබ පවසන්නේ මැතිවරණයෙන් පස්සේ දෙපැත්තම එකතු වෙයි කියලද?

අපි පක්ෂ වශයෙන් එකතු වෙයිද නැතිනම් පුද්ලගලයන් වශයෙන් එකතු වෙයිද කියන්න බැහැ. එක්සත් ජාතික පක්ෂය අපි ශක්තිමත් කරනවා.

ජනතාව පවසනවා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනසකට ලකවිය යුතු බව?

ඒ වෙනස සිදු වෙයි. රනිල් වික්‍රමසිංහ මහතා හැමදාම මෙහි නායකයා වෙන්නේ නැහැ. වෙනස සිදුවන ක්‍රමයක් මෙන්ම ඊට සුදුසු කාලයක් පවතිනවා.

මේ ඊට සුදුසු කාලය නෙමෙයිද..?

මේ අවස්ථාවේ එතුමා සියල්ල දාලා ගියොත් පක්ෂය තවත් දුර්වල වෙනවා. අපි පක්ෂය ශක්තිමත් කරගෙන යන ගමනේදි අපි මේ ගැන කතා කළා. සියල්ලෝම කිව්වේ තව වසරක් හෝ දෙකක් යන විට පක්ෂය ශක්තිමත් වූ විට එයින් මතුවන කෙනෙක් තෝරා ගමු කියලා.

අලියා ලකුණින් තරග කළා නම් දිනන්න අවස්ථාවක් තිබුණා? අලියා දැන් අමතක වෙලාද?

නැහැ. නැහැ. ඒ නිසයි මම කිව්වේ පක්ෂය ශක්තිමක් කරගත යුතු බව.

එසේම අලියා ලකුණ තමයි ඉදිරි මැතිවරණවලදි භාවිත කරන්නේ. මේ අවස්ථාවේ සන්ධානයෙන් යාම වැදගත් බව අපි කල්පනා කළ නිසයි මෙවර සිලින්ඩරයෙන් ඉදිරිපත් වුණේ.

සේයාරූ – දුෂ්මන්ත මායාදුන්න

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division