– සජබ, එ.ජා.ප එකට එකතු වීමේ එකම බාධාව රනිල් වික්‍රමසිංහ
– සුදුසු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවීම මහජනතාවගේ වගකීමක්
මහ මැතිවරණයට තව සතියයි. තවමත් මැතිවරණ උණුසුමක් නැහැ. කුඩා රැලිවලට සිමා වෙලා. මුදල් වියදම් කරලා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ කියලා හිතෙනවද..?
මීට දශක කිහිපයට පෙර තිබූ මැතිවරණවල නම් මැතිවරණ ප්රචාරක ව්‍යාපාර හා මැතිවරණය පිළිබඳ ජනතාව තුළ ඉහළ උනන්දුවක් තිබුණා. නමුත් මෑත කාලයේ ක්‍රමානුකූලව එම උනන්දුව හා මැතිවරණ ප්රචාරක ව්‍යාපාරවල අඩුවක් පෙනෙන්නට තියෙනවා. විශේෂයෙන් මැතිවරණ ගැටුම් ඇති නොවීම නම් අපි අගය කළ යුතුයි.
රටක මැතිවරණ ගැටුම් ඇතිවීම අපට අනුමත කරන්න බැහැ. පසුගිය ජනාධිපතිවරණයේදි යම් උණුසුම් තත්ත්වයක් තිබුණා. නමුත් එයත් සමඟ ජනතාව තුළ යම් උදාසීනතාවක් තිබුණා.
නමුත් ග්‍රාමිය පළාත්වල මේ මැතිවරණය පිළිබඳ යම් උනන්දුවකුත් අපි දකිනවා. ප්‍රචාරණ ව්‍යාපාරවල යම් අඩුවක් දකින්නට තියෙනවා.
ජයග්‍රහණයට ඇති අභියෝග හමුවේ මුදල් වියදම් කිරීම අපරාධයක් යැයි සිතනවාද..?
මුදල් වියදම් කර රැස්වීම් පමණක් නෙමෙයි, මුදල් අනවශ්‍ය පරිදි දේශපාලනයට යෙදවීමත් නාස්තිකාර දෙයක්. එය රටට සුබදායක නැහැ. ඡන්දදායකයන්ගේ කැමැත්ත මුදලට ලබා ගැනීමේ ව්‍යාපාර රාශියක් මේ වනවිට සිදුවෙමින් පවතිනවා. එය ප්රජාතන්ත්රවාදි රාමුවක් තුළ නරක පූර්වාදර්ශයක්. මුදලට මැතිවරණ ව්‍යාපාර කිරීම යුක්ති සහගත දෙයක් නෙමෙයි.
ජනාධිපතිවරණයේදි සජබය දැඩි සටනක් දුන්නා. අවසානයේ පළමු වතාවට දෙවැනි මනාපයක් දක්වා ගියා. මෙවර කොහොම වෙයිද?
මෙම මැතිවරණය සඳහා සජබය මැතිවරණ උපායමාර්ගයක් ලෙස යොදා ගන්නේ බිම් මට්ටමේ ජනතාව දැනුම්වත් කිරීමේ කුඩා ජනහමු හා කුඩා ප්රචාරක රැලි. අපි විශාල රැලිවලට යාම අඩු කළා. ප්‍රචාරණ ව්‍යාපාරයේදි ගෙයින් ගෙට යාම වැඩි වශයෙන් කරන්නට උපදෙස් දුන්නා. ඒ සමඟම ප්‍රධාන රැලි අපි අඩු කළා. ජනාධිපතිවරණයට අපි විශාල රැලි රාශියක් පැවැත්වුවා.
ඒ නිසා මෙවර කුඩා ජනහමුවලට සීමා කළා. මෙවර මැතිවරණයේ ජනතාව වැඩිය සද්ද බද්ද නොකර තමන්ගේ තීරණය ගැනීමට බලාගෙන සිටිනවා. ඒ වගේම මාලිමාව කෙරෙහි තියෙන විශ්වාසයත් සති පහක් හයක් තුළ වෙනස් වෙලා. තරමක පසුබෑමක් මාලිමාවේත් තියෙනවා.
අපි සංවිධානය වන්නේ ජයග්‍රහණය පතායි. ජනාධිපතිවරණයෙන් අත්හැරුණු ඒ අවස්ථාව මහමැතිවරණයෙන් ලබා ගැනීමේ උත්සාහයකයි අපි ඉන්නේ.
ඔබ ඔය සංසන්දනය කරන්නේ ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය සමඟද?
ඇල්පිටිය ප්‍රතිඵලය හොඳ සිග්නල් එකක්. ඇල්පිටිය කියන්නෙ වාමාංශික කොට්ඨාසයක්. එක්සත් ජාතික පක්ෂයට වාසියක් වුණෙත් 1977 දී පමණයි. අනිකුත් සෑම වතාවකදීම පරාජයට පත්වුණු කොට්ඨාශසයක්. නමුත් 17,000ක් මාලිමාවට ඡන්දය ලැබෙන විට 19,000ක් මාලිමාවට විරුද්ව ඡන්දය දුන්නා.
මන්ත්‍රීධුර සංඛ්‍යාව සමාන වුණා. එසේනම් ඇල්පිටිය ජනතාව දුන්නේ රටේ ජනතාවගේ සිග්නල් එකයි. අනවශ්‍ය පරිදි ඕනෑම පාර්ශ්වයකට බලයක් දෙන්න ජනතාව එතරම් කැමැති නැහැ. මේ නිසා මධ්‍යස්ථ කොටස් මෙවර හිතලා බලලා ඡන්දය දෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා.
ඒත් ආණ්ඩුව මෙවර වැඩි බලයක් බලාපොරොත්තු වෙනවා?
කිසිසේත් මාලිමාවට තුනෙන් දෙකේ බලයක් ගන්න බැහැ. බහුතර බලය ලබා ගැනීම පවා තියෙන්නේ අවදානමක. මෙවර මහජනතාව හැසිරෙන ආකාරය, ඇල්පිටිය හොඳ උදාහරණයක්.
මේ වන විට සජබයේ සුදානම ආණ්ඩුවක් පිහිටුවීමටද? නැතිනම් ප්‍රබල විපක්ෂයක් ගොඩනැඟීමට ද?
ජනාධිපතිවරණයෙන් අහිමි වූ අවස්ථාව ලබා ගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත්කර ආණ්ඩුවක් පිහිටුවීමයි අරමුණ. මූලික ඉලක්කය මේ මැතිවරණය ජයග්‍රහණය කිරීම.
අනුර කුමාර ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රය වුණේ හොරු ඇල්ලීම, දූෂණයට විරුද්ධව ක්‍රියා කිරීම හා අපේ රටින් ගිය මුදල් යළි රටට ගැනීම. නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ න්‍යාය පත්‍රය වුණේ රට ගොඩ නැඟීමයි. අපිට ඒ සඳහා අවශ්‍ය පිරිස ඉන්නවා.
ඔහුයි අපියි අතර න්‍යාය පත්‍ර දෙකක්. ජනතාව ඡන්දය දුන්නේ හොරු අල්ලන න්‍යාය පත්‍රයටයි. එය ජනාධිපතිවරයාට කරගෙන යාමට ඉඩදීලා අපි රට හදන වැඩපිළිවෙළ කරනවා.
මේ ආණ්ඩුව තුන් දෙනෙක්ගෙන් කරගෙන යනවා. නමුත් පසුගියදා විපක්ෂය විවිධ පුරෝකතන සිදු කළා. මාලිමාවට රට කරවීමට නොහැකි බව?
ආණ්ඩුව දැන් බොහෝ දේවලට මුණිවත රකිනවා. යම් යම් දේ සඳහා තර්ජන කරන්නත් උත්සාහ ගන්නා බව පේනවා. ඔවුන් බලයට පත් වූ වහාම විදුලි බිල අඩු කිරීම, ඉන්ධන මිල අඩු කිරීම, බදු සංශෝධන කිරීම ගැන කතා කළාට අද ඒවාට මුල පුරලවත් නැහැ. විදුලි බිල අඩු කරන්න ආණ්ඩුවක් අවශ්‍ය නැහැනේ. මේවා සිදුකළ හැකි ප්‍රතිපත්තිමය කාරණා නිසා ඒවා ඉටු කරන්න ආණ්ඩුව පෙළඹි නැහැ. ඒ නිසා ජනතා විශ්වාසය දිනෙන් දින බිඳ වැටෙමින් යනවා.
ඔවුන් අසමත් ආණ්ඩුවක් බවට පත්වෙලා. පළපුරුද්දක් නැතිකම්, සම්බන්ධකම් නැති බව මෙන්ම කණ්ඩායමක් නැති බව කැපී පෙනෙනවා. තවම ආණ්ඩුව ගැන විවේචන කරන්න කාලය මදි වුවත් පසුව ඕනෑ තරම් කතා කරන්න දේ ලැබෙයි.
ආණ්ඩුව පිළිබඳ විවේචන කළ නොහැකි වීම අනිකුත් පක්ෂයන්ට මැතිවරණ ව්‍යාපාරයට බාධාවක් නෙමෙයිද?
ඔව්. මේ මැතිවරණය තවත් මාස 6කින් පසුව තිබුණා නම් ජනතාවට ජනාධිපතිවරයාගේත් වත්මන් ආණ්ඩුවේත් නිරුවත දකින්නට තිබුණා.
නමුත් කෙටි කාලයක් නිසා විවේචන හා දෝෂාරෝපණවලට තිබූ කාලය සීමිතයි. ඒ නිසා ආණ්ඩුවේ විශ්වාසය රැක ගැනීමට ඔවුන්ට ලොකු වෙහෙසක් ගැනීමට සිදු වෙයි.
ආණ්ඩුව තවමත් අලුත් කියන එක ඔවුන්ගේ වාසියට හරවා ගෙන. නමුත් හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙයි කිව්වා වගේ ආණ්ඩුවේ අසාර්ථකත්වය පෙනිලා තියෙන්නේ.
මාලිමාවේ බලාපොරාත්තුව ඔවුන්ගේ අපේක්ෂකයන්ගෙන් පාර්ලිමේන්තුව පිරවීම.
ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් මාධ්‍යට කියනවා, වල්බූරු නිදහස භාවිත කරන්න එපා කියලා. එය තර්ජනයක් නෙමෙයිද? ලාල්කාන්ත කියනවා, අපි ආණ්ඩු හදපුවාම බලාගමු කියලා. මේවායින් පෙනෙන්නේ විවේචනය හා දෝෂාරෝපණය ඔවුන්ට ඔරොත්තු නොදෙන බවයි.
වත්මන් ආණ්ඩුවේ ගමන් මඟ සජබය දකින්නේ කෙසේද? දැනෙන වෙනසක් ඇති වෙලාද?
ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඇති කරන්න ආණ්ඩුව අපොහොසත් වෙලා තියෙනවා. ජනතාවගේ අපේක්ෂාව වුණේ වෙනසක්.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව ගැන ඔවුන් වේදිකාවේ කිව්වේ මොනවාද? තමන් ආපු ගමන් ඊට සම්බන්ධ අයට නීතිය ක්‍රියාත්මක කරන බව කිව්වා. නමුත් වග උත්තරකරුවකු ලෙස අර්ජුන් මහේන්ද්‍රන්ව රටට ගෙන්වා ගැනීමටවත් නොහැකි වෙලා. රටට ජාතික වශයෙන් වැදගත් වන කිසිදු දෙයකට අවතීර්ණ වුණේ නැහැ.
සජබ ආණ්ඩුවක් හැදුවොත් ආර්ථිකය ගොඩනංවන වැඩපිළිවෙළ කුමක්ද?
අපේ ආර්ථික වැඩපිළිවෙළ ජනතාවට කිව්වා. අර්ථිකයට අලුත් මුදල් එකතු වෙන්න ඕන. ජාතික නිෂ්පාදිතය වැඩි කිරිමට පියවර ගත යුතුයි.
තාක්ෂණය මුසු කළ යුතුයි. ඊට විදේශ විනිමය සොයා ගන්නා ආකාරය අපි බ්ලූ ප්‍රින්ට් හරහා රටට පෙන්වා දුන්නා.
ඒ නිසා රටට දේශපාලන ස්ථාවරත්වය ඇති කර ජනතාව අපේක්ෂා කරන පරිවර්තනය ඇති කිරීම සූදානම්.
සජබයත් යූ ඇන් පීයත් එක්වුණා නම් ගමන වේගවත් කියා සිතෙන්නේ නැද්ද?
එක්සත් ජාතික පක්ෂයක් සමඟ එකතු වීම වැරදි නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වීමයි අපි ප්‍රතික්ෂේප කරන්නේ.
පසුගිය ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ ජනපති අනුර කුමාරගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කළා ද කියා ජනතාව කියනවා. දිනන්න බැරි බව දැනගෙන ඡන්ද කැඩීමට ඔහු ඉදිරිපත් වූ බවයි ජනතාව කියන්නේ.
එක්සත් ජාතික පක්ෂය කියනවා, මැතිවරණයෙන් පසු මේ පක්ෂ දෙක එකට එකතු වන බව. එහෙම වෙයිද?
ඒකට ඇති එකම බාධාව රනිල් වික්‍රමසිංහ. ඔහු පක්ෂයෙන් ඉවත් වී අලුත් නායකත්වයක් ලබා දුනහොත් අලුත් ප්‍රවේශයක් පිළිබඳව සාකච්ඡා කළ හැකියි.
සජබය පිලිබඳ පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල වුණා. විශේෂයෙන් නාම යෝජනා ලබා දීම් සම්බන්ධව.
නාමයෝජනතා ලබා දීමේදි විවිධ අර්බුද ඇති වූ බව අපි පිළිගත යුතුයි.
එහිදි ගැටලු බොහෝමයක් තිබුණා. අඩුපාඩුකම් පිළිගෙන අපි ඉදිරියට මුහුණ දිය යුතුයි. කවුරු හෝ කියනවා නම් සමාජයේ ප්‍රතික්ෂේප කළ පිරිස් නාමයෝජනා සඳහා දමා ඇති බව.
මහ ජනතාවට කියන්නේ එහෙම අයට ඡන්දය දෙන්න එපා. හොඳ පිරිස් සියයට 99ක් ඉන්නකොට එක් කෙනෙක් අල්ලාගෙන දෝෂාරෝපණය කරන්න හොඳ නැහැ. ඒ නිසා සුදුසු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවීම මහජනතාවගේ වගකීමක්.
මෙවර ඔබ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට කී දෙනෙක් එවිය හැකි වෙයිද?
අපි බහුතරය එනම් 113කට වඩා මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලැබෙයි කියා විශ්වාස කරනවා.
සුභාෂිණි ජයරත්න