Home » දූෂිත දේශපාලඥයන් සහ නිලධාරීන් එක්ක රට හදන්න බැහැ

දූෂිත දේශපාලඥයන් සහ නිලධාරීන් එක්ක රට හදන්න බැහැ

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක - මාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

ජනමාධ්‍යවේදියකු වන ඔබ දේශපාලනයට ඒමට තීරණය කළේ ඇයි?

මාධ්‍ය තෝරා ගැනීමට මෙන්ම දේශපාලනය තෝරා ගැනීමට, මට සුවිශේෂ හේතු කාරණා තියෙනවා. මා මාධ්‍යවේදියෙක් වුණේ අහම්බෙන් නොවෙයි. මගේ පියා ද බොහෝ කැපවීම් කළ මාධ්‍යෙව්දියෙක්. රටේ පැවැති දැවැන්ත භීෂණකාරී වාතාවරණයේදී ඒ සියලු ඛේදජනක රටට ජනතාවට අනාවරණ කරන්න ඔහු දිවා රෑ වෙහෙසුණා. මාධ්‍යෙව්දියකුට සමාජයට බොහෝ මෙහෙවර කළ හැකි බව කුඩා කළ සිට මගේ හිතට ඇතුළු වුණ කරුණක්. තාත්තා කළ කී දෑ හා ඔහුගේ අසීමිත කැපවීම් තුළින් මට ඔහුගේ චරිතය පූර්වාදර්ශයක් වුණා. 2000 වසරේදී මම මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසුණේ කිත්සිරි නිමල් ශාන්ත නම් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියාගේ ආශීර්වාදයෙන්. එතැන් සිට වසර විසි හතරක් මම වෘත්තීය පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළා.

පෑන බිම දමා ඊනියා දේශපාලනඥයකු වීමට මගේ කිසිම කැමැත්තක්, ආසාවක් නොතිබුණත් ගෙවී ගිය දිගු කාලය තුළ මේ රටේ පැවති අවාසනාවන්ත, අඳුරු, ජඩ පාලන ක්‍රමය ගැන වැටහෙද්දි හිතට විශාල කලකිරීමක්, පසුතැවිල්ලක්, වේඳනාවක් දැනුණා. පහුගිය කාලයේ දිගටම ජනමතයක් ගොඩ නැඟුණේ, සහ ගොඩනැඟුවේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම එපා කියලයි. ඒ 225 අතරේ මේ රටට සමාජයට වැඩ කරපු හොඳ මිනිසුන් කී දෙනකු හිටියාද? ඒත් මිනිස් මොළ හෝදන්නන් කළේ ඒ ඔක්කොම එක ගොඩකට දාලා බැටේ දෙන එක නේද?

ඔබ කියන ඒ අවාසනාවන්ත තත්ත්වයකට රට පත්වුණේ කොහොම ද?

මේවා අපි ඉතා විමසිල්ලෙන් සැලකිල්ලෙන්, විචක්ෂණශීලිව බලන්න ඕනෑ. 76 වසරක කාලයක් පුරා මේ රට කරවපු ඇත්තන් කළේ රට විනාශ කිරීම නම්, අද ඈත පිටිසර ගොවියන්, ධීවරයන්, කම්කරුවන් වැනි දිළිඳු පවුල්වල බුද්ධිමත් දූ පුතුන්ට සරසවි වරම් ලැබුණේ කෙසේ ද? ඒ, 1956දී සිදු කෙරුණු සමාජ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික විප්ලවය නිසා බව ඉතා පැහැදිලියි. ඒත් සරසවිවල අදත් උපාධි හදාරන හා හදාරා සමාජයේ නේක තනතුරු දරන පිරිස, තමන් අද සිටින උසස් තත්ත්වයට පා නඟන්නට මඟ එළිපෙහෙළි කරපු අයුරු අමතක කිරීම කොතරම් යුක්ති යුක්තද යන්න කල්පනා කර බැලිය යුතුයි.

මාධ්‍යවේදී භූමිකාවෙන් ඔබ්බට ගොස් දේශපාලනය තුළින් සමාජ සංශෝධනයක් කළ හැකියි කියලා ඔබ විශ්වාස කරනවාද ?

මාධ්‍යවේදියකු සතුව ඉතා පුළුල් භූමිකාවක් තිබුණත් ඔහුට කළ හැක්කේ යම් දෙයක් ගැන ජනතාවගේ මෙන්ම අදාළ වගකිව යුත්තන්ගේ අවධානයට ලක් කිරීම පමණයි. දූෂණයක්, අක්‍රමිකතාවන් පෙන්නා දීම සහ අනාවරණ කිරීම පමණයි. ඒත් දේශපාලන ක්‍රියාකාරීත්වය ඔස්සේ ජනතාව අතර‌ට ගොස් ඔවුන්ගේ අවශ්‍යතා හොයා බලා ඊට ඇවැසි පිළියම් යොදන්න සවිය ඇත්තේ ආණ්ඩුවටයි. ඒ වගේම විපක්ෂයේ

දේශපාලනයේ නියැළෙන්නන්ටත් සමාජය පීඩාවට පත් කරන කරුණු ගැන සහ ජනතා අවශ්‍යතා පිළිබඳ ඍජුවම පාලක පක්ෂය වෙත යොමු කරන්නත් ඔවුන් ලවා ඒවාට පිළිතුරු සපයන්නත් හැකියාව තිබෙනවා. කිසිදු විටෙක මාධ්‍යකරුවාගේ මෙහෙය සහ දේශපාලකයාගේ මෙහෙය සමාන වන්නේ නැහැ. ඒ අතර ඇත්තේ අහස පොළොව හා සමාන වෙනසක්.

ඔබ තරග කරන්නේ ප්‍රබලයන් රැසක් සිටින කොළඹ දිස්ත්‍රික්කයෙන්?

කොළඹ දිස්ත්‍රික්කයෙන් දේශපාලන ප්‍රබලයන් රැසක් තරඟ කරනවා. නමුත් දැන් ජනතාවට ඇවැසි අලුතින් රටට යමක් කරන්න හැකි දක්ෂ පිරිසක්. එම නිසා අපේ හැකියාවන් ගැන අප අතීතයේ කරපු කියපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙනවා යන විශ්වාසය අපේ කණ්ඩායමට තියෙනවා.

ඒ වගේම විවිධ අවස්ථාවන්හි විවිධ අපේක්ෂකයන් විවිධ පක්ෂවලින් නවකයන් හැටියට පිවිස කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර ජයගත් බව පැහැදිලිව පෙනෙන කාරණාවක්. උදාහරණ විදියට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාඨලී චම්පික රණවක, ජගත් කුමාර, හර්ෂ ද සිල්වා වැනි අය නවකයන් හැටියට ඇවිත් පාර්ලිමේන්තුවේ අසුන් ගත්තා නේද? ජනතාවට අප කෙරෙහි විශ්වාසයක් තියෙනවා නම් ජයග්‍රහණය වළක්වන්න බෑ.

ඔබේ කණ්ඩායමේ බහුතර අපේක්ෂකයන් විදෙස්ගතව සිට ආපසු මවුබිමට පැමිණි අය?

ඔව්, මා ඇතුළු අපේ කණ්ඩායමේ සිටින බොහෝ අපේක්ෂකයන් විදෙස්ගතව සිට ආපහු මවුබිමට ආවේ මේ රට වැටී ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් ගලවා ගැනීමේ දැඩි අපේක්ෂාවෙන්. කැනඩාව, ජපානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු කොරියාව වැනි රටවල් රැසක ඉතා සාර්ථකව දිවි පෙවෙතක්ගත කළත් අප බොහෝ දෙනෙක් විදෙස්ගත වෙලා හිටියෙ කැමැත්තෙන් නෙවෙයි. අප බහුතරය එම රටවල්වල ස්ථිර පදිංචිය තිබූ අය වගේම කාලයක් තිස්සේ විශාල විදේශ විනිමයක් මේ රටට එවූ පුද්ගලයන්. ඒ සියල්ල අතහැර යළි නොයන බලාපොරොත්තුවෙන් මෙහි ඇවිත් මහමැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ මේ රටට තිබෙන ආදරය නිසයි. අපට අවශ්‍ය පිටරටින් අප ඉගෙන ගත් දේවල් පාර්ලිමේන්තුව හරහා මේ රටට කියන්නයි. ඒ වගේම විවිධ විෂයය ක්ෂේත්‍ර ගැන දැනුමක් තියෙන අලුත් මුහුණු පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියන අරමුණත් ඇතිවයි අපි මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වෙන්නේ.

ඔ‌බ නියෝජනය කරන පක්ෂය විසින් හඳුනා ගෙන ඇති රටේ සංවර්ධනයට හානි කරන ප්‍රධාන ගැටලු මොනවාද?

රටක සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට මොන තරම් හොඳ ප්‍රතිපත්ති ලේඛනගත කර තිබුණත් සැලසුම් සකසා තිබුණත් දූෂිත දේශපාලනඥයන් සහ දූෂිත නිලධාරීන් එක්ක ඒ ගමන යා නොහැකි බව අපේ විශ්වාසයයි. රටක් ශීඝ්‍ර සංවර්ධනයක් කරා ඔසවා තැබීමට නම් මේ රටේ ඇති සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. සම්පත් විකුණාගෙන කෑම විසඳුමක් නෙවෙයි.

අපේ රට මේ වන විට ආර්ථික වශයෙන් ගැටලු ගණනාවකට මුහුණ දී තිබෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ සංවර්ධනමය ගැටලු තිබෙනවා. මේ සියල්ලට විසඳුම් දීමට හැකි බුද්ධිමත්, තරුණ, දක්ෂ පිරිසක් අද පාර්ලිමේන්තුවට අවශ්‍යයි. බුද්ධි ගලනය වහා නවතා බුද්ධිමතුන්ගේ දැනුම රටේ සංවර්ධනයට ඵලදායී අයුරින් යොදා ගැනීමට පියවර ගත යුතුයි.

ඔබ නියෝජනය කරන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජයග්‍රහණය ගැන ඔබේ අදහස කුමක්ද?

අපේ පක්ෂයේ ජයග්‍රහණය තීන්දු කරන්නේ මේ රටේ උගත් බුද්ධිමත් ඡන්දදායකයන් මිස අප නොවෙයි. අපි අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ජනතාව වෙත ඉදිරිපත් කළා. ඔවුන් බුද්ධිමත් නොවී රැල්ලට හසුවෙලා ගසාගෙන ගියොත් අපට ආසන දෙක තුනකට වඩා ලබා ගන්න නොහැකි වේවි. ඒත් ලාංකේය බුද්ධිමත් ජනතාව නිසි සේ තමන්ගේ වගකීම ඉටු කළොත් අපේ හත් අට දෙනෙකුටවත් ඒ අවස්ථාව ලැබේවි.

සුරේකා ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division