පාර්ලිමේන්තු මහ මැතිවරණයට හරියටම ඇත්තේ තවත් දින 4කි. ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් මැතිසබය තුළ තම ශක්තිය උරගා බැලීමේ මෙහෙයුම් දියත්කර ඇති නිසාත් ඒ සඳහා දේශපාලන නායකයන්ද සහභාගී වී ඇති නිසාත් දේශපාලන ක්ෂේත්රය මේ වන විට බොහෝ උණුසුම් වී තිබේ.
ජනපති අනුරගෙන් එළවළු හමුදාවට
නුවරඑළියේ පිහිටි ජනාධිපති මන්දිරය සහිත උද්‍යානයේ කාබනික එළවළු හා පළතුරු වගා කෙරෙන්නේ රටේ ජනාධිපතිවරයාගේ පරිභෝජනය සඳහාය. සිකුරාදා සවස නුවරඑළිය ජනාධිපති මන්දිරයේ සිට එළවළු සහ පළතුරු කිලෝ ග්‍රෑම් 60 බැගින් කොළඹ ජනාධිපති මන්දිරයට එවීම වසර ගණනාවක් තිස්සේ සිදුවන්නකි. නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙම කරුණු වාර්තා වීමෙන් පසුව ඔහුට අපූරු අදහසක් මතු විය.
“අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට පිටකොටුව එළවළු මාර්කට් එකේ එළවළු, පළතුරු කන්න හොඳ නම් ඒක මටත් පොදුයි. මාත් සාමාන්‍ය මනුස්සයෙක්.” යැයි කී ජනාධිපතිවරයා කාබනික වගාවේ එළවළු පළතුරු තමන්ට අවශ්‍ය නොවන බවත් ඒවා ආරක්ෂක අංශයට පරිභෝජනයට ගන්නා ලෙසත් අදාළ අංශවලට උපදෙස් ලබාදෙන ලදී.
රටේ දේශපාලනයට ප්‍රමිතියක් ගෙන එන බව ජනපති කියයි
මෙරට දේශපාලනයට ප්‍රමිතියක් සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේ මහ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ඉකුත් 4 වැනිදා අම්පාරේ පැවැති ජන රැලියට සහභාගි වෙමිනි.
සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුව බවට අද ජාතික ජන බලවේගය ආණ්ඩුව පත්ව තිබෙන බවත් රටේ සහ දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ ආර්ථික වශයෙන් අත්පත් කරගන්නා සංවර්ධනයෙන් පමණක් නොවන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
නිර්භීත තීන්දුවක්
“පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව ඉතා නිර්භීත ධෛර්යවන්ත තීන්දුවක් ගත්තා. දීර්ඝ කාලයක් මේ රට පාලනය කළේ දූෂිත ප්‍රභූ කණ්ඩායමක්. ඔවුන් අපේ රටේ සම්පත් බහු ජාතික සමාගම් වෙත විකුණා දැමුවා. ඔවුන් භාණ්ඩාගාරයේ ධනය හිතූ හිතූ සේ පාවිච්චි කළා. මහජන දේපළ පරිහරණය කළා. මම දැක්කා ළඟදි පුවත්පතක පළ වී තිබෙනවා මේ අම්පාර දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙක් අවුරුදු 36කට පසු නිවස භාර දුන්නා කියලා. ඒ අය මෙහෙත් එහෙමයි, කොළඹත් එහෙමයි. ඔවුන් රජයේ නිවාසවලින් ඉවත් කරන්න නඩු දාන්න අප තීන්දු කර තිබෙනවා. ඔවුන් මුළු ජීවිත කාලයම ආණ්ඩුවෙන් යැපුණු අය. මේ රට මහා ණය උගුලක හිර කරපු ඔවුන් ඔවුන්ගේ පවුල්වල උදවියට හා වටේ සිටින කණ්ඩායම්වලට පමණක් සේවයක් කළ අයයි.”
ගම්මන්පිලගේ අභියෝගය විජිත තඹේකට ගණන් නොගනී
පාස්කු කමිටු වාර්තා, මුදල් අච්චු ගැසීම, ණය ලබා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් උපුටා දක්වමින් පසුගිය දිනවල උදය ගම්මන්පිල විසින් ආණ්ඩුවට අභියෝග කළේය. පසුගිය දිනවල පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමු කිහිපයකදීම ගම්මන්පිලගේ මෙම අභියෝගය ගැන මාධ්‍යවේදීන් විජිත හේරත් අමාත්‍යවරයාගෙන් දිගින් දිගටම විමසන්නට විය.
“ඔය හැම කාරණයකටම ආණ්ඩුව විසින් ඉතා පැහැදිලි පිළිතුරු ලබා දීලා තියෙන නිසා ගම්මන්පිලගේ අභියෝගවලට තවදුරටත් පිළිතුරු දීම කාලය නාස්ති කිරීමක්. තවත් ඒ ගැන කතාකරලා වැඩක් නැහැ” යැයි විජිත හේරත් අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.
ජනමාධ්‍යයට වැට බඳින්නේ නෑ
රජය මාධ්‍ය මර්දනයේ යෙදෙන්නේ දැයි ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් වත්මන් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් පැවැසුවේ ආණ්ඩුව කිසි විටෙකවත් මාධ්‍ය මර්දනයක් සිදු නොකරන බවය. මාධ්‍ය සදාචාරයන්ට අනුව වැඩ කිරීම මාධ්‍ය ආයතනවල වගකීම බවත් ප්රවෘත්ති ප්‍රචාරණය කරන විට එහි වගකීම එකී මාධ්‍ය ආයතන සතු බවත් හෙතෙම කීවේය.
අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය කිසි විටක මාධ්‍යවේදීන්ට බාධා කර නැති අතර, ඇයගේ ආරක්ෂකයන් ආරක්ෂාව සපයමින් සිටියදී වූ පුංචි සිදුවීමක් අල්ලාගෙන මාධ්‍ය මර්දනය කිරීමක් කරනවා යැයි අර්ථකථනය නොකළ යුතු බව ද විජිත හේරත් ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මුස්ලිම් විවාහ නීතිය වෙනස් නොකරයි
මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැති බව ද අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පසුගිය 6 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
ඕනෑම ආගමක පනත් පිළිබඳ සංශෝධන අවශ්‍ය නම් එය කරන්නේ ඒ ඒ ආගමේ නායකයන් හා විද්වතුන් සමඟ සාකච්ඡා කර බවද, මුස්ලිම් ජනතාවට දැනට ක්‍රියාත්මක වන ඉස්ලාම් විවාහ නීතිය වෙනස් කිරීමට කිසිදු තීරණයක් රජයක් ලෙස ගෙන නැති බව විෂය භාර ඇමැතිවරයා ලෙස වගකීමෙන් පවසන බවද ඇමැති විජිත හේරත් සඳහන් කළේය.
සජිත් සීරුවෙන්
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ වන විට වැඩි අවධානයක් යොමු කරමින් සිටින්නේ සිරිකොත එක්සත් ජාතික පක්ෂයේ මුලස්ථානය වෙතය. ඊට හේතුව පසුගියදා ඔහුට ලැබුණු තොරතුරකි.
ඉන් කියැවුණේ සජබයේ පිරිසක් හොර රහසේ එ.ජා.ප. නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසෙන බවකි. එම කපුකම එජාපයේ සභාපති වජිර අබේවර්ධන විසින් සිදු කොට ඇති බවද වාර්තා වී තිබිණි. පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් පසුව සජබයෙන් තේරී පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් රනිල් වික්‍රමසිංහට සහාය ලබා ගැනීමේ සැලසුමක් මේ වන විටත් වජිර අබේවර්ධන විසින් ආරම්භ කර තිබීම ඊට හේතුව බවද වාර්තා වේ.
සිංහයා ඇහැරිලා
“නිදාගෙන හිටපු සිංහයා ඇහැරවා ගත්තේ නැත්නම් මාලිමාවට මීට වඩා හරි ලේසියෙන් ඡන්ද සටන මෙහෙය වන්න තිබුණා” රුවන් කීවේ කොළඹ මල් පාරේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ කාර්යාලයේ මැතිවරණ මෙහෙයුම් සාකච්ඡාවක් අතරතුර නායක රනිල් අමතමිනි.
” මොකක්ද ඒ කතාව?” දොළවත්ත විමසුවේ රුවන් කී දේ එක්වරම නොවැටහුණු බැවිනි.
” නායකතුමා විවේක පාඩුවේ අපේ පෙරමුණට මඟ පෙන්වීම කරමින් ඉන්නයි සූදානම්ව හිටියේ. මාලිමාවේ උදවිය තමයි බොරු චෝදනා කරලා නායකතුමා අවුස්සා ගත්තේ”රුවන් කීය.
” ඇත්තෙන්ම මම රැස්වීම් තුන හතරකට වඩා අමතන්න හිතාගෙන හිටියේ නෑ. කජු කතා, කුඩ කතා කියල මේ අය බැලුවේ මම මඩ දේශපාලනයට ඇදලා ගන්න. මම ඒ අයගේ ගැටේට අහු වුණේ නෑ. මේ රට තියෙන්නේ ලොකු ආර්ථික අර්බුදයක. ඇත්තෙන්ම තාම තියෙන්නේ පිහි තුඩක ආර්ථිකයක්. කජු කතා, කුඩ කතා කිය කිය ඉඳලා හරියන්නේ නෑ.මේ අය වේදිකාවේ වාගාලාප කියවන වෙලාවේ මම ආර්ථිකය ගැන මතු කරන ප්‍රශ්නවලට ආණ්ඩුව උත්තර හෙව්ව නම් රටටත් හොඳයි, ඒ අයටත් හොඳයි” රනිල් ගැඹුරු උත්තරයක් දුන්නේය.
” මේ අය ඡන්දෙ පහු වෙනකම් ආර්ථිකය රබර් බෝලයක් වගේ තද කරගෙන ඉන්නවා. පිරිවැය ආවරණය කර නොගෙන ගෑස් මිල හිර කරගෙන ඉඳලා දෙසැම්බර් මාසේ ලොකු ගාණකින් මේ අයට ඉහළ දාන්න වෙනවා” කංචන කීවේය.
හොර ගු හාවක්ද?
රනිල් සහ නීතිඥ කණ්ඩායමක් අතර බදාදා පැවති හමුවේදී “පාර්ලිමේන්තුව හොර ගුහාවක්” යැයි මාලිමාව නඟන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව රනිල් නීතිඥවරුන්ට කීය.
“දූෂණ විරෝධී කෙටුම්පත් සම්මත කරගත්තේ මේ පාර්ලිමේන්තුවෙන්. අපරාධයකින් ලබාගත් දේපළ රාජසන්තක කිරීමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා. පාර්ලිමේන්තුව හොර ගුහාවක් නම්, දූෂණ කරනවා නම් මේ කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගේන්නේ මොකටද?”රනිල් නීතිඥවරුන්ගෙන් ප්‍රශ්න කරන විට නීතිඥවරයකු පැවසූයේ ” අපිට වැටහෙන දේ ගොඩක් මිනිස්සුන්ට නොතේරෙන එකට කරන්නේ කුමක්ද?” කියාය.
ටිල්වින්ගේ සෙල්ෆි
පසුගිය දවසක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ස්වාධීන රූපවාහිනී ආයතනයට පැමිණියේ දේශපාලන වැඩසටහනක් පටිගත කිරීම සඳහාය. මෙම වැඩසටහනට ආරම්භ වීමට පෙර ආයතනයේ සේවකයන් ටිල්වින් සිල්වා සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීමට දැක්වූයේ දැඩි උනන්දුවකි.
ටිල්වින් සිල්වා පැමිණ ඇති ආරංචිය දැනගෙන තවත් පිරිස් පැමිණියද ඒ වන විට වැඩසටහන පටිගත කරමින් තිබූ නිසා සෙල්ෆි ඡායරූප ගැනීමේ බලාපොරොත්තු කඩ විය. නමුත් වැඩසටහන අවසන් වන තෙක් රැඳී සිටි ඔවුන් ටිල්වින් සිල්වා සමඟ සෙල්ෆි ඡායාරූප ලබා ගැනීම විශේෂ සිදුවීමක් විය.
මහින්ද වෙනුවෙන් පොහොට්ටුව පෙරට
නෙළුම් මාවතේ පොදුජන පෙරමුණේ කාර්යාලය තුළ බරසාර සාකච්ඡාවකි. පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න, තිස්ස කුට්ටිආරච්චි, පී. වීරසිංහ මෙම සාකච්ඡාවට එක්වී සිටියහ.
“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සමාන කරන්න පුළුවන් නායකයෙක් මේ රටේ ඉන්නවද? එතුමා අවුරුදු තිහක යුද්ධය නැති කළා. මොන තරම් තර්ජනයක් එතුමට තියෙනවද? අනික අනුර කුමාර ජනාධිපතිවරයට වගේ මහින්ද ජනාධිපතිතුමාට හෙල්මට් බළකායක් නෑ”සාගර කාරියවසම් කීවේය.
“මහින්ද ජනාධිපතිතුමාට දීලා තියෙන්නේ ජීප් දෙකයි. බයික් දෙකයි ත්‍රීවිල් එකකුයි විතරයි. මේක මහින්ද ජනාධිපතිතුමාට කරන අපහාසයක්” සංජීව එදිරිමාන්න කීවේය.
”මහින්ද ජනාධිපතිතුමාට මෙහෙම සලකන කොට අනාගතයේ බිහිවන කිසිම නායකයෙක් ජීවිත අවදානමක් අරගෙන වැඩ කරන්නේ නෑ. ත්රස්තවාදයේ අඳුරු හෙවණැලි දැන් හොල්මන් කරන්න පටන් අරගෙන. ඒ නිසා මහින්ද ජනාධිපතිතුමාගෙන් පලිගන්න බලාගෙන ඉන්න අයට මේක හොඳ අවස්ථාවක්. ඒ තත්ත්වය උදාකරන්න එපා කියලා අපි ආණ්ඩුවට බල කරමු” සාගර නැවතත් කීවේය.
සිරිකොත ගන්නේ කවුද?
එජාප මූලස්ථානය වන සිරිකොත නඩත්තු කිරීමට මාසයකට රුපියල් ලක්ෂ 20ක් පමණ වැය වෙන බව සිරිකොත ආරංචි මාර්ග කියයි. මීට පෙර මේ වියදම දැරීමට විවිධ අය මුදල් ලබා දුන්නද දැන් සියලුම බර පක්ෂ නායක රනිල්ට දැරීමට සිදුවී තිබේ. මෑතකදී එජාප ප්‍රබලයකු පක්ෂය බාර ගන්නා ලෙස රුවන් විජේවර්ධනට පවසා තිබේ. එහිදී රුවන් පවසා ඇත්තේ “අනේ අම්මෝ මට නං බෑ ඔය කරුමෙට කර ගහන්න”යනුවෙනි. මින් පෙර සිරිකොත හා එජාපය භාර ගැනීමට පෝලිමේ පුද්ගලයන් ආවද එජාපයට පරාජයේ අඳුරු සෙවණැලි වැටී ඇති මේ මොහොතේ කිසිවකුත් සිරිකොත හා පක්ෂය භාර ගැනීමට සූදානම් නැති බව එජාප ආරංචි මාර්ග කියයි.
රනිල් ගැන වජිර දුන් ඉඟිය
මෙවර මහමැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ සිලින්ඩරය ලකුණින් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු කුඩා පොකුරු හමු කිහිපයක් සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන පසුගිය සති අන්තයේදී සහභාගී විය.
අනතුරුව පැමිණ සිටි පිරිසෙන් කෙනෙක් එකවරම නැඟිට වජිරගෙන් මෙසේ ඇසුවේය.
“සර්, මේ ආණ්ඩුව කරන වැඩ අපිට දැන් හොඳටම පේන්න තියනවා. ඕන කෙනෙක්ට තේරෙනවා මේ විදිහට ගියොත් නම් අපිට ආයෙම මීට අවුරුදු දෙකකට පෙර තිබුණු තත්ත්වය උදා වෙයි කියලා. බැරි වෙලාවත් එහෙම තත්ත්වයක් උද්ගත වුණොත් මොකද සර් වෙන්නේ?”
“මුකුත් නෑ ඉතින්, ආයෙම කලින් වගේම ගොඩ දාලා දෙන්නම්” වජිර එසේ පවසා ඒ ගැනත් කරුණු කියන්නට විය.
කමල්ට මොකද වුණේ?
ජනප්‍රිය සිනමා නළුවකු වන කමල් අද්දරආරච්චි ද මෙවර මහාමැතිවරණය වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් තරග කරන්නේ රෝහණ විජේවීරගේ පුත් උවීදු විජේවීරගේ දෙවනි පරපුර පක්ෂයෙනි. මාලිමාවෙන් අපේක්ෂකත්වය නොලද තැන කමල් දෙවනි පරපුරට එක්වූ අතර, ඔහුගේ ඒ තීරණය පිළිබඳ කලක් සමීපව ඇසුරු කළ එජාපයේ ප්‍රබලයකු අපූරු කතාවක් කීය.
“එයාගේ වැඩේ ඉතින් ගෙම්බා වගේ පක්ෂෙන් පක්ෂෙට පැන පැන යන එක. කලින්ම රනිල් එක්ක හිටියා, පස්සේ මහින්ද ළඟට ගියා, 2015 වෙනකොට මහේෂ් සේනානායකට උදව් කළා. ජනාධිපතිවරණයට සතියකට කලින් මාලිමාවට හේත්තු වෙන්න ගිහින් අනුරගෙන් හොඳට අහගත්තා. ඒ ඇරියස් එකට තමයි ඔය දෙවනි පරපුරට හේත්තු වෙලා මාලිමාවේ ඡන්ද කඩන්න හිතාගෙන අර ලේ ඥාතික කතාව කිව්වේ.”
අරුම පුදුම කැන්වසින්
පසුගිය දවසක ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ගෙයින් ගෙට පැමිණි කිහිප දෙනෙකු අරුම පුදුම කැන්වසින්වල නිරත වූ බව වාර්තා වේ.
එක් කාන්තාවක් ඡන්ද පත්‍රිකා සමඟ ගෙයින් ගෙට ගොස් තිබුණේ හඬක් ගැන කියැවෙන එක්තරා දේශපාලන පක්ෂයක් වෙනුවෙනි. එම පක්ෂයේ අත් පත්‍රිකා ලබා දුන් කාන්තාවන් කියා සිටියේ මේ පක්ෂයට නම් ඡන්දය දෙන්න එපා කියාය. ඒ කතාවෙන් මවිත වූ නිවැසියන් විමසා සිටියේ ඒ ඇයිද කියාය.
“අපි මේ කරන්නේ සල්ලිවලට ගෙයින් ගෙට යාමයි. දවසකට රුපියල් 3000ක් හම්බවෙනවා. මේ කොළ බෙදුවට අපි ඡන්දෙ දෙන්නේ මාලිමාවට” යනුවෙන් එම කාන්තාවන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ඊට අමතරව තවත් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් ප්රචාරක කටයුතු වෙනුවෙන් ගෙයින් ගෙට යමින් සිටි පිරිසක් පවසා තිබුණේද පෙර කී කාන්තාවන් ප්‍රකාශ කළ දේමය.
ලාන්සා විමතියට පත් වෙයි
මහ මැතිවරණ උණුසුම සෑම දිස්ත්‍රික්කයකම මේ වන විට වඩාත් උද්වේගකරව පවතී. ඊට හේතුව මේ ගෙවෙන්නේ මැතිවරණ ප්රචාරක කටයුතුවල අවසන් හෝරා කිහිපය වීමය. නිමල් ලාන්සා ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම අස්සක් මුල්ලක් නෑරම මේ වන විට සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු දියත් කර හමාරය. මේ රැස්වීම් බොහොමයක රැස්ව සිටි ජනතාව ලාන්සාට කියූ විශේෂ පණිවිඩයක් විය. ගම්පහ ප්‍රදේශයේ වතු රැස්වීමකට පැමිණි රටේ ප්‍රබල අමාත්‍යාංශයක විශ්‍රාමික පරිපාලන නිලධාරියෙක් ද ලාන්සාට ළංවෙමින් මෙසේ කරුණු පහදා දුන්නේය.
“මම පරම්පරාවෙන් යූ.එන්.පී කාරයෙක්. මම කවදාවත් ඔබතුමාට ඡන්දයක් දීල නෑ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පහුගිය ආණ්ඩුවේ වැරදි තීන්දු නිසා මේ රට වැටිල නන්නත්තාර වෙලා තියනකොට ඔබතුමා තමයි පැත්තකට වෙලා හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්කගෙන ඇවිල්ල එතුමට උදව් කරන කණ්ඩායමක් හදලා රට මේ තැනට ගේන්න පෙරමුණ ගත්තේ. අන්න ඒ යුතුකම මම අමතක කරන්නෙ නෑ, ඒක නිසා ඔබතුමාට මම ඡන්දය දෙනව විතරක් නෙමෙයි මගේ පරම්පරාවේ ඔක්කොම ඔබතුමාට මනාපයක් දෙනවා” එම අදහස් දැක්වීම සාවධානව අසා සිටි ලාන්සා විමතියට පත්විය.
” බොහොම ස්තුතියි ඔබතුමාට…රට වෙනුවෙන් හෙටත් මම මගේ යුතුකම කරනවා. ඔබතුමාල බයවෙන්න එපා. ඒක ආණ්ඩුවේද විපක්ෂයේ ද කියල නෑ” ලාන්සා කීවේය.