සඳක් ලස්සන තරුත් තිබුණාමයි
මමත් ලස්සන ඔබත් උන්නාමයි
සඳක් සේ මගෙ සිතම සරසන්නේ
නුඔයි මගෙ ලොව එළිය කරවන්නේ…
ගහක් ලස්සන මලුත් තිබුණාමයි
මලක් වැටුණම ගහට දුක උරුමයි
සොබා දහමේ එහෙම තිබුණත්
අපි දෙදෙනනම් එක්ව සිටිය යුතුමයි…
දුක වුවද මට ඔබ ළඟදි සැපමයි
යම්දිනෙක අප නික්ම යා යුතුමයි
සොබා දහමේ එහෙම තිබුණත්
ඒ මොහොතෙදිත් එකට යන්න පැතුමයි…
ගායනය/ තනු නිර්මාණය – ලක්ෂ්මන් හේවාවිතාරණ
පද රචනය – සුගත් රාජපක්ෂ
අනාරාධිතවම ඇද හැළුණ හීන් වැහි පොදකට තෙමෙමින් සෙමින් යන ඇය දිහා මං බලාගෙන හිටියේ ඇස් අහකට ගන්න බැරුව. දෙනෝ දාහක් යන මාවත පාළුයි ඒ හැන්දෑවේ. පය ඉක්මන් කරලා ගිය මං ඇයට ළං වුණා.
“එන්න “ කිසිවක් නොහිතාම මම ඇයට ආරාධනා කළා.
ඇයත් එකවරම කුඩේ යටට ආවා.
“කොහෙට ද යන්නේ “
“කෝච්චියට“
මගේ ඇඟේ නොවදින්නට ඇය පරිස්සම් වුණා. මමත් එහෙමයි. ඉස්ටේෂමේදී ඇය මගෙන් වෙන් වුණා. මඳ වේලාවකින් කෝච්චිය ආවා. නුවර බලා දිවෙන ඒ දුම්රියට මං අනෙක් අයටත් ඉඩ දෙමින් නැඟගත්තා.
කුමක්දෝ වාසනාවකට මට වාඩි වෙන්න අසුනක් ලැබුණා. ඒ හැන්දෑවේ වැහි හිරිකඩේ ඇස් පියවෙමින් තිබුණේ. සියුම් අතක් මගේ අතේ වැදිලා මම හැරිලා බැලුවා. ආයෙමත් ඇය මා අසල.
“එන්න වාඩිවෙන්න“
එපා මම හොඳටම තෙමිලා ඉන්නේ. ඔහොම යං. ඒ විදිහට පටන් ගත්ත අපේ කතාව ටිකෙන් ටික දවස ගාෙණ් දිගහැරුණා. ඒ අරඹුම හිතට ගෙනාවේ සැනසිල්ලක් කිව්වොත් වඩා නිවැරදියි.
“ජීවිතය විඳින්න ඕන කාලෙත් මම විඳෙව්වා. හැමදේම අත්හැරලා ඉන්න මොහොතක තමයි ඔයා මට ළං වුණේ.“
ඇය දවසක මට එහෙම කිව්වා.
“නතර කරපු තැනින් ජීවිතේ පටන් ගන්න. මම ඔයත් එක්ක හැමදාම හැම මොහොතකම ඉන්නවා. මට ඔයාගෙන් මුකුත්ම එපා.“
“එතකොට?“
“මේ ලෝකේ කාටවත්ම කවදාවත්ම තමන්ගෙ හිතට ගැළපෙන ආදරය ලැබිලා නෑ. එක්කෝ එහෙම ලැබුණු ආදරයත් එක්ක ජීවිතය ගෙවන්න ලැබිලා නැහැ. එක්කෝ ඒ ආදරේ දෙපැත්තක තනි වෙලා. අපිත් ඒ වගෙයි. මම ඔයාට හරි ආදරෙයි. ඒක හැම මොහොතකම හිතේ තියාගෙන ඔයා ඔයාගෙ ගමන යන්න. ඒකයි ආදරය කියන්නේ…..තේරුණා නේද“
ඇය මා කියූ සියල්ල නිහඬව අහගෙන හිටියා. දවසින් දවස ගෙවිලා ගියා. ඇය ඇගේ ගමන යන්න පටන් ගත්තා. මම මගේ ගමන ගියා. ඒත් අපි දෙන්නා දෙපැත්තක ඉඳන් පුදුමාකාර විදිහට අපිට ආදරේ කළා. ඒක තවමත් එදා වගේමයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඇගේ සතුට, සැනසිල්ල තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒක තමයි ආදරය කියන්නේ.
ඔහු ආදරය ගැන කිව්වේ එහෙම දෙයක්.
“සඳක් ලස්සන තරුත් තිබුණාමයි
මමත් ලස්සන ඔබත් උන්නාමයි
සඳක් සේ මගෙ සිතම සරසන්නේ
නුඔයි මගෙ ලොව එළිය කරවන්නේ“
කලකට පෙර මගේ මිත්‍රයකු පැවැසූ ඒ කතාව සිහි වූයේ මේ ගීතය ඇහුණට පස්සේ. අපේ පත්තර සගයකු වන සුගත් රාජපක්ෂ ලියූ ගීතය සංගීතවත් කර ගයන්නේ ලක්ෂ්මන් හේවාවිතාරණ.
ගීතයේ සැබෑ අරුත ගැන සුගත් පැවැසුවේ මෙසේය.
“මම කලක් ලක්බිම පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙසත් කටයුතු කළා. ඉන් කාලෙකට පසුව මම විදෙස්ගත වුණා. මම සේවය කළේ ඉතාලියේ. ඒ වන වටත් මම ගීත කිහිපයක්ම ලියා තිබුණා. මගේ ගීත ඇසූ කිහිප දෙනෙක්ම මට කිව්වා ප්‍රේම ගීතයක් ලියන්න කියලා. එයත් මගේ හිතේ නිතරම වැඩ කළා. දවසක් රාත්‍රියේ ජනේලය අසලට වෙලා මම අහස බලාගෙන හිටියා. මම පුංචි කාලේ ඉඳලම රෑ අහසට හරි කැමැතියි. එදා ලස්සනට හඳ පායලා තිබුණා. ඒත් එක්කම එක තරුවක්වත් පේන්න නෑ. ඒ සිතිවිලි එක්ක ඉන්නකොට තමයි මට ඉබේටම මුල්ම පද පෙළ හිතට ආවේ. “සඳක් ලස්සන තරුත් තිබුණාමයි“ කියලා ලියැවුණාට පස්සේ ඉතිරි පද පේළි ටිකත් ලියැවුණා. මම ඒ පද ටික අරන් තිබිබ්බා.. ඊට දින කිහිපයකට පස්සේ තමයි
ගහක් ලස්සන මලුත් තිබුණාමයි
මලක් වැටුණම ගහට දුක උරුමයි
සොබාදහමේ එහෙම තිබුණත්
අපි දෙදෙන නම් එක්ව සිටිය යුතුමයි…
දුක වුවද මට ඔබ ළඟදි සැපමයි
යම් දිනෙක අප නික්ම යා යුතුමයි
සොබාදහමේ එහෙම තිබුණත්
ඒ මොහොතෙදිත් එකට යන්න පැතුමයි…
ලෙසයි අනෙක් පද ටික ලියැවුණේ. මේක බිරිඳ ද පෙම්වතිය ද කියලා කියන්න බෑ. එක්කෙනෙක් ගැන හිතලා ලිව්වේ නැහැ. කොහොම හරි තමන්ගේ ආදරවන්තිය ගැන හිතලයි ලියැවුණේ. විශේෂයෙන්ම මගේ මිත්‍රයන්ගේ ඉල්ලීමට ලියැවුණ ප්‍රේම ගීතයක් මේක. මම මේ කාලේ වෙනකොට ලකී අයියාව දැන හඳුනාගෙන හිටියේ. අපි දෙන්නා නිතර කතාබහ කරනවා.
මම ඔහුට මේ පද පෙළ යැව්වා. ඔහුත් ඉතාම කැමැත්තෙන් ගීතය ගයන්න භාර ගත්තා. මම විශ්වාස කරනවා මගේ පද වැලට ලකී අයියාගේ කටහඬ වගේම ඔහුගේ තනු නිර්මාණයත් හොඳින්ම ගැළපුණා කියලා. ඒ විදිහට තමයි මගේ මේ ගීතය ලියැවුණේ. “
සුගත් රාජපක්ෂ සිය ගීතය ගැන පවසන්නෙ එවන් අදහසකි.
ඉනෝකා සමරවික්‍රම