රංගනය යනු රංගනයක් නොව එය යථාර්ථයක් බව පසක් කළ රංගවේදිනියන් අතර අග්‍රස්ථානය හිමි වන්නී කවුරුන්ද ඒ අන් කිසිවෙකු නොව වසන්ති චතුරාණිම වන්නී ය. යථාර්ථවාදී රංග ශෛලිය ඇයගේ දෑස්, දෙතොල්, දෙකම්මුල්, නළල් තලය ඔස්සේ උත්දීප්ත වන්නේ නිරුත්සාහිකව ම ය. ඒ සා සුසංවේදී භාව ප්රකාශනයන්ගෙන් සහෘද හදවත් ප්‍රකම්පනය කළ ඇයගේ රංගාවතරණයන් වර්තමානයේ අතිශය දුලබ වීම විස්මයකි. කැමරාව ඉදිරියේ දෙබසක් කියා ගන්නටවත් නොහැකි පියරු බබාලා බැබෙළන පුංචි තිර සහ මහා තිරවලට ඇය වැනි භාවපූර්ණ ශිල්පීන් අකැප වූයේ මන්දැයි මුළුමහත් රසික සංහාරයම ප්‍රශ්න නඟන මෙවන් කාලයක අපි ඇය සොයා ගියෙමු.
“මොනවා කරන්න ද ඉතින්… ලැබුණා කියා උදම් වීමක්වත්, නොලැබුණා කියා කම්පා වීමක්වත් මට නැහැ. ඒ දෙකම සමව විඳගන්න මම හුරු වුණේ පුංචි කාලේ ඉඳලාමයි. මගේ අම්මා මං පුංචි කාලෙදි ම නැති වුණා. මගේ ආච්චි අම්මා තමයි මාවයි, නංගිවයි හොඳ ගුණ යහපත්කම් කියා දෙමින් හදාවඩා ගත්තේ. අවුරුදු විස්සෙදි මම විවාහ වුණා. මගේ සැමියා නැති වෙද්දි මට වයස අවුරුදු 33 යි. මේ දවස්වල මට අතීතයේ මඟහැරුණු ජීවිතය අත්විඳිනවා. හුස්ම ගත්තා ද කියාවත් මතකයක් නැති තරමට රංගන ජීවිතයේ අතිශය කාර්යබහුල වුණු යුගයක මෙහෙකරුවන්ගේ සහ ඥාති හිතමිත්‍රාදීන්ගෙන් සැරසුණු ගේ දොර අද මගේ දෑතින් හැඩවෙනවා. පිරිසුදු වෙනවා. දෑතේ හුරුවට ඉඩක් නොලැබුණු ඉවුම් පිහුම්වලට අද ලොකු ඉඩක් ලැබිලා තියෙනවා. අනුන් සිටවපු ගස්වල මල් දුටු මම අද මං සිටවූ පැළවල මල් දකිනවා. මගේ පුතාගේ ඕනෑඑපාකම් ගැනත් බලමින් එයයි මමයි නිදහසේ සුවෙන් කාලය ගෙවනවා. ඒ අතරේ හොඳ නිර්මාණයක් ලැබුණොත් කරනවා.”
වසන්ති චතුරාණි මහත් වූ සැහැල්ලුවකින් යුතුව කීවාය. ඇය නැති සිනමාව, පුංචි තිරය ප්‍රේක්ෂකයින්ට සංවේගයකි. අහිමිවීම් පිළිබඳ පසුතැවීමක් ඇය අත්නොවිඳින්නීය. අප ඇය හා කතාබහ කරන මොහොතේදී ද ඇය අත තිර පිටපතක් විය. ඇරයුම්වලින් ඇයට කිසි අඩුපාඩුවක් ද නැත. එසේනම් සිදු වී ඇත්තේ කුමක්දැයි අපි විමසුවෙමු.
“තිර පිටපත් නම් ඕනෑතරම් ලැබෙනවා. ඒවායේ රඟපාන්නනේ බැරි. ලැබෙන හැම චරිතයක්ම මට භාර ගන්න බැහැනේ. මගේ රංගන ජීවිතයේ බොහොම අමාරුවෙන් ගොඩනගා ගත්ත ප්‍රතිරූපයක් මට තියෙනවා. ඒක කඩා බිඳ දාලා විනාශ වෙන විදිහේ චරිත රඟපාන්න මම සූදානම් නැහැ. මගේ රංගන ජීවිතයේ ගුරු මව සුමිත්‍රා පීරිස් මහත්මිය මාව සිනමාවට තෝරා ගන්නා විට මට වයස අවුරුදු 15 යි. එතුමිය කොළඹ පාසල් කිහිපයකත් ගිහින් බලලා අවසානයේ මම ඉගෙන ගනිමින් සිටි ගම්පහ හෝලි ක්‍රොස් කොන්වන්ට් එකට සිස්ටර් ප්‍රින්සිපල්ගේ අවසරය ඇතුව ඇවිත් තිබුණා. ඒ වෙලාවේ විවේක කාලය නිසා ළමයි එළියේ හිටියා. මමත් කට්ටිය වටවෙලා ඉන්නවා දැකලා එතැනට ගියා. මාව ඈතදීම දැකලා එතුමිය මට කතා කරලා ඇහුවා ඔයා කැමැති ද චිත්‍රපටයක රඟපාන්න කියලා. ඒ වෙද්දිත් මම පාසලේ නට්‍යවල රඟපානවා. කවි, ගීත ගායනා කරනවා. නටනවා. මම ඒවාට බොහොම කැමැතියි. මගෙන් අහපු ගමන්ම මම කැමැතියි කිව්වා. ඊට පස්සේ මගේ නැන්දා කෙනෙක් එක්ක රූගත කිරීම්වලටත් ගියා. අනේ එතැනට ගියාම තමයි දැක්කේ කැමරා ශිල්පීන් ඉන්නවා. ලයිට් ගහලා තියෙනවා. මහා විශාල පිරිසක් ඉන්නවා. මං ඉතින් පොඩි ළමයෙක්නේ. පළවෙනි වතාවට තමයි රූගත කිරීමක් දැක්කේ. මං හිතුවේ මේ ඉස්කෝලෙක වේදිකා නාට්‍යයක් වගේ වෙන්න ඇති කියලනේ. මං ගෙදර යන්න ඕනේ කියලා ඇඬුවා. අනේ ඒ වෙලාවේ සුමිත්‍රා පීරිස් මහත්මිය රූගත කිරීම් එතැනින් නතර කළා. ඊට පස්සේ ඉස්කෝල දර්ශන රූගත කරන්න ඉස්කෝලෙට ගියාම එතැන ඉස්කෝල ඇඳුම් ඇඳගත්ත ළමයි හිටියා. ඒක මට හුරුයිනේ. මට ඉතින් එහෙමට කියලා රඟපාන්න කිව්වේ නැහැ. බොහොම හෙමින් හෙමින් ඉවසීමෙන් මට කිසිම අපහසුවක් නොදැනෙන විදිහට මගේ රඟපෑම එතුමිය කැමරාවට අරගෙන තිබුණා. ඒ තමයි “ගැහැනු ළමයි” චිත්‍රපටය. මගේ රංගන ජීවිතය එතැන ඉඳලා බැබළෙන්න පටන් ගත්තා.”
වර්ෂ 1978 දී “ගැහැනු ළමයි” චිත්‍රපටයෙන් සිනමා සම්ප්‍රාප්තිය ලද වසන්ති චතුරාණි 1980 දී විජය කුමාරතුංග සමඟ “ගඟ අද්දර” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස රඟපෑවේ ප්‍රේමයෙන් මනස බිඳී ගිය ‘නිර්මලී’ගේ භූමිකාවය. එම රංගනයේ විශිෂ්ටත්වය 1981 සරසවිය සිනමා සම්මාන උළෙලේත්, ජනාධිපති සිනමා සම්මාන උළෙලේත් ඇගයුමට ලක් වූයේ වසරේ හොඳම රංගන ශිල්පිනයට හිමි සම්මාන ඇය වෙත පිරිනමමිනි. අනතුරුව 1997 වසරේ ජනප්‍රියතම නිළිය සුමති ටෙලි සම්මානය ද 1998, 2002 සහ 2006 වසරවලදී හොඳම නිළිය සුමති සම්මාන ද 2005 සහ 2006 වසරවලදී හොඳම නිළිය රයිගම් ටෙලි සම්මාන ද ඇයට හිමි විය. තෝරා බේරාගෙන රඟපෑව ද මේ වනවිට ‘අමල් බිසෝ, සිරිබෝ අය්යා, පරිත්‍යාගය, පාර දිගේ, හෙවණැලි ඇද මිනිස්සු, හංස විලක්, ආයාචනා, මංගල තෑග්ග, කුල ගෙය, දුවට මවක මිස, සුදු සෙවණැලි, වෑකන්ද වලව්ව‘ ආදී වශයෙන් චිත්‍රපට පනහකට වැඩි සංඛ්‍යාවක ද ‘අග පිපි මල්, දෙනුවර මැණිකේ, දුර්ගාන්තය, ගජමන් නෝනා, ගිරය, ඉටිපහන්, කඩුල්ල, මායා මන්දිර, යසෝ මන්දිර, සෙදෝනා ආදි වශයෙන් ටෙලි නිර්මාණ තිහකට වැඩි සංඛ්‍යාවක ද ඇය රඟ පා ඇත.
“ඒ කාලේ සිනමාව, ටෙලි නාට්‍ය කලාව ගැන බලද්දි වර්තමානයේ සිද්ධ වෙන දේවල් ගැන පුදුමාකාර කොනගාටුවක් දැනෙනවා. අද ඉන්න පරපුර ගැන ඇත්ත වශයෙන්ම දුකයි. එයාලා ඉටි රූප වගේ මේකප් තලි මූණේ පුරවගෙන කැමරාව ඉදිරියේ පෙනී සිටිනවා කියලයි මට නම් මේ අද දකින්න තියෙන ටෙලි නාට්‍ය බලද්දි පේන්නේ. ඔක්කොමලා සුදු පාටයි. නිදා ගන්නෙත් මේකප් දාගෙනනේ. මට හිතෙන විදිහට අර පසුගිය කාලේ ඉන්දියාවෙන් ගෙන්වපු ටෙලි නාට්‍ය වගයක් හඬ කවලා එක දිගට පෙන්නුවානේ. ඒවායේ ඉන්න ආච්චිගේ චරිතය කවදාවත් අවසන් වෙන්නේ නැහැ. ඒ කාන්තා චරිත නිදා ගන්නෙත් මාල, කරාබු, වළලු, මේකප් ඔක්කොම දාගෙන, සාරිත් ඇඳගෙනනේ. අපේ රටටත් ඒවා බෝ වෙලා මං හිතන්නේ. අපේ සමහර ටෙලි නාට්‍යවලත් නළු නිළි චරිත අද ඒ විදිහයි. රඟපෑම මොකක්ද, අධ්‍යක්ෂණය මොකක්ද කියලාවත් දන්නේ නැති වෙළෙන්දෝ කණ්ඩායමක් අද මේ කලා ක්ෂේත්‍ර විනාශ කරමින් සිටිනවා. තුට්ටු දෙකට තරුණ ජීවිත තිරය ඉදිරියේ හෑල්ලුවට ලක් වෙනවා. හොඳ නිර්මාණයකට අද මුදල් යොදවන්න නිෂ්පාදකවරයෙක් හොයා ගන්න හරිම අමාරුයි. කොවිඩ් වසංගතයත් එක්ක අපේ රටේ ආර්ථිකය බිඳ වැටීමත් නිර්මාණ බංකොළොත් බවට හේතු වෙලා තියෙනවා. ටික කාලයකින් මේ දේවල් හරියන්නත් පුළුවන්. නමුත් මේ හිඩැස බොහෝ කාලයක් පවතීවි. මම මුහුණු පොතේ මේ ළඟදි දැක්කා කෙනෙක් දාලා තියෙනවා අපේ රටේ අපි අතීතයේ බොහොම ගරු කළ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාළිකාවකට ටෙලි නිර්මාණ දෙන්න කතා කළාම එහි ඉහළම නිලධාරියෙක් කියා තිබෙනවා පරණ නළු නිළියෝ ඉන්න ටෙලි නාට්‍ය නම් එපා කියලා. මම දන්නේ නැහැ මේ කතාව ඇත්තක් ද කියලා. නමුත් එහෙම දෙයක් කිව්වා නම් අපි වගේ පරණ තවමත් රඟපෑමේ හැකියාව තියෙන ශිල්පීන්ට ඒක හරිම අසාධාරණයි. රඟපෑමේ පරිණත බව ඇති වෙන්නේ වයස යන්න යන්නනේ. ඉතින් මේවා දකිමින් කනගාටු වෙනවා හැර අපි වෙන මොනවා කරන්නද. හැබැයි ඒ අතරේ ඉඳහිට මැණික් මතු වෙනවා. අලුත් අය අතරත් දක්ෂයෝ ඉන්නවා. ඒ අය හරි මාවතකට යොමු වීමයි විය යුතු වන්නේ.”
මෙකී කනගාටුදායක සංසිද්ධීන් අතරේ වුව ද ඇයට සුවිශේෂ චරිතයක රඟපාන්නට ද අවස්ථාව උදා වී තිබුණි. ඒ ෂර්ලි සමරසිංහගේ තිර රචනය සහ අධ්‍යක්ෂණයෙන් රූගැන්වුණු නවතම සිනමා නිර්මාණය වන
“සිලිලාරේ” චිත්‍රපටයේ මවගේ චරිතයයි. ගයන්ත් ප්‍රඩක්ෂන් වෙනුවෙන් ගයන්ත් ප්‍රසන්නජිත් නිෂ්පාදනය කළ එම චිත්‍රපටයේ සංස්කරණ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් ඇති අතර එය ළඟදීම තිරගත වීමට නියමිතයි.
“ඒ චිත්‍රපටයේ රූගත කිරීම් වැඩිපුර කළේ තිස්සමහාරාමයේ යි. ඉතාම දුෂ්කර ගමක, වෙළෙඳාම් කටයුතු කරමින් තම පුතාව රැකබලා ගන්න ජීවන අරගලයක යෙදෙන මවකගේ චරිතයක් තමයි මට නිරූපණය කරන්න තිබුණේ. ඒ මවත්, පුතාත් පසුව කොළඹට සංක්‍රමණය වෙනවා. මගේ චරිතය ටිකක් සංකීර්ණයි. බොහෝ කාලෙකට පස්සේ තමයි මට ඒ වගේ චරිතයක් ලැබුණේ. මම හරිම කැමැත්තෙන් ඒ චරිතය රඟපෑවා. දෙබස්වලට වඩා ඒ චිත්‍රපටයේ රඟපෑම වැඩිපුර තිබුණා. සංගීත් ප්‍රභූ තමයි මගේ පුතාගේ චරිතය රඟපෑවේ. ඉතින් අපි බලමු “සිළිලාරේ” තිරගත වෙද්දි ප්‍රතිචාර කොහොමද කියලා.”
තුෂාරී කළුබෝවිල