Home » මගෙ බලාපොරොත්තුව මධුරි ඩික්සිත් වගේ නිළියක් වෙන්න

මගෙ බලාපොරොත්තුව මධුරි ඩික්සිත් වගේ නිළියක් වෙන්න

අමෝද්‍යා

by thanushika
November 9, 2024 12:30 am 0 comment
කුමුදිකා ඩී. සපුතන්ත්‍රී

නෙලුනි සහ පොඩ්ඩි යන චරිත වලින් සිය රංගන ප්‍රතිභාව පෙන්වන ඈ ප්‍රේක්ෂකයා අතර මේ වන විට ජනප්‍රිය ළමා තාරකාවක්. අමෝද්‍යා කලාවට දොරටු විවර කර ගන්නේ දෙරණ සිඟිති අවුරුදු කුමරිය ලෙස කිරුළු පලඳමින්. ඇය දෙරණ සිඟිති අවුරුදු කුමරිය ලෙස ජය ලබන්නේ වයස අවුරුදු තුනහාමාරේදීය. ඉන් අනතුරුව දෙරණ ලිට්ල් ස්ටාර් වෙත පිවිස සිය නර්තන හැකියාව උරගා බලන ඈ අවසන් 8 දෙනා දක්වා පැමිණීමට සමත් වුණා. එසේ පැමිණි ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට මඟ පාදා ගන්නීය. බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේ හය වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා කුඩා අමෝද්‍යාගේ මේ දවස් ගත වෙන්නේ කෙසේ දැයි මා විමසා සිටියා.

“මේ දවස්වල ඉස්කෝලේ විභාගේ තියෙනවා. ඒ වැඩ කරන ගමන් නෙලුනි, ප්‍රාර්ථනා නාට්‍ය වල රඟපාන්නත් යනවා. මම වෙළඳ දැන්වීම්වලටත් සම්බන්ධ වෙනවා.

මම මුලින්ම සෙනෙහස කියන ඒකාංගික පෝය ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඊට පස්සේ ප්‍රාර්ථනා ටෙලි නාට්‍යයේ ‘පොඩ්ඩි‘ චරිතයට සම්බන්ධ වුණා. නෙලුනි ඩ්‍රාම එකේ ප්‍රධාන චරිතය නෙලුනි විදියට මම රඟපානවා.

නෙලුනි, පොඩ්ඩි කියන චරිත දෙකටම මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම තාත්තයි අම්මයි හෙවණැල්ලක් වගේ මගෙ පිටිපස්සෙන් ඉඳලා මේ හැම වැඩකටම උදව් කරනවා. මගේ සීයයි, අම්මයි තමා හැම ෂූටින් එකකටම මාව එක්කන් යන්නෙ. මට තව අයියා කෙනෙක් අක්කා කෙනෙක් ඉන්නවා. ඊට අමතරව මගෙ පවුලේ ආච්චි අම්මා ඉන්නවා. මම එක්ක රඟපාන අනික් මාමලා නැන්දලා මගෙ අඩුපාඩු පෙන්නලා දෙනවා. එයාලාගෙන් මට හොඳ සහයෝගයක් ලැබෙනවා.“

පාසල් වියේ සිටින දරුවෙක් නිසා ඇයට කලාව සේම අධ්‍යාපනයද ඉතා වැදගත්. කලා නිර්මාණවලට සම්බන්ධ වීමෙදී අමෝද්‍යාට මඟ හැරෙන පාඩම් වැඩ කටයුතු කළමනාකරණය කර ගන්නා ආකාරය ගැන ඇය දැක්වූයේ මෙවන් අදහසක්.

“ඉස්කෝලේ ටීචර්ලා මට පසුගිය පාඩම් කියලා දෙනවා. යාලුවො මට සටහන් දෙනවා. මේ දවස්වල විභාගය නිසා අලුත් නිර්මාණ මොනවත් භාර ගත්තේ නැහැ.“

රංගනයට සේම නර්තනයටද බොහෝ සේ ඇඳුම් කරන අමෝද්‍යා නර්තනය හදාරන්නේ බාස්කර් ප්‍රකාශ් ගුරුතුමන්ගෙන්. ටිකිරි මාරි, ලයිෆ්බෝයි ෂැම්පු, මිල්ක්මේඩ්, ඇට්ලස් වැනි නිෂ්පාදන සමඟ ඇය රූපවාහිනි තිරයෙන් ඔබට මුණ ගැසෙයි. මේ අතරින් ඇය වඩා සිත් ගත් වෙ‍ෙළඳ දැන්වීම කුමක්දැයි ඇසූ පැනයට ඈ ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

“මම ගොඩක්ම කැමති ලයිෆ්බෝයි ඇඩ් එකට. මොකද ඒකෙ ඩාන්සින් පාට් එකක් තියෙන නිසා. “

“නෙලුනි නාට්‍යයේ නෙලුනි චරිතය ඇයට දැනෙන්නේ කොහොමද? මේ ඇගේ පිළිතුරයි.

“නෙලුනි කියන්නේ ගොඩක් දුක් විඳින අහිංසක ගෑනු ළමයෙක්. එයාට අම්මා තාත්තා නෑ. සීයය, අත්තම්මායි සෙවණෙ හැදෙන ගැනු ළමයෙක් තමයි නෙලුනි. තමන්ගේ අම්මා ළඟට යන්න, අම්මාගේ ආදරේ විඳින්න තමයි නෙලුනි නිතරම උත්සහ කරන්නේ. මේ ඩ්‍රාම එකේ අමතක නොවෙන සිදුවීම් විදියට රාල කියලා බලු පැටියෙක් හිටියා. එයා මට හරි ආදරෙයි. ආදරේ වැඩිකමටද කොහෙදෝ දවසක් එයා මාව හැපුවා. එදා මට ඉන්ජෙක්ෂන් 12 ක් විදින්න වුණා. ඒ වගේම මාව හාවෙකුත් හැපුවා. ඒ සිද්ධි මට අමතක වෙන්නෑ. ‘පොඩ්ඩි‘ ඩ්‍රාමා එකේ මගේ අක්කව මැරුණු වෙලාවේ එයාව අඳුන ගන්නේ මම. එතැනදි මම හයියෙන් අඬන්න ඕන. ඒ සිද්ධිය මට ගොඩක් දැනුණා.“

විනෝදාංශයක් ලෙසද ඇය ප්‍රිය කරන්නේ නර්තනයේ යෙදීමටයි. ක්‍රීඩාවක් ලෙස ඈ පිහිනීමද සිදු කරන බව කියා සිටියා. නර්තනය සහ රංගනයට අමතරව ගායන කුසලතාවද දෝතින් දරා පැමිණි පුංචි අමෝද්‍යාගේ අනාගත බලාපොරොත්තුව ගැන ඇය උත්තර දුන්නේ මේ විදිහටයි.

“මගෙ බලාපොරොත්තුව මධුරි ඩික්සිත් වගේ නිළියක් වෙන්න“.

අවසාන වශයෙන් සිය කලා හැකියා ඔප්නංවාගෙන ඉදිරියට යාමට අතදෙන පිරිස වන නර්තානාචාර්ය බස්කර් ප්‍රකාශ්, නෙලුනි සහ ප්‍රාර්ථනා ටෙලි නාට්‍යවල අධ්‍යක්ෂවරුන් වන මහේෂ් කරුණාරත්න, හර්ෂ උඩකන්ද දෙපළත්, පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් අධිපති ප්‍රභාත් කුලසිංහ, ශැරොන් ලුඩ්වික්, ශෙහාන් කුලසිංහ ඇතුළු සහය දක්වන පිරිසට ඈ සිය ස්තූතිය ප්‍රකාශ කළා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division