Home » මං දැන් මගේ හීනයට ගිහින් ඉවරයි දැන් ඇගේ හීනයට යන්න උදවු කරනවා

මං දැන් මගේ හීනයට ගිහින් ඉවරයි දැන් ඇගේ හීනයට යන්න උදවු කරනවා

by thanushika
November 9, 2024 12:30 am 0 comment

‘මං පතනවා මේ මට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා‘

ඔහු එලෙස ගැයුවත් ඇය ඔහු වෙනුවෙන් කුඩා කල සිට ආසාවෙන් දුටු සිහිනය පවා කැප කළාය. අද ඇය ඔහුගේ ආදරයේ හිමිකාරියයි. අශාන් ප්‍රනාන්දුගේ මෙම ගීතය කලක් තරුණ තරුණියන්ගේ මුවගේ නිතර රැව්දුන් ඉතාම ජනප්‍රිය ගීතයකි. අදටත් එය ප්‍රසංග වේදිකාවේ නිතර අසන්නට ලැබීමම එහි ජනප්‍රියත්වය තවදුරටත් සනාථ කරන්නකි. ‘මං පතනවා‘ සමඟින් කරළියට ආ ඔහු මේ වන විට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි සංගීත ක්ෂේත්‍රයේ ඉහළින් වැජඹෙන ජනප්‍රිය ගායන ශිල්පීයෙකි. සංගීතඥයෙකි. ඔහුගේ ආදරණීය බිරිය කුමුදි ලියනගේ ද මේ වන විට කලාවට පිවිසෙමින් සිටින්නීය. කලක් විදෙස්ගතව සිට පැමිණි ඔවුන්ගේ කැදැල්ලේ නවතම තොරතුරු දැනගැනීමේ අදහසින් අපි ඔවුන් හා කතාබහට එක්වීමු.

‘දිවුරා කියන්නම් ජීවිතේ‘ ගීතයත් සමඟින් නැවතත් ප්‍රේක්ෂක සිත් වසඟයට ගත් අශාන් එය නිර්මාණය වුණු ආකාරය පවසමින් අප හා කතාබහට එක්විය.

මේ දිනවල ඉතාම ජනප්‍රිය දිවුරා කියන්නම් ගීතය නිර්මාණය කළේ අපේ විවාහ සංවත්සරය වෙනුවෙන්. මුලින්ම අපි ඒකෙ කොටසක් රිලීස් කළා. ඒක ගොඩක් ජනප්‍රිය වෙන්න පටන් ගත්ත නිසා මට හිතුණා මුළු සින්දුවම දාන්න ඕන කියලා. ඒත් එක්කම අපි දෙන්නම රංගනයෙන් දායක වුණු මියුසික් විඩියෝව රිලීස් කළා. හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා. මම ගොඩක්ම විරහ ගීත නිසා ජනප්‍රිය වුණු කෙනෙක්. මේක ආදරණීය ගීතයක්. දැන් විවාහ උත්සවවලට ගායනා කරන්නත් ආරාධනා ලැබෙනවා. අන්සාෆ් අමීර්ගේ පද පෙළ සංගීතවත් කළේ මම. වීඩියෝ එක කළේ තිවංක මිහිරාන්. ජානු එකට කරපු ගීතයත් මේ දවස්වල ජනප්‍රියයි.

ඒ කියන්නේ ලංකාවට ආවට පස්සේ වැඩ ගොඩගැහිලා කියන එකද?

ඔව්. ඔව්. කලාවටම බැඳිල හිටිය කෙනෙකුට විදෙස් රටකට කොටුවෙලා ඉන්න හරිම අමාරුයි. නිර්මාණවලට වගේම ප්‍රසංග වේදිකාවටත් ගොඩක් ආරාධනා ලැබුණා. බොහොම අමාරුවෙන් අවුරුදු එකහමාරක් හිටියා. ඒ අතරෙත් හතර පාරක් ලංකාවට ආවා. කුමුදියි මායි දෙන්නම මවුපියන් එක්ක ගොඩාක් බැඳුණු දෙන්නෙක්. එයාලගෙන් ඈත්වෙලා ඉන්න එක අපිට අමාරු වැඩක් වුණා. ඒ නිසා අපි අතරමඟ ලංකාවට ආවා. ආයෙම යන්න නම් තාම අදහසක් නෑ. මේ වෙද්දි චිත්‍රපට දෙකක සංගීත අධ්‍යක්ෂණය කරමින් යනවා. ඊට අමතරව අහස්, රැල්ල වෙරළට ආදරෙයි, සිහින ගෙනෙන කුමාරියේ වගේම අලුතෙන් එකතු වුණු ජානු ටෙලි නිර්මාණයේත් ගායනය වගේම සංගීත අධ්‍යක්ෂණයත් කරගෙන යනවා. ඒ අතරේ ප්‍රසංග වේදිකාවටත් ආරාධනා ලැබෙනවා.

දැන් විවාහ වෙලත් ටික කාලයක් වුණානේ. විදෙස්ගත වෙන්නත් අවස්ථාව ලැබුණා. කොහොමද කුමුදිත් එක්ක ගෙවෙන ජීවිතේ?

විවාහ වෙලා දැන් අවුරුදු 2ත් පහුවුණා. බැඳලා මාසෙන් වගේ අපිට නොහිතපු විදිහට විදෙස්ගත වෙන්න වුණා. ඔස්ට්‍රේලියාවට ගිහින් හිතාගන්න බැරි ලොකු පාළුවක් එක්ක මුල ඉඳන්ම ජීවිතේ පටන් ගත්තා. මෙහේදි හැමදේම කරල දුන්නේ අම්මලා තාත්තලානේ. එහේදි අපිට වෙනස්ම ජීවිතේකට හුරුවෙන්න වුණා. අපි දෙන්නම අධ්‍යාපන කටයුතු කළා. ඒ අතරේ මං මියුසික් වැඩත් කළා. ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය කෙනෙක් තමයි අනූ තෝරදෙණිය. ඔහු සමඟ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්නත් අවස්ථාව ලැබුණා. ඒක අපේ කොල්ලො කෙල්ලන්ට හදපු මෝටිවේෂන් ගීතයක්. ඉදිරියේදි රිලීස් වෙනවා. ඇත්තම කිව්වොත් කුමුදි නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා. මං පොඩ්ඩක් බය වෙලා හිටියේ මට වෙනස් වෙන්න වේවි කියලා. ඒත් මම තනියෙන් හිටියට වඩා වැඩි වැඩ කොටසක් දැන් කෙරෙනවා. ඉස්සර ඔහේ ආවට ගියාට වැඩ කළාට දැන් නිසි කළමනාකරණයක් ඇතුව වැඩක් කරන්නේ කුමුදි නිසා. කුමුදි කියන්නේ හරිම සපෝටිව් බිරියක්.

කුමුදිත් දැන් රංගනයට පිවිසිලා නේද? ඒ අවස්ථාව ලැබෙන්නේ ඔබ නිසාද?

කෙනෙක් එහෙමත් හිතන්න පුළුවන්. නමුත් ඇත්තම කතාව වුණේ කුමුදි නිසා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. එයාට ආරාධනා ලැබුණට පස්සේ අධ්‍යක්ෂවරයා මටත් ආරාධනා කළා ජානු එකට සින්දුවක් කරමු කියලා. ඒත් එක්කම සංගීත අධ්‍යක්ෂණයත් භාර දුන්නා. කොතරම් කාර්යබහුල වුණත් ඒකත් භාර අරන් කරගෙන යනවා.

ඇගේ කලාවට පිවිසීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තම කතාව කිව්වොත් මටත් වඩා කලින් තමයි කුමුදි කලාවට සම්බන්ධ වෙලා තියෙන්නේ. මගේ හමුවීමත් එක්ක මගේ ගමනට ඉඩ දෙන්න හිතාගෙන තමයි එයාගේ ගමන නතර කරලා මගේ ගමනට උදවු කළේ. මං දැන් මගේ හීනයට ගිහින් ඉවරයි. දැන් ඇගේ හීනයට යන්න මං උදවු කරනවා. කවුරුත් දැනන් හිටියෙ නැති වුණාට මගේ ‘දෛවයෙ තීරණයක්‘ ගීතයට වගේම ‘මං නැතිදාක‘ ගීතයේත් රංගනයෙන් දායක වෙන්නේ කුමුදි. බැන්දටත් පස්සෙ තමයි ඒ මගේ ගර්ල් කියල හැමෝම දැනගත්තේ. මං හිතන්නේ මේ අවස්ථාව දෙවියන් ඇයට දුන් තෑග්ගක්.

අශාන්ට කුමුදි ලැබෙන්නෙත් ඒ වගේ නේද?

ඒකත් ආශ්චර්යයක් වගෙයි. නෙළුම් මල් පොකුරක් අතේ තියාගෙන ෆේස්බුක් එකේ දාපු එයාගෙ ෆොටෝ එකක් ළඟ මගේ හිත නතර වුණා. මාස ගාණක් තිස්සේ හොයලා හොයලා කොහොම හරි මං එයාව හොයාගෙන ගිහින් අඳුනගෙන තමයි මේතාක් දුර ආවේ. ඒ වෙද්දි එයා බැංකු නිලධාරිනියක්. මං කවුද කියල කියන්න තරම්වත් මාව කවුරුත් දැනන් හිටියෙ නැති කාලෙක තමයි ඇය මට කැමති වුණේ. ඇය මට ලැබුණෙත් දෙවියන්ගේ ආශීර්වාදයෙන් කියලයි මට හිතෙන්නේ.

අම්මගේ රස කෑමට හුරුවෙලා හිටිය අශාන්ට පිටරටකට ගිහින් අලුත ගෙනා මනමාලි අතින් රසවත් කෑම ලැබුණ ද?

ඒක නම් කියන්නම ඕන කතාවක්. කුමුදි වුණත් ලංකාවෙ හිටිද්දි උයල පිහලා තිබුණේ නෑ. අම්මා හදන දේ තමයි කාලා තිබුණේ. එහේදි අපි දෙන්නට තනියම හැමදේම කරගන්න වුණ නිසා කුමුදිටත් උයන්න වුණා. පුදුමෙ කියන්නේ අපේ අම්මා උයනවා වගේම රසට එයා කෑම හැදුවා. කොහොම හරි එයාවත් දැනන් ඉඳලා නෑ එයාට රසට කෑම හදන්න පුළුවන් කියලා. ඒ වගේම එයා හරිම පිළිවෙළයි. ඒ අතින් නම් මං දුර්වලයි. ඕනෙම වැඩක් ඇනලයිස් කරලා, ප්ලෑන් කරලා ලස්සන නිමාවක් දෙන්න එයා හරිම දක්ෂයි. ඒකටත් මං හරිම ආසයි. ගොඩක් අය බැන්දට පස්සේ වැඩ වැඩිවෙලා, ස්ට්‍රෙස් වෙලා ජීවිතේ බෝරීන් කරගන්නවනේ. ඒත් මට ඒ හැමදේම රිලීස් වුණා. වෙනදටත් වඩා සැහැල්ලුවෙන් වැඩ ගොඩක් කළා.

අශාන් කුමුදි ගැන එහෙම කියද්දි කුමුදිත් අපේ කතාබහට එකතු වුණේ මේ වගේ අදහසක් පළ කරමින්

මං නම් හිතන්නේ රට ගියපු එක අපේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න ලොකු ආශීර්වාදයක් වුණා. අපිට තිබුණු එකම අඩුව වුණේ අපි දෙන්නගෙ මවුපියන් ළඟ නැති වුණ එක. අපි තනියම හැමදෙයක්ම කරගන්න පුරුදු වුණා. ඇත්තම කිව්වොත් මං උයන්න දැනන් හිටියෙ නෑ. මෙහේදි අම්මල තමයි උයල දෙන්නේ. එහේදි තමයි දැනගත්තේ මට රසට උයන්න පුළුවන්කම තිබිලා කියලා. අශාන් හැමදේටම මට උදවු කළා. ඒ ගෙවුණු කාලය හරිම ලස්සනයි.

යාළු වෙද්දි අශාන් අද වගේ ජනප්‍රිය කෙනෙකුත් නෙවෙයි. කොහොමද කුමුදිගෙ හිත ගියේ?

ඒ වෙද්දි අශාන් කියන්නෙ කවුද කියල මං දැනන් හිටියෙ නෑ. එයා ජනප්‍රිය කෙනෙක් නොවුණත් ඒ වෙද්දිත් එයා මියුසික් කරමින් හිටියා. මං හමුවුණාට පස්සේ තමයි එයාගේ පළමුවැනි මියුසික් වීඩියෝව මං පතනවා රිලීස් වුණෙත්. හිතාගන්නත් බැරි විදිහට ඒක ජනප්‍රිය වුණා. අශාන්ගෙ හමුවීම අදටත් මට හීනයක් වගේ. අද එයා මේ ඉන්න තැන ගැන මට කියාගන්න බැරි තරම් සතුටක් තියෙනවා. ඒ වගේම අශාන් මට ලැබුණු එක ගැන මං ගොඩක් ආඩම්බර වෙනවා. අශාන් කියන්නේ ජීවිතේ ලොකු කට්ටක් කාලා මේ තැනට ආපු කෙනෙක්. මං ඒක දැක්කා. මං එයාට කැමැති වෙන්න හේතුවත් එදා එයා මට ඇත්තම කිව්ව එක. මට මේව තියෙනවා අරව තියෙනවා කියලා බොරු කිව්වෙ නෑ. මං මේ වගේ තත්ත්වෙක ඉන්නෙ. මගේ පවුල මේ වගේ කියලා ඔහු මට ඇත්තම කිව්වා. ඒකම තමයි මගේ හිත අශාන් ළඟ නතර වෙන්න හේතුව වුණෙත්. එයා ළඟ තියෙන මනුස්සකම, ඒ නිහතමානීකම අදටත් ඒ වගේම තියෙනවා.

එතකොට කුමුදිට රංගනයට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

2015 දී මං Miss Earth තරගයට සහභාගි වෙලා අවසන් විසිදෙනා අතරට ආවා. ඒත් එක්කම මට නාළිකාවක නිවේදිකාවක් විදිහට කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණා. ඊට පස්සේ 2021 දී සියත අවුරුදු කුමරිය බවටත් පත්වුණා. බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධ වීමත් එක්ක ඒ කටයුතුවලින් ඈත්වෙන්න වුණත් මගේ හිතේ ආසම හීනයක් තිබුණා කවදහරි කලාවෙන් ඉදිරියට යනවා කියලා. ඒත් අශාන්ගේ ජීවිතේ කටුක දේවල් දැනගත්තට පස්සේ මට හිතුණා එයාට සපෝට් කරගෙන එයත් එක්ක මේ ගමන කොහොමහරි යනවා කියලා. දෙන්නටම මේ ගමන යන්න බෑ කියලා තේරුම් අරන් මං මගේ හිනය යටපත් කරගෙන අශාන්ගේ හීනෙට යන්න උදවු කළා. අද එයා මගේ හීනෙට යන්න උදවු කරනවා.

ඔබේ කුලුඳුල් රංගන අත්දැකීම ගැනත් කතා කරමු?

මං කලින් කරල තිබුණු මියුසික් වීඩීයෝ දැකලා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. ජානු කියන්නේ මගේ පළමුවැනි රංගන අත්දැකීම. ඒකත් ඔෆිස් එකක තරුණියකගේ චරිතයක් නිසා මට ගොඩක් සමීප වුණා. මට පළමු ටීවී වැඩසටහනට ආරාධනා කළ රංගන ද සිල්වා අයියාවත් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම ජානු අධ්‍යක්ෂ සමිර හසුන් අයියා, ප්‍රධාන චරිතයෙන් එක්වන උදිත් අබේරත්න අයියා ඇතුළු හැමෝම මට ලොකු සහායක් දෙනවා. ජානු කියන්නේ මට ලොකු අත්දැකීමක්. දෙබස් එක්ක රංගනය තාමත් මට නුහුරුයි. මේක මං ඉගෙන ගනිමින්, අත්දැකීම් ලබමින් යන ගමනක්.

 නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division