රංගන ශිල්පියකු ලෙසින් සිය කලා දිවිය ඇරඹූ ඔහු පසුව කලා ලොවේ විවිධ ඉසව් නියෝජනය කරන්නට වූයේය. අද වන විට ගායන ශිල්පියකු ලෙසින් ඉදිරියට එන ඔහු එච්. ආර්. ජෝතිපාල නම් වූ ජෝතිමත් ගායකයාගේ ගී ගයමින් රසික සිත් දිනා ගැනීමට සමත්කම් දක්වන්නේය.
“මේ සිද්ධිය වුණේ මම පුංචිම කාලේ. එවකට මම පාසල් ගියේ අලුත්ගම කනිෂ්ඨ විද්‍යාලයට. 2 ශ්‍රේණියේ තමයි ඉගෙන ගත්තේ. විද්‍යාලයේ විවිධ ප්‍රසංගය අපේ පන්තියෙන් සූදානම් කරලා තිබුණේ සිරි සඟබෝ නාට්‍යය. මම පුහුණු වුණේ සිරිසඟබෝ රජතුමාගේ චරිතය. මාසයක් විතර පුහුණුවීම් කළා. මගෙ ලොකු අයියා ඔටුන්නක්, කඩුවක් හදලා දුන්නා. නාට්‍යය පෙන්වන දවසේ මම පාසලට ගියා. එදා පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියගේ පුතා මගේ රජ ඇඳුම ඉල්ල ඉල්ල අඬනවා. එතුමිය මගේ ඇඳුම එයාගේ පුතාට ඇන්දුවා. මගෙ හිතට පුදුම වේදනාවක් දැනුණේ. මම ගෙදර හැමෝටම කියලා ආවේ මම එදා රජාට අඳිනවා කියලා. ඒත් එදා මට රජ චරිතය නෙමෙයි කරන්න ලැබුණේ; රාජ සේවකයගේ චරිතය. එදා නාට්‍යය අවසන් වුණාට පස්සේ ගුරුවරු හැමෝම මාව අගය කළා, දිරිමත් කළා. ඒ වුණාට මගේ හිත් රිදුම නම් සැහෙන කාලයක් යනකම් තිබුණා.“
සිය බාල වියේ ලැබූ අත්දැකීමක් ඒ විදිහට මතක් කරන්නේ අද වන විට කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ලක්ෂ්මන් කුමාරතුංගයි.
අද වන විට ගායකයෙකු ලෙස නමක් දිනාගෙන සිටියද ඔහු සිය කලා දිවිය අරඹන්නේ රංගන ශිල්පියකු ලෙසිනි.
“පාසල් වියේ ඉඳලම මම රංගනයට බොහෝම කැමැත්තෙන් සම්බන්ධ වුණ කෙනෙක්. මගේ දෙවැනි පාසල තමයි වැල්මිල්ල ශ්‍රී සාරාලංකාර විද්‍යාලය. ඉන් පසුව ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබුවා. පුංචි කාලෙ ඉඳලම මම ගීත ගයන්න දක්ෂයි. එහෙම හිටපු මම පාසලෙන් අයින් වුණාට පස්සේ නාට්‍ය ගැන ඉගෙන ගන්න ගියා. ඔන්න ඔය කාලේ තමයි කරුමක්කාරයෝ චිත්‍රපටය ආවේ. මම ඒ වෙනකොට චිත්‍රපටය බලලා තිබුණේ. දවසක් මට විජය කුමාරතුංග මහත්මයා හමු වුණා. මම ඔහුට කිව්වා මගේ ආසාව ගැන. ඔහු මට කිව්වා තිස්ස අබේසේකරයන්ව හමුවෙන්න කියලා. දවසක් මට තිස්ස අබේසේකරයන්ව හමු වුණා. මම ඔහුට මා ගැන කිව්වාම ඔහු මට ලිපිනයක් ලියලා දීලා කිව්වා එතැනට එන්න කියලා. එන්න කියපු දවසේ මම එතැනට ගියා. එදා එතැන හිටියා මොරින් චාරුනි, දයා අල්විස්, ගාමිණී සමරකෝන් යන අය. එතැන තමයි විරාගය චිත්‍රපටය රූගත කළේ. මට පුංචි චරිතයක් කරන්න ලැබුණා. නමුත් චිත්‍රපටය එඩිට් කරද්දි මම හිටිය කෑල්ල කැපිලා ගියා. කොහොම නමුත් දයා විමලවීරගේ ඡායා කියන චිත්‍රපටය ඔස්සේ තමයි මම සිනමාවට එන්නේ. ඉන්පසුව දයා විමලවීරගේ ‘රජ දරුවෝ‘ කියන චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. මට අවස්ථාව ලැබෙනවා තුන්කල් සිහිනය කියන ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වෙන්න. එය තමයි මගේ මුල්ම ටෙලිනාට්‍ය.
ඉන්පස්සේ එකගෙයි අවුරුද්ද, පිටගම්කාරයෝ ආදී නාට්‍යවලටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. චිත්‍රපට ටෙලිනාට්‍යවල රඟපෑවට මම ඒ වන විට පුද්ගලික අංශයේ රැකියාවකුත් කරමින් හිටියේ. ඉන් පස්සේ මන්දාරම් එළි, අවිදු අඳුර ආදී නාට්‍යවල රඟන්නත් අවස්ථාව ලැබෙනවා.“
රංගන ශිල්පියෙක් ලෙස කලාවට පිවිසි ඔහු වර්තමානයේදි අපට හමුවන්නේ ගායන ශිල්පියෙක් ලෙසය. කොහොමද එහෙම වුණේ කියා ඇසූ විට ලක්ෂ්මන් උත්තර දුන්නේ මෙහෙමයි.
“1983 අවුරුද්දේ ජෝති රාත්‍රිය ප්‍රසංගයක් පැවැත්වුණා. මම ජෝති මහත්මයාට හරි ආදරෙයි. එතුමා බොහෝම හොඳ මනුස්සයෙක්. ඔහුට වගේම ඔහුගේ ගීතවලටත් ආදරෙයි. ජෝති මහත්මයාව හමු වූ දින කවදාවත් මගේ මතකයෙන් ඈත් වෙන්නේ නෑ. ජෝති මහත්මයාගේ අභාවයෙන් පසුව ඔහුගේ ගීත ගයන්න පටන් ගත්තා. ඒ අතර මගේ ස්වතන්ත්‍ර නිර්මාණත් කර තිබෙනවා. ගායන ශිල්පියකු ලෙස ඉදිරියට ඒමයි දැන් මගේ අරමුණ.“
ගායකයෙක් නළුවකු ලෙසින් ද කටයුතු කළ ලක්ෂ්මන් ඡායාරූප ශිල්පියකු ලෙසින් ද හොඳ ගමනක් එන්නේය. ඔහු අරටුව පුවත්පතේ ඡායාරූප ශිල්පියකු ලෙස වසර තුනක් පමණ සේවය කරන්නේය. වසර තුනක් පමණ එහි සේවය කරන ලක්ෂ්මන් අනතුරුව තමන්ගේම කියා ඡායාරූප ශාලාවක් ද ආරම්භ කරන්නේය.
කාලයක් මම මේ හැම දෙයකින්ම ඈත් වෙලා වගේ හිටියා. නමුත් කොඩිඩ් කාලේ ආයෙත් මම සින්දු කියන්න පටන් ගත්තා. ඒක වුණේ මම මගේ ගීතයක් මුහුණු පොතට යොමු කළා. ඒක බලලා බොහෝ අය මට ප්‍රතිචාර දක්වන්න ගත්තා. මට ලැබුණ යහපත් ප්‍රතිචාර නිසා දිගින් දිගටම මම ගීත ගයන්න පෙලඹුණා. විශාරද ප්‍රියන්ත වීරකෝන් සොයුරාව හඳුනා ගන්න ලැබෙන්නෙත් මේ කාලේ. ඔහුගේ නව ගීත එකතුවට මගේ ගීත දෙකක් තෝරා ගන්නවා. “පෙරදා පැතූ ප්‍රාර්ථනා, හැටවිය පිරුණට නැත මහලු වෙලා“ යන ගීත දෙකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කොහොම නමුත් එතැනින් පස්සේ මට නැවතත් ගායකයෙක් ලෙස මගේ රසිකයන් ඉදිරියට එන්නට ඕනෑ වුණා. නළුවකු හඬකැවීම් ශිල්පියකු ලෙසින් මෙතෙක් දුරක් පැමිණි මට දැන් අවශ්‍ය ගායකයකු ලෙස මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්නයි. මගේ අලුත් ගීත කිහිපයක්ම ඉදිරියේදී අලුතෙන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.“
ලක්ෂ්මන් පවසන්නේ බලාපොරොත්තුසහගතවය.
ඉනෝකා සමරවික්‍රම