පැවැත්ම පිළිබඳ අර්බුද ගණනාවකටම සිරිලක සිනමාව ගෙවුණු දශක කිහිපය තිස්සේ මුහුණ දුන්නේ විවිධත්වය යන්න ප්‍රමාණවත්ව සාක්ෂාත් කර ගත නොහැකි වීමද හේතුවක් කොට ගෙන. සිනමා විචාරය කවර කාරණා හඬගා කීවද මේ කරුණ කිසිසේත්ම බැහැර කරන්නට බැහැ. මෙබඳු අවස්ථාවලදී නොබියව හා නොපැකිලව නව සිනමාපට මාදිලි වෙනුවෙන් පෙනී සිටි සිනමාකරුවන්, සිනමා නිපැයුම්කරුවන් හා ශිල්පීන් සම්බන්ධයෙන් නිසි ඇගැයීමක් කිරීම සැබවින්ම සිනමා විචාරයේද වගකීමක් වනවා.
1990 දශකයේදී පෙරට ආ එක් නව සිනමාපට මාදිලියක පුරෝගාමියකු වන්නේ රෝයි ද සිල්වා. සරල හාස්‍ය නිරූපණය මුල් කොට ගනිමින් ඔහු නිර්මාණය කළ සිනමාපට සැලකිය යුතු රසික ප්‍රතිචාර ලබාගත් වග පැහැදිලියි. මෙහි උච්චස්ථානයක් සලකුණු කළේ ‘රෑ ඩැනියෙල් දවල් මිගෙල්’ සිනමාපට ත්‍රිත්වය. එතෙක් දෙවන පෙළ හෝ තෙවන පෙළ චරිත නිරූපණය කරමින් සිටි බන්දු සමරසිංහ හා ටෙනිසන් කුරේ වෙත පළමු පෙළ චරිත නිරූපණය කිරීමේ සමත්කම ඇති වග සහතික කළේ මේ සිනමාපටය යන්න නොපිළිගන්නකු නොමැති තරම්.
වත්මන් සිරිලක සිනමාව සරල හාස්‍ය ඔස්සේ වැඩි රසික සහභාගීත්වයක් අපේක්ෂා කරන්නේ එදවස තරම් ප්රබලාකාරයෙන් නොවෙයි. මන්ද මෙදවස රසාලිප්ත විනෝදාත්මක සිනමාව යොවුන් පෙම නිරූපණයට දක්වන අධිකතර කැමැත්ත ඉහ වහා ගොස් ඇති නිසා. ‘මන්දාරා’හා ‘සිහින නෙළුම් මල්’ නිදසුන් ද්විත්වයක්. මේ නිසා බන්දු සමරසිංහ හා ටෙනිසන් කුරේ සේම වෙනත් එබඳු නළුවන් හා නිළියන් පෙරට එන අවස්ථා සුලබ නැහැ. ටෙනිසන්ගේ වියෝවද මෙයට තුඩු දුන් එක් හේතුවක්. වසර කිහිපයකට පෙරාතුව නිපැයුම් කටයුතු නිමා කොට නවතම සිනමාපටයක් සේ මෙදවස තිරගත කරන ‘බෆලෝ ට්‍රැවල්ස්’සමඟ බන්දු සමරසිංහ පැමිණෙන්නේ එදවස සිය හාස්‍ය ආයාසයකින් තොරව සිහිපත් කරමින්.
බන්දු සමරසිංහ යනු සංකීර්ණ හා ගැඹුරු චරිත නිරූපණයෙන් සිරිලක සිනමාව පොහොසත් කළ අයකු සේ හඳුනා ගැනෙන අවස්ථා සුලබ නැහැ. ඇත්ත වශයෙන්ම ඔහු වෙත එබඳු චරිත නිරූපණයට ලැබුණේ ඉතාම අඩු අවස්ථා. ඉන් අනුර චන්ද්‍රසිරිගේ ‘රජ්ජුමාලා’කැපී පෙනෙනවා. සරල හාස්‍ය නිරූපණයට පමණක් තමාව සීමා කිරීමට එරෙහි වීම සඳහා මේ ඔහු ලද හොඳම අවස්ථාව වන්නට පුළුවන්. ‘රජ්ජුමාලා’හි ඔහුගේ චරිතය සංකීර්ණ චර්යා ගණනාවකින්ම සමන්විත වනවා. සමකාලීන සිනමාකරුවන් බන්දුගේ මෙම සමත්කම සම්බන්ධයෙන් නිසි සැලකිල්ලක් නොදැක්වීම කණගාටුදායකයි. මෙනිසාම බන්දු සමරසිංහ තවදුරටත් සිරිලක සිනමාවේ සරල හාස්‍ය නිරූපණයට අතිශයින්ම සමත් වන බවයි සඳහන් කළ හැක්කේ. කෙසේ වෙතත් ‘බෆලෝ ට්‍රැවල්ස්’ හිදී ඔහු සිය හාස්‍ය නිරූපණ හැකියාව පෙන්නුම් කරන්නේ ඇතැම් වෙනස්කම් සහිතව.
මෙයින් පළමු වෙනස්කම සිනමාපටයේ එන අපූරු මිතුදමක් හා බැඳෙනවා. දෙවැන්න ඔහු පමණටම මහේන්ද්‍ර පෙරේරාද හාස්‍ය දනවන රූපණයක නිරත වීම. සිනමාපටය කල් ඉකුත් වූ අත්දැකීමක් නොවනු පිණිස මොවුන් දෙදෙනා දක්වන්නේ සලකිය යුතු දායකත්වයක්. සිරිලක සිනමාව තවමත් පෙලන සිනමාපට නිපැයුම හා ප්‍රදර්ශනය අතර ඒකාකාර හා තාර්කික සබඳතාවක් උචිත පරිදි නොමැතිවීම යන ගැටලුව ජය ගනු පිණිස තමන්ටද සහාය විය හැකි බව ඔවුන් මෙතැනදී කියා සිටිනවා.
අහම්බෙන් හමුවන යුරෝපීය මහාචාර්යවරයකු සමඟ බන්දු ගොඩ නඟා ගන්නා මිතුදම නිරූපණය කෙරෙන්නේ යම් අපූර්වත්වයක් දනවමින්. කෙසේ නමුත් සිනමාකරු දමිත් ෆොන්සේකාගේ අවධානය යොමු වන්නේ මේ මහාචාර්යවරයා පුරා විද්‍යාඥයකු සේ හුවා දැක්වීම, උප ඇමැතිවරයකු අනීතික කටයුත්තක් සඳහා ඔහුව පැහැර ගැනීම, අගක් මුලක් නැති පෙම් බැඳුමක් සටහන් කිරීම වැනි දෑ සම්බන්ධයෙන්. කෙසේ නමුත් අවස්ථා කිහිපයකදී බන්දු නිරූපණය කරන ගැමියා හා මහාචාර්යවරයා ගැටුම් සහිතව සුහද වන අයුරු යට කී දෑ පරයා දකින්නට රසිකයාට ඉඩ කඩ සැලසෙනවා. බන්දු නිරූපණය කරන චරිතය හා බැඳෙන නිල් පැහැති මොරිස් මයිනර් කාරය සිනමාපටයට එක්කරන රසවත් බව අමතක කරන්නටද බැහැ.
සංකීර්ණ හා ගැඹුරු චරිත නිරූපණයෙන් සිරිලක සිනමාවේ නිර්මාණාත්මක අරමුණු පොහොසත් කරන මහේන්ද්‍ර පෙරේරා සරල හාස්‍ය නිරූපණයට වරෙක දක්වන කුසලතාව මෙහිදීද දැක ගන්නට පුළුවන්. ඔහුගේ ඇතැම් හාස්‍ය නිරූපණ සරල සීමා අභිබවා ගිය වග සඳහන් කළ යුතු වනවා. එකම මාදිලියේ චරිත සඳහා කොටු නොවීමේ සාධනීය ප්‍රතිඵලයක් ලෙසිනුයි මේ කරුණ සලකා බැලිය හැක්කේ. හාස්‍ය රසයට මුල් තැනක් දුන් ජනාකර්ෂණීය සිනමාපට ද්විත්වයක් වූ ‘බහුබූතයෝ’ හා ‘කොස්තාපල් පුඤ්ඤසෝම’හි පළමු චරිත නිරූපණය කරමින් සානුකම්පිත ලකුණු සමහරක් ඔහු විසින් විද්‍යමාන කරනු ලැබූ බව සැබෑවක්. ‘බෆලෝ ට්‍රැවල්ස්’හිදීද මෙහි ඇතැම් සලකුණු දැක ගන්නට පුළුවන්. මෙයින් උද්ධරණය කෙරෙන්නේ කවර මාදිලියේ චරිතයක් වුව නිරූපණයට මහේන්ද්‍ර සෑම විටම සමත් වන බවයි.
තුසිත ජයසුන්දර