Home » මංගේෂ්වරී හුරතල් වෙන විදිහ එක්ක ඒ ආදරේ මටත් දැන් දැනෙන්න පටන් අරන්

මංගේෂ්වරී හුරතල් වෙන විදිහ එක්ක ඒ ආදරේ මටත් දැන් දැනෙන්න පටන් අරන්

හෂාන් රත්නායක

by thanushika
November 9, 2024 12:30 am 0 comment

ඔහු මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය චරිතයකි. මායාවීහි පවන්සිරි ඔහු දිවිය වර්ණවත් කළා යැයි කීවත් නිවැරැදිය. අංජලී හේරත්ගේ හංසයාණනි මියුසික් වීඩියෝව හරහා ඔහු ගැන වෙනමම කතාබහක් ඇති විය. නිරූපණ ක්ෂේත්‍රය හරහා රංගනයට පිවිසි ඔහු ධරණී ටෙලි නිර්මාණයේ දේවින්ද ලෙසින් සිය කුළුඳුල් ටෙලි අත්දැකීම ලබා ගනිමින් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ කදිර දිව්‍යරාජ සිනමාපටය ඔස්සේ සිනමාවට ද පිවිසියේය. පවන්සිරි ලෙසින් මේ දිනවල ඔබ හමුවට එන ඔහු හෂාන් රත්නායකය.

ඔබ රංගනයට පිවිසෙන්නේ මෝස්තර නිරූපණය හරහා?

පොඩි කාලෙ ඉඳන්ම මං වැඩි දඟකාරකමක් නැති නිශ්ශබ්ද චරිතයක්. කවදාවත් රංගනයට කැමැත්තක් තිබුණු කෙනෙකුත් නෙවෙයි. කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ ඉගෙනුම ලබන කාලෙමයි නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණේ. 2018 හිරු අවුරුදු කුමරා වගේම 2019 සිරස අවුරුදු කුමරා තරගයේ දෙවැනි ස්ථානය දිනාගන්න හැකිවුණා. ඒත් එක්කම 2018 දී තායිලන්තයේ පැවැති Mr.Sri Lanka For Mr. United Asia තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නත් අවස්ථාව ලැබුණා. 2019 වසරේ ඉන්දියාවේ පැවැති Face of Sri Lanka මොඩ්ල් ෆෙස්ටිවල් එකට සහභාගී වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ හරහා තමයි රංගනයට අවස්ථාව ලැබෙන්නේ.

පවන්සිරි නිසා මේ දවස්වල හෂාන් කියන්නෙ කවුද කියලත් ප්‍රේක්ෂකයන්ට අමතක වෙලා නේද?

ඒක තමයි ඇත්තම කතාව. මේ වෙද්දි අසීමිතව කමෙන්ට්ස් ලැබෙනවා. ඒ එකකවත් හෂාන් ගැන සඳහනක් නෑ. හැමෝම කියන්නේ පවන්සිරි, පවන්, පවන, පවන, පණ කියලා. දැන්නම් මටත් මගේ නම අමතකයි වගේ. මායාවී ටෙලි නාට්‍යයේ පවන්සිරි කියන්නේ ගැමි චරිතයක්. ඒ මං ආසාවෙන් හිටිය, මගේ හිතේ තිබුණු චරිතයක්. විසේකාරී ශේන් කියන්නේ ඊට වෙනස් දඩබ්බර චරිතයක්. ධරණී ටෙලි නිර්මාණයේ දේවින්දගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් මාව හඳුනගත්තට චරිතයක නමින් මාව හඳුන්වන්න ගත්තේ පවන්සිරි නිසා. මං කවදාවත් හිතුවෙ නෑ මේ තරම් ආදරයක් ලැබේවි කියලා. ඒ ගැන ගොඩක් සතුටුයි.

මේ තරම් ආදරයක් හිමිකර ගන්න අවස්ථාව ලැබුණු හැටිත් කියමු?

මායාවී නිෂ්පාදක ලලිත් සර් තමයි මට මුලින්ම කතා කළේ. ඊට පස්සේ මහේෂ් සර්, සඳුන් සර් දෙන්නගෙත් කැමැත්ත ඇතිව මට පවන්සිරි වෙන්න පුළුවන් වුණා. පවන්සිරිට ලැබෙන මේ ආදරේ සැබෑ හිමිකරුවන් වෙන්නේ ඔවුන්. මුල්ම ඔඩිෂන් එක දවසේ මහේෂ් සර් මට කිව්වා මේකෙ ප්‍රධාන පිරිමි චරිත දෙකක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාට එකක් ලැබෙනවා කියලා. දවස් තුනකට පස්සේ ලලිත් සර් මට කතා කරල කිව්වා ඔයාට තියෙන්නේ හැඩි දැඩි, කඩවසම්, සරම අඳින, බයිසිකල් පදින ගමේ කොල්ලෙක්ගෙ චරිතයක් කියලා. මට විශ්වාස කරන්නත් අමාරු වුණා මහේෂ් සර්ගේ පිටපතකට රංගන දායකත්වය ලබාදෙන්න මටත් අවස්ථාවක් ලැබුණා කියන එක. ඒ චරිතයට අවශ්‍ය වටපිටාව, අඳින පලඳින විදිහ, හැසිරීම, කතාබහ වගේම මගේ පෙනුමත් උපයෝගී කරගෙන හෂාන්ව සම්පූර්ණයෙන් අමතක කරවල ඔහු හරි ලස්සනට ප්‍රේක්ෂක හදවතේ පවන්සිරිව නිර්මාණය කළා.

මේ දවස්වල ජනප්‍රිය වෙලා තියෙන්නේ පවන්සිරිගෙයි මංගේෂ්වරීගෙයි ආදර කතාව. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තම කිව්වොත් මංගේෂ්වරීගේ ආදරය නිසාම තමයි පවන්සිරි කියන චරිතය ප්‍රේක්ෂකයාට ගොඩක්ම දැනෙන්න ගත්තේ. මංගේෂ්වරී අමුතු විදිහට දාන ඇක්ෂන්, හුරතල් වෙන විදිහ, මාව දැක්කම එයාගෙ හැසිරීම, බලන විදිහ එක්ක ඒ ආදරේ මටත් දැන් දැනෙන්න පටන් අරන්. මට මේ ළඟදි හිතුනා ඒ වගේ ආදරයක් හෂාන්ගේ ජීවිතේට ලැබෙනව නම් කියලත්. එහෙනම් මං හරි ආදරෙන් පරිස්සම් කර ගන්නවා. පවන්සිරිගෙ එක වචනයකට මංගේෂ්වරී මෙල්ල වෙන විදිහ. සමහර කමෙන්ට්ස්වලත් ඒක තියෙනවා. එයා කොච්චර ආවේශ වුණත් පවන් ඉදිරියේ පොඩි ළමයෙක් වගේ මෙල්ල වෙනවා කියලා.

බොහෝදෙනෙක් කැමැතියි මංගේෂ්වරීගෙයි පවන්ගෙයි ආදරේට. පවන්සිරිගෙ සාර්ථකත්වයට ඇගෙන් ලැබෙන සහාය ගැන මතක් කළොත්?

සුධීක්ෂායි මායි හරිම සහයෝගයෙන් කතාබහ කරලා ගොඩක් කැපවෙලා වැඩ කරනවා. ඒ ආදරේට හරි ලස්සන කමෙන්ට්ස් ලැබෙනවා. මෑත කාලෙ දැකපු ලස්සනම කපල් එක කියලත් තිබුණා. එයාගෙ මානසිකත්වයත් එක්ක එයා හැසිරෙන විදිහ, බොළඳකම, පවන්ගෙන් ආදරේ හොයන විදිහ, මොන දේ කළත් පවන් කේන්ති ගන්නෙත් නෑ. එයා ඒ පවන පණ කියන ටෝන් එක ඒ හැසිරීම තමයි පවන්සිරිගෙ චරිතයටත් ගොඩක්ම බලපාන්නේ. ඒ වගේම ධනුෂ්කා අක්කා, ශාන්ත අයියා වගේ ප්‍රවීණයන් කිසිම ලෝභකමක් නැතුව අපිට ගුරුහරුකම් දීලා, අත්දැකීම් බෙදාගෙන, මෙහෙම කරමු මේ විදිහට යමු කියමින් කරන මඟපෙන්වීම මේ චරිත මේ තරම් ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතරට යන්න හේතුවක් වුණා කියලත් හිතෙනවා. ඇත්තටම මංගේෂ්වරීගේ වගේ ආදරයක් හෂාන්ටත් ලැබෙනව නම් කියල හිතුන අවස්ථා තිබුණා.

එතකොට හෂාන්ගේ අංජලී හේරත් එක්ක තියෙන පටලැවිල්ල මොකක්ද?

ගොඩක් දෙනෙක් තාමත් හිතන් ඉන්නේ අපි දෙන්නා අතරේ සමබන්ධයක් තියෙනවා කියලා. නෑ. නෑ. එහෙම එකක් නෑ. ඒක වුණේ මං අංජලීගේ ‘හංසයාණෙනි‘ ගීතයේ මියුසික් වීඩියෝ එකට හිටියා. අංජලී අපි දෙන්න ඉන්න පින්තූරයක් ෆේස්බුක් දාලා තිබුණා ආදරණීය රහසක් කියලා. කවුරුත් හිතුවේ, කවුරුත් කතා කරන්න පටන් ගත්තේ අපි අතරේ ආදරයක් තියෙනවා කියලා. හැමෝම සුබ පතලා දාල තිබුණා. ඒ නිසාම සමහර ටීවී වැඩසටහන්වලටත් මට ආරාධනා ලැබුණා. අංජලීගෙ ගෙදරිනුත් මට කතා කරලා කිව්වා බලන්න පුතා අපෙනුත් අහනවා කියලා. අංජලීත් කියනවා බලන්න අයියේ මගෙනුත් අහනවා කියලා.

ඒ කියන්නේ හෂාන් ආදරවන්තයෙක් නෙවෙයි කියන එකද?

ගොඩකාලෙක ඉඳන් මං ආදරයක් ගැන හිතලා නෑ. අත්දැකීම් නැතුව නෙවෙයි. මට තියෙන්නෙ වෙන ටාගට් එකක්. මං කැමති නෑ ආදරය කරලා අතර මඟ නවතින්න. හරිම කෙනෙක්ට ආදරේ කරලා ජීවිත කාලෙම එකට ඉන්නයි මට ඕන. එහෙම කෙනෙක් හමුවේවි කියලා බලාපොරොත්තු වෙනවා.

 නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division