සිනමා නිර්මාණයකට හෝ වේවා ටෙලි නාට්‍ය නිර්මාණයකට හෝ ඕනෑම කලා නිර්මාණයකට වේවා ඇඳුම් නිර්මාණය කියන්නේ ඒ ඒ කලා නිර්මාණය වෙනුවෙන් යොදාගන්නා වැදගත් අංගයක්. 2024 පැවති 04 වන බයෙල්සා ජාත්‍යන්තර සිනමා උලළේ හොඳම ඇඳුම් නිර්මාණයන්ට හිමි සම්මානය “සිංහබාහු” චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණ වෙනුවෙන් සම්මාන ලැබුවේ ඇඳුම් නිර්මාණ ශිල්පිනි රමේෂා ඔෂිනි. ජනප්‍රිය සිනමාපට කිහිපයකටම සිය ඇඳුම් නිර්මාණයන් සිදු කරමින් කලා ලොවේ දිගු ගමනක් යා හැකි සලකුණු තබන රමේෂා ඔෂිනි සමඟයි රසඳුන මේ කතාබහ.
මෙවර 04 වන බයෙල්සා ජාත්‍යන්තර සිනමා උලළේ හොඳම ඇඳුම් නිර්මාණයට හිමි සම්මානය ලැබුණා කියලා දැන ගත්තම මොකද හිතුණේ?
මට සිනමාව වෙනුවෙන් ලැබුණු පළමු සම්මානය. ඒ සම්මානයත් අන්තර්ජාතික සම්මානයක් වීම ගැන නිහතමානි සතුටක් තියෙනවා.
සිංහබාහු කියන්නේ ඔබ ඇඳුම් නිර්මාණය කී වෙනි නිර්මාණය ද?
දෙවන සිනමා නිර්මාණය.
මුල්ම නිර්මාණය මොකක් ද?
ගුත්තිල චිත්‍රපටය.
කොහොමද සිංහබාහු චිත්‍රපටයට අවස්ථාව ලැබෙන්නේ?
සෝමරත්න සර් හොයලා තිබ්බා ලංකාවේ ලෙදර්වලින් ඇඳුම් කරන්නේ කවුද කියලා. එහෙම හොයන අතරේ තමයි මාව දැනගෙන තියෙන්නේ. ඒ හරහා තමයි මට සිංහබාහු චිත්‍රපටය එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබෙන්නේ.
කොහොමද ලැබුණු අත්දැකීම?
මුලින්ම සෝමරත්න සර් සහ රේණුකා මිස් මට කතා කරද්දී පුදුම හිතුණා. මොකද ඒ දෙන්නා ලංකාවේ ඉන්න ප්‍රවීණම දෙන්නෙක් නිසා පොඩි බයකුත් ඇති වුණා මේ වැඩේ භාරගෙන මට කරන්න පුළුවන් වෙයි ද කියලා. හැබැයි කියන්නම ඕනේ මට මගේ වැඩ කොටස සාර්ථක කර ගන්න ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම මෙහි ඇඳුම්වල ඩිටෙල්ස් ගොඩක් තියෙනවා. ඒ හැමදේටම අවශ්‍ය ඉතිහාසය එක්ක තියෙන දේවල් හොය ගන්න මට ජැක්සන් ඇන්තනි සර්ත් මට ගොඩක් උදව් කළා. ඒ එක්කම අකිල, සජිත, දුශේනි, යශෝධා, අභිලාශි කියන හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. ඒ ඇඳුම් ඇඳන් ඉන්න ලෙහෙසි නැහැ. මම භාවිතා කළේ ඔර්ජිනල් ලෙදර්. ඒ නිසා උෂ්ණත්වය වැඩියි. මුළු දවසෙම කැලේ ඇතුළේ ඒ ඇඳුම් ඇඳන් ඉන්න එක කොහොත්ම ලෙහෙසි නැහැ. විශේෂයෙන්ම අකිලව කියන්න ඕනේ. අකිලගේ ඇඳුමේ ලෙදර්, තඹ, ඇටකටු ගොඩක් තිබ්බා.
රමේෂාගේ ඇඳුම් නිර්මාණයෙන් හැඩ වෙන ඉස්සරහට එන්න තියෙන නිර්මාණ මොනවද?
මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ බුද්ධ මාතා චිත්‍රපටයේ මම වැඩ කළා. ඒකත් ලොකු අත්දැකීමක් වුණා මගේ ජීවිතේට. මට බුද්ධ මාතා චිත්‍රපටය ලැබෙන්නේ නම් සිංහබාහු චිත්‍රපටයේ මගේ ඇඳුම් නිර්මාණ දැකලා. ඒ එක්කම මේ වෙද්දී චිත්‍රපට දෙකක වැඩ කරගෙන යනවා.
ඇඳුම් නිර්මාණ පැත්තට එන්නේ කොයි කාලේද?
තවම අවුරුදු 5ක් වගේ පොඩි කාලයක් වෙන්නේ. මම උසස් පෙළට චිත්‍ර විෂය කරලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට එනවා චිත්‍ර විෂයෙන්. එතැනින් තමයි මම ෆැෂන් ඩිසයිනින් ඉගෙන ගන්නේ. හැබැයි සිනමාවට එන්නේ ගුත්තිල හරහා අහම්බෙන්. සිනමාවට ඇඳුම් නිර්මාණය කරන එක නෙවෙයි මගේ ප්‍රධාන විෂය වෙන්නේ. නමුත් මේ සම්මානය ලැබීමත් එක්ක මට හරි ආසාවක් උනන්දුවක් ඇති වුණා සිනමාවට ඇඳුම් නිර්මාණය කරන්න.
ෆිල්ම්වලට අමතරව සාමාන්‍යයෙන් රමේෂා ඩිසයිනින් කරන්නේ මොනවද?
මම කරන්නේ Couture detail works. මගේ වැඩවලදී වැඩිපුර භාවිතා වෙන්නේ රබර් සහ සිලිකන් වගේ ටිකක් ඝන දේවල්. එහෙම ඝන දේවල්වලින් වැඩ කරන අය ලංකාවේ අඩුයි.
රමේෂා ගැන කිව්වොත්?
මගේ ගම අගලවත්ත ඕමත්ත. මම පාසල් ගියේ මූලික අධ්‍යාපනය ලබන්නේ අගලත්තේ මිහිඳු මධ්‍ය මහා විද්‍යාලයෙන්. උසස් පෙළ හදාරන්න හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට ගියා. මම සාමන්‍ය පවුලකින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න එන්නේ. මගේ පවුලේ අයට ලොකු අවබෝධයක් තිබ්බේ නැහැ මම අනාගතයේ කවුරු වෙයිද කියලා. හැමෝම හිතුවේ මම උපාධිය කරලා ගුරුවරියක් වෙයි කියලා. මමත් විශ්ව විද්‍යාලයට එද්දී හිතුවේ ගුරුවරියක් වෙන්න. හැබැයි කොළඹට ඇවිත් මේ පරිසරය එක්ක ගැටෙද්දී තමයි ෆැෂන් ඩිසයිනින් කරන්න හිතා ගත්තේ.
පවුලේ කවුද ඉන්නේ?
මගේ අම්මා තාත්තා මල්ලි සහ නැන්දා. නැන්දා කියන්නේ මට මගේ අම්මා වගේම උදව් කරන කෙනෙක්. දැන් මම විවාහකයි. එයා මහේෂ් විජයංග. එයත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. එයත් චිත්‍ර විෂයට ගොඩක් දක්ෂ මූර්ති ශිල්පය හදාරපු කෙනෙක්. එයාගේ විෂය වුණේ මල්ටි මිඩියා. මගේ මහත්තයයි මමයි තමයි මේ වැඩ කරගෙන යන්නේ. මහු තමයි මගේ ගමනට ලොකුම ශක්තිය.
රමේෂාගේ ඉදිරි බලාපොරොත්තු මොනවද?
මම ආසයි මේ රටෙන් එහාට ගිහින් වැඩ කරන්න. ඒ කියන්නේ අන්තර් ජාතික මට්ටමේ නිර්මාණවලට දායක වෙන්න. ඒ කියන්නේ ෆැෂන් ඩිසයිනින් වල කැටගරි කිහිපයක්ම තියෙනවා. සිනමා ඇඳුම් නිර්මාණය කියන්නේ එක කොටසක් විතරයි. ඒ නිසා මම ආසයි ෆැෂන් ඩිසයිනින් කියන විෂයේ හැම අංශයකම වැඩ කරලා අත්දැකීම් ලබා ගන්න.
අනුෂා රණසිංහ