අඛිල සඳකැලුම්ගේ කුලුඳුල් සිනමා නිර්මාණය ලෙස පසුගියදා තිරගත වුණු හද ගැස්ම සිනමාපටයේ යශෝගේ චරිතය ඔස්සේ ඔබ හමුවට එන ඇය මේ දිනවල බොහෝ සේ ජනප්‍රිය මායාවී ටෙලි නිර්මාණයේ ඉන්දු ලෙසින් ද ඔබ හමුවන්නීය. කතරගම ප්‍රේමා වේදිකා නිර්මාණය සමඟ රට වටා යමින් වේදිකාවේ ද සක්‍රිය චරිතයක් වන ඇය දක්ෂ, සුරූපී රංගන ශිල්පිනී ශාලිකා එදිරිසිංහය.
බොහෝ කාලෙකින් ඔබ මේ දිනවල රිදී තිරයේ දකින්න ලැබෙනවා. ඒ ගැන කතා කරමු?
ඔව්. අවුරුදු 6කට පස්සේ තමයි සිනමා ප්‍රේක්ෂකයන් නැවතත් මාව රිදී තිරය මත දකින්නේ. මං රංගනයෙන් දායක වුණු අඛිල සඳකැලුම්ගේ හද ගැස්ම සිනමාපටය මේ දිනවල තිරගත වෙනවා. ඒක රූගත කළෙත් ගිය අවුරුද්දේ මාර්තුවල. මේ තරම් කෙටි කාලෙකින් චිත්‍රපටය තිරගත වීම සතුටක්. සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියැවුණු ‘හද ගැස්ම‘ ඔහුගේම තිරපිටපතක්. මේ ඔහුගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වීමත් විශේෂත්වයක්. සිනමාවට ඔහු නවකයෙක් වුණත් අඛිල කියන්නේ මේ ක්ෂේත්රය ගැන හොඳ දැනුමක්, අවබෝධයක්, අධ්‍යයනයක් තියෙන දක්ෂ අධ්යක්ෂවරයෙක්. ආදරය, සෙනෙහස, වෛරය, කුතුහලය, ත්‍රාසය මේ හැම දෙයක්ම ගැබ්වෙලා තියෙන පවුලක් ඇතුළේ තියෙන සහෝදර සෙනෙහස ගැන කියවෙන ආදර්ශවත්, කාලෝචිත මාතෘකාවක් ගැන කතා කරන, පවුලේ හැමෝටම එකට ඉඳන් නැරඹිය හැකි සිනමා නිර්මාණයක් විදිහටයි මං දකින්නේ.
යශෝ කියන චරිතය ප්‍රේක්ෂකයා හඳුනාගන්නේ එක් පසෙකින් ලොකු වේදනාවක් දරාගෙන තමන්ගෙ පවුල වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන ගැහැනියක් විදිහට?
ඔව්. ඒ නම ඇතුළෙම ඒක ලියවිලා තියෙනවා. ඇය පවුලට ගොඩක් ආදරෙයි වගේම හරිම සංයමයකින් කටයුතු කරන කෙනෙක්. සැමියා සහ ඔහුගේ සොයුරිය අතර පවතින අසීමිත සහෝදර ප්‍රේමය ඉවසා දරාගෙන එය ආරක්ෂා කරන්න අසීමිත කැපකිරීමක් කරන ඉවසිලිවන්ත බුද්ධිමත් ගැහැනියක්. කොටින්ම කිවුවොත් සැමියාගේ සහෝදරිය නිසා තමන්ගේ දරුවෙක් ගැනවත් නොහිතන ගැහැනියක්. අද කාලෙ මේ වගේ චරිත නම් නැති තරම්.
ඔබ නිර්මාණ තෝරා ගැනීමක් කරනවද?
ඇත්තටම ඔව්. අවුරුදු ගාණක් ගිහින් හරි මට දෙයක් කරන්න පුළුවන් නිර්මාණයක් නම් විතරයි මං භාරගන්නේ. එහෙම නැතුව ආවට ගියාට, ලැබුණ පළියට භාරගන්නෙ නෑ. ඒ නිසා මං දායක වෙන නිර්මාණ ගණන අඩු වෙන්න පුළුවන්. නුහුරු වෑයම සිනමාපටයත් ඉතාම ඉක්මනින් තිරගත වීමට නියමිතයි.
මේ දවස්වල ඔබ මායාවී ටෙලි නිර්මාණයේත් ජනප්‍රිය චරිතයක්?
මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ මායාවී තිරපිටපත අධ්‍යක්ෂණය කරන්නේ සඳුන් රාජකරුණා. නිෂ්පාදනය ලලිත් වසන්ත. චරිතාංග නිළියක් විදිහට මට ලැබෙන හැම චරිතයක්ම මං අභියෝගාත්මකව භාර ගන්නවා. මායාවී ටෙලි නිර්මාණයේ ඉන්දු කියන්නෙත් ගොඩක් දුරට පවුල ආරක්ෂා කරගන්න කැපවෙන, වෙහෙසෙන කාන්තාවක්. මායාවී මේ දවස්වල ගොඩක්ම ජනප්‍රියයි වගේම ඉන්දුටත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා.
ශාලිකා කියන්නෙ හැමදාම එක විදිහට පෙනුම පවත්වාගෙන යන කෙනෙක්?
මං හැමදාම එක විදිහටම ඉන්නෙ විශේෂ දේවල් කරන්නෙ නැති නිසා කියලයි මට හිතෙන්නේ. මං පුංචි කාලෙ ඉඳන්ම පුරුදු වුණු දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් අදටත් එහෙමම කරගෙන යනවා. මං හිතන්නේ ඒකත් මගේ පෙනුම එක වගේ පවත්වාගෙන යන්න බලපෑමක් කරනවා ඇති. සාමාන්‍යයෙන් මං කෑම ගන්නෙ හරිම අඩුවෙන්. ඒ නිසා මහත්වෙලා කියලා කෙට්ටුවෙන්න ඕන කියල ප්‍රශ්නෙකුත් නැහැ. ඒ වගේම මං කාටවත් ඊර්ෂ්‍යා කරන්නෙ නෑ. කායික මානසික සුවය හොඳින් පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. හැමවෙලේම යහපත් දේ කරලා යහපත් විදිහට ඉන්නයි උත්සාහ කරන්නේ. පෙනුම ගැන හිතලා පේෂල් එකක් දාන එක, ව්‍යායාම කරන එක, විධිමත් විදිහට කෑම පාලනය කරන එක මගේ අතින් නිතැතින්ම සිදුවෙනවා.
ශාලිකා පිනට දහමට ගොඩක් ළැදි කෙනෙක් කියලත් ආරංචියි?
ඔව්. ඒක ඇත්ත. පුංචි කාලෙ ඉඳන්ම මං පිනට දහමට ළැදියි. අනුන්ට යමක් දෙන්න මං ළෝභ නෑ. තව කෙනෙක් වෙනුවෙන් දෙයක් දෙන්න මං දෙපාරක් හිතන්නෙ නෑ. පින් දහම් කරන එකෙන් අපේ පින බලවත් වෙන තරමට අපේ අකුසල කර්ම කැපිල යනවා. ඊළඟ ආත්මෙකට අපේ ආධ්‍යාත්මය වර්ධනය කරගන්න ඒක සෑහෙන්න වටිනවා. අපි මොන දේ කළත් අවසානයේ අපිට මේ ජීවිතේ කෙළවර දකින්න වෙන්නෙ පින් දහම්වලින්ම තමයි.
ශාලිකා කියන්නෙ සුරූපී තරුණියක්නේ. ආදර ඇරයුම්වලින් අඩුවක් නැතුව ඇති?
මං තනිකඩ කෙල්ලෙක් නිසා ද මන්ද ඇරයුම්වලින් නම් අඩුවක් නෑ. කොතරම් ඇරයුම් ආවත් තමන්ට සුදුසු කෙනා ගැළපෙන කෙනා නෙවෙයි නම් අපි එතන නවතින්න කැමැති නෑනේ. අපි රැඳෙන්න ඕන අපිව ආදරෙන් රැක බලාගන්න පුළුවන්, ආදරය, ආරක්ෂාව, ගෞරවයක් දෙන්න පුළුවන් ආදරණීය කෙනෙක් ළඟ. එහෙම නැතුව තනිකඩයි කියලා අපිට නොගැළපෙන කෙනෙක් ළඟ නැවතිලා දුක් විඳිනවට වඩා මෙහෙම තනිකඩව ඉන්න එක හොඳයි කියලයි මට හිතෙන්නේ.
නාමලි ගමගේ