2023 සහ 2024 වර්ෂවල සමස්ත ලංකා කරාතේ ශූරතාවලියේ වයස 18න් පහළ ශූරතාවය දිනාගනු ලැබුවේ උතුරු මැද පළාතේ අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ සඳළු සතිෂ්බන්දුල සිසුවාය. භූතානයේ පැවැති 8 වැනි දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ ඔහු නොවැම්බර් 28 වැනිදා දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 11 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ද සුදුසුකම් ලබා ඇත. සඳළු කරාතේ ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපන කටයුතුවලට ද දක්ෂතාවක් දක්වන බව පැහැදිලි කරමින් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය A සාමාර්ථ 6ක් සහ B සාමාර්ථ 3 ක් සමඟින් ජය ගැනීමට සමත්වීය. ක්‍රිකට් ක්‍රීඩාවේ ද උපන් හපන්කම් දක්වා ඇති ඔහු ලංකාවේ හොඳම පාසල් ක්‍රීකට් ක්‍රීඩකයන් 8 දෙනා අතර සිටිම ද විශේෂත්වයකි.
ලබන 24 වැනිදා දකුණු අප්‍රිකාවේ ඩර්බර්න් බලා පිටත්වීමට සූදානමින් සිටින සඳළු අප හා පැවසුවේ මෙවැන්නක්.
ලබන 28 වැනිදා දකුණු අප්‍රිකාවේ ඩර්බර්න්වල පැවැත්වෙන 11 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ ශූරතාවලිය සඳහා වයස අවුරුදු 18න් පහළ 61ට අඩු බර පන්තිය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ මම. 24 වැනිදා ලංකාවෙන් පිටත් වීමට නියමිතයි. මේ වෙද්දි දිනපතා පුහුණුවීම් කරනවා. කොළඹත් ගිහින් පුහුණු වෙනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඉදිරියටත් තරගාවලි රැසක් තියෙනවා. ලබන අවුරුද්දේ 21 පහළ වයස් කාණ්ඩයට තරග කරනවා. මගේ ලොකුම ඉලක්කය 2032 පැවැත්වෙන ඔලිම්පික් ශූරතාවය දිනා ගැනීම. ඒත් මගේ අප්පච්චිට ගොඩක් ආර්ථික අපහසුතා තියෙනවා. මගේ ක්‍රීඩා කටයුතුවලට අනුග්‍රහය දක්වන්න කවුරුහරි ඉදිරිපත් වෙනවා නම් අනිවාර්යයෙන්ම මට මගේ ඉලක්කයට යන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා.
සඳළු තම අධිෂ්ඨානය එසේ වදන් බවට පෙරළද්දී ඔහුගේ පියා වන නිශාන්ත ප්‍රදීප් බන්දුල තම පුතු ආ දුෂ්කර ගමන් මඟ පැහැදිලි කරමින් පුතුගේ ඉදිරි ගමනට කාගේ හෝ පිළිසරණක් බලාපොරොත්තු වන බව ද පැවසීය.
“අනුරාධපුර ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරන කාලෙම සඳළු පුතා එඩ්මන්ඩ් සර් යටතේ කරාතේ පුහුණු වුණා. 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයට ඇතුළත් වෙද්දිත් ඔහු කරාතේ පුහුණුවීම්වල යෙදුණා. ක්‍රිකට්වලට දක්වපු දක්ෂතාව මත පුතාව ශාන්ත ජෝසප් විද්‍යාලයට ගත්තා. එතනදි හමුවුණු ප්‍රියන්ත විජේසිංහ සර් නිසා පුතා ආයෙමත් කරාතේ ක්‍රීඩාවට යොමු වුණා. නැවතත් ඇවිත් මාස දෙකක් ඇතුළත උතුරු මැද පළාත් තරගාවලියට සම්බන්ධ වෙලා 4 වැනි ස්ථානය දිනාගත්තා. දිගින් දිගටම පුහුණුවීම් කරලා 2023 පළාත් ගූරතාවලියේ පළමු ස්ථානය දිනාගෙන සමස්ත ලංකා තරගාවලියට සුදුසුකම් ලැබුවා. 2023 සමස්ත ලංකා ශූරයා වුණේ සඳළු පුතා. ඒ වගේම 2024ත් සමස්ත ලංකා ශූරයා බවට පත්වුණා. ඒ වෙද්දි ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙනුත් ලංකාවේ හොඳම පාසල් ක්‍රීඩකයන් 8 දෙනා අතර හිටියා. මේ ක්‍රීඩා දෙකම එකට කරගෙන යන්න අපහසු නිසා ඒ වෙලාවෙ පුතාට මේ දෙකෙන් එකක් තෝරගන්න වුණා. කරාතේ ක්‍රීඩාව තෝරගත්තා. පුතා හැම ක්රීඩාවටම දක්ෂයි. ඒ වගේම ඉගෙන ගන්නත් දක්ෂයි. හොඳට ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයට ගිහින් ස්පෝට් මැනේජ්මන්ට් ඩිග්‍රිය කරලා ඒ පැත්තෙන් ඉදිරියට යන්නයි පුතාට ඕන.
ස්ථිර නොවුණත් වෘත්තියක් ලෙස වඩු වැඩෙහි නිරත වන ඔහු රැකියා විරහිත සඳළුගේ මව සහ දරුවන් තිදෙනකු නඩත්තු කරන්නේද දැඩි ආර්ථික අපහසුතාවකිනි. ඉදිරි අභිමතාර්ථය ඉටුකර දීමට වත්කමක් නැති ඔහු තම පුතුගේ ක්‍රීඩා කටයුතුවලට කාගේ හෝ සහායක් පතන්නේය.
මේ ගමනටත් ලක්ෂ 12ක් විතර යනවා. තනි මට ඒ මුදල හොයාගන්න අමාරුයි. ඒ සඳහා කාටහරි උදවු කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.
ජාතික මට්ටමේ පමණක් නොව ජාත්‍යන්තර මට්ටමේ ද ජයග්‍රහණ හිමිකර ගෙන ඇති සඳළුට ඒ සඳහා මඟපෙන්වා ඇත්තේ ඔහුගේ කරාතේ පුහුණුකරුය. දුප්පත් දරුවන් වෙනුවෙන් නොමිලේ තම සේවය ලබාදෙන ඔහු නැඟෙනහිර නුවරගම් පළාතේ ක්‍රීඩාව භාර ගුරුවරයා ලෙස කටයුතු කරන ප්‍රියන්ත විජේසිංහය.
සඳළු පුතුට සවියක් වන්නට හැකි අයෙක් වේ නම් අනුරාධපුර කොමර්ෂල් බැංකු ශාඛාවේ පවතින 8023707074 එස්. එම්. චන්ද්‍රිකාගේ ගිණුමට යම්කිසි මුදලක් බැරකර ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දීමට දායක විය හැකිය. 076 1068499 අංකය අමතා වැඩිදුර තොරතුර ලබාගත හැකිය.
නාමලී ගමගේ