Home » මීදුම මැද්දේ සැඟවුණු සොඳුරු මන්දාරම් නුවර

මීදුම මැද්දේ සැඟවුණු සොඳුරු මන්දාරම් නුවර

by Mahesh Lakehouse
November 9, 2024 12:31 am 0 comment

නුවරඑළිය බොහෝ දෙනාගේ ජනප්‍රියම ගමනාන්තයක්. පුංචි එංගලන්තයේ සංචාරය කරන බොහෝ දෙනා ඒ අවට ඇති ජනප්‍රිය ස්ථාන කිහිපය පමණක් බලා සීතලෙන් සැනහී නැවත ගම්රට බලා ඒම සාමාන්‍ය දෙයක්. ඒත් පරිසරයේ අනේකවිධ සොඳුරු තැන් අපමණයි. හොඳ දේවල් පහසුවෙන් නොලැබෙන බව ඔබ දන්නවා.

මිහිකතේ සොඳුරු ම තැන් ඒ තරම් පහසුවෙන් නැරඹිය හැකි ලෙස පිහිටා නෑ. ගොඩක් සුන්දර දේවල් තියෙන්නේ සැඟවිලා. පරිසරයට වගේ ම ජීවිතයටත් ඒ ධර්මය පොදුයි.

අද මම ඔබට කියන්නට යන්නේත් සැඟ ව ඇති මේ ලොව අතිශය සුන්දර ම ස්ථානයක් ගැන. මන්දාරම් නුවර තවමත් බහුතර සංචාරකයන්ගේ ජනප්‍රිය ගමනාන්තයක් නොවෙයි. ඒත් ඔබ මගෙන් ඇහුවොත් දිව්‍ය ලෝකේ ඔබ හිතන විදියට මොනවගේ තැනක්ද කියලා! මම දෙවරක් නොසිතා දෙන පිළිතුර තමයි; මන්දාරම් නුවර වගේ ඇති කියලා. ඒ තරම් ම මේ පරිසරයත්, එහි වෙසෙන මිනිසුනුත් සුන්දරයි.

සංචාරය කරනවා නම් උදේ පාන්දර ම යන්න

සංචාරය කරන ඔබ දන්නවා, පරිසරයේ සුන්දරත්වය නරඹන්නට හොඳ ම වෙලාව අලුයම බව. මුළු පරිසරය ම නැවුම්; පිනිබිඳු තණපත් අග දිලිසෙන්නේ ජීවිතයට වරම් ඉල්ලමින්. ඒත් හිරු පායා එද්දී ඒ පිනි බිඳුවලට ජීවිතය හැරදා යන්න වෙනවා ම යි. නුවරඑළිය හරහා කඳපොළ හයිෆොරස්ට් වතුයාය මැදින් අපි මන්දාරම් නුවරට ළඟා වෙද්දි උදා ඉර තුරු අගිසි සිප ගන්නට සූදානම් වෙමින් සිටියේ. ඒ තරම් ම උදෑසනින් අපි මන්දාරම් නුවරට ආවේ හිරු නැඟ එන සුන්දර දසුන තේ යාය මැද සිට නරඹන්නයි. මන්දාරම් නුවර යන ඔබ ඔබේ වාහනයේ ධාවන තත්ත්වය, ඉන්ධන ප්‍රමාණය, ටයර්වල තත්ත්වය ආදිය ගැන සැලකිලිමත් විය යුතුමයි. මන්දාරම් නුවරට යන මාර්ගය දෙපස තේ යාය මනස්කාන්ත දර්ශනයක් සේ අපේ නෙත පින වුවත් එය දලු කඩන, වල් ගලවන අපේම සහෝදරයන්ගේ ලේ කඳුළු මිශ්‍ර වූ වැඩබිමක්. උදෑසන ම තේ දලු මල්ල පිටේ එල්ලා ගත් ඒ අපේ ම සහෝදරියන්ට සිනාවකින් සංග්‍රහ කරන්නට අමතක කරන්න එපා. ඔවුන් ඔබට අතවනමින් මිත්‍රශීලී බව ප්‍රකට කරද්දී අහක බලාගෙන ගියොත් ඒ තැළුණු රිදුණු හිත් තවත් රිදේවි.

ගමන් මාර්ගය

මන්දාරම් නුවර යන ඔබට එහි යා හැකි මාර්ග කිහිපයක් තිබෙනවා. මේ කුමන මාර්ගයක වුවත් මාර්ගය දෙපස අතිශය මනස්කාන්තයි. ඒවගේම ලිස්සන සුළුයි. ඔබ යන්නේ මහනුවර සිට නම් හඟුරන්කෙත හරහා රිකිල්ලගස්කඩ පසුකර පදියපැලැල්ල දෙසට යනවිට එළමලේ හන්දිය හමුවෙනවා. එතැනින් හැරිලා අතුරු පාරක කඳු බෑවුම් අතරෙන් කිලෝමීටර් 11ක් පමණ දුර ගමන් කළාට පස්සෙ සුන්දර මන්දාරම් නුවරට ළඟා විය හැකි යි. ගම දක්වා වෑන් රථ වැනි කුඩා වාහනයකින් වුණත් ගමන් කළ හැකි යි. මහනුවර සිට එයට ඇති දුර කිලෝ මීටර් 54ක්.

මම නම් ගියේ නුවරඑළියේ ඉඳන්. නුවරඑළියේ ඉඳන් යද්දි කඳපොළ හරහා මන්දාරම් නුවරට යන මාර්ගය තමයි මම අර කිව්ව සුන්දර මාර්ගය. නුවරඑළියේ ඉඳන් මන්දාරම් නුවරට ඇති දුර කිලෝමීටර 40ක්.

නුවරඑළියේ ඉඳන් කඳපොළ හරහා තේ යාය මැදින් යන මාර්ගය ඉතා පටුයි. වාහන දෙකක් මාරු වීමට තරම්වත් පළල් නොවන මාර්ගයේ ඔබ පරිස්සමින් රිය පැදවිය යුතුයි. තැනින් තැන වාහන මාරු වීමට අවැසි ඉඩ හදලා තියෙනවා. ඉවසිල්ලේ අනෙක් වාහනයට මාරුවීමට ඉඩ දීම මේ වගේ පාරක යද්දි ඔබ කළ යුතු ම දෙයක්. පල්ලම්, ඒ පල්ලම් ඉවර වෙන ඉනික්බිති කඳු, මාර්ගය පුරා හෑරුණු වළවල් මෙහි බහුලයි. මේ දුෂ්කර මාර්ගය අවසන් කර ඉපැරණි මන්දාරම් නුවර තේ කර්මාන්ත ශාලාව අසලින් ඔබට වාහනය නවතා සොබාදහමේ කොටසක් වීමට නික්ම යා හැකියි.

මන්දාරම් නුවර නම හැදුණු හැටි

මෙම කඳු ප්‍රදේශයට මන්දාරම් නුවර කියන්නේ අවට වෙනත් ගම්වලට වඩා පමා වී හිරු උදාවීමත්, ඒ වගේ ම වඩා වේලාසනින් හිරු බැස යාමත් නිසා. මම ඔබට මුලින් ම උදේ පාන්දරින් ම යන්න කියලා යෝජනා කළේ මේ ආශ්චර්යවත් පරිසර වෙනස ඔබ විඳිය යුතු ම නිසා. ගමට අව්ව වැටෙන්නේ කලාතුරකින්. නිතර ම වැහිබර මන්දාරම් ගතිය සහිත සිසිල් දේශගුණයක් තමයි තිබෙන්නේ. එයට හේතුව විශාල කඳුවැටි පෙළක් ඉර උදාවන පැත්තේ පිහිටා තිබීම නිසා ගම ඒ කඳුවලට මුවා වීමයි. එය ඉතා සුන්දර පිහිටීමක්. වටේම කඳුවලින් වටවුණු පරිසරය නිසා නිරන්තර සිහිල් දේශගුණයත්, සිහිල් මඳනලත් හමා යන්නෙ ඇඟේ හිරිගඩු නංවමින්..

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් මේ ගම පිහිටා තිබෙන්නේ පිදුරුතලාගල, ගෝනපිටිය, කබරගල සහ උඩගබ්බල සිව් කඳුවැටිවලට මැදි ව කඳු අතර නිම්නයක. පුරාණ බෙදීම් අනුව එය කන්ද උඩ පස්රට හේවාහැට රටට අයත් වෙනවා. උඩරට රජ කාලේ මේ ගමට කියලා තියෙන්නේ මන්දාරම් පුර කියල යි.

මන්දාරම් නුවර අපේ හිතමිතුරු ගැමියන් හරිම සංග්‍රහශීලී, කරුණාවන්ත අය. ඔවුන් තම නිවෙසින් තේ කෝප්පයක් බී යෑමට අරාධනා කරන්නේ දෙපාරක් නොසිතා. හැබැයි ඒ කිසිවක් ම බලාපොරොත්තුවෙන් නම් නොවෙයි; ඔවුන්ට අවැසි ඔබේ මිත්‍රශීලී බව ම පමණයි. ඔවුන් ඔබෙන් එක ම ඉල්ලීමක් කරනවා; ඒ දිය ඇලිවලින් නාන්න එපා කියලයි. ඒකට හේතුව ‍ගමේ හැමෝම ඒ දිය ඇලිවලින් ගලා බසින ජලය පානයට ගැනීමයි. ඔවුන් කිව්වත් නොකිව්වත් ඔබ ඒ සුන්දර පරිසරය නම් දූෂණය නොකරන්නට සිතට ගත යුතුයි.

හෙල්මලු ක්‍රමයට වගා කරන ලද වගා බිම් පසු කරමින් අප කන්ද මුදුනට ම ළඟා වුණා. ඒ පරිසරය විස්තර කරන්නට තරම් මා සතු වාක්කෝෂය පොහොසත් නෑ. කුරුල්ලන් ඔබට ඔච්චම් කරමින් කන් අසලින් ම විවිධ නාද නඟමින් පියඹා යන්නේ ඒ පරිසරයට ඔබ ආගන්තුකයකු නොකරමින්. විවිධ පැහැයෙන් යුතු ගඳපාන මල් පරිසරය ම විචිත්‍රවත් කරනවා. මාර්ගය පුරා නෙක පැහැයෙන් යුතු මල් පිපිලා. ඒ විචිත්‍රත්වය කොහොමද වචනවලට නඟන්නේ. මට තවමත් සිතාගත නොහැකි තරම්.

කොළපතන ඇල්ල

ඔබ යන මාර්ගයේ මකුළුවන් ඔවුන්ගේ සුන්දර නිවෙස් තනා තිබෙනවා. ඒවාට පිනිබිඳු වැටී හිරු එළියෙන් දිස්න දෙමින් අපූරු රටා මවනවා. ඔවුන්ගේ පැවැත්මට බාධා කරන්නට නම් එපා; පුළුවන් තරම් ඒවා මග හැර යන්න.

කොළපතන දිය ඇල්ලට පිවිසෙන්නට නම් ඒ අසල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මුර කුටියෙන් ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු ය. ඒ වගේම ඔබ ගෙන යන සියලු දෑ ඔවුන්ට භාර දිය යුතු ය. එහි යන සංචාරකයන්ට ඉන් ඔබ්බට රැගෙන යා හැක්කේ වතුර බෝතලයක්, කැමරාවක් ආදී සීමිත උපකරණ කිහිපයක් පමණයි. මත්පැන්, පොලිතින් හෝ ගමන් මලු කිසිවක් එහි රැගෙන යෑමට අවසර ලබාදී නැහැ. ඒ වෙන මොනවත් නිසා නොවෙයි, ඔබ අතින් ගිලිහෙන්නට පුළුවන් පුංචි ම දෙයින් පවා මේ සුන්දර පරිසරය වැනසෙන්නට පුළුවන් නිසා. එතැන් සිට දිය ඇල්ලට යෑමට කුඩා අඩි පාරක කිලෝමීටර් දෙකක් පමණ ගමන් කළ යුතු වෙනවා.

අප ගමන් කරමින් සිටින්නේ පිදුරුතලාගල පහළ ම පෙදෙසකින්. පසෙකින් පිදුරුතලාගල කන්දත්, තවත් පසෙකින් රන් කොටියාගල බොක්කත් ඔබට දිස්වේවි. කඳුවැටි මැදින් ඇති අඩි පාරේ පරෙස්සමට යන ඔබට මුලින් ම කොළපතන ඇල්ල දිස් වේවි. වැසි වැටී සශ්‍රීකව ඇති අවධියේ අප ගිය නිසා කොළපතන ඇල්ල අතිශයින් ම සක්‍රීයයි; සුන්දරයි. නැරඹුම් ස්ථානයෙන් පමණක් දිය ඇල්ල නරඹා නික්ම යන්නට අපට සිත් දුන්නේ නෑ, ඒ නිසාම පහළට වැටී තිබුණු හීන් අඩිපාරක් දිගේ අපි පරෙස්සමට පහළට බැස්සා. මේ මිහිකතේ ඇති සුන්දරම දසුන නරඹන්නට නම් ඒ ඇල්ල පාමුලට ඔබ යා යුතුමයි. කදිමට ස්වභාවිකව හැඳුණු ජල තටාකයත් සමඟ සුදෝ සුදු පෙණ පිඬු විසුරවමින් ගලා හැලෙන කොළපතන ඇල්ල වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මනස්කාන්තයි. ඒ නිකළැල් ජලය දෝතට ගත් අපි මඳක් පානය කළා. වතුර කොයිතරම් රස බීමක් ද කියලා දැනගන්න නම් එසේ කළ යුතුමයි.

මඟ පෙන්වන්නකු නැත්නම් කඳු මුදුනට ම යන්න එපා

මඟ පෙන්වන්නකු සමඟ ‍නොගිය නිසා ඊට ඉහළින් තිබූ දිය ඇළි බලාගන්නට යෑමට අපිට හැකි වූයේ නැහැ. ඒ දිය ඇලි පිහිටා ඇත්තේ, කන්ද මුදුනට ම වෙන්න. ලංකාවේ දෙවැනියට උසම ඇල්ල වන “කුරුඳු ඇල්ල” පිහිටා තිබෙන්නෙත් මේ කඳු වැටියේම ඉහළට වෙන්නයි. ඒත් වනාන්තරයේ අතරමං වීමට බොහෝ ඉඩකඩ ඇති නිසා මඟ පෙන්වන්නෙක් නැතිව එහි යෑම අනතුරුදායකයි.

පරිසරයේ සුන්දරත්වයත් සමඟ ඒකාත්මික වෙමින් ඒ සිහිල් පරිසරයේ පැය කිහිපයක් ගත කළ අපි ආයෙත් පල්ලම් බැස්සේ පරිසරයට පවා අප ආ බව නොදැනෙන්නට පරිස්සම් වෙමින්. ඒ තරම් ඒ පරිසරය තවමත් නිකැළැල්. කුඩා චීන පේර ගස්වල ගෙඩි පීරී තිබුණා. කුරුල්ලන් ගේ කොටහට පාඩුවක් නොවන්නට ඒ ඇඹුල් පේර ගෙඩි කිහිපයක රස විඳින්නට අපි දෙවරක් හිතුවේ නෑ.

පල්ලම් බහිද්දී ‍ඒ මාර්ගය අසලම පිහිටි කුඩා නිවෙසේ මාමා කෙනෙක් අපට තේ බී යෑමට ආරාධනා කළා. කන්ද නැඟලා මහන්සි ඇති නොවැ, කැවුමක් කාලා තේ එකක් බීලා යන්න… ගෙදර නැන්දා කිව්වේ හරි ම ආදරෙන්. ඒ ආදරේ හදවතේ බරට ම තැන්පත් වුණේ මන්දාරම් නුවර ගැන ලෝබකමක් හිතේ රඳවමින්.

සුමුදු චතුරාණී ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division