Home » පිට පිට කොටුවෙන ‘කුඩු අක්කලා’

පිට පිට කොටුවෙන ‘කුඩු අක්කලා’

by sachintha
November 9, 2024 12:30 am 0 comment

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ප්‍රධාන පෙළේ ජාවාරම්කාරියන් වන මාදිවෙල ‘කැකුළි’ සහ තඹුත්තේගම ‘හිච්චි’ යන දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට පසුගියදා හැකිවිය. ඒ නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධරයන් සහ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් සිදුකරන ලද විමර්ශනයකදීය.

මිරිහාන පොලිස් වසමට අයත් නුගේගොඩ, දෙල්කඳ, උඩමහමුල්ල, ප්‍රගතිපුර ප්‍රදේශවල මහා පරිමාණයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ‘මාදිවෙල කැකුළි’ අත්අඩංගුවට ගැනීම සඳහා නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විමර්ශනයක නිරත වූයේ එම නිලධාරින්ට කැකුලි ගැන ලද තොරතුරකට අනුවය.

‘කැකුළි’ ගැන මෙලෙස අවධානයෙන් සිටින නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ සැරයන් 54478 වසන්තට තොරතුරක් ලැබෙන්නේ කැකුළි මේ ජාවාරම සිදුකරන හැටි පිළිබඳවය. සැරයන් වසන්තට ලැබුණ එම තොරතුර වූයේ කැකුළි ගල්කිස්ස ‘බඩෝවිට වත්ත’ ප්‍රදේශයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙනවිත් බෙදාහරින බවටය. මේ අනුව සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා සැලැසුමක් සකස්කර විමර්ශන ආරම්භ කෙරිණි.

සැකකාර ‘කැකුළි’ නුගේගොඩ දෙල්කඳ හයිලෙවල් පාර ආසන්නයේ පසුගිය දිනෙක රැඳී සිටියේ ඇගේ ගැනුම්කරුවකුට ලබාදීම සඳහා කුඩාවට අසුරනු ලැබූ හෙරොයින් පැකට් බහාලූ ප්ලාස්ටික් ඇසුරුමක් සහිතවය. මේ ගැන තොරතුරු ලද සැරයන් වසන්ත ඇතුළු කණ්ඩායම සැකකාරිය අත්අඩංගුවට ගන්නේ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟය.

ඇය සන්තකයේ තිබුණු හෙරොයින් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් තුන්ලක්ෂ පනස්දහසකට ආසන්න බව හෙළි විය. හෙරොයින් ග්‍රෑම් 11ක් අත්අඩංගුවට ගැනුණි. මිලිග්‍රෑම් 200ක බරකින් සමන්විත වූ කුඩාවට අසුරන ලද පැකට් 160ක් කැකුළි සන්තකයේ තිබියදී එලෙස අත්අඩංගුවට ගැනුණි.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය 25 හැවිරිදිය. ඇය මාදිවෙල රාහුලපුර ප්‍රදේශයේ පදිංචිකාරියකි. අවිවාහකය. ඇය සිදුකරන ලද හෙරොයින් ජාවාරමේ අගමුල සොයා ගැනීම සඳහා විමර්ශන මේ වනවිට පැවැත්වෙයි.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස්. ජයමහගේ උපදෙස් මත නුගේගොඩ කලාප අංක 01 භාර පොලිස් අධිකාරි තුසිත කුමාරගේ අධීක්ෂණයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනශාන්ත කහටදෙනියගේ මෙහෙයවීමෙන් නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ සැරයන් (54478) වසන්ත, කොස්තාපල්වරුන් වන (11528) චන්ද්‍රකුමාර, (102719) ගයාෂාන්, (103174) දේවනාත්, කාන්තා කොස්තාපල් (12866) උපේක්ෂා යන නිලධාරින් වැටලීම සිදුකරන ලදී.

මේ අතර අනුරාධපුර දිසාවේ තඹුත්තේගම ප්‍රදේශය මූලික කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකළ ‘තඹුත්තේගම හිච්චි’ නමැති සැකකාරිය අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමකට හැකිවූයේ පසුගියදාය. ඒ රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 78ක් සමඟය. ‘හිච්චි’ මේ ජාවාරමේ නිරතව සිටින්නේ දැනට බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ එක්ව බවට පොලිසිය මේ වනවිට තොරතුරු හෙළිකරගෙන හමාරය. ‘හිච්චි’ පදිංචිව සිටින්නේ තඹුත්තේගම දුම්රිය හරස් මාර්ගයට යාබදවය. ඇගේ වයස 35කි. ‘හිච්චි’ මීට පෙර ද මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් කලක් බන්ධනාගාරගතව සිටියාය. ඇප මත එළියට පැමිණ සිටින ඇය නැවත ජාවාරමට අතගසද්දී කොටුකර ගැනීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්හන අංශයේ නිලධරයන්ට හැකිවිය.

සැකකාර ‘හිච්චි’ අනුරාධපුර දිසාවේ විවිධ ප්‍රදේශවලට සිය ගැණුම්කරුවන් මාර්ගයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහරින බව පොලිසිය හෙළිකර ගන්නේ සිදුකරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය. එලෙස බෙදාහරින හෙරොයින් පැකට්ටුවක මිල නියම කර ඇත්තේ රුපියල් පන්දහසකටය. හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඇය දිනකට රුපියල් ලක්ෂ 2 – 3 අතර මුදලක් ලාභය ලෙස ලබාගෙන ඇති බවද පොලිසිය කළ විමර්ශනයේදී හෙළිවිය.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර ඇතුළු කණ්ඩායම විමර්ශන මෙහෙයවිය.

දීපාල් සමරසේකර

ඡායාරූප – නුගේගොඩ ඩී.එස්. අබේසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division