Home » සැකපිට නැවැත්වූ මෝටර් බයිසිකලයේ පැදිකරුවන් පොලිසියට හෙළි කළ ‘රහස’

සැකපිට නැවැත්වූ මෝටර් බයිසිකලයේ පැදිකරුවන් පොලිසියට හෙළි කළ ‘රහස’

by sachintha
November 9, 2024 12:30 am 0 comment

කොල්ලකෑම් සොරකම් ඇතුළු අපරාධවල නිරත වන අපරාධකරුවන් ‘තමන්ටම ආවේණික’ අපරාධ රටාවක නිරත වන බව රහසක් නොවේ. උදාහරණයක් ලෙස ගතහොත් මඟතොටදී කතුන්ගේ ගෙල බැඳි රන්මාල කඩාගෙන පලා යන කල්ලි කණ්ඩායම් දිගින් දිගටම නිරත වන්නේ ඒ හා සමානම අපරාධවලය. මේ බව හෙළිවන්නේ පොලිසිය මෙවැනි අපරාධකරුවන්ගේ ‘චර්යා’ සම්බන්ධව සිදු කරන නිරීක්ෂණවලදීය.

මඟතොට නවතා යන ත්‍රිරෝද රථ සහ ස්කූටි ඇතුළු මෝටර් බයිසිකල් සොරකම් කරන සංවිධානාත්මක කණ්ඩායම් ගැන පොලිසිය දිගින් දිගටම විමර්ශනය කරන්නේ ‘එවැනි පන්නයේ’ අපරාධවල ද වර්ධනයක් ඇති නිසාය.

මඟතොට නවතා තිබෙන මෝටර් බයිසිකල්, ත්‍රිරෝද රථ සූක්ෂ්මව සොරකම් කර ඒවා පැහැරගෙන ගොස් කැබැලිවලට ගලවා අමතර කොටස් වශයෙන් අලෙවි කිරීමේ ජාවාරම් දිගින් දිගටම ක්‍රියාත්මක වූ අතර, ඒවාට සම්බන්ධ පුද්ගලයන් සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට මේ වන විට හැකිවී තිබීමද සුවිශේෂය.

මීට අමතරව එලෙස සොරකම් කරනා ස්කූටි ඇතුළු මෝටර් බයිසිකල්වලින් ගොස් මහමඟ ගමන් කරනා ඇතැම් කතුන්ගේ ගෙල බැඳි රන්මාල කඩාගෙන පලා යන සංවිධානාත්මක කොල්ල කල්ලිවලට අයත් පුද්ගලයන් ගැනද පොලිසිය සිටින්නේ ඇස ගසාගෙනය. එවැනි කණ්ඩායම් කිහිපයක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට පසුගිය දිනවලදී හැකි විය.

මෙවැනි අපරාධ සිදු කරන කල්ලි කණ්ඩායම්වල සාමාජිකයන්ගෙන් වැඩි පිරිසක් හෙරොයින් හෝ අයිස් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයයි. ඔවුන් මෙවැනි අපරාධවල වැඩිපුර නිරත වන්නේ ද හෙරොයින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා යැයි කීවොත් එය වැරදි නැත.

මෙලෙස මෝටර් බයිසිකල් සහ ත්‍රිරෝද රථ සොරකම් කරන සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගෙන ඔවුන් සිදු කළ වාහන කොල්ලකෑම් ගණනාවක තොරතුරු හෙළිකර ගැනීමට යක්කල පොලිස් ස්ථානයේ නිලධරයන් කණ්ඩායමකට හැකි වූයේ ද පසුගියදාය.

එම විමර්ශනයේ උණුසුම මැකී යාමටත් ප්‍රථම තවත් එවැනිම සාර්ථක විමර්ශනයක් සිදු කර හොඳ ප්‍රතිඵල අත්පත් කරගැනීමට යක්කල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමකට හැකි විය. එම විමර්ශනයේ තොරතුරු පෙළගැසෙන්නේ මෙසේය.

ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස්බල ප්‍රදේශවල පසුගිය කාලයේ සිදු වූ රන්මාල කොල්ලකෑම් සහ මෝටර් බයිසිකල් සොරකම් ගැන කොට්ඨාසයේ සියලු පොලිස් ස්ථානවල අපරාධ විමර්ශන අංශවල නිලධරයන් විශේෂයෙන් සොයා බලන්නේ ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේ උපදෙස් අනුවය.

කොට්ඨාසයේ සියලු පොලිස් ස්ථානාධිපතිවරු කැඳවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙවැනි කොල්ලකෑම් සිදු කරන සංවිධානාත්මක අපරාධකරුවන් ඉතා ඉක්මනින්ම අත්අඩංගුවට ගන්නා ලෙස සියලු පොලිස් ස්ථානාධිපතිවරු දිගින් දිගටම දැනුම්වත් කළේ අපරාධ පිළිබඳව සංඛ්‍යා ලේඛනද උපයෝගී කරගෙනය.

මේ අතර යක්කල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරතව සිටි යක්කල පොලිසියේ කණ්ඩායමක් මෝටර් බයිසිකලයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු නවත්වා ඔවුන් පරීක්ෂා කරන්නේ පසුගිය දිනෙකය.

මේ පුද්ගලයන් දෙදෙනා එලෙස පරීක්ෂා කරන පොලිස් නිලධරයන්ට මේ අය ගැන ඇතිවන සැකය නිසා ඔවුන් පොලිසියට ගෙන ගොස් අනන්‍යතාවද පරීක්ෂා කර මේ දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නේ මුලින්ම ඔවුන් කිසියම් අපරාධයකට සම්බන්ධ අයදැයි සැක කරමිනි. පොලිස් නිලධරයන්ගේ එම සැකය තහවුරු කරමින් මේ දෙදෙනා අපරාධකරුවන් බවට තොරතුරු හෙළිවන්නේ ඉන් අනතුරුවය. සැකකරුවන් දෙදෙනා ගමන් කරමින් සිටි මෝටර් බයිසිකලයද සොරකම් කරන ලද එකක් බව හෙළිවන්නේ එහිදීය.

අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත මේ සැකකරුවන් දෙදෙනාගෙන් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කරද්දී මේ පුද්ගලයන් දෙදෙනා ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකුගේ කල්ලියක් කාලයක් පුරා ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක සිදුකරන ලද රන්මාල කොල්ලකෑම් සහ මෝටර් බයිසිකල් සොරකම් රැසක තොරතුරු හෙළි විය.

අනතුරුව සෙසු පස්දෙනා ද අත්අඩංගුවට ගැනිණි. ඔවුහු වයස අවුරුදු 31-35 අතරේ පසුවන අය වෙති. මේ සැකකරුවන් වේයන්ගොඩ, නාරංවත්ත, උතුවම්බෝගහවත්ත, රණසිංහ මාවත සහ මැද්දවත්ත ප්‍රදේශවල පදිංචිකරුවෝය.

මේ කල්ලිය සොරකම් කරන ලද මෝටර් බයිසිකල් 06ක් සහ කොල්ලකන ලද රන්මාල 13ක් සොයා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය. රන් මාලවල වටිනාකම පමණක් රුපියල් ලක්ෂ 20කි. මේ කල්ලිය මෝටර් බයිසිකල් සොරකම් සිදු කර ඇත්තේ මිනුවන්ගොඩ, ග්‍රෑන්ඩ්පාස්, දෙමටගොඩ සහ වැල්ලම්පිටිය ප්‍රදේශවලිනි.

ඒ මෙලෙස අත්අඩංගුවට ගත් හත්දෙනාගෙන් දෙදෙනෙක් අපරාධ සම්බන්ධයෙන් මීට පෙර වේයන්ගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අය බව තොරතුරු හෙළි වී ඇත. ඔවුන් ඇප මත මුදා හැරීමෙන් පසු නැවත අපරාධවල නිරත වී ඇති බව ද හෙළි විය.

සොයාගන්නා ලද මෝටර් බයිසිකල්වල නියම හිමිකරුවන්ද මේ වන විට සොයාගෙන ඇත. එලෙස සොයාගන්නා ලද මෝටර් බයිසිකල්වල වටිනාකම රුපියල් ලක්ෂ 25කි. කඩවත, යක්කල, වේයන්ගොඩ, දිවුලපිටිය, කිරිබත්ගොඩ, කිරිඳිවැල, ප්‍රදේශවලදී මේ කල්ලිය රන්මාල කොල්කෑම් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 24120ක් ප්‍රමාණයක් ද සොයා ගැනීමට පොලිසියට හැකි විය.

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් හත්දෙනාගෙන් තිදෙනෙක් සොරකම් කරන ලද භාණ්ඩ ළඟ තබාගත් අය වෙති. ඔවුහු වේයන්ගොඩ, කුඹල්ඔළුව සහ පල්ලෙවෙල ප්‍රදේශවල පදිංචිකරුවෝය. මේ අය සන්තකයේ තිබී චැසි අංක වෙනස් කරන ලද යමහා වර්ගයේ මෝටර් බයිසිකලයක කොටස් ද සොයාගැනීමට පොලිසියට හැකි විය.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ගම්පහ 11 රුවන් නාරාවිටගේ අධීක්ෂණයෙන් යක්කල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේගේ මෙහෙයවීමෙන් යක්කල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වීරසිංහ, උප පොලිස් පරීක්ෂක කරුණාරත්න, සැරයන් හිරංග (67767), කොස්තාපල්වරුන් වන රණසිංහ (68536), ගයාන් (77930), බෝපේගෙදර (89116), කාරියවසම් (49974), මිහිරංග (24250), ප්‍රදීප් (25337), රංජිත් (100867) සහ කාන්තා පොලිස් කොස්තාපල් ගයනි (6811) යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

දීපාල් සමරසේකර

ඡායාරූප ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division