Home » ජනතාවට වඩා උඩින් ඉන්න ප්‍රතිපත්තියක් අපට නොමැති බව ජනතාව දන්නවා

ජනතාවට වඩා උඩින් ඉන්න ප්‍රතිපත්තියක් අපට නොමැති බව ජනතාව දන්නවා

ජනපති ඉල් මහ සමරුව අමතමින් කියයි

by Mahesh Lakehouse
November 16, 2024 12:33 am 0 comment

‘ජනතාවට වඩා උඩින් සිටීමට උත්සාහ නොකරන, බලය ගැනීමට පෙර තිබුණු කැපකිරීම, තම පක්ෂයේ ප්‍රතිපත්තිය‘ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනතාව ඒ බව වටහාගෙන ඇතැයි ද ඒ මහතා පැවසුවේය.

බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පසුගිය 14 වැනිදා පැවති 35 වැනි ඉල්මහ විරු සමරුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.

ඒ මහතා මෙසේද පැවසුවේය. ‘අද අපි එකතු වෙලා ඉන්නේ 35 වැනි වරට ඉල්මහ විරුවන් සමරන්නයි. අපි මීට ප්‍රථම අපේ විරුවන් සැමරුවේ, බලය අත්පත් කර ගැනීම සඳහා පොර බදන ව්‍යාපාරයක් ලෙසටයි, බලය අත්පත් කර ගැනීම සඳහා ඔවුන්ගේ ආදර්ශයන්, පරිත්‍යාගයන් උකහා ගනිමින් ඉදිරියට යා යුතු ව්‍යාපාරයක් ලෙසටයි අද අපි ඔවුන් සමරන්නේ. පැරණි අවධියේ අභියෝගයන් සහ අලුත් අවධියේ අභියෝගයන් අතර විශාල වෙනසකට අපිට මුහුණදීමට සිදුවී තිබෙනවා. එය අපි තේරුම් ගත යුතුව තිබෙනවා.

එදා පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා, දේශපාලන බල මණ්ඩලයේ සහෝදරවරු, මධ්‍යම කාරක සභාව ඇතුළු අපට යම් ආහාර වේලක් ලබාදුන් අය පවා එදා ඝාතනය කරනු ලැබුවා. පාලක පන්තිය, ඔවුන් ඝාතනය කිරීම දක්වා වූ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමෙන් සිදුවුණේ පාලක පන්තියේ ස්වභාවය, ඔවුන් අප කෙරෙහි දක්වන ප්‍රතිවිරෝධී ආකල්පයේ සැබෑ තරම තේරුම් ගත හැකියි.

අපි 1978 වසරේ යළි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට, ඉතාමත් සාමකාමීව ප්‍රවිෂ්ට වූවා. එම වසරේ පැවැති අතුරු මැතිවරණවලට තරග කළා. 1981 සංවර්ධන සභා මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්ජනය කරද් දී, අපි තරගයට ඉදිරිපත් වුණා. ජනාධිපතිවරණයට අපි තරග වැදුණා.

අප විසින් තෝරා ගත යුතු මාවත් දෙකක් තිබුණා. එකක් අරමුණ අත්හැරීම. අනෙක තහනමට යටත්ව අරමුණ වෙනුවෙන් කටයුතු කිරීම. ඉල්මහ විරුවන්ගේ සුවිශේෂී ලක්ෂණයම තමයි, අරමුණු අත්හැර සුවපහසු පාරක් තිබිය දී, අරමුණු වෙනුවෙන් දුෂ්කර පාරක් තෝරා ගැනීම. අපේ පැරණි සහෝදරවරුන්, විරුවන්, අරමුණු වෙනුවෙන් ඊට අනුරූපී ක්‍රියාමාර්ගවල ගමන් කළා. එවිට පාලක පන්තියට ඊළඟට අවශ්‍ය වන්නේ කුමක්ද? අරමුණු මරා දමන්න නොහැකි නම්, අරමුණු දරන මිනිසුන් මරා දැමීම ඊළඟ පියවර වුණා. ඒ අවස්ථාවේ සිදු නොවිය යුතු දේ සිදුවුණා.

නැවත අපි 1989න් පස්සේ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරනවා. අපට නැවත නැඟිටින්න, නැවත මේ ව්‍යාපාරය ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත්කරන්න, අපට බලපෑම් ඇති කරන්නේ අරමුණුම තමයි. අපට ධෛර්යය දෙන්න, නැගිට්ටවන්නෙ අරමුණු තමයි. මකන්න බැරි, යටකරන්න බැරි අරමුණු අපේ ආධ්‍යාත්මය තුළ තිබෙනවා. නැවත අපිට නැගිටින්න, අපට සංවිධාන ගත වෙන්න නැවත ජයග්‍රහණය සඳහා ව්‍යාපාරය මෙහෙයවන්න අපිව පොළඹවන්නේ අරමුණු විසින් ඇතිකොට තිබෙන බලපෑමයි. නැවත අපි 94න් පසුව දේශපාලන ගමන් මඟට අවතීර්ණ වුණා. අපි පක්ෂයක් ලෙස විශාල හැලහැප්පීම්වලට මුහුණ දුන්නා. පරාජයන්ට මුහුණ දුන්නා. ව්‍යාපාරය ඇතුළේ බෙදීමක් ඇති වුණා.

ඒ ඒ මොහොතට අදාළ යැයි ගත් තීන්දු පසුකාලෙක අපට වැරදුණා දැයි මානසික පීඩනයක් ඇති කළා. විශාල හැලහැප්පීම් මධ්‍යයේ අපි ජයග්‍රහණය කරා ගමන් කරමින් ආවා. සැප්තැම්බර් මාසෙ 21 අපි ජයග්‍රහණය අත්පත් කර ගන්නේ ඒ ගමන් මාවතේ තීරණාත්මක අවස්ථාවේදීයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අයින් කිරීමට කටයුතු කරන අවස්ථාවේ දී මාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් දියත් කිරීමට සූදානම් වුණා. ඔවුන් සෑම වෙලාවේම බයවෙමින් තිබුණේ අරමුණු හා යහපත් ගුණාංගවලට අපේ සමාජයත්, ජනතාවත් මේ ඉන්න පියවරෙන් අලුත් පියවරකට ඔසවා තැබීම ගැනයි. මේ අවදියෙන් අලුත් අවදියකට ඔසවා තැබීම ගැන ඔවුන් බයයි.

ඒ නිසාම පසුගිය මැතිවරණ වේදිකාවේ සිදුවී තිබෙන්නේ කුමක්ද? විවිධ ලකුණු, හැඩහුරු සහිත වේදිකා ගොඩක් තිබුණා. ඒ වේදිකාවල අපේක්ෂාව බවට පත්වී තිබුණේ බලය අත්පත් කරගන්න ඉඩ දෙන්නේ නැහැ කියන සාධකය. බලයේ තිබෙනවා විශේෂත්වයක්. බලය විසින් බලය නිර්මාණය කරනවා. බලයකින් බලය ප්‍රසාරණය කරනවා. දැන් ඔවුන්ගේ අවශ්‍යතාව බලය විසින් බලය තහවුරුවීම වැළැක්වීම. අපට පාර්ලිමේන්තුවේ බහුතරය අත්පත් කර ගන්න බැරිවෙනවා නම් එයින් කියන්නේ මොකක්ද? බලයේ දුර්වල බව. බලය යම් කාලයක් ස්ථාවරව පැවතුණහොත්, තවත් බලවත් වෙනවා. එවිට ඔවුන් කල්පනා කරන්නේ බලය අත්පත් කර ගැනීමට ඉඩ නොදීමයි. බලය ලබාගත්තාට පසුව බලය තහවුරු වීමට ඉඩ නොදීමයි.

මේ ඉල්මහ විරු සමරුවේ දී අපේ පැරණි සහෝදරවරුන්ට සහෝදරියන්ට කරන සාධාරණත්වයෙන් අඩක් නිම කොට තිබෙනවා. අපි ඉතා අසීරුතා, අභියෝගවල දී තීරණාත්මක උපක්‍රම තේරුවා. අපි කවුරුත් පොරබදලා ඒ උපක්‍රම ආරක්ෂා කරන්න සමත්වෙලා තිබෙනවා. සමහර උපක්‍රම ඉතාමත් අවදානම්. ඒ අවදානම් උපක්‍රමය එක් අදියරකින් පැන්නා නම්, අපේ ව්‍යාපාරය මෙතන නැහැ. ඒ සියල්ල මගින් අපි ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා. ‘‘

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක්ද මෙහි දී අදහස් දැක්වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division