Home » හොදි ඉල්ලාගෙන ගෙදරට ආ මත්ලෝලියා ව්‍යාපාරිකයාට කළ අපරාධය

හොදි ඉල්ලාගෙන ගෙදරට ආ මත්ලෝලියා ව්‍යාපාරිකයාට කළ අපරාධය

by thanushika
November 16, 2024 12:30 am 0 comment
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ

“අන්න චන්ද්‍රිකා ඊයෙ රෑ ආව මිනිහා දැනුත් ඇවිල්ලා…”

‘ඩීමන් ජයරත්න’ එලෙස පැවසුවේ ඔහුගේ බිරිය චන්ද්‍රිකාටය. පෙර දින රාත්‍රියේ බත් ටිකක් ඉල්ලාගෙන පැමිණි පුද්ගලයා පසුදින උදේ ද නිවෙසට පැමිණීම ගැන ඔවුන්ට ඇති වූයේ කෝපයකි.

නි‍ෙවසේ සිටින්නේ චන්ද්‍රිකාත් සැමියාත් පමණි. එම නිසා නිවෙසට පැමිණෙන පුද්ගලයන් ගැන ඔවුන් පසු වූයේ විමසිල්ලෙනි. චන්ද්‍රිකාට වයස අවුරුදු 69ක් වන අතර සැමියා ‘ඩීමන් ජයරත්නට’ අවුරුදු 77කි. එහෙත් ඔහු තමන්ගේ වැඩ සියල්ලම තනිවම කරගෙන සිටියේ කිසිවකුටත් කරදරයක් නොවන අයුරිනි.

පෙර දින රාත්‍රී හතට පමණ මෙම පුද්ගලයා පැමිණ කතා කළ විට චන්ද්‍රිකා ජනේලය ‘ළාවට’ විවෘත කර බැලූ අතර ඔහු අතේ තිබූ පාර්සලය ඇයට පෙන්වා “මේ බත් ටිකට තවත් බත් ටිකකුයි හොදි ටිකකුයි දෙන ලෙස” ඉල්ලා සිටියත් චන්ද්‍රිකා එය ප්‍රතික්ෂේප කළේ මෙවැනි පුද්ගලයන් රඳවා ගැනීම නුවණට හුරු නොවන නිසාය.

එහෙත් ඔහු නැවත පසු දින එළිවන විට පැමිණීම චන්ද්‍රිකාගේ කෝපය වැඩිදියුණු කළ අතර ඇය ඔහු පලවා හැරියේ තරමක් සැරෙන් කතා කිරීමෙනි. ඊට පසු දින චන්ද්‍රිකා උදෑසන අවදිව රැකියාවට ගියේ සුපුරුදු පරිදිය.

ඇය නි‍ෙවසට මීටර් 50ක් පමණ දුරින් ඇති දහදෙනෙකු පමණ සේවය කරන නිෙවසක පවත්වාගෙන ගිය ඇඟලුම් ආයතනයක රැකියාව කළාය. සැමියාට අවශ්‍ය කෑමබීම සියල්ල සපයා තබා ඇය ගිය පසු නිෙවසේ තනි වන ඔහු සමහර දිනවල නිවෙස ඉදිරිපිට මාර්ගයේ අනිත් පැත්තේ ඇති ඔහුගේ සහෝදරයාගේ හෝ සහෝදරියගේ නිවෙසට යාමද පුරුද්දක් කරගෙන සිටියේය.

එදින ද සුපුරුදු පරිදි රැකියාව නිම වී චන්ද්‍රිකා හවස 6.15ට පමණ නිවෙසට පැමිණියාය. එහෙත් වෙනදා මෙන් සැමියා නොසිටීම කුතුහලයට හේතුවක් විය. “මං එනකොට ලයිට් දාලා තිබුණෙත් නෑ. එයා පේන්න හිටියෙත් නෑ. අපේ බලු පැටියා මාව අරන් ගිහින් මිදුලේ කෙසෙල් පඳුර ළඟ පොළොව හාර හාර කෑගගහ වන කෙරුවා. ඒත් මං හිතුවෙ නෑ මෙහෙම දෙයක්…“

පාණදුර නගරයේ ‘ජයරත්න ෂූ පැලස්’ නමින් පාවහන් ආයතනයක් පවත්වාගෙන ගිය ‘ඩීමන් ජයරත්න’ ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රියව සිටි චරිතයකි. දෙදරු පියෙකු වූ ඔහු දියණියන් දෙදෙනා විවාහ වී වෙනම පදිංචිවීමෙන් පසුව සැඳෑ කාලය නිවෙසට වී බිරිය සමඟ ගත කළේ සමගියෙන් සහ විනෝදයෙනි.

“අපේ ටීවී එක ගෙට ගොඩ වෙන කොටම පේන විදිහටයි තිබුණේ. එදා බලනකොට ඒක තිබුණෙත් නෑ. සාලෙත් ටිකක් අමුතු විදිහට ප්ලාස්ටික් පුටුවක් පෙරළලා දාලා තිබුණා. මං එයාට කතා කරලා නැති තැන ඉස්සරහ ගෙදර පුතාට ගිහින් කිව්වා මහප්පා ගෙදරත් නෑ. ටීවී එකත් නෑ කියලා. පුතා ඇවිත් බලලා කිව්වා ලොකු අම්මේ කුස්සියේ දොර කඩලනේ තියෙන්නෙ කියලා. බලනකොට කුස්සියේ තිබුණ ගෑස් සිලින්ඩරෙත් නෑ. ගෑස් ළිපත් තිබුණෙ නෑ. හොරෙක් ඇවිල්ලා තමයි කියලා අපට සැක හිතුණා. පුතා මේ ගැන පොලිසියට කියලා ඒ රෑම පොලිසියෙන් ඇවිල්ලත් හැමතැනම බැලුවා. ඒත් මහත්තයව හොයාගන්න බැරි වුණා. පහුවදා උදේ පොලිසියෙන් ඇවිල්ලා හොයනකොට තමයි කෙසෙල් පඳුර අස්සේ මහත්තයා මරලා පරඬැල්වලින් වහලා දාලා හිටියේ අනේ. ඇඳගෙන හිටිය සරමත් එයාගේ ඉණේ තිබුණේ නැහැ…“

චන්ද්‍රිකාලා නිවෙස අසල ඇති කෙසෙල් පඳුරු සුද්ද කළේ මෙම සිද්ධියට පෙර ඉරිදා දිනය. පාණදුර දකුණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් ඇතුළු නිලධාරීන් සහ පාණදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර (SOCO) නිලධාරින් එහි පැමිණ විමර්ශන සිදුකිරීම ආරම්භ කළ අතර එහිදී අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් දුටුවේ කෙසෙල් පඳුරේ කොළ රොඩු අතරින් යාන්තමට යටි පතුලක් දිස්වන බවය. ඒ අනුව ඩීමන්ගේ මරණය සිදුවූයේ කෙසේදැයි නිශ්චිත සාක්ෂියක් සොයා ගැනීමට අසීරු විය. මේ අතර පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහුද ඩීමන්ගේ මරණය පිළිබඳ විමර්ශන සිදු කිරීමට කටයුතු කළහ.

ජුවන්දිර කංකානම්ගේ දොන් ඩීමන් ජයරත්න මෙසේ මියගොස් සිටියේය. ඔහු පාණදුර, බෙක්කේගම, ශ්‍රී සුගතානන්දාරාමය පාර, නො. 73/ බී ලිපිනයේ පදිංචිකරුවෙකි.

සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකරු නිවෙසේ තිබූ දේපළ සොරාගෙන බෑගයක දමාගෙන යන අයුරු හොඳින් දර්ශනය වී තිබුණේ ඔහු පිළිබඳ පෙර මතකද අවදි කරමිනි. ඒ අනුව සිදුකළ විමර්ශනයේදී බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 34 හැවිරිදි පුද්ගලයා මොරටුව ප්‍රදේශයේ පාළුවට ගිය දෙමහල් නිවෙසක රැඳී සිටියදී අත්අඩංගුවට ගත්තේ පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසිනි.

ඔහු එදින උදෑසන 11.00ට පමණ එම නිවෙසට පැමිණ ඇති අතර ඒ වන විට ඩීමන් සිට ඇත්තේ මිදුලේ එහාට මෙහාට ඇවිදිමිනි. දින දෙකක් දැක ඇති මෙම පුද්ගලයා දුටු විට ඩීමන් ඔහු හඳුනාගෙන කෑ ගසා ඇති අතර සැකකරු ඔහුට පහර දුන්නේ කෑගැසීම නතර කිරීමටය. එවිට ඩීමන් බිම වැටී ඇත්තේ සරමද ගැලවීගෙනය. වැටුණු සරම ගෙන ඩීමන්ගේ ගෙල සහ මුහුණ තද කරගෙන සිටි සැකකරු ඔහුගේ දැඟලීම නතර වූ පසු සිරුර කෙසෙල් පඳුර යටට දමා කොළවලින් වසා දැමුවේ කිසිවකුටත් නොපෙනෙන ලෙසය.

ඉදිරි දොර වසා තිබූ බැවින් පිටුපස දොර කඩා නිවෙසට ඇතුළු වී ගෑස් සිලින්ඩරය, ගෑස් ළිප, රූපවාහිනි යන්ත්‍රය මෙන්ම ඩීමන්ගේ ජංගම දුරකතනයද රැගෙන උරයකට දමාගත් සැකකරු ප්‍රධාන මාර්ගයේ පාණදුර දෙසට ගමන් කළේ ඊළඟට කළ යුත්තේ කුමක්දැයි සිතමිනි. ඒ යන විට මඟදී ඔහුට මුණ ගැසුණේ ඔහුගේ අනිත් සගයාය. ත්‍රිරෝද රථයක නැඟී මොරටුවැල්ලේ පාළු දෙමහල් නිවෙසට යන්නේ එම නිවෙසේ ඔවුන් මත්කුඩු පානය කිරීමට තිප්පොළක් කරගෙන තිබූ බැවිනි.

ප්‍රධානියා එහි සිටියදී මිතුරා ආපසු එන අතර රැගෙන ගිය දේපළ එම නිවෙස පිටුපස සඟවා තබන්නේ පසුව විකුණා ගැනීම සඳහාය. අනිත් පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ පාණදුර, හිරණ ප්‍රදේශයේ සිටියදීය. ඔහුද බෙක්කේගම පදිංචි 28 හැවිරිදි අයෙකි. ප්‍රධාන සැකකරුට අධිකරණයේ විභාග වන නඩු දහයක් පමණ පවතින බවත් අධිකරණය මඟහැර කටයුතු කිරීම නිසා වරෙන්තු හතරක් පමණ තිබෙන බවත් පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

මත්කුඩු පානය කිරීමට මුදල් සොයා ගැනීමට මෙම වියපත් දෙපළ සිටින නිවෙසට දෙවරක්ම එබිකම් කර අවසානයේ තුන්වන දින ඩීමන්ගේ ජීවිතය විනාශ කළේ ඔහුගේ අරමුණ කෙසේ හෝ ඉටුකර ගැනීම සඳහාය.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායකගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි 01 නිශාන්ත සේනාරත්නගේ අධීක්ෂණයෙන් පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න අමරසේකරගේ මෙහෙයවීමෙන් සැරයන් 18397 ලාල්, කොස්තාපල්වරුන් වන 82409 පුෂ්පකුමාර, 76003 නාලක, 97567 අකිල, 91171 චාමර, පොලිස් කොස්තාපල් රියැදුරු 91162 චානක යන නිලධාරිහු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ විමර්ශන සිදු කළහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division