මට ඇය හමු වුණේ සිරගෙදරට යන අතරමඟදීය. ඇය වයෝවෘද්ධය. වයස අවුරුදු හැත්තෑවක් පමණ ඇතැයි මට සිතිණි. ඒ මුහුණේ වූයේ වෙහෙසකර බවකි.
අවපැහැ ගැන්වුණ රෙදිද්දක් සහ හැට්ටයකින් සැරසී සිටි ඈ අත කිසිවක්ම නොවීය.
“අම්මා කොහෙද මෙහෙ…? දුර ඉඳන්ද ආවේ…” මම එලෙස ඇගෙන් විමසුවෙමි.
මම එසේ ඇසුව ද ඇගෙන් ඊට පෙරළා එක්වර පිළිතුරු නොලැබිණි. ඈ මදෙස බලා සිටියේ බොහෝ කලකට පෙර හමු වූ අයෙකු දෙස බලන අයුරිනි.
“නෝනා… මම ආවේ මීගොඩ ඉදලා. මගෙ ලොකු කොල්ලා මෙහෙට ඇවිල්ලා දැන් අවුරුදු දහයකට වැඩියි. ඔය ගෙවිච්ච අවුරුදු ගාණම මම අවුරුද්දකට දෙවතාවක්වත් මගෙ කොල්ලා බලන්න මෙහෙට ආවා. දැන් ඉස්සර වගේ නෙමෙයි… මට ඇවිදින්න අමාරුයි. ඒත් මොනවා කරන්නද? මට මගෙ දරුවා අමතක කරලා ඉන්න බැහැ. ඒ නිසා කොහොමහරි පුතා බලලා යන්න එනවා…”
ඇය එසේ පැවසුවේ දෑසේ මතු වූ කඳුළක් දකුණු අතේ පිටිඅල්ලෙන් පිස දමමිනි.
“මම මගේ අම්මා තාත්තා කවුද කියන්න දන්නේ නැහැ. පුංචිම කාලේ ළමා නිවාසයක මම හැදුණේ. ලොකු-මහත් වුණාට පස්සේ මම ළමා නිවාසෙන් අයින් වුණා. ගෙදරක වැඩ කරගෙන ඉන්න කොට ඒ ගෙදරට ආවගිය මනුස්සයෙක් හිටියා. ඒ උන්නැහෙ ආවේ ගෙදර වත්තේ වැඩට. දවසක් උන්දැ ඇහුවා එයත් එක්ක එනවද කියලා. ඒ කාලේ මගෙ වයස අවුරුදු විසි දෙකක් විසි තුනක් විතර ඇති. මමත් හා කියලා එයා එක්ක ගියා. ඒ මනුස්සය නම් බොහෝම ගුණයහපත් කෙනෙක්. අපි දෙන්නා එයාගේ ගමේ පැලක් හදාගෙන ජීවත් වුණා. අපිට දරුවෝ දෙන්නෙක් ලැබුණා. ලොකු කොල්ලට අවුරුදු පහළොවක් විතර කාලේ තමයි ළමයින්ගේ තාත්තා ගහකින් වැටිලා මැරුණේ. ඉන් පස්සෙ මම නොවිඳිනා දුක් වින්දා. දරුවෝ දෙන්නා හදාගන්න පුදුම විදිහට මහන්සි වුණා. මට ඕන වුණේ මගෙ දරුවන්ට හොඳට උගන්නන්න. හැබැයි එක දරුවෙක් නම් හොඳට ඉගෙන ගත්තා. වැඩිදුර ඉගෙන ගන්න ඒ පුතා රට ගියා. දෙපාරක් විතර ලංකාවට ආවා. එයා අන්තිම පාර ලංකාවට අවේ එයාගේ නෝනත් එක්ක. ඒත් පුතා මාව බලන්න මහ රෑක ගෙදර ඇවිල්ලා එවලෙම ගියා. ඉන් පස්සේ මම පුතාව ඇස් දෙකට දැක්කෙ නෑ… දුක් විඳලා දරුවෝ හදලා ලොකු මහත් කරලා මට සතුටක් ලබන්න බැරි වුණා. ලොකු පුතා නම් මාව දාලා කොහේවත් යන්න කැමැති වුණේ නැහැ. ඒ කොල්ලා පුළුවන් දවසේ ඉඳලම එයාට පුළුවන් විදිහට මට උදවු කළා. පුතාට අවුරුදු තිහක් විතර වෙනකොට මම කිව්වා ‘පුතේ කසාදයක් කරගන්න’ කියලා. ඒ වෙනකොට පුතා කඩේක රස්සාව කළේ. කොහොමහරි එයා ඒ කඩේට ආවගිය ගෑනු ළමයෙක් එක්ක යාළු වෙලා දවසක් එයාවත් එක්කගෙන ගෙදර ආවා. මම නම් කැමැති වුණේම නෑ ඒ ළමයගේ ගෙවල්වල අයගේ අකමැත්තෙන් විවාහ වෙනවට. ඒත් ඒ කෙල්ලගෙන් අපේ කොල්ලට බේරුමක් නැතිව ගියා. අන්තිමට මගෙ කොල්ලා ඒ ළමයව කසාද බැඳගත්තා. නීතියෙන් විවාහ වුණාට මහ ලොකු උත්සවයක් ගන්න ගියේ නැහැ. මාසයක් දෙකක් ගෙවෙන්න ඇති. දවසක් මගෙ කොල්ලට කවුද මඟ රැකලා ඉඳලා හොඳටම ගහලා තිබුණා. පොලිසියට ගියත් වැඩක් වුණේ නැහැ. මාස ගාණක් මම කොල්ලට බෙහෙත් කළා. ඒ අතර පුතාගේ නෝනත් ගෙදරින් යන්නම ගියා.”
ඇය එක හුස්මට කියාගෙන ගියාය.
“ඒ හැමදේම වෙලා අවුරුද්දක් විතර යන කොට මගේ පුතාට පය බිම තියලා ඇවිදින්න පුළුවන් වුණා. මගෙ කොල්ලා ටික ටික ඇවිදින්න ගත්තා. ‘අම්මා බයවෙන්න එපා… මම අම්මව බලා ගන්නවා. තව ටික කලක් ඔහොම ඉවසලා ඉමු අම්මේ.’ මගෙ පුතා මට එහෙමයි කිව්වේ.
කාලයක් ගියා. කිව්වත් වගේම මගෙ පුතා මාව බලාකියා ගත්තා. ඒත් එයාගේ නෝනා ගිය හිතේ අමාරුව එයාට නැති වුණේ නැහැ. සමහර දවස්වලට පුතා ගෙදර ආවේ හොඳටම බීලා. එයා නෝනා ගැන කියව කියවා අඬන්න ගන්නවා. මම කොහොම ඉවසන්නද…? මගෙ දරුවා දුක් විඳිනවා. මම පුතාට කිව්වා අපි වෙන කෙනෙක් බලමු කියලා. ඒත් එයා ඒකට අකමැති වුණා.
දවසක් පුතා ගෙදරින් ගියා යාළුවෙක් එක්ක ගමනක් යනවා කියලා. එදා පුතා මට වැඳලත් ගියේ. ඒත් දවස් කිහිපයක් ගෙවුණත් පුතා ගෙදර ආවේ නෑ.
දවසක් පොලිසියෙන් ගෙදරට ආවා. මම පුතා ගැන කියන්න තොරතුරක් දැනගෙන හිටියේ නැහැ. ඉන් දවස් දෙකකට පස්සේ පුතාව පොලිසියෙන් අල්ලගෙන තිබුණා. එදා ඉඳන් පුතා වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් මම කළා. පුතා එයාගේ නෝනව මැරුවා කියන වැරැද්දට තමයි එයාට මහ උළු ගෙදර එන්න වුණේ. මම පුතාව නිදහස් කරගන්න නොකරපු දෙයක් නෑ.
අන්තිමට පුතාට එල්ලුම්ගහ නියම වුණා. දැන් මගෙ කොල්ලට අවුරුදු පනහත් පැනලා. පුතා කැමැති නැහැ මම එයාව බලන්න එනවට. එයාට දුකයි මම දුක් විඳිනවට. මේක තමයි ඉතින් මගෙ ජීවිතේ. ඇය දිගු සුසුමක් හෙළන්නට වූවාය.
මිනීමරුවකු වුවද අම්මාට පුතා; පුතාමය.
ඉනෝකා සමරවික්රම