Home » එකම විදිහට අපරාධ සිදුකරන ත්‍රීමලේ අපරාධකාරයෙක් පොලිසියට ඉතිරි කළ හෝඩුවාව

එකම විදිහට අපරාධ සිදුකරන ත්‍රීමලේ අපරාධකාරයෙක් පොලිසියට ඉතිරි කළ හෝඩුවාව

by thanushika
November 16, 2024 12:30 am 0 comment

ඉකුත් ඔක්තෝබර් 28 වැනිදාට හිරු උදා වූයේ කෑගල්ල ප්‍රදේශයට පමණක් නොව රටේම ආන්දෝලනයකට තුඩු දුන් තවත් සාහසික මිනිස් ඝාතනයකින් සියලු දෙනාගේම හදවත් කම්පා කරවමිනි.

කෑගල්ල – බුලත්කොහුපිටිය ප්‍රධාන මාර්ගයේ කෑගල්ලේ සිට කිලෝමීටර් 4ක් පමණ ගිය තැන හමුවන හෙට්ටිමුල්ල, බුළුරුප්ප හන්දියෙන් වමට හැරී මීටර් 400ක් පමණ ගිය විට හමුවන කෙම්පිටිය වලව්වේ හිමිකරු ක්‍රිෂාන්ත පුලස්ති මාරපන හෙවත් රාජා අප්පෝ ඉකුත් 27 දා රාත්‍රියේ අබිරහස් ලෙස මියගොස් සිටියේය.

පසුදා එනම් 28 වැනිදා පෙරවරුවේ වලව්වට පැමිණි වලව්වේ මුරකාර තිලකරත්නගේ පුතු සංජය දොරවල් ඇර දමා තිබූ නිවස තුළට ගිය විට දැක තිබුණේ පුලස්ති මාරපන නිදන කාමරයේ ඇඳ මත අත්පා ගැට ගසා මුවට ප්ලාස්ටර් අලවා ඇඳ සිටි සරම හිසට දමා උඩුබැලි අතට මරණයට පත්වී සිටින ආකාරයයි. ඔහුගේ බිරිය ඔත්පළව සිටි මාලිකා කෙම්පිටියද ඒ ආසන්නයේම ඇඳක් අසල බිම වැතිරී සිටින ආකාරයද සංජය දුටුවේය. කෙම්පිටිය වලව්වේ පදිංචිව සිටියේ රජයේ ගණිත ගුරුවරයකු ලෙස සේවයකොට විශ්‍රාම ලැබ සිටි 75 හැවිරිදි පුලස්ති මාරපන සහ ඔහුගේ බිරිය මාලිකා පමණි. ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙක් සිටි අතර දියණිය මීට කලෙකට පෙරදී මියගොස් සිටියාය. පුතු ඔස්ට්‍රේලියාවේ ජීවත්වේ.

කෙම්පිටිය වලව්වට කිලෝමීටර් පහක පමණ දුරකින් පිහිටි මාරපන වලව්වේ දරුවන් 11 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ පුලස්ති මාරපන මාලිකා කෙම්පිටිය සමඟ විවාහ වීමෙන් පසු කෙම්පිටිය වලව්වේ පදිංචියට පැමිණ තිබිණි. පුලස්ති මාරපන දේපළ සහ විශාල ධනස්කන්ධයකට හිමිකම් කීවද ප්‍රදේශයේ කා අතරත් ඉතා ගුණගරුක පුද්ගලයකු ලෙස ප්‍රකටව සිටියේය. වලව්වේ ආරක්ෂකයා ලෙස තිලකරත්න නමැත්තා සිටියද ඔහු එදින වලව්වේ සිටියේ නැත. ඒ වලව්වේ කුඹුරුවල වැපිරීම සඳහා බිත්තර වී ගෙන ඒමට පොලොන්නරුවට ගොස් සිටි හෙයිනි.

ඉකුත් 28 වැනිදා පෙරවරුවේ පුලස්ති මාරපනගේ අබිරහස් මරණය පිළිබඳව කෑගල්ල මූලස්ථාන පොලීසියට වාර්තා වීමත් සමඟ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම ගේ මෙහෙයවීමෙන් මූලික විමර්ශන සිදුවෙද්දී ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දැනුම්වත් වීමත් සමඟ මරණයට සුලමුල සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ විය. පුලස්ති මාරපනගේ මරණය ඝාතනයක් විය හැකි බවට පොලිස් නිලධාරින් ඒ වන විටත් සැක පහළ කර තිබුණේ විමර්ශනවල අත්දැකීම් ඔස්සේය.

එහිදී කෑගල්ල මූලස්ථාන පොලිසියේ කණ්ඩායම් දෙකක් ඒ ගැන විමර්ශන සිදු කරද්දී කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශගේ උපදෙස් මත කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් ද ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා ක්‍රිෂාන්ති සහ උපපොලිස් පරීක්ෂක රුක්ෂාන් බණ්ඩාරගේ මෙහෙයවීමෙන් කණ්ඩායම් දෙකක් එහි විමර්ශන සඳහා එක්කරන ලදි.

ඒ අනුව කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර ඇතුළු කණ්ඩායම සිදුකළ පුළුල් විමර්ශනයකින් පසු පුලස්ති ඝාතනයෙන් හරියටම සතියක් ඉක්ම යද්දී එනම් ඉකුත් ඔක්තෝබර් 4 වැනිදා පස්වරුවේ ඔහුගේ ඝාතනයට හේතුව අනාවරණය කරගත්තේ ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනිමිනි. ඒ අතර 53 හැවිරිදි කාන්තාවක ද වූවාය.

කෑගල්ලේ, බුළුරුප්ප, කෙම්පිටිය වලව්වේදී සිදුවූ පුලස්ති මාරපනගේ ඝාතනයට අදාළව සැකකරුවන් තිදෙනෙක් කෑගල්ලට කිලෝමීටර් සිය ගණනක් ඈතින් වූ පිළියන්දල, බෝකුන්දර, තුම්බෝවිලදී අත්අඩංගුවට ගත් ආකාරය පෙළ ගැසෙන්නේ මෙලෙසිනි.

ඉකුත් 28 වැනිදා පුලස්තිගේ ඝාතනය සැලවීමත් සමඟ විමර්ශනවලට එක්වූ පොලිස් කණ්ඩායම් 4න් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා ඇතුළු කණ්ඩායම සැණින් එම වලව්වට ගොස් විමර්ශන ආරම්භ කරන ලදි. එදින පොලිස් පරීක්ෂිකා අප්සරා සති දෙකක පුහුණුවක් සඳහා ඉන්දියාවට ගොස් පැමිණ රාජකාරියට වාර්තා කළ පළමු දිනයයි.

මළ සිරුර සහ නිවස පරීක්ෂා කරද්දී ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරාට සිහිපත් වූයේ මාස ගණනාවක සිට දැදිගම සහ වරකාපොළ පොලිස් වසම්වල සිදුවූ කොල්ලකෑම් කීපයක් පිළිබඳවයි. එම කොල්ලකෑම් පිළිබඳ විමර්ශනයේදී සී.අයි. අප්සරාගේ කණ්ඩායම හඳුනාගත්තේ සියලු කොල්ලකෑම් සිදුකර තිබුණේ අදාළ කොල්ලකරුවන් පොලිස් වෙසින් පෙනී සිටිමින් බවයි.

ඒ අනුව මේ සෑම කොල්ලයකටම කොල්ලකරුවන් ක්‍රියාකර තිබුණේ ‘අපි පොලීසියෙන්… දොර අරින්න…‘ යැයි පවසා නිවැසියන්ගේ අතපය ගැට ගසා මුවට ප්ලාස්ටර් අලවා නිවස කොල්ලකා ජංගම දුරකතන ද රැගෙන නිවෙසේ තිබෙන වාහනයකින් මඟක් ගොස් වාහනය සහ ජංගම දුරකතන දමා පලා යන ආකාරයෙනි.

එම කොල්ලකෑම් පිළිබඳ විමර්ශනවලින් පසු පුත්තලම සහ මාතලේ, උකුවෙල ඇතුළු ප්‍රදේශ කීපයකින් සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැකි විය. එහෙත් එම කොල්ලකෑම්වලට අදාළව එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකළ සී.අයි. අප්සරාගේ කණ්ඩායමට ‍නොහැකි විය. ඒ ත්‍රිකුණාමලයේ ලිපිනයැති මලිත් බිම්සර නමැත්තාය.

එහෙත් අප්සරා ඉන්දියාවට යන දින දක්වාම එම සැකකරු පිළිබඳ දුරකතන වාර්තා මෙන්ම කුලුනු වාර්තා ඔස්සේ විමර්ශන සිදු කරමින් බිම්සර නමැති සැකකරු සැරිසරන ප්‍රදේශ ද හඳුනාගෙන තිබිණි. ඒ අතර සැකකරු භාවිත කළ ජංගම දුරකතනයේ කුලුනු වාර්තා ඔස්සේ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් ඔහු පිළිබඳව අවධානයෙන් පසු විය. පුලස්ති මාරපනගේ මළ සිරුර සහ නිවස පරීක්ෂාවේදී විමර්ශන නිලධාරින්ගේ සැකය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින මලිත් බිම්සර නමැති එම සැකකරු විසින් මෙකී අපරාධය සිදු කරන්නට ඇතැයි යන සැකයක් ඇති විය. ඒ අතරේ විමර්ශන කණ්ඩායම් අනාවරණය කරගත්තේ ඉකුත් 27 වැනිදා සවස් යාමයේ කෙම්පිටිය වලව්වට තිදෙනෙක් ත්‍රිරෝද රථයකින් පැමිණි බවයි. පොලිස් නිලධාරින් සැණින් එම ත්‍රිරෝද රථය සොයා ගියේ පරගම්මන හන්දියටයි. පරගම්මන හන්දියේ සීසීටීවී කැමරා පරීක්ෂාවේදී අනාවරණය කරගත් අදාළ ත්‍රිරෝද රථයට තිදෙනෙක් 27 වැනිදා රාත්‍රී 7.10ට පමණ ගොඩවන ආකාරය මනා ලෙස දිස් විය.

සී.අයි. අප්සරාගේ කණ්ඩායම එම ත්‍රිරෝද රථ රියැදුරු සොයාගෙන ඔහුගෙන් ප්‍රශ්න කළේ අදාළ තිදෙනා දුටුවහොත් හඳුනාගත හැකි ද යන්න විමසමිනි.

“මිස්… එක්කෙනෙක් තමයි කතා කළේ… අනෙත් දෙන්නා ගැනනම් මතක නෑ… ඒ කතා කළ කෙනා ආපහු දැක්කොත් මට අඳුනගන්න පුළුවන්…“ යැයි ත්‍රිරෝද රථ රියැදුරු පැවැසීය.

ඒ වන විට ඊට පෙර දැදිගම සහ වරකාපොළ සිදුවූ කොල්ලකෑම්වලට අදාළව හඳුනාගෙන සිටි සහ අත්අඩංගුවට ගත් අයගේ ඡායාරූප ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරාගේ ජංගම දුරකතනයේ තිබිණි. ඇය එම ඡායාරූප ත්‍රිරෝද රථ රියැදුරුට පෙන්වද්දී ඔහු එක් ඡායාරූපයක් හොඳින් නිරීක්ෂණය කළේය.

“මිස්… මෙයා තමයි ආවේ…“ යැයි රියැදුරු කීවේ එම ඡායාරූපය දෙස දෙතුන් වරක් අවධානය යොමු කරමිනි. එම ඡායාරූපයේ සිටි පුද්ගලයා දැදිගම සහ වරකාපොළ පොලිස් වසම්හි සිදුවූ කොල්ලකෑම්වලට අදාළව එතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි මලිත් බිම්සරය. පරගම්මන හන්දියේ සීසීටීවී කැමරාවේ ඡායාරූප සහ සී.අයි. අප්සරා සතු එම පුද්ගලයාගේ ඡායාරූප ද එක සමාන විය.

ඒ අනුව කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායම සොයන එම සැකකරු මලිත් බිම්සරම බවට සක්සුදක් සේ තහවුරු විය. ඔහු ත්‍රිකුණාමලයේ පදිංචි අයෙකි. සී. අයි. අප්සරා ත්‍රිකුණාමල පොලීසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා සමඟ මීට පෙර ද සම්බන්ධ වී මලිත් පිළිබඳ තොරතුරු සොයමින් සිටියාය. ඇය පරගම්මන හන්දියේ සීසීටීවී කැමරා වීඩියෝවද ත්‍රිකුණාමල පොලිසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයාට යොමු කළේ අදාළ පුද්ගලයා මලිත්ම ද යන්න තහවුරු කරගැනීමටයි. එහිදී ත්‍රිකුණාමල අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා ඒ මලිත්ම බවට හඳුනාගත්තේ ඔහුගේ පාදයක තිබෙන ඇදය ද තහවුරු කරමිනි.

“මිස්… මේ කකුලේ ඇදය තියෙන කෙනා මලිත්… ඔය වීඩියෝවේ ඉන්න අනිත් දෙන්නගෙන් එක්කෙනෙක් මලිත්ගේ යාළුවා… ප්‍රණීත්… එයත් ත්‍රිකුණාමලයේ…“ යැයි අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා තහවුරු කළේය.

ඒ අනුව ත්‍රිරෝද රථයෙන් කෙම්පිටිය වලව්වට පැමිණියේ පොලීසිය සොයන මලිත්ම බව නැවත වරක් තහවුරු විය. ඒ වන විට වරකාපොළ සහ දැදිගම සොරකම්වලට අදාළව විමර්ශන නිලධාරි කණ්ඩායම මලිත්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා ද ලබාගෙන තිබිණි. එම දුරකතන අංකයේ 27 වැනිදා කුලුනු වාර්තාවක් ලබාගනිද්දී එදින ඔහු කෑගල්ලට පැමිණ සිටි බවක් තහවුරු විය. ඒ ඔස්සේ වැඩිදුරටත් තහවුරු වූයේ මලිත් ඇතුළු කණ්ඩායම එම අපරාධයට සම්බන්ධ වන්නට ඇතැයි යන්නය. එම දුරකතන අංකයේ කුලුනු වාර්තාව ඔස්සේ කෑගල්ලේදී එම දුරකතන අංකය සමඟ බොහෝ වාර ගණනක් සම්බන්ධ වූ දුරකතන අංකයක් ගැන හෙළිදරව් වීමත් සමඟ එම දුරකතන අංකයේ විශ්ලේෂණ වාර්තාවෙන් තවත් දුරකතන අංකයක් අනාවරණය විය. එම දුරකතන අංකය භාවිත කළ අදාළ පුද්ගලයා කළුතර, දොඩංගොඩ අයෙකි. දුරකතන සිම්පත ලියාපදිංචි වී තිබුණේ එම පුද්ගලයාගේ බිරියගේ නමටය. දුරකතනය භාවිත කළ ඇගේ සැමියා කොතලාවල නමැති අයෙකි. ඔහු රියැදුරෙකි. විමර්ශන නිලධාරින් ඉකුත් 2 වැනිදා කොතලාවල සොයා දොඩංගොඩ, රුවන්ගමට ගොස් ඔහු ඉකුත් ඔක්තෝබර් 27 වැනිදා කෑගල්ල ප්‍රදේශයට ගියේදැයි අසමින් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය.

“ඔව් මිස්… මං එදා (27) කෑගල්ලේ ගියා… මට 26 වැනිදා පිළියන්දල බෝකුන්දර ඉන්න අයිරාංගනී මිස් තමයි කතා කරලා කිව්වේ, කෑගල්ලේ මළගෙයක් තියෙනවා… හෙට හයර් එකට යන්න එන්න පුළුවන්ද? කියලා… එයාගේ මල්ලිගේ කාර් එකේ යන්නේ… ඩ්‍රයිව් කරන්න පුළුවන්ද කියලා ඇහැව්වේ…“ යැයි ඔහු කිසිම චකිතයකින් තොරව පැවැසීය. එසේම ඔහු ඊට පෙර ද අයිරාංගනී සමඟ කුලී ගමන් ගොස් ඇති බවත් හෙළිදරව් කළේය.

කොතලාවල මීට කලෙකට පෙරදී අයිරාංගනී හඳුනාගෙන තිබුණේ ඇය ළඟ සේවය කරන දොඩංගොඩ ප්‍රදේශයේ අයෙක් වන මහින්ද නමැති පුද්ගලයකු මාර්ගයෙනි. මහින්ද, කොතලාවලගේ මිතුරෙකි.

53 හැවිරිදි අයිරාංගනී ප්‍රකට පොහොර සමාගමක ඒජන්සිකරුවකුගේ බිරියයි. 83 හැවිරිදි එම පුද්ගලයා කෝටිපති ව්‍යාපාරිකයෙකි. 27 වැනිදා පෙරවරුවේ කොතලාවල සිය යතුරුපැදියෙන් පිළියන්දල, බෝකුන්දරට ගියේය. අනතුරුව ඔහු ගියේ බොරලැස්ගමුව පිල්ලෑවේ පිහිටි අයිරාංගනීගේ මල්ලි සිටින වෙළෙඳසලක් අසලටය. එම වෙළෙඳසල අසලින් ඔහු කාරය ලබාගත්තේය. කාරය අයිරාංගනීගේ මල්ලිගේය. එසේ කාරය ලබාගත් කොතලාවල අනතුරුව ගියේ අයිරාංගනී සහ ඇගේ සැමියා ජීවත්වූ දෙහිවල මහල් නිවාසය අසලටය. එම ස්ථානයෙන් අයිරාංගනී කාරයට ගොඩ විය. අයිරාංගනී රැගත් කාරය පැමිණියේ බෝකුන්දර, තුම්බෝවිල පිහිටි අයිරාංගනීගේ තවත් නිවසකටය. එම නිවසේ මිල අධික සුනඛයන් කීපදෙනෙක් සිටී. එහි සිටි තරුණයෙක් කාරයට ගොඩවිය. ඔහු ප්‍රණීත්ය. ඒ ආසන්නයේම වෙනත් අතුරු මාර්ගයක පිහිටි නිවසකට ගිය කාරයට තවත් තරුණයෙක් ගොඩ විය. ඔහු මලිත් බිම්සරය. තිදෙනා රැගත් කාරය කොට්ටාවට පැමිණි විට තවත් තරුණයෙක් ඊට ගොඩවිය. ඔහු මලිත්ගේ මිතුරෙක් වන කලණය.

එම පිරිස රැගත් කාරය පැමිණියේ කෑගල්ලටය. ඒ එන අතරේදී වමෙන් ධාවනය නොකිරීම නිසා කෑගල්ල රන්වලදී කාරයේ රියැදුරු කොතලාවලට කෑගල්ල පොලිසියේ රථවාහන නිලධාරින්ගෙන් දඩ කොළයක් ද නියම විය. සවස් වන විට කෑගල්ල, බුළුරුප්ප මාර්ගයේ මඳ දුරක් ගිය කාරයට මාර්ගය වැරදුණායැයි එහි සිටි අයෙක් රියැදුරු කොතලාවලට පවසා නැවත හරවාගෙන පැමිණියේ කෑගල්ල, පරගම්මන රාත්‍රී අවන්හලක් අසලටය. එම අවන්හලෙන් සියලු දෙනා තේ පානය කළෝය.

“මේ තුන්දෙනා මළගෙදර ගිහින් එයි… එතකල් කොතලාවල… අපි දෙන්නා යමු දඩ කොළේ අරන් එන්න…“ යැයි එම අවන්හලේදී අයිරාංගනී, කොතලාවලට එසේ යෝජනා කළාය. ඒ සමඟම අයිරාංගනී සහ රියැදුරු දඩ කොළය ලබා ගැනීමට කෑගල්ල පොලිසියට ගියේය.

කොතලාවල පොලීසිය ඇතුළට ගොස් දඩ කොළය රැගෙන ආවේය. “අපි දෙන්නා ගෙදර යමු… ඒ කට්ටිය එනවා කිව්වා…“ යැයි එතෙක් වෙලා කාරයට වී සිටි අයිරාංගනී ඇඟටපතට නොදැනෙන ලෙස කීවාය.

මඳ දුරක් ධාවනය වූ රථය පින්දෙණිය පොලිස් වසමට පැමිණියා පමණි. අයිරාංගනීගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණාය. “අර තුන්දෙනා අවිස්සාවේල්ල තල්දූව පොළ ගාව ඉන්නවලු… අපි එතෙන්ට ගිහින් එයාලව දාගම්මු…“ යැයි ඒ සමඟම අයිරාංගනී නැවත පැවසුවාය. අනතුරුව කොතලාවල පැදවූ කාරය එම ස්ථානයට ගොස් එහි සිටි තිදෙනා නංවා ගැනිණි. ඒ වන විට වේලාව රාත්‍රී 9.30ට පමණය.

“මිස්… ඒ කට්ටිය කෑගල්ලට යනකල් හොඳට කතා කර කර විහිළු කරමින් ගියේ… හැබැයි එනකොටනම් කිසිම කතාබහක් කළේ නෑ… බයවෙලා වගේ හිටියේ…“ යැයි රියැදුරු පොලිස් නිලධාරින්ට කීවේ, “මං අහන්න ගියේ නෑ… මොකද මං ඒ අය කවදාවත් දැකලවත් කතා කරලවත් තිබුණ අය නෙවේ…“ යැයි රියැදුරු වැඩිදුරටත් කීවේය.

“ඊට පස්සේ මං පිල්ලෑවට ඇවිත් එයාලා බස්සලා… බයිසිකලේ අරන් රෑම ගෙදර ගියා… මට අයිරාංගනී මිස් රුපියල් පන්දාහක් දුන්නා… හයර් එකයි දඩ කොළේ ගෙවන්න සල්ලියි කියලා… තව පස්සේ කීයක්හරි දෙන්නම් කියලත් කිව්වා… මං පහුවදා බස් එකේ කෑගල්ලේ ගිහින් දඩ කොළේ ගෙවලා ලයිසන් එක අරන් ආවා… එච්චරයි මං දන්නේ…“ යැයි කාරයේ රියැදුරු ලෙස කටයුතු කළ කොතලාවල පැවැසීය. කොතලාවල කෙම්පිටිය වලව්වේ ඝාතනය පසුදා මාධ්‍යයෙන් දුටුවද එය තමන් සමඟ ගිය පිරිස කළ බවක් ඔහුට සිතා ගැනීමට නොහැකි විය. පොලීසිය සිදුකළ විමර්ශනයෙන් හෙළි වූයේ එම රියැදුරු සිදුවූ අපරාධයේ කිසිවක් නොදන්නා බවක් සේම කාරයේ ගිය පිරිසේ නම්-ගම් විස්තර ද නොදන්නා කොතලාවල අහිංසක පුද්ගලයකු බවය.

අනතුරුව විමර්ශන නිලධාරින් කණ්ඩායම කළුතර, දොඩංගොඩින් පැමිණියේ අයිරාංගනී සොයා පිළියන්දල, බෝකුන්දර, තුම්බෝවිල නිවෙස වෙතයි. ඇගේ නිවසේ ඒ වන විට කිසිවෙක් නොසිටියේය. එහෙත් සුනඛයන් කිහිපදෙනෙක්ම එහි සිටියේය. අවට වැසියන්ගෙන් විමසද්දී කීවේ කාරයක නැඟී අයිරාංගනී තරුණයන් පිරිසක් සමඟ දින දෙකකට පමණ පෙරදී පිටව ගිය බවයි. ඇය එලෙස ගිය ඉසව්වක් නොදන්නා බව ඔවුහු පැවසූහ. “හැබැයි මිස්, කොහේ ගියත් අයිරාංගනී අනිවාර්යයෙන්ම බල්ලොන්ට කන්න දෙන්න දවස් දෙක තුනක් යනකොට එනවා…“ යැයි ද අවට පදිංචිකරුවෝ පැවැසූහ.

පොලිස් නිලධාරින් කණ්ඩායම බෝකුන්දරින් නැවත කෑගල්ලට පැමිණියේය. දිනකට පසු එනම් ඉකුත් 4 දා පෙරවරුවේ සී.අයි. අප්සරා සහ උපපොලිස් පරීක්ෂක රුක්ෂාන් බණ්ඩාර ද එක්වූ නිලධාරින් කණ්ඩායම බෝකුන්දර තුම්බෝවිලට ගොස් අයිරාංගනීගේ නිවස අවට රැකවල්ලා සිටියේය. එලෙස සිටියදී සවස තුනට පමණ කාරයෙන් අයිරාංගනී සහ තරුණයන් දෙදෙනෙක් එහි පැමිණියෝය. එසැණින් රැකවල්ලා සිටි පොලිස් නිලධාරින් කණ්ඩායම එම තිදෙනාම අත්අඩංගුවට ගත්තේය. එලෙස අත්අඩංගුවට ගැනුණේ අයිරාංගනී සමඟ මලිත් සහ ප්‍රණීත් යන තිදෙනාය. එහෙත් පිරිස සමඟ කෑගල්ලේ ගිය කලණ නොසිටියේය.

මලිත් සහ ප්‍රණීත් දෙදෙනා එලෙස අත්අඩංගුවට ගන්නා මොහොතේ බෑගයක් එල්ලාගෙන සිටියෝය. එම බෑගය මේ දෙදෙනා සියලු අපරාධවලට රැගෙන යන්නක් බව ඒ වන විටත් විමර්ශන නිලධාරින් සීසීටීවී කැමරා ඔස්සේ තහවුරු කරගෙන තිබිණි. දෙදෙනාගේ එම ගමන් බෑග පරීක්ෂාවේදී උල් පිහියක්, අත් ග්ලවුස්, විවිධ අයගේ හැඳුනුම්පත් සහ ජංගම දුරකතන තිබිණි. අත්අඩංගුවට ගත් මලිත් බිම්සර 25 හැවිරිදිය. ප්‍රණීත් 35 හැවිරිදිය. දෙදෙනාම ත්‍රිකුණාමලයේ මහාමායාපුර පදිංචිකරුවෝ වෙති. මලිත් විවාහකය. ඔහුට දරුවන් ද සිටි. මලිත් ඝාතන දෙකක සහ කොල්ලකෑම් කීපයකම වරෙන්තුකරුවෙකි. මලිත් සිදුකළ සොරකම්වලට අදාළව වරකාපොළ, දැදිගම, ත්‍රිකුණාමලය, උප්පුවේලි සහ පිළියන්දල පොලිස් ස්ථානවලින් අධිකරණවල ඔහුට විරුද්ධව නඩු පවරා ඇත. ඔහු ඊට වරෙන්තුකරුවකු වී සිටී. මලිත් මෑතක සිට බිරිය සහ බිරියගේ මව මෙන්ම දරුවන් සමඟ අයිරාංගනී සොයා දුන් බෝකුන්දර කුලී නිවසක ජීවත් වෙති. අත්අඩංගුවට ගත් ප්‍රණීත් අවිවාහකයෙකි. ඔහුද සිදුකළ සොරකම් රැසකටම වරෙන්තුකරුවකු වී සිටී.

මහරගම, නාවින්න ලිපිනයේ පදිංචි අයිරාංගනී 53 හැවිරිදිය. ඇය 83 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයා හා විවාහ වීමට පෙර ද විවාහ වී සිටි කතකි. මහත් දේපළකට හිමිකම් කියන අයිරාංගනී සහ මලිත් අතර ළඟ හිතවත්කමක් තිබී ඇත. ඒ ඔස්සේ අයිරාංගනී මලිත්ලාගේ බොහෝ අපරාධවලට සහාය වී තිබෙන බවක් පොලීසියට අනාවරණය වී තිබේ. ත්‍රිකුණාමලයේ මලිත් සහ මහරගම අයිරාංගනී අතර සබඳතාව ඇතිවී තිබෙන්නේ මලිත්ගේ මවගේ මිතුරුකමක් ඔස්සේය. මලිත්ගේ මවට ද වරෙන්තු 18කට අධික ප්‍රමාණයක් ඇත. ඇය මේ වන විට සැඟවී සිටින්නීය. අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් පුලස්ති මාරපනගේ ඝාතනය සිදුකළ ආකාරය ගැන ප්‍රශ්න කෙරිණි. එහිදී හෙළිවන්නේ මෙවැන්නකි.

දැදිගම සහ වරකාපොළ පොලිස් වසම්වල කොල්ලකෑම් සිදුකළ කණ්ඩායමේ විවිධ ප්‍රදේශවල අය සිටියහ. ඔවුන් මිතුරු වී තිබුණේ බන්ධනාගාරය තුළදීය. එම කොල්ල කල්ලියේ කෑගල්ලේ, තුංගොඩ පදිංචිකරුවකු වන 40 හැවිරිදි නලින් ප්‍රියංග හෙවත් ෂෙහාන් නමැත්තෙක් ද සිටියේය. ඔහු ඉකුත් ඔක්තෝබර් 3 වැනිදා සී.අයි. අප්සරා ඇතුළු කණ්ඩායම මාතලේ, උකුවෙල සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටී. ෂෙහාන් අත්අඩංගුවට ගැනීමට පෙර මලිත් සමඟ කෙම්පිටිය වලව්ව අවට සැරිසරා වලව්වේ සොරකමක් කිරීමට සැලසුම් කර තිබුණේ නිවස සහ අවට මාර්ග මෙන්ම වලව්වේ සිටින අය ගැන සඳහන් සිතියමක් ද සකස් කරමිනි. එම සිතියම මලිත් අත්අඩංගුවට ගන්නා මොහොතේ ඔහුගේ මුදල් පසුම්බියේ තිබී පොලිසියට හමු විය.

“මිස්… මං ෂෙහාන් අයියත් එක්ක මීට ඉස්සෙල්ලා මේ ගෙදරට ගේමක් දෙන්න ආවා… එදා බැරිවුණා… පස්සේ මේ පහුගිය 26 වැනිදා මට මේ ගෙදර මතක් වුණා… ඒක අයිරාංගනී අක්කටයි ප්‍රණීත්ටයි කලණටයි කිව්වා… ඊට පස්සේ තමයි අපි රොබරිය දෙන්න ආවේ…” යැයි ඔහු පාපෝච්චාරණය කළේය.

එලෙස අයිරාංගනී සමඟ මලිත්, ප්‍රණීත් සහ කලණ කොතලාවල පැදවූ කාරයෙන් පැමිණ පරගම්මන හන්දියේ අවන්හලකින් තේ පානය කිරීමෙන් පසු තිදෙනා පා ගමනින් විත් පරගම්මන හන්දියේ ත්‍රීරෝද රථ නැවතුමෙන් ත්‍රිරෝද රථයකට ගොඩ වූහ. ඒ මොහොතේ තිදෙනාගේ රුව පරගම්මන හන්දියේ සීසීටීවී කැමරාවකට හසු විය. තිදෙනා වලව්ව ආසන්නයෙන් බැස්සවූ ත්‍රිරෝද රථ රියැදුරු නැවත ත්‍රීරෝද රථ නැවතුමට පැමිණියේය. තිදෙනා වලව්වට ගොස් තිබුණේ ‘අපි පොලීසියෙන්‘ යැයි කියමිනි. පුලස්ති මාරපනගේ අතපය ගැට ගසා මුවට ප්ලාස්ටර් අලවා මුළු නිවසේම අස්සක් මුල්ලක් නෑර සෝදිසි කළද තිදෙනාට ලැබී තිබුණේ රුපියල් 10500ක් සහ පුලස්තිගේ ඇඟිල්ලක පැලඳ සිටි නවරත්න මැණික් ඇල්ලූ මුදුවක් පමණි. මුදුව සහ මුදල් ගත් තිදෙනා වලව්වේ කාරයේ යතුරද රැගෙන කාරයෙන් පලා ගොස් තිබිණි. ඒ පින්දෙණිය ප්‍රදේශයටය. පින්දෙණියේදී එම කාරය මාර්ගය යාබද නතර කිරීමෙන් පසු එම ස්ථානයෙන් බසයකට නැඟී අවිස්සාවේල්ල තල්දූව පොළ අසලට ගොස් කෑගල්ලේ සිට පැමිණි කාරයට නැවත ගොඩ වී තිබිණි. පැහැරගත් පුලස්තිගේ මුද්ද අයිරාංගනී විසින් බොරලැස්ගමුවේ උකස්හලකට විකුණා තිබුණේ රුපියල් 165000කටය. ඉන් කලණට රුපියල් 20,000ක් දී තිබේ. අනතුරුව පිරිස මාධ්‍යයෙන් දුටුවේ කෙම්පිටිය වලව්වේ හිමිකරු පුලස්ති මාරපන ඝාතනය කර ඇති පුවතයි.

ඊට බියවූ මලිත් සහ ප්‍රණීත්, අයිරාංගනී සමඟ කාරයෙන් පිටත් වූයේ මිද්දෙනියේ පිහිටි අයිරාංගනීගේ මහගෙදර බලාය. එම නිවසේ කිසියම් ගැටලුවක් හේතුවෙන් තිදෙනා දිනකට දෙකකට පසු නැවත බෝකුන්දර, තුම්බෝවිල නිවසට පැමිණ තිබුණේ වෙනත් ප්‍රදේශයකට පලා යාමේ අටියෙනි. ඒ මොහොතේ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් කණ්ඩායමට කොටු විය.

මලිත් සහ ප්‍රණීත් දැඩි සේ අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවෝය. අයිරාංගනී මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී නොසිටියද ඇය අසීමිත ලෙස මලිත් සමඟ පෙමින් වෙළී සිටි හෙයින් මලිත්ගේ බොහෝ අපරාධ සඳහා සහාය දුන්නාය. අත්අඩංගුවට ගත් තිදෙනා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂගේ සහ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශගේ උපදෙස් මත කෑගල්ල පොලිස් අධිකාරි I චන්දන කන්දේවත්තගේ අධීක්ෂණයෙන් කෑගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම, කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර, උපපොලිස් පරීක්ෂක රුක්ෂාන් බණ්ඩාර, සැරයන්වරුන් වන 69319 රොෂාන්, 75291 බණ්ඩාර, කොස්තාපල්වරුන් වන 78523 උපුල්, 85316 සමරනායක, 91060 කසුන් සහ කොස්තාපල් රියැදුරු 16054 මහේෂ් යන නිලධරයෝ විමර්ශන සිදු කළහ.

ඡායාරූප – කෑගල්ල විශේෂ

චමින්ද ජයලත්

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division