අරලගංවිල නිකවත්තලන්ද ගම්මානයේ ගෙවත්තක නිධානයක් හාරා ඉන් මැණික් ලබාගත් බව කියන පුද්ගලයකු පෞරාණික මැණික් ගල් පහක් සමඟ අරලගංවිල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගියදාය.
අරලගංවිල පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරියකුට ලැබුණු තොරතුරකට අනුව කරන ලද හදිසි වැටලීමේදී මෙම මැණික් ගල් සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු සඳහන් කළේය. අරලගංවිල පොලිසියේ බුද්ධි තොරතුරු අංශයේ නිලධරයනට පෞද්ගලික ඔත්තුකරුවකු මඟින් මේ ගැන තොරතුරක් ලැබුණේ දුරකතන ඇමතුමක් මඟිනි.
“සර් ඔත්තුවක් දෙන්නයි කතා කළේ… මේ වෙලාවේ කතා කරන්න පුළුවන් ද?“ බුද්ධි තොරතුරු අංශයේ නිලධාරියාගෙන් එසේ විමසීය. “මහත්මයා කමක් නෑ… කතා කරන්න.“ බුද්ධි නිලධරයා තොරතුරුකරුට එසේ කීවේය.
“නිධානයකින් ගත් මැණික් ගල් පහක් තියෙනවා… ඊයේ උදේ තමයි මමත් දැක්කේ… මේ තොරතුර දෙන්නයි කෝල් එකක් ගත්තේ…“ ඔහු කීවේය. සැණින් ඔත්තුකරු ඇමතු බුද්ධි අංශයේ නිලධාරියා විමසුවේ “කවුද පුද්ගලයා… කොහේටද අපි යන්න ඕනේ?“ යැයි කියාය.
“සර් අරලගංවිල ඉඳන් දෙහිඅත්තකණ්ඩියයට යනකොට හම්බවෙන ‘බෝගස් හංදිය’ට එන්න. කිලෝමීටර් එකහමාරක් විතර ඇවිත් දකුණට හැරෙන්න… එතන ඉඳන් ටික දුරක් යනකොට මම කියපු ගේ හමුවෙනවා.“ යැයි කියා ඔත්තුකරු ඇමතුම විසන්ධි කළේය.
ලැබුණු බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මක වූ අරලගංවිල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල, උපපොලිස් පරීක්ෂක ඒකනායක ඇතුළු කණ්ඩායම වැටලීම සිදු කිරීම සඳහා පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ද සිල්වා, වැලිකන්ද සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වා යන නිලධරයන්ද මේ ගැන දැනුම්වත් කරන්නේ ඒ මොහොතේමය.
සිද්ධිය සැලවූ සැණින් අරලගංවිල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාලගෙන් අදාළ වැටලීම සඳහා දීර්ඝ උපදෙස් ලබාගත් උප පොලිස් පරීක්ෂක ඒකනායක සහායට තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද සහාභාගි කරගෙන වැටලීම සඳහා පිටත්ව ගියේ ඉතාම ඉක්මනිනි.
ඔත්තුකරුගෙන් ලැබුණු තොරතුරට අනුව එහි ගොස් සැකකරුගේ නිවස පරීක්ෂා කරනු ලැබිණි. නිවස සෝදිසි කරන අවස්ථාවේ සැකකරු සමඟ ඔහුගේ බිරිය එහි සිටියද ඔවුන්ගේ පිළිතුර වූයේ තමන් නිධානයකින් ගත් මැණික් ගල් ගැන නොදන්නා බවයි. නිෙවස සෝදිසි කර හිස් අතින් නිෙවසින් එළියට පැමිණි පොලිස් නිලධරයෝ අනතුරුව නිෙවස වටා සෝදිසි කිරීමට ද කටයුතු කළහ.
පොලිස් නිලධාරීන් ගෙවත්ත සෝදිසි කරද්දී ගොඩ ගැසු ගල් ගොඩක් දෙස ඇස යොමු විය. ගල් ගොඩ අසල සැරිසරන විට නිවසේ අයිතිකරුගේ හැසිරීම ගැන ද උප පොලිස් පරීක්ෂක ඒකනායකට සැකයක් පහළ විය. ඒකනායක සෙසු පොලිස් නිලධාරීන්ගේ ද සහාය ඇතුව අඩි දෙකක් පමණ යටට ගල් ඉවත් කළේ ඉන් අනතුරුවය. එසේ ඉවත් කරන විට අමුතු ආකාරයේ කළු ගලක් මතු විය. මෙම ගල පරීක්ෂා කළ උප පරීක්ෂක ඒකනායක එම ගල පුපුරා ඇති නිසා ගල දෙකට කඩන විට එක් ගලක් යට මැණික් ගල් පහක් තිබීණි.
එලෙස සොයාගත් මැණික් ගල් පිළිබඳ නිවෙස් හිමිකරුගෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ වැසිකිළි වළක් හාරමින් සිටින විට මෙම මැණික් ගල් හමුවූ බවයි. සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනෙන්නේ ඉන් අනතුරුවය.
පොලොන්නරුව කොට්ඨාස භාර පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වාගේ අධීක්ෂණයෙන් අරලගංවිල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාලගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂක ඊ. එම්. එස්. ඒකනායක, සැරයන්වරුන් වන 66266 සුජීව, 50696 ගාමිණී, කොස්තාපල් 72145 සංජීව යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි. අත්අඩංගුවට ගත් සැකකරු පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.
ඇළහැර සරත් වෙලගෙදර