Home » කතුන්ගේ නිරුවත අන්තර්ජාලයට දමා කප්පම් ඉල්ලන ලෝකෝත්තරයෝ

කතුන්ගේ නිරුවත අන්තර්ජාලයට දමා කප්පම් ඉල්ලන ලෝකෝත්තරයෝ

by thanushika
November 16, 2024 12:30 am 0 comment

තරුණ කාන්තාවන්, සිසුවියන්, දැරියන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම සහ ප්‍රසිද්ධ කිරීමේ සිද්ධිවල ක්‍රමික වර්ධනයක් පෙනෙන්නට ඇත්තේ ඒ පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා ද සුලබව දක්නට ඇති නිසාය.

මේ සම්බන්ධ පැමිණිලි ගණනාවක් පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය මඟින් විමර්ශන සිදු කරන බවද දැනගන්නට ඇත. මේ විමර්ශනවලදී ඒ සම්බන්ධ සැකකරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් ද අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු සිදුවන බවද හෙළි වී තිබේ.

තරුණ කතුන්, සිසුවියන් සහ දැරියන්ගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලයට යොමු කිරීම සහ නිරුවත් දර්ශන ජංගම දුරකතන මඟින් වීඩියෝගත කිරීම සම්බන්ධයෙන් සමාජයේ වැඩි අවධානයට ලක් වූ පුවත් තුනක් පසුගියදා වාර්තා වූයේ තලාව, පාණදුර සහ හොරණ ප්‍රදේශවලිනි.

තලාව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සෙබළෙක් 15 හැවිරිදි දැරියකගේ නිරුවත් ඡායාරූප බලෙන් ලබාගෙන තමන්ගේ නිරුවත් ඡායාරූප දැරියට යවා ඇතැයි කියන සිද්ධිය මෙහි පළමුවැන්නයි.

සැකකාර සෙබළා දෙදරු පියෙකි. ඔහු 15 හැවිරිදි දැරිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු විශ්‍රාම ගැනීමට ඔන්න මෙන්න තියා තිබියදී මේ දැරිය සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කළ විමර්ශනයේදී හෙළි විය.

සැකකාර සෙබළා දැරියට තර්ජනය කර ඇගේ නිරුවත් ඡායාරූප සිය ජංගම දුරකතනයට ගෙන්වාගෙන තමාගේ නිරුවත් ඡායාරූප දැරියගේ ජංගම දුරකතනයට යවා ඇති බවද අනාවරණය වී තිබේ. දැරියගේ ජංගම දුරකතනයේ නාඳුනන පිරිමියෙකුගේ නිරුවත් ඡායාරූප තිබෙන බව දුටු දැරියගේ ඥාතින් ඒ පිළිබඳව සොයා බලද්දී මේ තොරතුරු හෙළිවී ඇති අතර පසුව ඒ පිළිබඳව පොලීසියට පැමිණිලිකර ඇත්තේ දැරියගේ ඥාතීන් විසිනි. සැකකාර සෙබළා තඹුත්තේගම මහේස්ත්‍රාස් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

පාණදුරේ පදිංචි 23 හැවිරිදි යුවතියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල මෙහි දෙවැනි සිද්ධියයි.

‘ඒ. අයි.‘ තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද නිරුවත් ඡායාරූප මේ 23 හැවිරිදි යුවතියට සමාජ මාධ්‍ය ඔස්සේ යොමු කළ පුද්ගලයකු සම්බන්ධයෙන් රහස් පොලිසිය මේ විමර්ශනය ආරම්භ කරනු ලැබුවේ එම යුවතිය විසින්ම සිදු කරන ලද පැමිණිල්ලක ප්‍රතිඵලයක් වශයෙනි. අන්තර්ජාලයේ ‘ටෙලිග්‍රෑම්’ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මෙම නිරුවත් ඡායාරූප යොමුකර තිබූ අතර ඒ සම්බන්ධව විමර්ශනය කළ සී.අයි.ඩී.ය එම වරදට සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ 17 හැවිරිදි සිසුවෙකි. එම සිසුවා පාණදුර, මහවිලදී එසේ අත්අඩංගුවට ගැනිණි.

‘ටෙලිග්‍රෑම්’ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සිදු කරන ලද අපරාධයක් සම්බන්ධයෙන් මෙරටදී රහස් පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පළමු සැකකරු මේ සිසුවා බවද සඳහන්ය.

සැකකාර සිසුවා සතුව තිබුණු ස්මාර්ට් ජංගම දුරකතනයද සී.අයි.ඩී. අත්අඩංගුවට ගැනිණි. විමර්ශනය සිදු කෙරුණේ සී.අයි.ඩී.යේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් කණ්ඩායමක් විසිනි. ඒ පාණදුරේ 23 හැවිරිදි යුවතිය කරන ලද පැමිණිල්ලක ප්‍රතිඵලයක් ලෙසය.

සැකකාර සිසුවා මේ පරිගණක අපරාධය සිදුකර ඇත්තේ ඔහු දන්නා හඳුනන සිසුවියකද නොමඟ යවමිනි. ඇය වෙනත් පාසලක අධ්‍යාපනය ලබන්නීය. මේ සිසුවා ඇගේ වට්ස්ඇප් අංකය ලබාගෙන ඇත්තේ අධ්‍යාපනික කටයුත්තකට බව පවසමිනි. පසුව ඇය මුළාකර ඇගේ ඕපීටී අංකයද ලබාගෙන ඇති මේ සිසුවා ඇගේ නමින් ටෙලිග්‍රෑම් ගිණුමක් සකස් කර නිරුවත් ඡායාරූප වයස විසිතුනේ යුවතියට යවා ඇති බව හෙළි විය. වයස විසිතුනේ තරුණියගේ ඡායාරූපයකට නිරුවත් ඡායාරූපය බද්ධකර සකස්කර එසේ යවා තිබිණි.

අදාළ ටෙලිග්‍රෑම් ගිණුම ඔස්සේ තවත් කීප දෙනෙකු සමඟ අසභ්‍ය ඡායාරූප හුවමාරු වී ඇති අතර එම පුද්ගලයාද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පැවැත්වෙයි.

පණිවිඩය පැමිණෙන සහ දුරකතන අංකය නොපෙන්වන ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍යයට මුවාවී බොහෝදෙනෙක් මෙවැනි පරිගණක අපරාධවල නිරත වුවත් නවීන තාක්ෂණය නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි බව පොලිස් නිලධරයන්ගේ අදහසයි. ලිංගික අතවර කිරීම සහ අසභ්‍ය දර්ශන නිෂ්පාදනය සහ ප්‍රචාරය යන චෝදනා මත සැකකාර සිසුවාට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

හොරණ ප්‍රදේශයේ සරසවියක සිසුවියන් 14 දෙනෙකු දිය නාන දර්ශන ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කළැයි කියන පුද්ගලයකු හොරණ මූලස්ථාන පොලිසියේ නිලධරයන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීම තෙවැනි සිද්ධියයි.

සැකකරු කුලී වැඩවල නිරත අයෙකි.

සිසුවියන් නවාතැන් ගෙන සිටි නිවෙසේ කුලී වැඩකට පැමිණි මේ පුද්ගලයා සිසුවියන්ගේ නාන කාමරයේ සුළං කවුළුවක් අසල ජංගම දුරකතනය තබා ඇති අතර එය දුටු සිසුවියන් නාන කාමරයෙන් පිටතට පැමිණ එය අනෙක් සිසුවියන්ටද පවසා ජංගම දුරකතනය ඔවුන් භාරයට ගෙන බලද්දී එම සිසුවිය දිය නාන දර්ශන එහි පටිගත වී තිබියදී සොයාගෙන ඇත. අදාළ ජංගම දුරකතනය වැඩිදුරටත් පරීක්ෂා කරද්දී සෙසු සිසුවියන්ද නාන කාමරය තුළ රැඳී සිටින දර්ශන එහි පටිගත වී තිබියදී සොයාගෙන තිබේ. අනතුරුව සැකකරු සහ ජංගම දුරකතනය පොලිසියට භාරදී ඇත. එහිදි හෙළිවී ඇත්තේ සැකකරු මීට පෙර අවස්ථා පහකදී විවිධ වැඩ කටයුතු සඳහා අදාළ නිවෙසට පැමිණ ඇති බවයි.

එලෙස පැමිණි අවස්ථාවලදී එම සැකකරු සිසුවියන් දිය නාන දර්ශන ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර ඇති බව හෙළිවී ඇති අතර එම දර්ශන සැකකරු ඒ දිනවලම මකා දමා ඇති බවද හෙළි වී තිබේ.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී උදය කුමාරගේ අධීක්ෂණයෙන් හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චිත්තක පනාවල සැරයන් 45477 ලලිත්, කොස්තාපල්වරුන් වන 103837 සිල්වා, 89919 දුෂාන්ත යන නිලධ­ාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division