Home » තාත්තා පිටරට බාප්පා ඇයි තැළුවේ මට

තාත්තා පිටරට බාප්පා ඇයි තැළුවේ මට

by thanushika
November 16, 2024 12:30 am 0 comment
චමින්ද ජයලත් - කෑගල්ල විශේෂ

වැටහිර පොල්ලකින් 13 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකුගේ ගෙලට පහර දී තැළීම් තුවාල සිදු කර ඇතැයි කියන නරුම සුළු පියෙක් ගැන පසුගිය දිනෙක කෑගල්ල මූලස්ථාන පොලිසියේ නිලධරයන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචිව සිටින 43 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වෘත්තියෙන් රියැදුරෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසියේ නිලධරයෙකු සඳහන් කළේ කෑගල්ල පොලිස් වසමේ හිරිවඩුන්න ප්‍රදේශයේ වලව්වක සිටි තරුණියක් තරුණයෙක් සමඟ විවාහ වී 2000 දී නව යුවළ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවය. මෙම යුවළට සිංගප්පූරුවේදී 2002 දී ගැහැනු දරුවෙක් ද 2005 වර්ෂයේදී පිරිමි දරුවෙක් ද උපත ලබා තිබේ. පසුව දරු දෙදෙනාගේ පියා සිංගප්පූරුවේ දී බිරිය අත්හැර දමා වෙනත් කාන්තාවක් පසුපස යාම හේතුවෙන් මව දරු දෙදෙනා රැගෙන 2007 වර්ෂයේදී යළි මෙරටට පැමිණ හිරිවඩුන්න නිෙවසේ පදිංචිව සිට ඇත.

පසුව දරු දෙදෙනාගේ තරුණ මව වාහනයක් මිලට ගෙන ඇති අතර එහි රථයේ සේවය කිරීමට රියැදුරෙකු ඇය සොයා තිබේ. පසුව 2008 වර්ෂයේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටින එවකට වයස අවුරුදු 27ක්වූ තරුණයෙක් රියැදුරු රැකියාවකට නිෙවසට ගෙන්වා ගත් මේ තරුණ මව ඔහුට වෙනම කාමරයක් ද දී රියැදුරු රැකියාව සිදු කිරීමට අවස්ථාව සලසා දී ඇත.

පසුව තරුණයා රියැදුරු රැකියාව සිදු කරමින් සිටින අවස්ථාවේ දී මේ තරුණ මව සමඟ අනියම් සබඳතාවක් ගොඩනඟාගෙන ඇත. ඇයට අයත් වතුපිටි ද ඔහුගේ මෙන් රැකබලා ගෙන සිට ඇත. පසුව බිරියගේ අනියම් සම්බන්ධතාව දැනගත් සිංගප්පූරුවේ පදිංචිව සිටින විවාහක සැමියා ඇගෙන් නීත්‍යනුකූලව වෙන්වීමට දික්කසාදය අවස්ථා ගණනාවක දී ඉල්ලා ඇති අතර ඇය දික්කසාදය දී නොමැත.

පසුව රියැදුරුට දාව කාන්තාවට 2010 වර්ෂයේ ගැහැනු දරුවෙක් ද 2011 වර්ෂයේ පිරිමි දරුවෙක් ද උපත ලබා තිබේ. මෙම දරු දෙදෙනාට රියැදුරුගේ වාසගම නොව සිංගප්පූරුවේ පදිංචිව සිටින විවාහක සැමියාගේ වාසගම මව විසින් තබා තිබේ. සිංගප්පූරුවේ පදිංචිව සිටින පුද්ගලයා බිරියට සහ තම දරු දෙදෙනාට කෑමටබීමට ඇඳුම් පැලඳුම් ගැනීමට දරු දෙදෙනාගේ අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත් මිලට ගැනීමට මසකට අවශ්‍ය මුදල් කාන්තාවගේ බැංකු ගිණුමට එවා තිබිණි. එම මුදල්වලින් සහ ස්ථීර තැන්පතුවකින් ලැබෙන මුදල්වලින් කාන්තාව ඇගේ අනියම් සැමියා සහ දරු සිවුදෙනා ජීවත් වූහ.

‘රියැදුරු ඇනියම් සැමියා’ කලක් ගත වෙද්දී මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති අතර අනියම් බිරියගෙන් ඔහු මුදල් ඉල්ලාගෙන හිතවතුන්ට පවා මත්පැන්, මත්ද්‍රව්‍ය මිලදී ගෙන පානය කරමින් සිට ඇත.

මෙම රියැදුරු අධ්‍යාපනය ලබා නොමැති අතර අනියම් බිරියත්, දරුවන් හතරදෙනාත් බිය ගන්වා ඉඩම් දේපොළ ඔහුගේ මෙන් රැක බලාගෙන ද සිටින්නේ කලක සිටය.

මීට දින කිහිපයකට ඉහත දී 13 හැවිරිදි පිරිමි දරුවා මවට සහ සුළු පියාට නොදන්වා අසල්වැසි නි‍ෙවසක දරුවන් සමඟ සෙල්ලම් කිරීමට ගොස් තිබේ. සෙල්ලම් කර ආපසු නිෙවසට පැමිණ ඇති 13 හැවිරිදි පිරිමි දරුවාට නොකියා අසල්වැසි නිෙවසට සෙල්ලම් කිරීමට ගියේ මන්දැයි විමසමින් මව ඉදිරියේදීම වැටහිර පොල්ලකින් සුළු පියා ගෙලට සහ අතකට පහර දී තිබේ. පසුව 13 හැවිරිදි දරුවා සිහිසුන්ව බිමට වැටී තිබේ. පසුව සුළු පියා දරුවා දෙස නොබලා සිනාසෙමින් නිෙවසින් පිටව ගොස් ඇත.

අනතුරුව දරුවාගේ මව පළමු විවාහයේ 19 හැවිරිදි පිරිමි දරුවා සමඟ ත්‍රිරෝද රථයකින් දරුවා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. කෑගල්ල මහ රෝහලේ දින ගණනාවක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ පිරිමි දරුවා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව බාහිර ඖෂධ ද මිලට ගෙන පානය කර සුව කරගන්නා ලෙස දන්වා නිෙවස වෙත යවා තිබේ.

පසුව 13 හැවිරිදි පිරිමි දරුවාගේ 53 හැවිරිදි මව කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු පසුගියදා කෑගල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම ඇතුළු නිලධාරීහු විමර්ශන කටයුතු සිදු කරති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division