Home » සොරකම් කළ රන්වලින් අනියම් බිරියක් සැරසූ ‘ස්ටේස්පුර ඩුබායි’ කොටුවූ හැටි

සොරකම් කළ රන්වලින් අනියම් බිරියක් සැරසූ ‘ස්ටේස්පුර ඩුබායි’ කොටුවූ හැටි

by thanushika
November 16, 2024 12:30 am 0 comment

ඔහු ව්‍යාපාරිකයෙකි. වෘත්තිය ලෙස කළේ මැණික් ව්‍යාපාරයයි. මැණික් ගල් ඔබ්බවා අලංකාර ලෙස නිම වූ රන් මාල, පෙන්්ඩන්, මුදු, කරාබු ආදිය අලෙවි කිරීම මේ ව්‍යාපාරිකයා විසින් සිදු කළේය. හෙතෙම පදිංචිව සිටියේ මීතොටමුල්ල ප්‍රදේශයේ දෙමහල් නි‍ෙවසකය. මේ ව්‍යාපාරිකයා විසින් නිර්මාණය කරන ලද වටිනා රන් ආභරණ මෙන්ම සිය බිරියගේ රන් භාණ්ඩ ද නි‍ෙවසේ තබා නොගෙන බැංකුවක ආරක්ෂිත සේප්පුවක තැන්පත් කර තැබුවේ වැඩි ආරක්ෂාව පිණිසය.

ව්‍යාපාරිකයාට සහ බිරියට පසුගිය මාසයේ 23 වැනි දින පැවැත්වීමට නියමිත ‘සාදයක්’ සඳහා ඇරියුම් ලැබී තිබුණේ පසුගිය දිනෙකය.

ඒ අනුව පසුගිය 20 වැනිදා බැංකුව වෙත ගිය සැමියා බිරියට පැලඳගෙන යාමට අවශ්‍ය කරන රන් භාණ්ඩවලින් කොටසක් නි‍ෙවසට රැගෙන ආවේය. බිරිය එම භාණ්ඩ බහා තිබූ වීදුරු භාජනයෙන් ඒවා එකින්එක ඉවතට ගෙන කැඩපත ඉදිරිපිට හිඳ හැඩ බැලුවාය. පවුම් 44ක් බරැති ‘කර මාලය’ පලඳමින් ද, වළලු, මුදු ආදිය පලඳමින් ද ඕ හැඩ බැලුවාය.

ඊට පසු දිනයේ සැමියාත් බිරියත් කොටුවේ මහ වීදියට ගියේ බිරියට අවශ්‍ය සාරියක් සහ පාවහන්, සුවඳ විලවුන් ආදිය මිලදී ගැනීම පිණිසය. එම කටයුතුවලින් පසුව දෙදෙනාම නිෙවසට පැමිණියේ සවස් යාමයේය.

ඔවුන් සාමාන්‍යයෙන් පදිංචිව සිටින්නේ පහත මාලයේය. නිදන කාමරය ඇත්තේ ඉහළ මාලයේය. නිෙවසට පැමිණීමෙන් පසු බිරිය රැගෙන ආ ඇඳුම් පැලඳුම් ආදිය ද ඔසවාගෙන නිදන කාමරය වෙත යාමට උඩුමහලට ගොඩවූවාය. දොර විවෘත කිරීමේදී එය ඇතුළතින් අගුළු දමා ඇති බවක් ඇයට ඒත්තු ගියාය.

“අපේ මහත්තයා… මෙහෙ එන්නකෝ… හරි වැඩක්නේ වෙලා තියෙන්නේ… මේ කාමරේ දොර අරින්න බැහැනේ… අපි ඇතුළෙන් ලොක් කළෙත් නැහැනේ…” බිරියගේ කෑගැසීම ඇසී සැමියා ද උඩු මහලට ආවේය.

ඔහු ද දොර විවෘත කිරීමට උත්සාහ කළද එය විවෘත කළ නොහැකි විය. මේ අවස්ථාවේ සැමියා විසින් තම හිතවතෙකුද කැඳවාගෙන ඉතා අසීරුවෙන් දොර විවෘත කර බලන විට අල්මාරියේ රන් භාණ්ඩ දමා තිබූ අත්බෑගයක් ඇඳ උඩ තිබෙනු දැක එය විවෘත කර බැලීමේදී එහි කිසිවක් නොමැති බව දැකගත හැකි විය.

අල්මාරිය විවෘත කර බැලීමේදී රන් භාණ්ඩ ඇතුළු වටිනා බඩු අතුරුදන්ව ඇති බව දුටු සැමියා වහා වැල්ලම්පිටිය පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් කළේය.

සිය නිෙවසේ උඩුමහලේ නිදන කාමරයේ අල්මාරියක් තුළ තිබූ දියමන්ති ඇල්ලු ග්‍රෑම් 64ක රන් මාලයක්, ග්‍රෑම් 42ක රන් කාසියක් සහිත වළල්ලක් ප්ලැටිනම් මුද්දක්, මැණික් ඔබ්බන ලද පෙන්ඩන්, කරාබු එකක්, රුපියල් හතළිස් දහසක වටිනාකමින් යුත් අත්ඔරලෝසු දෙකක් ආදී රුපියල් ලක්ෂ 82ක වටිනාකමින් යුත් භාණ්ඩ ද බිරියගේ අත්බෑගය තුළ තිබු රුපියල් 9900ක මුදලක් ද, ඩොලර් 100ක් ද මෙලෙස කිසිවකු විසින් සොරකම් කරගෙන ගොස් තිබූ බව පැමිණිල්ලේ සඳහන් විය.

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්තගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු ශාමික ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව පොලිසිය විමර්ශන ආරම්භ කළේය. උඩුමහලේ කොරිඩෝව ආසන්නයේ ඇති දොරක පහත කොටසක් කඩා කාමරයට කිසිවකු ඇතුළු වී ඇති බව පොලිසියට එහිදී දැකගත හැකි විය.

ඇඟිලි සලකුණු නිලධාරින් යොදවා අල්මාරියේ තිබූ ඇඟිලි සලකුණු ලබාගෙන ඒවා පරීක්ෂා කිරිමට යොමු කර තිබුණි. ඒ අනුව එම සලකුණු අපරාධකරුවන්ගේ ලැයිස්තු සමඟ සසඳා බැලීමේදී එක් පුද්ගලයෙකුගේ සලකුණ සමඟ සැසඳිණි. එම අපරාධකරුගේ අංකය වැල්ලම්පිටිය පොලිසිය වෙත එවා තිබුණි. ඒ අනුව සැකකරු නියම ලෙස හඳුනාගත් පොලීසිය ඔහු කොටුකර ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කළේය.

මේ අතර කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මඟින් වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර වැඩිදුර සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී මෙම රන් ආභරණ සොරකම පිළිබඳව ද අනාවරණය විය. ඒ අනුව ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඔහු බවට හඳුනාගැනීමෙන් පසු වැල්ලම්පිටිය පොලිසිය ද සම්බන්ධ වී සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මොහු “ස්ටේස්පුර ඩුබායි” යන නමින් හඳුන්වනු ලබන කොල්ලකරුවෙක් බව හෙළි විය. ඔහු මහා පරිමාණ කොල්ලකෑම්වල යෙදෙන අයෙකු බවට තොරතුරු අනාවරණය වන්නේ සිදු කරන ලද විමර්ශනවලදීය. මුදල් කොල්ලකමින් තම නිෙවස අවට වැසියන් හට ද මුදල් හා විවිධ උදවු උපකාර කරමින් ඔවුන්ගේද රැකවරණය මැද මොහු සුපිරි ජීවිතයක් ගත කරමින් සිට ඇති බව හෙළි වන්නේ ඔය අතරතුරදීය.

මෙම පුද්ගලයාගේ නීත්‍යනුකූල බිරියට අමතරව අනියම් බිරියක් ද සිටින අතර ඔවුන් දෙදෙනාම එක නිෙවසේ එකට පවුල් කති. මරදාන, පෑලියගොඩ, කෙසෙල්වත්ත ඇතුළු පොලිසි කිහිපයකම මොහුට විරුද්ධව කොල්ලකෑම් පිළිබඳව පැමිණිලි ලැබී ඇත.

ඔහු සොර ගන්නා ලද රන් භාණ්ඩ නිෙවසට ගෙනැවිත් ඇත්තේ අපූරු ක්‍රමයකටය. සමිට්පුර තම මිතුරෙකුගේ නිෙවසක් වෙත බිරියන් දෙදෙනාම ගෙන්වාගෙන තිබේ. අනතුරුව දෙදෙනාගේ කන්වලට දෑත්වලට ඇඟිලිවලට ගෙලට ආදී වශයෙන් රන් භාණ්ඩ පලඳවා තිබේ. පසුව ඔවුන් දෙදෙනාත් සමඟ ස්ටේස්පුර නිවස වෙත පැමිණ තිබේ.

සැකකරු අයිස් සහ හෙරොයින් යන දෙවර්ගයම පානය කරන අයෙකු වන අතර නිතර මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා මීතොටමුල්ල ප්‍රදේශයේ ස්ථානයක් කරා යාමට පුරුදුව සිටියේය. අසූ දෙලක්ෂයේ රන් භාණ්ඩ සොරකමට ලක් වූ නිෙවසද පිහිටා ඇත්තේ ද එම මාර්ගයට යාබදවය. සිද්ධිය වූ දිනයේ ඔහු එම දෙමහල් නිෙවස පසුකරමින් යමින් සිටියදී නිෙවසේ කිසිවෙකු හෝ පෙනෙන්නට නොමැති බව දැක ඇත. ක්ෂණිකවම ‘සොර සිතිවිල්ලක්’ පහළ වූ මෙම සැකකරු තාප්පයෙන් නිෙවසට පැන පඩිපෙළ දිගේ උඩුමහලට නැඟ කොරිඩෝව දිගේ ගොස් දොරක පහත කොටස කඩා කාමරයට ඇතුළු වූ බව හෙළි කර තිබේ.

සැකකරු සමඟ බිරියන් දෙදෙනාද පොලිසියට කැඳවා ප්‍රශ්න කර තිබේ. අනියම් බිරියගේ නමින් රන් බඩු තොගයක් උකස් කළ රිසිට් පත් සොයා ගැනීමෙන් පසු එම භාණ්ඩ ද සොයා ගෙන තිබේ. මෙම රන් ආභරණ සොරකම් කරන ලද ඒවා කියා තමා දන්නේ නැති බව අනියම් බිරිය පවසා ඇත. සොරා ගන්නා ලද මුදල් සැකකරු විසින් මත්ද්‍රව්‍ය සඳහා වැය කර තිබුණි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්තගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු ශාමික, කොස්තාපල්වරුන් වන (73326) රත්නායක, (93874) අනුෂ්ක, (93881) ලහිරු, (103413) සඳරුවන් යන නිලධාරීහු විමර්ශන සඳහා සහභාගි වූහ.

මුල්ලේරියාව සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division