ශාක අතර සන්නිවේදනය සිදුවන ආකාර හා ශාක මුල් හරහා පස ඇතුළතින් ඇතිවෙන සම්බන්ධතාව ගැන ලියැවුණු වන පෙතක සැඟවුණු අන්දරය කෘතියේ මුල් ලේඛකයා වන්නේ පීටර් වොල්ලේබන් ය. ඔහු වෘත්තියෙන් වගා පාලකයෙකි. පීටර් රැකියාව කරන්නේත්, ජීවත් වන්නේත් වනය ඇතුළත වීම නිසා ඔහුගේ පර්යේෂණ දියත් වූයේ ද, ඔහු කැමැති විෂය පරාසය වූයේ ද ශාක සන්නිවේදනය පිළිබඳවයි. මේ අපූර්ව ලේඛකයාගේ The Hidden Life of Trees නම් නිර්ප්රබන්ධිත කෘතිය ඒකභාෂික පාඨකයාට රස නුසුන් නොකොට පරිවර්තනය කරන්නේ වෛද්‍ය මංජුල කල්දේරා ය. පරිසරයේ අසීමිත සන්නිවේදන අවකාශ පිළිබඳ බොහෝ විස්මිත තොරතුරු ඇතුළත් මේ කෘතිය අබිරහස් ලොවක තතු පාඨක ප්‍රජාව වෙත ගෙන එයි. මේ, මෙවන් අපූර්ව කෘතියක් සිංහල පාඨකයා වෙත තිළිණ කිරීමට බලපෑ හේතු සාධක විමසමින් වෛද්‍ය මංජුල කල්දේරා සමඟ කළ කෙටි සංලාපයෙකි.
වනපෙතක සැඟවුණු අන්දරය මෑත කාලයේ මා කියැවූ කෘති අතර මා මෝහනය කිරීමට සමත් වූ කෘතියක්. ප්‍රබන්ධ නොවන මෙවැනි විද්‍යාත්මක පසුබිමක් සහිත කෘතිවලට ලංකාවේ පාඨකයන්ගේ කැමැත්තක් තියෙනව ද?
ඔව්. පාඨකයන් සැලකිය යුතු පිරිසක් මේ ආකාරයේ කෘති කියවන්නට ප්‍රිය කරනවා. ඇත්ත, අපේ රටේ ප්‍රබන්ධ නිර්මාණ රස විඳින්නට පාඨකයන් බොහෝ සේ හුරු වී තියෙනවා. ඒක අපේ රටට විතරක් සීමා වූ තත්ත්වයක් නොවේ. ගැටලුව තියෙන්නෙ ප්‍රබන්ධ කෘති කියවන්නට හුරු වූ පාඨකයන්ට කියවන්නට ප්‍රිය කරන අන්දමේ ප්‍රබන්ධ නොවන විද්‍යාත්මක කරුණු අන්තර්ගත පොත් අපේ රටේ සුලබ නොවීමයි. සබුද්ධික කියැවීමකට නැඹුරු වූ බොහෝ දෙනෙක් මේ ආකාරයේ පොත්වලට ඉමහත් ප්‍රියතාවක් දක්වනවා.
ඔබ බොහෝවිට මෙදින විවිධ ප්‍රවර්ග පරිවර්තනය සඳහා යොමු වෙනවා. මනුසත්වග, සේපියන්ස් අපට අමතක කරන්න බැහැ. කුමක්ද ඒ තෝරා ගැනීම්වලට හේතුව?
කුඩා කාලයේ සිටම පුළුල් පරාසයක පොතපත කියවන්නට හුරුවීම මෙහිදී මූලිකයි. ඉංග්‍රීසියෙන් කියවන්නට නැඹුරු වීම එයට තවත් රුකුලක් වුණා. මම පළමුව කෙටිකතා සංග්‍රහයක් හා චරිත කතා දෙකක් සිංහලයට පරිවර්තනය කළා. ඊළඟට සුභාවි ප්‍රකාශක මගේ අධ්‍යාපන හා රැකියා පසුබිම නිසා පරිවර්තනය සඳහා මට බාර දුන්නා යුවාල් නෝවා හරාරිගේ Sapiens කෘතිය. එය මෙරට සබුද්ධික පාඨක ප්‍රජාව අතර ඉමහත් සාකච්ඡාවට ලක්වුණා. එහි සාර්ථකත්වය මත ප්‍රකාශකයා වගේම, හිතමිතුරන් වගේම මට සමීප වූ පාඨකයන් කිහිප දෙනෙකුත් මෙවන් කෘති රැසක්ම පරිවර්තනයට යෝජනා කළා. උදාහරණයක් විදියට Humankind පොත චූලානන්ද සමරනායක එංගලන්තයේ සිටිනා වෛද්‍ය අසේල ෆර්ඩිනැන්ඩස් හරහා ලබා දුන්නේ මුල් කෘතිය නිකුත් වී මාස කිහිපයක් ගතවන්නටත් පෙරයි.
සේපියන්ස් තහනම් වුණා. කුමක්ද සිදු වුණේ?
ඒක බොහොම අවාසනාවන්ත දෙයක්. අපි සේපියන්ස් ප්‍රකාශයට පත් කළේ පළමුවෙන් ඒ සඳහා මුල් කතුවරයාගේ නියෝජිතයාගෙන් පරිවර්තන අයිතිය ලබාගෙන නොවේ. එයට අපේ පාඨකයන් අතර කොයි ආකාරයේ පිළිගැනීමක් ලැබෙයි ද කියනා සැකය අපට තිබුණා. කෙසේ නමුත් පරිවර්තන අයිතිය සඳහා ඔවුන් සමඟ ගනුදෙනු කරමින් සිටින අතරේ වෙනත් ප්‍රකාශක ආයතනයක් එහි අයිතිය ඔවුන්ගෙන් ලබා ගත්තා. ඒ අනුව මා විසින් පරිවර්තනය කළ කෘතිය නැවත පළ කිරීමට හැකි වුණේ නෑ.
වනපෙතක සැඟවුණු අන්දරයෙහි මුල් කතුවරයා වගා පාලකයෙක්. සොබාදහමේ නියමයන් විද්‍යාත්මකව පහදන්නට හැකි වූයේ ඔහු එහි ම නිරත වීම නිසා ලැබුණු අභ්‍යාසය විය හැකි ද?
අනිවාර්යයෙන්ම. ඔහුගේ විශේෂත්වය තමයි ඔහු රැකියාව කරන්නේත්, ජීවත් වන්නේත් වනය ඇතුළත වීම. ඇත්තෙන්ම ඔහු ඒ වනපෙතේම කොටසක්. එයට අමතරව ලොව පුරා හැමදෙසින්ම වනවිද්‍යා පර්යේෂණ සඳහා පර්යේෂකයන් ඔහුගේ වනයට වගේම ඔහු කළමනාකරණය කරන වන වගාවට ද පැමිණෙනවා. එනිසා ඔහු නූතන වන පර්යේෂණ පිළිබඳ දැනුමෙන් ද සන්නද්ධයි. එයට අමතරව ඔහු වනය හා සතුන් ගැන පොත් රැසක් ලියා තිබෙනවා. ඒ වගේම ලොව පුරා සඟරා හා පුවත්පත්වලට නිතිපතා අති විශාල ප්‍රමාණයක් ලිපි සපයනවා. ඒ අනුව සාමාන්‍ය පාඨකයන්ට විද්‍යාත්මක කරුණු සරලව, රසවත්ව ලිවීම ඔහුගේ ඇඟිලි තුඩු අග තියෙන දෙයක්. මේ තමයි ඔහුගේ සාර්ථකත්වයේ පසුබිම.
මේ කෘතිය පරිවර්තනය කිරීම ලෙහෙසි නැහැ. තාක්ෂණික වදන් වෙනුවට ඔබ භාවිත සිංහල වදන් පොත කියවද්දි අපට අමුත්තක් දැනවූයේ නැහැ. ඒ සමීප බව ඇති කරගන්න ඔබ කුමක්ද කළේ?
මගේ පියා සිංහල සාහිත්‍යය හා තද ළබැදියාවක් තිබූ කෙනෙක්. ඔහු කවියට බොහෝ සේ ආදරය කළා. ඒ වගේම මම ජීවත් වුණේ හොරණ, වැලිකැටැල්ල ශ්‍රී පුණ්‍යක්ෂේත්‍රාරාමය පන්සල අසලමයි. මේ පසුබිම නිසා කුඩා කාලයේ පටන් පුරාතන ගද්‍ය හා පද්‍ය සහිත්‍යය මට සමීප වුණා. ඒ වගේම මම නිරන්තරයෙන් , නැවත නැවතත් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘති, විශේෂයෙන්ම එතුමාගේ විද්‍යා කෘති, සත්ත්ව සන්තතිය, විද්‍යා විනෝද කතා පොත් මාලාව කියවන්නෙක්. ඒ සරල සුගම බසට මම හරි කැමැතියි. ඒ වගේම එස්. එම්. බන්දුසීල මහතා පරිවර්තනය කරපු නිරුවත් වානරයා ඇතුළු නිර්ප්‍රබන්ධ කෘති බොහොමයක් මගේ ප්‍රියතම කෘති ගොන්නට අයිතියි. මේ වගේ පුළුල් පරාසයක කියවීම නිසා මගේ වාග්කෝෂය දියුණු වුණා වගේම ඒ ඒ විද්‍යාත්මක පදවල අර්ථය රසවත්ව සිංහලයට නැඟීම ගැන හැකියාවකුත් ලැබෙන්න ඇති.
මේ කෘතියේ පරිවර්තනය ගැන කියනවා නම් එහි එන බොහෝ පාරිභාෂික වදන්වලට අදාළ සිංහල වදන් අපේ උද්භිද විද්‍යා පොත්වල තියෙනවා. ඒ වගේම හරිශ්චන්ද්‍ර විජේතුංග වගේ විද්වතුන් අපට ඉතාම ආකර්ෂණීය වදන් හඳුන්වා දී තියෙනවා. ප්රශ්නය තිබුණෙ සාමාන්‍ය, පොදු පාඨකයන්ට කියැවීම සඳහා ඇති පොත්වල ඒවා ඇතුළත් වීම සීමාසහිත වීමයි. මම උසස්පෙළදී ඉතාම ආසාවෙන් හදාරපු විෂයයක් තමයි උද්භිද විද්‍යාව. ඒ කාලයේ ඉගෙන ගත් පාරිභාෂික වදන් තවමත් මතකයේ තිබීමත් මට වාසියක් වුණා. අනෙක් කාරණය තමයි මම මේ පොත් පරිවර්තනය කරද්දී ඉලක්ක පාඨකයෙක් ගැන හිතලා තමයි කළේ. මම ඉලක්ක කරගත්තේ අ.පො. ස. සා. පෙළ ලියන මට්ටමේ පාඨකයෙක්. එතකොට සමහර පාරිභාෂික වදන් ඒ විදියටම තියන්න පුළුවන් වුණා. ඊට වඩා සංකීර්ණ මට්ටමේ පදවලට ඒ හා සමාන සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන පද යොදා ගත්තා. ඒ උපක්‍රමය සාර්ථක වෙන්න ඇති.
ඔබ මේ කෘතිය ඔස්සේ අප මනසේ ඇතිකරන ආලෝක ධාරාව ගැන ඇත්තටම කෘතඥ වෙනවා. පොදුවේ ඔබ හිතනවා ද, කෘතියක් කියැවීමෙන් පසු පාඨකයාට එවැනි උත්තේජනයක් ඇතිවිය යුතුයි කියලා.?
එසේ විය යුතුයි. අප නොදන්නා ඉසව්වකට ගියාක් මෙන් හැඟීමක් ඇති වෙන්න ඕන. මින් පෙර අත්නොවිඳි ආකාරයේ මනරම් අත්දැකීමක් එක්කම අපේ අවබෝධය, දැනුම වඩා තීව්ර විය යුතු වෙනවා. නමුත් මෙවන් උත්තේජනයක්, පුබුදුවක් ලබන්නට නම් පාඨකයාගේ පැත්තෙන් ද ඒ සඳහා සූදානමක් තිබිය යුතු වෙනවා. වයසත් එක්ක අප තුළ කියැවීම ද පරිණාමයකට ලක්විය යුතු වෙනවා. සරල රසාස්වාදයක් ලබාදෙන කතන්දරවල ඉඳලා ක්‍රමයෙන් ඉහළ මට්ටමින් සිතීමකට ඔබ පොලඹවන ප්‍රබන්ධ වගේම ප්‍රබන්ධ නොවන පොත් ද කියවා ඇත්නම්, ඕනෑම විෂයක් ගැන ලියැවුණු පොතකින් ඒ බලාපොරොත්තු වන හැඟීම, තත්ත්වය ලබා ගැනීම පහසු වෙනවා.
ප්‍රබන්ධ නොවන සාහිත්‍ය කෘතියක රේඛීය කියැවීම පවත්වා ගැනීම අසීරුයි. නමුත් ඔබ එය මේ කෘතිය ඔස්සේ කරනවා. කුමක්ද ඔබේ පරිවර්තන ක්‍රමවේදය?
ප්‍රබන්ධ නොවන කෘතියක් වුවත් කතන්දරයක් මෙන් ගලායෑමක් තිබෙනවා නම් පුළුල් පාඨක පිරිසකට එය රසවිඳිය හැකි වෙනවා. ඒ ගෞරවය හිමි විය යුත්තේ මෙහි මුල් කතුවරයා වන පීටර් වොල්ලේබන්ටයි. ඔහු ඉතා මනරම් ලෙස මෙහි පඨනීය ස්වභාවය (readability) රැකගෙන තිබෙනවා. ප්‍රබන්ධ නොවන කෘති පරිවර්තනය කරන්නට බලාපොරොත්තු වන යමකු වේ නම් ඒ ස්වභාවය ඇති පොත් තෝරා ගැනීම වැදගත් වෙනවා. ඉන් එහා පරිවර්තකයා ලෙස මා උපක්‍රම කිහිපයක් අනුගමනය කළා.
ප්‍රබන්ධ කෘත්‍රිම කියවන්නට හුරු වූ අපේ පාඨකයන්ට මේ වගේ පොතක එන දිගු වාක්‍ය වටහා ගන්නට ඇතැම්විට එකම වාක්‍ය කිහිප වාරයක් කියවන්නට වෙනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවෙම දිග වාක්‍ය, වාක්‍ය දෙකකට හෝ තුනකට කඩා පරිවර්තනය කළා. අපට නුහුරු සතුන් හා ගස්වැල්වල නම් හා ගැඹුරු වදන් හමු වූ විට, කෘතියේ ගලා යෑමට හානියක් නොවන ලෙස හැකි තරමින් පාදක සටහන් යෙදුවා. අපේ කටවහරේ ඇති වචන පුළුවන් තරම් යොදා ගත්තා.
මේ රේඛීය ලක්ෂණය, පඨනීය ස්වභාවය ප්‍රබන්ධ නොවන විද්‍යාත්මක කරුණු අන්තර්ගත, සාමාන්‍ය පාඨකයන්ට ලියැවෙන පොතකට ඉතාම වැදගත්. පසුගිය කාලය ඇතුළත සිංහලයට පරිවර්තනය වූ ප්‍රබන්ධ නොවන කෘති පාඨකයන් අතර ජනප්‍රිය නොවීමට පරිවර්තකයන් මේ කරුණු ගැන නොසලකා හැරීම මුල්වුණු බව මගේ අදහසයි.
ශාක සන්නිවේදනයේ ක්‍රම සහ ශාකවල මුල් පද්ධතියේ සංකීර්ණ සන්නිවේදනය මා පුදුමයට පත් කළා. මේවා ගැන දැනුම්වත් සමාජයක් සිටිනවා කියලා ඔබ විශ්වාස කරනව ද?
ශාක අතර සන්නිවේදනය සිදුවන ආකාර හා පසේ ශාක අතර මුල් හරහා සිදුවන සම්බන්ධතාව ගැන මමත් ගැඹුරින් දැන ගත්තේ මේ පොත කියැවීමෙන්. මා ඇතුළු ජීව විද්‍යාව විෂයයක් ලෙස හැදෑරූ අපේ රටේ පාඨකයන් බොහොමයක් දෙනාට මේවා ඇති බව දැන සිටියත්, ඒවා ක්‍රියාකාරී වන ආකාරය ගැන නිසි අවබෝධයක් නැහැ. ජීව විද්‍යාත්මක පසුබිමක් නැති ඇතැම් දෙනා මේවා හිතලු ලෙස බැහැර කරන්නට ඉඩ තියෙනවා. නමුත් මේ සියල්ල විද්‍යාත්මක පර්යේෂණ හා ගවේෂණ මඟින් තහවුරු කළ දේ බව කිවයුතුයි.
තුරුලතා කියන්නෙත් අප වැනිම සමාජශීලී ජීවීන් කොට්ඨාසයක් බවයි මේ කෘතියේ නිගමනය. මේ පරිවර්තනය කිරීමේදී මේ හා ආශ්රිත මූලාශ්‍ර අධ්‍යයනයක් ඔබ කළා ද? ඒ මූලාශ්‍ර මොනවාද?
ඔව්. පීටර් වොල්ලේබන් ලියූ පොත්වලින් අන්තර්ජාලයෙන් සොයාගත හැකි වූ සියල්ලම පාහේ කියවූවා. මේ කෘතියේ හමුවන අපට නුහුරු ගස්වැල් හා සතුන් පිළිබඳ තොරතුරු අන්තර්ජාලයෙන් සොයා කියෙව්වා. ඊට පසු තමා පරිවර්තනය පටන් ගත්තේ. පරිවර්තනයේදී හමු වූ පුද්ගල හා ස්ථාන නාම උච්චාරණය කරන ආකාරය අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයකින්ම සොයා බැලුවා. විශේෂයෙන්ම මහාචාර්ය සුසාන් සිමාර්ඩ්ගේ දිලීර ජාලයක් හරහා ශාක සම්බන්ධතාව පවත්වා ගන්නා ආකාරය මගේ කුතූහලය ඇවිළු මාතෘකාවක් වුණා. ඒ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකා හා තොරතුරු අන්තර්ජාලයෙන් සොයා ගත්තා. ඇය ලියූ Finding the mother tree ඉතාම රසවත් කෘතියක්.
සුමුදු චතුරාණී ජයවර්ධන