ධනවාදයට එරෙහිව සමාජවාදයේ නැඟී සිටීම සැමවිටම පාහේ අරගලයකි. එය කැපවීමකි. නිකුත්වී ඇති ප්‍රතිඵලය එවන් මහා නැඟී සිටීමකි. ජයග්‍රහණය පිළිබඳව ප්‍රීති ප්‍රමෝදය ජනතා අයිතියකි. සාමකාමී අයුරෙන් මේ රටේ ජනයා එය වින්දනය කරනු ඇත. ඒ සමඟම මේ ජයග්‍රහණය කියවා ගත යුත්තේ කාරණා දෙකක් නිසාය. ලැබූ ජය සහතික වන්නේ එම කියැවීම සමඟය. කුමක් නිසා මේ තත්ත්වය ඇති වූයේ ද, යන්න කියවා ගත් කල, එහි ප්‍රතිඵලය දිගින් දිගටම ක්‍රියාත්මක භාවයේ තබා ගත හැකිය. එය ජයග්‍රහණයේ ඉදිරි ක්‍රියාමාර්ගය සඳහා වැදගත්ය.
මේ ඓතිහාසික සංසිද්ධිය ඉබේ පහළ වූවක් නොවේ. නොයෙක් සාධක වලපල්ලට යවා ඒ සඳහා මාවත විවර විය. මාලිමාව යනු ඒ ගමන සදහා නායකත්වය දුන් මානව පෙරමුණය. මේ සා සුවිසල් ජයග්‍රහණයක කතාවේ මාලිමා සාධකය ද මේ රටේ අලුත් පෙරළියකි. මාලිමාව හෙවත් ජාතික ජන බලවේගය සිදු කළ එම අරගලය ද පියවරෙන් පියවර විග්‍රහ කර ගත යුත්තේය.
ධනවාදය පූර්ණ ලෙස මේ රටේ ස්ථාපනය වන්නේ 1977 මහමැතිවරණයෙන් එජාපය ලබාගත් ජය සමඟය. ආර්ථිකයේ විවෘතභාවය සමඟ, නව ලිබරල්වාදය දේශපාලන දර්ශනයක් ලෙස මේ රටේ ස්ථාපනය වන්නේය. මේ සංසිද්ධිය සමකාලීනව සිනමා රූපයෙන් දකින ලද්දේ ආචාර්ය පතිරාජය. බඹරු ඇවිත් සිනමා පටයේදී, හෙතෙම මේ වෙනස හඳුන්වා දෙන ලද්දේ ‘වැල්ලට බඹරු ඇවිල්ලා’ ලෙසය. නිකුත්වූ මහමැතිවරණ ප්‍රතිඵලය වනාහි මේ ගමන ආපස්සට හරවන ලද්දකි. බඹරය දැන් කැරකී ඇත්තේ නව ජනතා සිතුම් පැතුම් සමඟ දේශයේ අලුත් ගමන සඳහා ය. ඒ අර්ථයෙන් ගත් කල නව ලිබරල්වාදී වැල්ල සඳහා අලුත් බඹර කැලක් දැන් පැමිණ තිබේ.
නොවැම්බර් දහතුන් වෙනිදාව, එක් යුගයක අරගලයේ සන්ධිස්ථානයකි. රෝහණ විජේවීර ප්‍රමුඛ ජවිපෙ, ලෙයින් මර්දනය කළ පසු එතැන් පටන් සියල්ල අවසන් යැයි අත්පොළොසන් නැඟූ පිරිවර, මේ ජනතා ජයග්‍රහණය දුටුවේ නම් මවිත වනු ඇත. ඒ ආකාරයට මර්දනය කළ නොහැකි ශක්තිමත් දේශපාලන බලවේගයක්, එදා දිවි පිදූ විජේවීර සහ පිරිවර ගොඩනඟා ඇති බව නොවැම්බර් පහළොස් වෙනිදා මැතිවරණ ප්‍රතිඵලය කියාපෑවේය.
පළමුව මව්බිම යැයි පවසමින්, මේ බිමේ උස් නිදහස වෙනුවෙන් දිවිදුන් ඒ වීරෝදාර සොහොයුරු කැල පළමුව සිහිපත් කරනුයේ, මේ ඉල් මහේ පෙරළිය සඳහා ප්‍රාණ වායුව වූයේ උන් එදා මුදාහළ ප්‍රාශ්වාසය බැවිනි.
ජාති, කුල ගෝත්‍ර ආදී සාධක රාශියක් ඡන්දය සඳහා අදාළ වූ නියත සාධක බවට මේ රටේ පත්ව තිබුණි. ජනවර්ග පදනම මත නියෝජිතයන්, ලැයිස්තු සඳහා නම් කිරීම සාමාන්‍ය සිරිත විය. අදාළ ගමේ කුලය බලා, අන් සුදුසුකම් පසෙක ලා, පටු ආකල්පයම ඡන්දයේ පදනම බවට දිගටම රෙජිස්ටර් වී තිබුණි.
තුනෙන් දෙක ඉක්මවා ගිය මාලිමාවේ පාර්ලිමේන්තු බලය ඒ සියල්ල ද මේ පොළොවෙන් අතුගා දමා ඇත්තේය. උතුරු සහ නැඟෙනහිර පළාතේ මැතිවරණ කොට්ඨාස වනාහි ජාතිවාදයේ ගොදුරු බිම් බවට පත්වූ කාලය, දැන් නිමාවට පත්ව තිබේ. වෙනදා දකුණේ නායකයෝ, මැතිවරණයට පෙර සිටම මේ දෙපළාත පැත්තක දමා, ගණන් හදන්නට පටන් ගැනීම සිරිතය. රටේ නායකයා වන ඕනෑම අයෙක් මේ දෙපළාතෙන් ඡන්ද ගන්නේ දෙවැනියාට හෝ තුන්වෙනියාටය. පාලන බලය හොබවන කාලය පුරා රටේ නායකයා මේ පළාත් වැසියන්ගේ නායකයා වන්නේ කැමත්ත මත නොව පත්වීම් කොළයේ බලය මතය. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය විසල් වන්නේ ‘එක මිටකට – මුළු රටම’ මේ ජයග්‍රහණයේ පංගුකාරයන් බවට පත්ව ඇති හෙයිනි. දකුණේ පක්ෂ, උතුරේ පක්ෂ ආදී යන්ත්‍රණ සීමා දැන් නිමාවට පත්ව තිබේ. සියලු භේද අවසන්ව දැන් රටම එක බලඇණියකි.
නිදහස් ශ්‍රී ලංකාවේ පවත්වන ලද සාමකාමීම මැතිවරණය මෙය ය. වෙනදාට ජයග්‍රාහී පක්ෂ පළමුව රතිඤ්ඤා ද දෙවනුව පළි ගැනීම් ද ආදිය සිදු කරමින් සිය මැතිවරණ ජයග්‍රහණය සමරන හෙයින් පරාජය ලද පාර්ශ්ව, සියල්ල අහිමිවූ තත්ත්වයකට පත්වන්නේය. පහළොස් වෙනිදා මධ්‍යහ්නය වන විට, මේ රටේ වැසියෝ තේරුම් ගන්නා ලද්දේ ජය ලැබුවේ ජාතික ජන බලවේගය නොවන බවය. එයට ඡන්දය දුන්, නොදුන් සියලු දෙනාම මේ ජයග්‍රහණයේ කොටස්කරුවන් බවට දැන් පත්වී අවසානය ය.
මැතිසබය ක්ලීන් වීමේ සතුට වෙනම එකකි. බෙහෙතක් බොන්නට බය සිතන තරමට ඖෂධයෙන් පවා ගසාගෙන කෑ, මහජන නියෝජිතයෝ උන්නේ මේ මැතිසබයේය. අතට අසුවෙන හැම දෙයක්ම ගසාගෙන කෑමේ නොනිත් ආශාව පමණක් නොව සකල විද දුෂණයන් සඳහාම නායකත්වය ලබාදුන්නේ මැති ඇමැතිවරුය. ඒ සියල්ලෝ පක්ෂයේ පිහිටෙන් නීතියෙන් ගැලවුණි. ජනතා මතය පක්ෂයට ලබාගෙන, දිගටම පාර්ලිමේන්තුවේ නියෝජනය ද සිදු කළේය. ඒ ජාතියේ සේනාවක් දැන් ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන සිටිනවා ඇත.
දැන් අපට අප්‍රියාවකින් තොර මහජන නියෝජිත ගොනුවක් සිටින්නේය. ඔවුහු ප්‍රභූ තන්ත්‍රයේ මිනිසුන් නොව අප මෙන්, මහ පොළොවේ ජීවත් වෙන මිනිසුන්ය. රටේ නායකයාගේ සිට මේ සියල්ලෝ අපගේ වුවමනාව මතම පත්ව ඇති හෙයින් ජන දුක සඳහා අලුත් යාගයන් අවශ්‍ය නැත.
පතුරුවා හරින ලද අසංඛ්‍යයක් වූ අසත්‍ය සිඳ දමා මැතිසබය පමණක් නොව දේශයක්ම ක්ලීන් කළ ජනී ජනයා වෙත සිළුමිණ සිය උපහාරය පළමුව පුද දෙන්නේය. මේ මහා ජයග්‍රහණය ඒ මිනිසුන්ගේ ඥානයේ සහ විර්යයයේ පිළිබිඹුවය. “අපට අවශ්‍ය ආණ්ඩුවක් ඇටවීමට නොව ජනතාවාදී පාලනයක් පිහිටුවා රට ගොඩනැඟීමයි” – ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසන ලද්දේ මෙවන් ප්‍රතිඵලයක් කල් තියාම දුටු හෙයිනි. තම ආසනය අහිමි වන බව දැක දැක, වේදිකා මත්තේ හඩා වැලපුණු කල් ඉකුත්වූ වංචනිකයන් දැන් පිටියේ නැත. “ඇඬෙන්නම දෙන්න” යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ ආකාරයේ වෙනසක් වෙනුවෙනි.
සියයට තුන ලෙස කාලයක් තිස්සේ නිග්‍රහ කළ අන් සියල්ලෝ දැන් සියට තුනට වෙන් වෙන් ලෙස ගාල් කර තිබේ. මේ වනාහි නව ලෝකයක් සඳහා වැටුණු අරුණැල්ලය. එය සෙවණේ රටක පැතුම් විකසිත කිරීමට රොද බඳිව් යන්න සිළුමිණ ඉල්ලීම වේ.