Home » සිකුරු අපලය දුරු කරන බලගතු කාලි පූජාව

සිකුරු අපලය දුරු කරන බලගතු කාලි පූජාව

by Mahesh Lakehouse
November 16, 2024 12:30 am 0 comment

ජ්‍යොතිෂයේදී ගුරු ග්‍රහයාගේ පුත්‍රයා ලෙස සිකුරු ග්‍රහයා හඳුන්වනු ලබයි. යමෙකුට උච්ච, මූල ත්‍රිකෝණ, ස්වක්ෂේත්‍ර සහ මිතුරු වන සිකුරු ග්‍රහයා බල රහිතව නීච, සතුරු වී පීඩා කරන අවස්ථාද ඇත.

පොදුවේ ගත් කළ මේ සෞම්‍ය ග්‍රහයා ලැබුවන්ට ආදරය, යහපත් විවාහය, සැපසේ වාසය, රූප ශෝභාව, සතුට, යාන වාහන, ගේ දොර, රත්රන්, මැණික්, ආභරණ යන සියල්ලෙහි සතුට සැප සම්පත් භුක්ති විඳින්නට සලසයි. සිකුරු බලවත් අය මුළු ජීවිත කාලයම සැපසේ ජීවත්වේ.

තවද කාව්‍ය, ගීතය, කලාව, සංගීත ආදී අංශවලට නිතැතින්ම යොමුවේ තරුණ වියේදීම විවාහය සිදුවේ.

මේ අතර සිකුරු නීචවීම නිසා විවාහ ප්‍රමාද හෝ කඩාකප්පල්වීම සිදුවේ. විවාහය නීරසවේ. සැප සම්පත් පරිහරනයද අඩාළ වී දුක් කම්කටොලු ජීවිතයට එකතුවේ. මේ සියල්ලෙන් ගැලවීමටත් සිකුරු ග්‍රහයා බලවත් කර ගැනුමටත් සුවිශේෂ වතාවත් සහිත පූජාවක් පවත්වන අයුරු පිළිබඳව මම අද ඔබ දැනුම්වත් කරමි.

ඔබේ කේන්ද්‍රයේ පළමුවන රාශිය (1කොටුව) හෙවත් ‘ලග්නයේ’ සිකුරු සිටීනම් ඔබට ප්‍රියමනාප අයෙකු මෙන්ම ප්‍රිතිය, සතුට, සම්පතින් යුතුව ජීවිත කාලයම ගෙවිය හැකිය.

දෙවැන්නට සිකුරුගේ පැමිණීම ධනයෝගයකි. වාසනාවන්ත විවාහයක් සිදුවේ. තුන්වැන්නේ සිකුරු නීරෝගි භාවය, රූප ශෝභාව, මෙන්ම සංගීතඥයින්, දක්ෂ කාව්‍යකරුවෝ මෙන්ම පෑනෙන් මිනිසුන්ගේ සිත් සනසාලන ජන්මීන් බිහි කරයි.

හතරවැන්නට සිකුරු සියලු ඓශ්චර්යය දේ, ප්‍රියමනාප බිරියක්, ගේ දොර, යාන වාහන, දැසි දස්සන් ඇතිව සැපසේ වාසය සිදු කිරීමට හැකි වන්නේ ජන්ම පත්‍රයේ සිකුරු ග්‍රහයා සිව්වැන්නේ පිහිටීමෙනි. සිකුරු කෝණ ස්ථානයක් වු පස්වැන්නටද දරුවන්ට බිරියට තද ඇල්මක් ඇතිව සතුටින් ජීවත් වන අයකු බිහි කරයි.

හයවැන්නට නම් සිකුරු සුදුසු නොවේ. නමුත් මෙහෙකරුවෝ සහිතව ජීවිත කාලය ගත කරයි. හත්වැන්න සිකුරුට ඉතාම සුදුසුයි. මිල මුදල් සහිතව භාග්‍යවන්ත ප්‍රීතිමත් විවාහයක් සිදුවේ. අට වැන්නේ සිකුරු රූප ශෝභාව ගෙන දෙයි. නව වැන්නේ සිකුරු භාග්‍යවතුන් බිහි කරයි. උත්පත්තියෙන් පසු පියාගේ දියුණුව ඇති කරයි.

දහවැන්නටද සිකුරු භාග්‍යසම්පන්නය. රජයේ ඉහළ තනතුරු හිමිවේ. සිකුරු බලවත් නම් දියුණුවෙන් දියුණුවටම දශාව ලැබූ විට යනු ඇත. එකොළොස් වැන්නටද සිකුරු ධන යෝගයකි. ධනය ගලාගෙන එයි. දොළොස්වැන්නේ සිකුරු මහජනතාවට සේවය කරන අයෙකු බිහි කරනු ඇත.

සිකුරු ග්‍රහ බලපෑම නිසා පීඩා විඳින්නටත් පෙර භවයේ පින් දහම් කළ සිකුරු බලවත් අයටත් සුවිශේෂ ආශීර්වාද පූජාවක් පවත්වන අයුරු මෙසේ සටහන් කරමි.

සිකුරු ග්‍රහයා බලවත් කළ යුතු වන්නේ ජන්මියා මුත්‍රා ආබාධ, දියවැඩියාව, සෙම් ගෙඩි ආදි ලෙස රෝගාබාධයන්ට ලක්වීම නිසාය. හැකි සැම විටම යමක් දන් දී සිකුරු ග්‍රහයාට පින් දෙන්න, “ඕම් ශුම් ශුකාය නමඃ” යැයි තෙවරක් කියා ග්‍රහයාට පින් දෙන්න. අපල වැඩියි නම් ජ්‍යෙතිෂයට අනුව දියමන්ති / සුදු මැණිකක් ඔබ්බවා පලඳනාවක් පැලඳීමෙන් අපල අඩුවේ. සිකුරු මහ දශා, අන්තර් දශා ගෙවන අය දිනපතා විසිතුරු මල් වර්ග බුදුන්ට පූජා කළ යුතුය. නියමාකාරයෙන් සැදු නවනාථ යන්ත්‍රය, සංජීවනී යන්ත්‍රය පැලඳීමත් ඉතාම සුදුසුය.

කාලි කෝවිලකට ගොස් පහත සඳහන් විශ්මිත පූජාව සිකුරාදා හෝ අඟහරුවාදා තැබීමට කටයුතු කරන්න.

මස්, මාළු පිළී දින 03 ක් වත් භාවිතා නොකර පේ වෙන්න. අවශ්‍ය දෑ මෙන්න. රතු සපත්තු මල් වට්ටියක්, සමන්පිච්ච මල් වට්ටියක්, රත් පැහැයෙන් වැඩ දැමූ, කුඩා සළුවක්, රත්රන් පාට බඳුනකට ‘පොංගල් බත්’ උයා කුඩා මුට්ටියකට දමා පැන් බඳුනක් සමඟ පූජාවට යොදා ගන්න. ඉතාමත් සුවඳ හඳුන්කූරු, එළඟිතෙල්, සුවඳ දුම් සහ දෙහි මල් මාලයක් සපයා ගන්න.

ඉතා පිරිසුදුව ස්නානය කර සුවඳ විලවුන් ගල්වාගෙන (දෙවියන් සුවඳට ගොඩාක් කැමතියි) රතු සහ සුදු මිශ්‍ර වර්ණයෙන් සැරසී ඉතා භක්තිමත්ව පූජාවට යන්න.

පළමුව බුදුන් වැඳ කාලි කෝවිලට ගොස් සුවඳ දුම් අල්ලා , පඬුරු දමා භක්තියෙන් කාලි ශ්ලෝකය කියමින් සූදානම් කරගත් දෑ පූජා කරන්න. පහනට එළඟිතෙල් දමන්න. අප්‍රමාණ භක්තියෙන් ශ්ලෝකය කියන්න.

“ඕම් කාලි නමස්තුතේ, නමස්තුතෙ.

නමෝ ආනන්ද මා ආනන්ද මා කාලි
ආනන්ද මා කාලි නමස්තුතේ
ඕම් කාලි

හැකි තරම් මේ ශ්ලෝකය ඉතා භක්තියෙන් මුමුනා ඔබේ කාරණය කාලි මෑණියන්ට පවසා පිහිට ආධාරය ඉල්ලන්න. මේ පූජාව දින 07 ක් අඟහරුවාදා, සිකුරාදා යොදාගෙන තැබීමෙන් නොසිතූ දියුණුවක් සහ සැප සම්පත්, සතුට ඔබට හිමිවේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී දේශමාන්‍ය, දේශකීර්ති ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division