Home » මනුස්සකම පිරුණ හෙට දවසකට

මනුස්සකම පිරුණ හෙට දවසකට

by Mahesh Lakehouse
November 16, 2024 12:29 am 0 comment

ආදරණීය දුවේ පුතේ ,

ඔයාලගේ කාලෙදි වගේ නෙමෙයි අපේ පුංචි කාලෙදි. අපට පරිසරය ඒ කියන්නේ ගහකොළ, ඇළ, දොළ එක්ක ගැටෙන්න සෙල්ලම් කරන්න ඕනෑ තරම් වෙලාව තිබුණා. අද වගේ අමතර පන්තිවලට හිරවෙලා නෙමෙයි අපේ ළමා ලෝකය ගෙවුණේ. මෙහෙම කිව්වම පුංචි ඔබට හිතෙයි ඒ කාලේ ළමයි ඉගෙන ගත්තේ නැද්ද කියලා.

ගහ කොළ එක්ක ගෙවන්න ලැබුණ ජීවිතය හරිම සුන්දරයි. ජීවිතේ ආපස්සට හැරිලා බලනකොට ඒ අතීතය හරිම මිහිරියි.

අද දරුවන්ට වෙලා තියෙන්නේ පාසල අවසන් වූ විගස ඊළඟ අමතර පන්තියට දුවන්න. ඒ නිසා දිවා ආහාරයක රස ගුණ විඳින්නවත් ඒ දරුවන්ට වෙලාවක් නැහැ. සමහර දරුවෝ නම් කෑමට එතරම් ප්‍රිය නෑ. එළවළු වර්ග හඳුනන්නේ නැහැ.

මෙතනදී අපි දරුවන්ටම ඇඟිල්ල දික්කරන එකත් වැරැදියි. මොකද ඒ වැරැද්දෙන් කොටසක් වැඩිහිටියන්ටත් අයිතියි. ඒක නිවැරදි කරන්න පුළුවන් වෙන්නෙත් වැඩිහිටියන්ටම විතරයි.

මීට දශක කිහිපයකට පෙර සෑම නිවෙසකම වගේ ගෙමිදුලේ එළවළුවක්, පලා වර්ගයක්, කෙසෙල් පඳුරක් තිබුණා. ගහක් වැවෙන අපූරුව වගේම ඒ ගහේ මල්, ඵල හට ගන්න විදිහත් ගෙදර ඉන්න දරුවෝ අනිවාර්යයෙන්ම දැනගෙන හිටියා.

නමුත් අද එහෙම තත්ත්වයක් නැහැ. කාර්යබහුලත්වයත් එක්ක එහෙම කරන්න අමාරුයි කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් මේ මහ පොළොව මත හැදී වැඩෙන ඕනෑම කෙනෙකුට තමන්ගේ ගමන යන්න වන්නේ මේ පරිසරයත් එක්ක ගැටෙමින්. මොකද මිනිසා, සතුන්, ගහකොළ අපි හැමෝම මේ පරිසරයේ කොටස්කරුවෝ.

වර්තමානයේ අන්තර්ජාලයේම ජීවිතය හොයන දරුවන්ට යූටියුබ්, ටික්ටොක්, ෆේස්බුක් එක්ක පැහැදිලි අනාගතයක් දැකිය හැකිද? රාත්‍රී නිදි ඇඳට යන තුරුම ඇතැම් දරුවන් ගත කරන්නේ ජංගම දුරකතනයත් එක්ක. ජංගම දුරකතනයෙන් දරුවන්ව ඈත් කරන්න මවුපියන් උත්සාහ කරන්නෙ නැත්තෙත් ඔවුන් හිතනවා ඇති ජංගම දුරකතනයත් එක්ක හිටියම දරුවන් සුරක්ෂීතයි කියලා.

නව තාක්ෂණය, නව දැනුම සමඟ නව ලෝකයක් කරා අලුත් ගමනක් යන්න සැරසෙන අද දවසේ අපේ දරුවන්ට ඒ ලෝකය හඳුනා ගන්න නිසි මඟක් තිබිය යුතුයි. ඒත් ඒ මඟ නිවැරැදිව හඳුනා ගන්න ඔවුන්ට යම් මඟපෙන්වීමක් කළ යුතුයි.

නිවසේදී විතරක් නෙවෙයි පාසලේදීත් ඒ නිසි මඟ පෙන්වීමක් කළ යුතුයි. යන්නන් වාලේම යන්නෙ නැතුව හරි මඟ හසර දැනගෙන, ඉලක්ක ජයගෙන තමන් ඒ මඟ යන අතරේ අනෙකාට ද දිරි දෙමින් නව යුගයක් කරා යන්නෙ දරුවනුත් පාර සකසාගත යුතුයි. ඒ යන ගමනේදී නිකරුණේ කාලය ගත නොකරන්නත් සිතාගත යුතුයි. හැමවිටම වැඩිහිටියන්ගේ, ගුරුවරුන්ගේ ඇගැයීම්, අවවාද අනුශාසනා පිළිපැදිය යුතුයි. එවිට යම් දිනෙක තමන්ගේ ගමන සාර්ථක වූ බව ඔබටම දැනගන්න ලැබේවි.

ඉසවි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division