අනපේක්ෂිත ලෙස ඉටුවීම මෙන්ම ලැබෙන්නට ඔන්න මෙන්න තිබියදී කඩවීම; බලාපොරොත්තුවල ස්වභාවයකි. සිහිනෙකින්වත් නොසිතූ ලෙසකට බලාපොරොත්තුවක් ඉටුවීම, නිසැකවම අසිරිමත් සිදුවීමකි. මගේ මේ අත්දැකීමද ඒ ආකාරයේ අසිරිමත් එකකි.
අපට පංචශීලය මෙන්ම චීන ජාතිකයන්ට ද පංච ශික්ෂාවක් තිබේ. ත්‍යාගශීලීත්වය, ධාර්මිකභාවය, ශිෂ්ට සම්පන්නභාවය, ප්රඥාවන්තභාවය සහ විශ්වාසවන්තභාවය එම පංචශික්ෂාවයි.
මම චීනයේ රාජකාරි කළ වසර පහ තුළ මේ ආකාරයේ සංඛ්‍යාත්මක රීති කුලක සහ පොදු සංස්කෘතික ලක්ෂණ රැසක් නිරීක්ෂණය කළෙමි. වරක් මම මගේ චීන යෙහෙළියක සමඟින් බෙයිජිං නගරයේ එක් කඳුකර කෙළවරක වූ ‘පා තා චූ’ නම් වූ විහාරස්ථාන සංකීර්ණයට ගියෙමි.
එය කන්දක පිහිටි විහාරස්ථාන අටකි. මේ නිසා අපට හුරු ක්‍රමයට අටමස්ථානය කියා එම විහාර සංකීර්ණය හැඳින්වීමේ වරදක් නැත. මෙම සංකීර්ණයේ දෙවන විහාරය මහල් පහකින් යුත් ඉන්දියානු සම්ප්රදායේ දාගැබකි. එහි දෙවන මහල චීන දළදා මාලිගාවයි.
මෙම විහාරස්ථානය අසල ප්රවේශයේ සිතුවම් සහිත ගල් පුවරු කීපයක් දක්නට ලැබිණ. චීන භාෂාවෙන් එහි කිසිවක් ලියා තිබිණ. මගේ චීන මිතුරියට අනුව ඒවායේ තිබුණේ චීනයේ දෙමාපියන්ට සැලකීම පිළිබඳ කතාන්දර විසි හතරේ විස්තරයයි. එය චීන භාෂාවෙන් හැඳින්වෙන්නේ ‘අර්ෂ ස ෂියාවෝ කියාය.
චීනය දෙමාපියන්ට සැලකීමේ ගුණධර්මය මතු පරපුරුවලට දායාද කරන්නේ මෙම කතන්දර 24 හරහාය. ඒ අනුව ඒවා චීන පාසැල්වල ඉගැන්වීම අනිවාර්ය ය.
මේ කතන්දර මොනවාදැයි දැනගැනීමට මගේ සිතේ ඇති වුණේ බලවත් නොඉවසිල්ලකි. මම කාර්යාලයට පැමිණි විගස මූලාශ්‍ර කිහිපයකින්ම එම කතන්දර කියවා බැලිමි. අපේ කාර්යාලයේ සේවය කළ චීන ජාතිකයන්ද චීනයේ විවිධ පළාත්වලින් පැමිණි අයයි. මේ කතාන්දර විස්තර කරන විට ඒ ඒ අය තම තම පළාත්වලට ආවේණික වූ ලක්ෂණ එයට ඇතුළත් කරති. මම සියල්ල සිත්හි දරාගෙන, එම කතාන්දර විසි හතර නැවත සිංහලෙන් ලීවෙමි.
එම කතා මගේ චීන ජාතික සිංහල දන්නා මිතුරෝ ද ශ්‍රී ලාංකික සගයෝ ද කියවූහ. ඔවුන්ගේ යෝජනාව වූයේ මෙය පොතක් ලෙස පළකළ යුතු බවයි. සැබැවින්ම එය මගේ සිතේ සැඟවුණු අපේක්ෂාවයි.
පොත පළ කිරීම සඳහා ලංකාවේ ප්‍රකාශකයෙක් කැමති කරවා ගත යුතුය. නමුත් ළමයින් සඳහා වූ කතන්දර විසි හතරකට ප්‍රකාශකයෙක් කැමති කරවා ගැනීමට නොහැකි වනු ඇතැයි මට සිතිනි. මගේ අපේක්ෂාව යථාර්ථයක් කර ගැනීම පසෙක තබා සෑම රැයකම මම දෙගිඩියාව සමඟ නින්දට ගියෙමි.
වසර 2014 චීන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය යෙදුණේ මේ දිනවලය. එය මගේ වාසනාවට හේතු විය. සාමාන්‍යයෙන් චීනයේ ජනාධිපතිවරයා වෙනත් රටක සංචාරය කරන විට එම රට තුළ කළ හැකි ප්‍රවර්ධන කටයුතු සඳහා චීනයේ විවිධ සමාගම් ඉදිරිපත් වෙයි. අනුව චීනයේ ප්‍රකාශන සමාගම්වලට අවශ්‍ය වූයේ ජනාධිපතිවරයාගේ සංචාරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පොතක් පළ කිරීමටය. එවක චීන ගුවන්විදුලියේ සිංහල අංශයේ ප්‍රධානියා වූ ෂෙන් ලී ඒ අවස්ථාව සඳහා මා යොමු කළාය.
ඒ සඳහා ඔවුන්ගේ සමාගමේ ප්‍රධානීන් සමඟ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවිය.
දෙමව්පියන්ට සැලකීමේ සාරධර්මය සමාජගත කරවන කතාන්දර ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා මැනැවින් සැසඳෙන බව මම ඔවුනට කියා සිටියෙමි. සිඟාලෝවාද සූත්‍රයේ එන සංඛ්‍යාත්මක කරුණු විග්‍රහය සහ චීන ක්‍රමවේදය අතර සමානකමක් ඇතැයි මම පෙන්වා දුන්නෙමි. මේ කතා විසි හතර අතරින් එකක කුඩා දරුවෙකු තම මව වෙනුවෙන් වංශවත් නිවසකින් දොඩම් ගෙඩියක් සොරකම් කරයි. එම සිදුවීම මා තුළ වඩාත් සංවේදීබවක් ඇති කළ නිසා, මගේ පොත “දොඩම් හොරා“ ලෙස නම් කිරීමට තීරණය කළ බවත් මම කියා සිටියෙමි.
අනතුරුව පොත මුද්‍රණය සඳහා ඔවුන්ගේ නියමය පරිදි ලංකාවේ සමාගම් තුනකින් මිල ගණන් කැඳවනු ලැබිණ. අඩුම මිල ඉදිරිපත් කර තිබුණේ පාස්ට් පබ්ලිෂිං ආයතනයයි.
පොත ප්‍රකාශ කිරීම සඳහා ලංකාවෙන් යෝජනා වූ මිල ගණන් චීන සමාගමේ අපේක්ෂාවන්ට වඩා බෙහෙවින් අඩුය. ඒ ගැන පුදුමය පළ කළ ඔවුහු මගෙ පොත වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන බව කීවෝය.
කෙසේ හෝ එම කණ්ඩායමේ හය දෙනෙක් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණියහ. මට ද ශ්‍රී ලංකාවට ඒමට කෙටි නිවාඩුවක් ලැබිණ. පොත දොරට වැඩීමේ උත්සවය සංවිධාන කළේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදීය. චීන කණ්ඩායම ලංකාවේ බොහෝ තැන්වල ඇවිද උත්සවය සඳහා කොළඹට පැමිණ සිටියහ. චීන ප්‍රකාශන සමාගමේ ප්‍රධාන නියෝජිතවරිය කලින් දිනයේ මට කතා කළාය. ඇය කතා කළේ ඉංග්‍රීසි භාෂාවෙනි.
“ඔබේ උත්සවයට කී දෙනෙක් සහභාගි වෙනවාද?“ මම දෙසීයක් බව සඳහන් කළෙමි.
“එහෙනම් ඒ සියලු දෙනාටම පොත නොමිලයේ දෙන්න.“
එපමණ වියදමක් දැරීමට මට හැකියාවක් තිබුණේ නැත. අනෙක් අතට ප්‍රකාශන සමාගම එබඳු දෙයකට කැමති වන්නේ නැත. මම ඇයට එම තත්ත්වය පැහැදිලි කළෙමි. ඇය සිනාසුනාය.
“නෑ නෑ අපි ඔබට මුදල් දෙනවා. ඔබේ පොතත් ෂෙන් ලී ගේ ‘සිත් පහන‘ පොතත් එක්ක, දෙකම පැමිණෙන සියලු දෙනාට නොමිලයේ දෙන්න. ඒ සඳහා අවශ්‍ය මුදල් අපි අදම ගෙවනවා“.
මට අදහා ගත නොහැකි විය. පොතක් දොරට වැඩීමේ උලෙළකදී, එය තවත් පොතක් සමග නොමිලයේ දුන් ඉතිහාසයේ පළමුවැනි අවස්ථාව මෙය විය යුතුය.
උත්සවය පටන් ගන්නා විටම පැමිණ සිටි පිරිසක් දෙසීය ඉක්මවා තිබිණ. මට තරු පෙනුනේ ඒ වෙලාවේය.
“අපරාදෙ තුන්සියයක් කිව්වා නම් ඔක්කොටම පොත් දෙන්න තිබුණා.“ සංවිධාන කටයුතුවලට උරදුන් මිතුරු පිරිස කීහ. අවසානයේ මම වේදිකාවට ගොඩ වී කාරුණික ඉල්ලීමක් කළෙමි.
“ඔබට පොත් කට්ටලයක් ලැබෙනවා. කරුණාකරලා එක පවුලකට එකක් බැගින් ගන්න.“
මගේ ඒ ප්‍රකාශයත් සමඟ සභා ශාලාවේ අසුන්ගෙන සිටි සම්මානනීය රංගන ශිල්පී සනත් ගුණතිලක සහ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි එකිනෙකාට කොඳුරා ගනිමින් මුණට මුහුණ බලාගන්නවා මම දුටුවෙමි. අනතුරුව ඔවුහු බිම බලාගෙන සිනාසුනහ.
‘මට මොනවා හරි වැරදුනාද?‘ මම අහස පොළොව ගැටලන්නට විමි.
මගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණේ අතාවුදහෙට්ටිගේ දේශනයෙනි.
“චන්දන කිව්වා; එක පවූලකට; එක පොතක් ගන්න කියලා. සනත් මගෙන් ඇහුවා, එයා කීයක් ගන්න ඕනද කියල. මං කිව්වා මාත් කල්පනා කරන්නේ කීයක් ගන්නද කියලා තමයි කියලා.“
කෙසේ හෝ එදා බෙදා දීම සඳහා අප පිළියෙල කර ගත් පොත් කට්ටල මදි වුනේ නැත.