Home » හිම වැටෙන හඬ

හිම වැටෙන හඬ

by Mahesh Lakehouse
November 16, 2024 12:29 am 0 comment

පරිවර්තනය – මත්තේගොඩ එම්.එම්. පාලිත
මහින්ද මුණසිංහ

ර්තු මාසයේ එක් රාත්‍රියක හමා ආ සුළඟින් මගේ ඇඳ අසල කවුළුව මත කොළ අතු වැදෙන මහත් ශබ්දයෙන් මම අවදි වුණෙමි. මම ඇඳෙන් බැස ඒ අසලට ගොස් තිරය මෑත් කර පිටත බැලුවෙමි. නිවෙස පිටුපස පිට්ටනියේ රයි තණකොළ මතින් සරසර ගාමින් හමා එන හිම කැට දෙස මා බලා සිටියේය. මේරිලන්ඩ් අසාමාන්‍ය හිම කුණාටුවකට මුහුණ පා තිබුණි. වීදිය දෙපස සිටවූ ඈෂ් ගස් කිහිපය හැරෙන්නට එය නැවැත්වීමට කිසිවකු හට නොහැකි විය.

මට උදෑසනින්ම වැඩට යෑමට අවශ්‍යතාවක් නොවීය. නමුත්, නැවත ඇඳට බඩගා යාමට අදහසක් මට දැනුණේ නැත. ඒ වෙනුවට මම විනාඩි කිහිපයක් ඇස් වසා සිටියෙමි. කවුළු පියන් අතරින් එන භයානක හඬින් මගේ සිත ගල් ගැසුණි. අවුරුද්දකට පෙර දෙසැම්බරයේ එක් වැසි සහිත උදෑසනක මා අවදි කළ ඒ ශබ්ද හැර වෙන කිසිවක් ගැන සිතීමට මට නොහැකි විය. එදින රාත්‍රියේ වෙඩි තැබීම් සහ මිනිසුන්ගේ කෑකෝ ගැසීම් පිළිබඳ මතකය මගේ සිත සසල කළේය. අද රැය ඊට ටිකක් වෙනස්ය.

මම මේසය අසල හිඳගෙන මගේ පරිගණකයට යොමු වුණෙමි. බුරුමය පිළිබඳ සමහර විශේෂ ප්‍රවෘත්ති තවමත් සමාජ වෙබ් අඩවිවල දිගහැරෙමින් තිබුණි. දෙසැම්බරයේ මෙන් මාර්තු මාසයේ ද විශාල අකුරින් සහ රතු පැහැයෙන් යුතු ප්‍රවෘත්ති රැසක් විය. ඒ වතාවේ, ඝෝෂාකාරී හඬ පැමිණියේ තුවක්කුවකින් නොව ඔවුන්ගේ හිස් කබල් සහ ඇටකටු පොලීසිය විසින් කුඩුකර දැමීම හේතුවෙනි.

මා දුටුවේ කැරලි මර්දන පොලීසිය සහ රතු පටි පැලඳ සිටින සටන්කාමී මැරයන් පිරිසකි. සාමකාමීව උද්ඝෝෂණයක නිරත සිසුන් පිරිසකට අමානුෂික ලෙස පහර දෙන සන්නද්ධ මිනිසුන්ගේ බිහිසුණු රූපරාමු මම දුටුවෙමි. පොලිසිය සහ සන්නද්ධ මැරයන් සිසුන්ට සහ බලා සිටින්නන්ට දරුණු ලෙස පහර දුන්හ. උසස් නිලධාරීහු නියෝග නිකුත් කරමින් සිටියහ. බියට පත් සිසුහු තම දිවි රැකගැනීමට කෑගැසමින් දිව ගියහ. මාතෘ භූමියේ සිට කන පුපුරු ගසන කෑගැසීමේ හඬ මා වෙතට එන විට, මේරිලන්ඩ්හි ඒ මොහොතේ මට ඇසුණේ නිමක් නැති හිම පතනයයි. මගේ කවුළුව හරහා මට දැකගත හැකි වූයේ සුදු හිම ඇතිරිල්ලයි. ගස් අතු, පියසි, රථවාහන හා මහා මාර්ග ආදී දර්ශනය වූ සෑම දෙයක්ම හිම තට්ටුවලින් වැසී යමින් තිබුණි.

හාත්පස ලෝකය සුදු වුවත්, මසිතෙහි චිත්ත රූපයේ පැහැය රතු විය. හිම පතිත වන හඬ යටපත් කරගෙන මගේ කනට ඇසුණේ දුර රටක සිට නැඟෙන විලාප හඬ පමණි. දෑස ඉදිරිපිට මැවුණේ ලේ ගංගාවකි. ඒ මිනිසුන් සම වයසේ තරුණ ළමයින්ට පා-පහර දෙමින් ඇදගෙන යාම සිදු කරන්නේ කෙසේද? තරුණ ගැහැනු ළමයින් ඇදගෙන යද්දී වෛරය හා කෝපයෙන් පිරි ඔවුන්ගේ කැත මුහුණු මා අමතක කරන්නේ කෙසේද?

පනතට විරෝධය දැක්වීමට වඩා වැඩි යමක් සිසුන් විසින් කර නැත. ඊනියා ජාතික අධ්‍යාපන පනත අවලංගු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියේ නැත. ඒකපාර්ශ්විකව සකස් කරන ලද එය සංශෝධනය කරන්නැයි පමණක් ඉල්ලා සිටියහ. බලධාරීන් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ පසුබිමක සාමකාමී ලෙස උද්ඝෝෂණ පැවැත්වීම ගැන ඔවුන් කලබලයට හා භීතියට පත්විය.

සිසුන්ගේ අවිහිංසාවාදී ක්‍රියාව දඬුවම් ලැබිය හැකි අපරාධයක් ලෙස සැලකිය හැකිද? සිසුන්ට එරෙහිව බලය පාවිච්චි නොකරන ලෙස සන්නද්ධ පිරිස්ගෙන් ඉල්ලා සිටි අය ද අපරාධකරුවන් ලෙස සලකනු ලැබීය. බලධාරීන්ගේ කුරිරු මර්දනයට ඔවුන් යටත් විය. කුරිරු ලෙස පහර දී ඔවුන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගත්හ. කාන්තාවකට එල්ල කළ පා පහරින් ඇය මහමඟ ඇදවැටුණි. හිංසාකාරී මානසිකත්වයක් ඇති එම පිරිමින්ට එරෙහිව මගේ ලෙය කුපිත විය.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමට අපොහොසත් වූ පොලීසිය සහ සන්නද්ධ මැරයන් ද අසාර්ථක ව්‍යායාමයක නිරත විය. පුරවැසියන්ට යහපත් අධ්‍යාපනයක් ලබාදිය නොහැකි දේශපාලන ක්‍රමයකට මුළු රටම ගොදුරු වී ඇති බව මට පෙනෙන්නට තිබුණි.

හිම කුණාටුව රාත්‍රිය පුරාම පවතිනු ඇතැයි අපේක්ෂා කරන ලදි. රාත්‍රී අහස අඳුරු වෙත්ම කලින් අගනගරය පුරා ඇදහැලුණු හිම කුණාටුව අවසානයේදී පහව යනු ඇතැයි මම සිතුවෙමි. සුළඟ පහව නොගිය අතර හිම කැට මගේ ජනේල මතට තට්ටු කළේය. බලාපොරොත්තු රහිතව කෝපයෙන් මාගේ ඇඟිලි තද කර හිම කුණාටුව අවසන් වන තෙක් බලා සිටීමට හැර මට කිසිවක් කළ නොහැකි විය.

හිමිදිරි පාන්දර හිම කුණාටුව පහව යනු ඇතැයි යළිත් මම බලාපොරොත්තු වූයෙමි. එලෙසින් අපගේ දුක් වේදනා ඉක්මනින් අවසන් නොවනු ඇත. තවදුරටත් අපේ හුස්ම රඳවාගෙන හකු හිර කරගෙන නරකම දේ දෙස බලා සිටීමට අවශ්‍ය නොවීය. ප්‍රචණ්ඩත්වය හා කාලකණ්ණි දේශපාලන චක්‍රය අවසන් කිරීම හැම කෙනෙකුගේම අවශ්‍යතාව විය. රටට අවශ්‍ය වන්නේ සාමය සහ මානව ගරුත්වය පමණි.

බටහිරින් ඇදී ආ හිම කුණාටුව පහව ගියහොත් පැහැදිලි නිල් අහසක් ඉක්මනින් දකින්නට ලැබෙනු ඇත. එය සිදුනොවිය නොහැක්කක් මෙන් පෙනෙන්නට තිබුණ ද, සැණෙකින් කාලගුණය වෙනස් විය හැකිය. එසැණින් හමා එන සුළඟින් බොහෝ අයහපත් දේ බැහැර කරනතෙක් මම බලා සිටිමි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division