මෙරට ප්‍රධානතම පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් 10ක් රජයට අය විය යුතු බදු නොගෙවීම ගැන වසරකටත් අධික කාලයක සිට සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබේ.
මේ කතාව කරළියට ආවේ ඇත්තෙන්ම මීට වසරකටත් අධික කාලයක සිටය. යම් යම් කූට උපක්‍රම මඟින් ආණ්ඩුවට හිමිවිය යුතු බදු නොගෙවන බවට විවිධ සමාජ සංවිධාන මෙන්ම මාධ්‍ය මඟින්ද වරින් වර පෙන්වා දී තිබුණි.
එහෙත් ඒ බදු වංචාවන් හෝ බදු නොගෙවා පැහැර හැරීම් අඩු වූයේ නැත. දිනෙන් දිනම එය වර්ධනය වූවා පමණි.
මීට වසරකට ආසන්න කාලයකට පෙර එම මත්පැන් නිෂ්පාදන සමාගම් 10ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන ලදී. ඒ අනුව සමස්ත මහජනතාවගේ මූලික අයිතීන් එමඟින් උල්ලංඝනය වී ඇති බවට එයින් පෙන්වා දී තිබුණි.
බදු ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් 10කින් එම බදු මුදල් අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්රියාකාරිකයන් පිරිසක් විසින් එම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.
ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම්
පෙත්සමේ සඳහන් වන ආකාරයට රජය වෙත හිඟ බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් 10 ක් නම් කර තිබුණි.
එම සමාගම් වූයේ,
1. ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම
2. වයඹ ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම
3. ග්ලෝබල් බ්ලෙන්ඩර්ස් ඇන්ඩ් බොට්ලර්ස් පුද්ගලික සමාගම
4. මැක්ලම් බෲවිං සමාගම
5. කළුතර ඩිස්ටිලරීස් සමාගම
6. ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් කෝපරේෂන් පුද්ගලික සමාගම
7. සිනර්ජි ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම
8. රන්දෙණිගල ඩිස්ටිලරීස් ලංකා සමාගම
9. හිඟුරාන ඩිස්ටිලරිස් පුද්ගලික සමාගම
10. රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම
එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, විගණකාධිපතිවරයා සහ හිඟ බදු මුදල් ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් දහයක්ද නම් කර තිබුණි.
මූලික අයිතීන් කඩවෙලා
එම සමාගම් විසින් මත්පැන් නිෂ්පාදන සඳහා රජයට අය යුතු සුරාබදු නොගෙවීම හේතුවෙන් රාජ්‍ය ආදායම පහත වැටීමට හේතු වී ඇති බවද එමඟින් පෙන්වා දී තිබුණි. එසේ මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් පැහැර හරිනු ලබන බදු මුදල් අයකර ගැනීම අතපසුවීම නිසා එය ජාතික ආර්ථිකයට ද සෘජු ලෙස බලපා ඇති බව එහිදී පෙන්වා දෙන ලදී.
නිෂ්පාදන සමාගම් විසින් රජයට ගෙවීම පැහැර හැර ඇති බදු පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් විසින් ‘2016 වසරේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත‘ යටතේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඊට පිළිතුරු ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අදාළ පෙත්සම්කරුවන්ට දන්වා තිබුණේ හිඟ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් 10 විසින් රුපියල් කෝටි 678කට අධික (6,785,370,777. 64) මුදලක් බදු වශයෙන් ගෙවීම පැහැර හැර තිබෙන බවයි.
රජයට විශාල ආදායමක් ලබා දෙන ව්‍යාපාරයක් ලෙස මත්පැන් බෝතල් නිපැයුම මුල් තැනක් ගෙන ඇත. විශේෂයෙන්ම මත්පැන් බෝතලයක මිලෙන් 75% ක්ම බදු මුදල්ය. වෙනත් බදු ගෙවිය යුතු වන්නේ වාර්ෂිකව එසේත් නැත්නම මුදල් වර්ෂයකට වුවද සුරාබදු එසේ ගෙවිය නොහැකිය.
1977 සුරාබදු පනතට අනුව මත්පැන් නිෂ්පාදන සමාගමක් විසින් මාසයේ පළමු දින 15 තුළ සිදු කරන මත්පැන් නිෂ්පාදන සඳහා වන බද්ද එම මාසයේම 16 වනදා සිට 31 වැනිදාට පෙර ගෙවා අවසන් කළ යුතුය. එම මාසයේ 16 වැනිදා සිට 30 හෝ 31 වන දා දක්වා නිෂ්පාදනය කරනු ලබන මත්පැන් නිෂ්පාදන සඳහා ගෙවිය යුතු බද්ද එම මස 31 වනදා සිට ඊළඟ මස 15 වැනිදා අතර ගෙවා අවසන් කළ යුතු බවය.
යම් සමාගමක් එම දිනවලදී නිසි ලෙසින් ගෙවීම් සිදු නොකළහොත් එසේ ගෙවීම පැහැර හරිනු ලබන බදු මුදල් සඳහා මසකට එම බදු මුදල මෙන් තුන් ගුණයක අධිභාරයක් පැනවීමට සුරාබදු දෙපාර්තමේන්තුවට හැකියාව තිබේ.
එමෙන්ම වාර්ෂිකව මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් තම නිෂ්පාදන බලපත් අලුත් කළ යුතුය. බදු මුදල් ගෙවා නොමැත්තේ නම් බලපත්‍රය අලුත් කරනු නොලැබේ. එම නිසා සුරාබදු දෙපාර්තමේන්තුවට මත්පැන් නිෂ්පාදන සමාගම් හරහා බදු නිසි පරිදි ලබා ගන්නට ඕනෑතරම් නීතියේ ප්‍රතිපාදන ඇත.
එසේ නීතිමය ප්‍රතිපාදන තිබියදී මත්පැන් නිෂ්පාදන සමාගම් හිතාමතාම අදාළ බදු මුදල් ගෙවීම පැහැර හැරියේ කෙසේද යන්න එක් ගැටලුවකි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ වගකීම
විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ පාර්ශ්වය විසින් පෙන්වා දී තිබුණේ එසේ හිඟ බදු තිබියදී සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු වගඋත්තරකරුවන් බදු අය කර ගැනීමේ සිය නීත්‍යනුකූල රාජකාරිය හිතාමතාම පැහැර හරිමින් විශාල හිඟ මුදල් ගෙවීමට ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත නීතියට පටහැණි ලෙස වාර්ෂික බලපත්‍ර අලුත් කිරීමට කටයුතු යොදා තිබුණු බවයි.
ඒ හරහා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් මෙරට සමස්ත පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දුන්හ.
එම පෙත්සමෙන් තවදුරටත් ඉල්ලා තිබුණේ බදු ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් සහ ඔවුන් විසින් ගෙවීම පැහැර හැර තිබෙන බදු මුදල් සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත්, නඩු විභාගය අවසන් වන තුරු බදු ගෙවීම පැහැර හැර තිබෙන වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර අත්හිටුවීමට අදාළ අතුරු තහනම් නියෝගයක් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසත්ය.
ඊට අමතරව ඔවුන් ඉල්ලා තිබුණේ අදාළ මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් ගෙවීම් පැහැර හැර ඇති බදු මුදල් අය කරගැනීමට පියවර ගන්නා ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.
බදු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීද මෙන්ඩිස් හා රන්දෙණිගල සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටවන ලදී. එහෙත් ඒ වන විටත් වෙළෙඳපොළට නිකුත් කර තිබූ මත්පැන් අලෙවියට අනුමැතිය හිමිව තිබුණි.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ඇස් ඇරුණේ සමාජ කතිකාවලින් පසුවද යන්න අපටද මතුවන ගැටලුවකි. සුරාබදු බලපත්‍ර නීත්‍යනුකූල බැවින් තොරව නිකුත් කරනු ලබන බවත් පසුගිය ජනාධිපතිවරණ සමයේ පවා එසේ බලපත්‍ර නිකුත් කර ඇති බවත් සමාජයේ දැඩි කතාබහට ලක්විය. ඒ බව බලපත්‍රලාභී සුරාබදු බලපත්‍ර හිමි සංගමය විසින් මැතිවරණ කොමිසමට පවා පැමිණිලි කර තිබුණි.
මාසයේ පළමු දින 15 තුළ නිෂ්පාදනය කළ මත්පැන් වෙනුවෙන් ඊළග දින 15 තුළ සුරාබදු ගෙවීමට ඇති නමුත් මෙතරම් කෝටි ගණනක බදු එකතු වන තුරු සුරාබදු කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව කළේ කුමක්ද යන්නද ගැටලුවකි. අවසානයේ හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය ගැන ඇතිවූ ගැටලු මත ඔහු ඉවත් කරන්නට පවා රජයට සිදු විය.
අද තත්ත්වය
පසුගිය සැප්තැම්බර් මාසය වන විට සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව මත්පැන් නිෂ්පාදකයන් කිහිප දෙනෙකුට සිය මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහිමි වීමේ අවදානමක් මතුව තිබුණි.
මහා භාණ්ඩාගාරයේ උපදෙස් අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එම මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත දැනුම් දී තිබුණේ නොවැම්බර් මාසය අවසන් වන විට හිඟ බදු ගෙවා දමන ලෙසයි.
එම සමාගම් අතර කළුතර සිනර්ජි ඩිස්ටිලරීස්, කුරුණෑගල වයඹ ඩිස්ටිලරීස්, ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස්, සීමාසහිත හිඟුරාන ඩිස්ටිලරීස් (පෞද්ගලික) සමාගම සහ සීමාසහිත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම, සීමාසහිත රන්දෙණිගල ඩිස්ටිලරීස් ලංකා (පෞද්ගලික) සමාගම යන සමාගම්ය. එම සමාගම් වසර දෙකක කාලයක් සඳහා රජයට බදු ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වී තිබිණි.
එම සමාගම් අතරින් රන්දෙණිගල ඩිස්ටිලරීස් ලංකා (පෞද්ගලික) සමාගම විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු මුදල් පසුගියදා ගෙවා නිම කර තිබුණි. ඒ අනුව සෙසු නිෂ්පාදකයන් පස්දෙනාට එම මුදල් ගෙවන ලෙස බලධාරීන් විසින් නැවත නැවත දැනුම් දී තිබිණි.
සුරාබදු දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව රුපියල් බිලියන 8.5ක හිඟ මුදලක් ගෙවීමට ඇත. එයින් වැඩිම මුදල ගෙවීමට ඇත්තේ ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගමය. එය රුපියල් කෝටි 550ක්ද ඉක්මවන බව දැනගන්නට ඇත. මේ වන විට රජයට අයවිය යුතු වැට් බදු නොගෙවීම නිසා එහි අධ්යක්ෂවරයකුට හිරබත් කන්නට පවා සිදුව ඇත.
මේ අතර පසුගිය 13 වැනිදා ලැබුණු වාර්තාවලට අනුව හිඟ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයන් 5 දෙනෙකුගේ බලපත්‍ර අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එම තීරණය නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙන බව වාර්තා විය. කෙසේ වෙතත් මේ මාසයේ 30 වැනිදා දක්වා හිඟ බදු ගෙවීමට අදාළ සමාගම්වලට දැනුම්දී ඇති බවද නීතිපතිවරයා එහිදී කරුණු වාර්තා කර ඇත.
අපට ඇති ගැටලුව වන්නේ බලපත්‍ර අහිමි කළ පමණින් රජයට අය විය යුතු මුදල් ලබා ගන්නේ කෙසේද යන්න ගැනයි.
තාරක වික්‍රමසේකර