පසුගිය 14 වැනිදා පැවැති මහ මැතිවරණ ප්‍රතිඵල අනුව දසවැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තෝරා පත්කර ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අභිනව පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම 2024.09.24 දිනැති අංක 2403/13 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතියි. මෙවර අලුත් මුහුණ රැසකගෙන් පිරී පවතින නව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු පෙළ ගැස්ම මෙසේය.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ මහමැතිවරණයේ මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් 196ක් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරුන් 29 දෙනෙක්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව සුපුරුදු පරිදි 225ක් වෙයි.
පළමු දින ප්‍රධාන වගකීම්
පළමු දිනයේ සභා ගර්භයේ කටයුතුවල ප්‍රධාන වගකීම් පැවැරෙන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියටය. එදින මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙළක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමිවේ. සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වේලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5 සහ 6හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙළින් කථානායකවරයා ඡන්දයෙන් පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ඡන්දයෙන් තෝරා පත් කර ගැනීම සිදුකිරීමට නියමිතය.
කථානායකවරයා පත් කිරීම
පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ඕනෑම මන්ත්‍රීවරයෙක් පත් කළ හැකිය. නමුත් කිසියම් මන්ත්‍රීවරයෙකුගේ නාමයෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙර කථානායකවරයා ලෙස පත්වීමට අදාළ මන්ත්‍රීවරයාගේ කැමැත්ත විමසා දැනගනු ලැබිය යුතුය. කථානායකවරයා පත්කිරීම මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සිදුවිය යුතු අතර ඒ පිළිබඳ විවාද පැවැත්වීමට අවකාශ නොලැබේ.
එක් නමක් යෝජනා වූ පසු වෙනත් නාමයෝජනා තිබේද යන්න මහ ලේකම්වරිය විසින් සභාවෙන් විමසිය යුතුය. එසේ විමසීමේදී වෙනත් නාමයෝජනාවක් නොමැති නම් එම මන්ත්‍රීවරයා කථානායක ලෙස යථා පරිදි තෝරාපත් කර ගැනේ. මෙහිදී අදාළ මන්ත්‍රීවරයාගේ නම යෝජනා ස්ථිර කරනු ලැබූ මන්ත්‍රීවරයන් දෙදෙනා විසින් එම මන්ත්‍රීවරයාව දෙඅතින් අල්වාගෙන කථානායක අසුන වෙත කැඳවාගෙන යෑම ඓතිහාසික සම්ප්‍රදාය වේ.
අනතුරුව කථානායකවරයා විසින් සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම දීම සිදුකරන අතර එම දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දෙනු ලබන්නේ මහ ලේකම්වරිය ඉදිරියේය. එසේ පත්වන කථානායකවරයා සිය ආසනයේ අසුන් ගැනීමට පෙර තමාව තෝරා පත් කර ගැනීම පිළිබඳ කෙටි ස්තූතියක් සභාවට සිදු කිරීම සම්ප්‍රදායකි. අනෙකුත් මන්ත්‍රීවරුන් සිය ප්‍රතිඥාව හෝ දිවුරුම කථානායකවරයා වෙත ලබාදෙන්නේ ඉන් අනතුරුවයි.
කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති විටකදී රහස් ඡන්දයක් පැවැත්වේ. මෙලෙස රහස් ඡන්ද පවත්වන අවස්ථා 02ක් පාර්ලිමේන්තු ක්‍රමය තුළ පවති. එනම් කථානායක, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති තෝරා පත්කර ගැනීම සිදුකරන අවස්ථාව සහ පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගන්නා අවස්ථාවයි.
මෙම ඡන්ද විමසීමේදී ගණපූරණ සීනුව විනාඩි 05 ක් නාද කිරීමෙන් අනතුරුව මහ ලේකම්වරිය විසින් සෑම මන්ත්‍රීවරයෙකුටම ඡන්ද පත්‍රිකාව බැගින් ලබා දෙන අතර මන්ත්‍රීවරුන් ඒ මත ඡන්දය ලබාදෙන අපේක්ෂකයාගේ නම සහ සිය අත්සන යෙදිය යුතුවේ. අනතුරුව එම ඡන්ද පත්‍රිකාව කිසිවෙකුට නොපෙනෙන සේ නවා ඡන්ද පෙට්ටියට ඇතුළත් කළ යුතුවේ. ඡන්දයක් පැවැත්වීමේ ආකාරය තීරණය කිරීමේ බලය සහ ඡන්ද ගණන් කිරීමේ රාජකාරිය සම්පූර්ණයෙන් හිමි වන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙතයි. කිසියම් මන්ත්‍රීවරයෙක් බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා ඕනෑම විටකදී එම මන්ත්‍රීවරයා කථානායකවරයා ලෙස තේරී පත්වේ.
අනිකුත් තනතුරු
පාර්ලිමේන්තුවට තේරී පත්වන සියලු මන්ත්‍රීවරුන් පළමු දිනයේදී තම දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව අත්සන් තැබීමේ ලේඛනයේ අත්සන් තැබීම සිදුකළ යුතුය. මෙහිදී කථානායකවරයා පළමුවෙන් අත්සන් තබන අතර, අනතුරුව සම්ප්‍රදායක් ලෙස අගමැතිවරයා අත්සන් කිරීමෙන් පසු සෙසු මන්ත්‍රීවරු සිය අත්සන් යොදති. මෙම අත්සන් ලේඛනය සම්ප්‍රදායානුකූලව ඉතා ආරක්ෂිත ලේඛනයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.
නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ අවස්ථාව වන විට කථානායකවරයා තේරී පත්ව ආසනයේ රැඳී සිටින බැවින් සියලු දැනුම්දීම් සහ ඡන්ද විමසීම සිදු කරනු ලබන්නේ කථානායකවරයා විසිනි. නියෝජ්‍ය කථානායකවරයා සහ කාරක සභා සභාපතිවරයා සඳහා නාමයෝජනා වීමෙන් අනතුරුව කථානායකවරයා විසින් වෙනත් යෝජනා තිබේදැයි සභාවෙන් විමසනු ලබයි. එසේ නොමැති විටකදී අදාළ යෝජිත මන්ත්‍රීවරුන් තනතුරු සඳහා තේරී පත්වේ.
ඉහත කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තබනු ලැබේ. මෙහිදී කල් තබන දිනය වන්නේ බොහෝ විට ඊළඟට එළඹෙන පාර්ලිමේන්තු දිනයයි. කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ජනාධිපතිවරයා විසින් එදින පාර්ලිමේන්තුව අමතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබන්නේ නම් මූලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවා නැවත රැස්වන අවස්ථාවකදී ජනාධිපතිවරයා සභාවේ මුලසුනේ සිට එකී ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින්ම පාර්ලිමේන්තුව ඊළඟ දිනය දක්වා කල් තබනු ලැබේ.
ස්ථාවර නියෝග
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගැබේදී පිළිපැදිය යුතු හැසිරීම් රටාව සහ විවාදයන්හිදී පිළිපැදිය යුතු ක්‍රියා පිළිවෙත් නියාමනය කිරීම සඳහා එකඟ වූ නීති සමුදාය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයි. ස්ථාවර නියෝගවල අරමුණ වන්නේ පාර්ලිමේන්තුව විනයානුකූලවත්, අර්ථාන්විතවත් ක්‍රියාත්මක වීමට අවශ්‍ය ක්‍රියාපිළිවෙත් නිර්‌දේශ කිරීමයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එන නීති හා සමාන තත්ත්වයක් ස්ථාවර නියෝගවලටද ඇත. ප්‍රථම ස්ථාවර නියෝග මාලාව යොදා ගෙන ඇත්‌තේ, 1912 දීය.
මහ මැතිවරණයකින් අනතුරුව පැවැත්‌වෙන ප්‍රථම සැසි වාරයේ සභාවේ කටයුතු, මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීම, කථානායකතුමා, නියෝජ්‍ය කථානායකතුමා සහ කාරක සභා නියෝජ්‍ය සභාපතිතුමා තෝරා පත්කර ගැනීම, අභිනවයෙන් පත් වූ මන්ත්‍රීවරුන්‌ගේ දිවුරුම/ප්‍රතිඥාව සහ රැස්වීම්වල දිනය සහ කාලය නියම කර ගැනීම ආදී කාර්යයන් නියාමනය කෙරෙන්‌නේ වත්මන් ස්ථාවර නියෝගවලට අනුවය. ගණපූරණය සහ පාර්ලිමේන්තුවේ කටයුතු පාලනය වන්‌නේ ද ස්ථාවර නියෝග මඟිනි. හදිසි පනත් කෙටුම්පත, පෞද්ගලික මන්ත්‍රී යෝජනා, විසර්ජන පනත් කෙටුම්පත, ඡන්දය ප්‍රකාශ කිරීම සහ බෙදීම යනාදී අවස්ථාවලදී පිළිපැදිය යුතු ක්‍රියා පිළිවෙත්, විවාදවලදී පිළිපැදිය යුතු නීති, සභා ගැබේදී පිළිපැදිය යුතු රීති, දෝෂාභියෝගයට ලක් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් ද මෙම ස්ථාවර නියෝගවල දක්වා තිබේ.
කාරක සභා
ව්‍යවස්ථාදායකයක් සතුව ඇති අධික වැඩ ප්‍රමාණය හා ඒ සඳහා යොදාගත හැකි කාලය සීමාසහිත වීම නිසා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සෑම කාරණයක්ම දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කිරීම අපහසු කාරණයකි. මෙම වැඩකටයුතු ඉක්මනින් හා සාධාරණ සැලකිල්ලකින් යුතුව සිදුකිරීමට නම් එහි යම් යම් වගකීම් සමස්ත සභාවේම විශ්වාසය දිනාගත් යම් කිසි කණ්ඩායමකට පැවරීමට සිදුවේ. මෙම කාර්යය සපුරා ගැනීම සඳහා යොදාගෙන ඇති වඩාත් ප්‍රායෝගික ක්‍රමය වන්නේ කාරක සභා ක්‍රමයයි. එය සමස්ත ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් සුළු සංඛ්‍යාවකින් යුක්ත වූවකි.
කාරක සභා පත්කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වන ව්‍යවස්ථාවෙන් පිළිගනු ලැබ ඇති අතර, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව පාර්ලිමේන්තුවේ රැස්වීම් කටයුතු විධිමත් කිරීම සඳහාත් පාර්ලිමේන්තු රැස්වීම්වලදී විනය ආරක්ෂා කර ගැනීම සඳහාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධිවිධාන සැලසිය යුතු හෝ බලාත්මක කිරීම අවශ්‍ය වන ඕනෑම කාරණයක් සඳහාත් ස්ථාවර නියෝග සෑදීමේ බලය පාර්ලිමේන්තුවට එමඟින් ලැබේ.
බලතල හා වරප්‍රසාද පනත
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, පරිහාර සහ බලතල ප්‍රකාශ කිරීම හා නිශ්චය කොට දැක්වීම පිණිසත්, පාර්ලිමේන්තුවේ භාෂණයේ සහ විවාද කිරීමේ නැතහොත් කටයුතුවල නිරතවීමේ නිදහස ආරක්ෂා කිරීම පිණිසත්, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම් සම්බන්ධයෙන් දඩුවම් පැනවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසත්, පාර්ලිමේන්තු වාර්තා, ලියවිලි, කාර්ය සටහන්, ඡන්ද විමසීම් හෝ කටයුතු පළ කිරීමේ නියුක්ත වී සිටින තැනැත්තන් ආරක්ෂා කිරීම පිණිස සඳහා වූ පනතකි.
1997 අංක 27 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව මන්ත්‍රීවරුන්ට හිමි වන, මුදලින් වටිනාකම තක්සේරු කළ නොහැකි වරප්‍රසාදයක් තිබේ. ඒ, පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ පවසන දෙයක් පදනම් කරගෙන අදාළ මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීමට හෝ ඔහු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නොමැති වීම ය. එමෙන් ම එම ප්‍රකාශ පදනම් කරගෙන නඩු පැවරීමේ හැකියාව ද කිසිවෙකුට නැත.
ආසන පහසුකම්
සභා ගර්භය තුළ මන්ත්‍රීවරුන්ට ආසන පහසුකම් සලසා ඇත්‌තේ මේස සහිතව තට්ටුවෙන් තට්ටුව උස්වන පරිදි සවි කළ ආසන මඟිනි. සභා ගර්භය තුළ වායු සමීකරණ පහසුකම් ද සහිතව මන්ත්‍රීවරුන් 232 ක් සඳහා ආසන පහසුකම් ඇත. ඔවුනොවුන්ට හිමි ආසන ප්‍රමාණය පදනම් කර ගනිමින් ඒ ඒ පක්ෂ සහ කණ්ඩායම් සඳහා සභාව තුළ ආසන පනවා ඇත. ආණ්ඩු පක්ෂය මූලාසනයේ දකුණු පසින් ද, විපක්ෂ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වම් පසින් ද, සිටින සේ සභා ගර්භය තුළ අසුන් පනවා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව වසර පහක කාල සීමාවක් සඳහා තෝරා පත්කර ගත් මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනෙකුගෙන් පාර්ලිමේන්තුව සමන්විත විය යුතුවේ.
විශේෂ කාර්යයන් සඳහා එනම් හැන්සාඩ් නිලධාරීන් සඳහා වෙන් වූ කුටි සහ පාර්ලිමේන්තු නිලධාරීන් සඳහා වෙන් වූ කුටි පිළිවෙළින් මූලාසනයේ වම් සහ දකුණු පැතිවල පිහිටා තිබේ. පාර්ලිමේන්තු කතා පරිවර්තකවරුන් සහ රජයේ නිලධාරීන් සඳහා වෙන් වූ කුටි මූලාසනයට විරුද්ධ දිශාවේ පිහිටා ඇත. සභා ගර්භය දෙපස පුළුල් ආලින්ද පිහිටා ඇති අතර මන්ත්‍රීවරුන්ට අසුන් ගෙන සුහද සාකච්ඡාවල යෙදිය හැකිය.
විශේෂ වරප්‍රසාද
පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම වෙනුවෙන් පැමිණීමේ දීමනාවක් මන්ත්‍රීවරුන්ට හිමිවන අතර, රැස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගී වීම වෙනුවෙන් ද දීමනාවක් හිමිවෙයි.
මන්ත්‍රීවරුන්ට කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට කාර්යාල දීමනාවක් හිමිවෙයි. පරිගණකයක්, ඡායා පිටපත් යන්ත්‍රයක්, ෆැක්ස් හා ජංගම දුරකතනයක් ඇතුළත් ලක්ෂ 5ක් වටිනා කාර්යාල උපකරණ ලබා ගත හැකිවීම තවත් වරප්‍රසාදයකි. එයින් රුපියල් ලක්ෂයක් මන්ත්‍රී වැටුපෙන් ගෙවීමේ ක්‍රමයට කපා ගනියි. මන්ත්‍රීවරුන්ට අවශ්‍ය කාර්යාල පිරිස් ලෙස පර්යේෂණ නිලධාරි, ලේකම්, යතුරු සහායක, කාර්යාල කාර්ය සහායක හා රියැදුරන් දෙදෙනෙක් පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් වන අතර වැටුප් ගෙවන්නේ රජයෙනි.
මීට අමතරව සංග්‍රහ දීමනාවක්, රියැදුරු දීමනාවක් හිමිවන අතර එක් එක් මන්ත්‍රීවරයා තේරී පත්වුණ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගෙන ඉන්ධන දීමනාවක් වැටුපට එක්වෙයි. මීට අමතරව දුරකතන දීමනාවක්, පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාවක්, නිදහස් තැපැල් පහසුකම් සෑම මන්ත්‍රීවරයෙකුටම හිමිවෙයි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුම ආසන්නයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපනය කර තිබේ. එයින් ප්‍රතිකාර ගැනීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලැබේ. ඊට අමතරව පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගැනීම සඳහා රුපියල් මිලියනයක වටිනාකමක් සහිත රක්ෂණ ආවරණයක් හිමි වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන වරප්‍රසාද අතර තීරු බදු රහිත වාහන බලපත්‍රය සුවිශේෂී වේ. මාදිවෙල නිල නිවාස 120 න් නිවාසයක් නැති මන්ත්‍රීවරුන්ට දුර අනුව නිවසක් හිමි වෙයි. මාසිකව රුපියල් 4000 ක් වැටුපින් කැපෙන අතර ජල, විදුලි බිල්පත් තමන් විසින්ම ගෙවිය යුතුය. එසේම නිවෙසකට ආරක්ෂක විදුලි පහන් 4ක් ආරක්ෂාව වෙනුවෙන් ලබා දෙයි. එය ලබා දෙන්නේ විදුලිබල මණ්ඩලයෙනි.
විශ්‍රාම වැටුප සඳහා අවුරුදු 5ක සේවා කාලයක් සම්පූර්ණ කළ පසු මුළු වැටුපෙන් තුනෙන් එකක් හිමි වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නොමිලේ ගිනිඅවියක් සහ ගිනිඅවි පුහුණුව ලැබේ. පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියගේ නිර්දේශය මත ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ ගිනිඅවිය නිකුත් කරනු ලබයි. පාර්ලිමේන්තුව තුළදි දේශීය වෛද්‍ය ප්‍රතිකාර සේවාව මෙන්ම කාය වර්ධන සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම වැඩිදුර ගවේෂණ කටයුතු සඳහා අගනා පුස්තකාල පහසුකම්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවෙයි. කෙසේ වෙතත් මේ සියලු කරුණු කාරණා මෙන්ම මුදල් ප්‍රමාණයන් පාර්ලිමේන්තුව රැස්වී වෙනස් කර ගැනීමේ හැකියාවද පවතීයි.
තොරතුරු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය
සුභාෂිණි ජයරත්න