2024 මහමැතිවරණය ශ්‍රී ලංකාවේ නිදහසින් පසු පැවැති මැතිවරණ දේශපාලනය තුළ අතිශය වැදගත්ය. ඒ හේතු කිහිපයක් නිසාවෙනි. මෙතුවක් කාලයක් ලංකාවේ දේශපාලන බලය අත්පත් කරගත් පක්ෂ හා සංවිධානවලට විකල්පයක් ලෙස ප්‍රථම වරට නිර්ප්‍රභූ වෙනත් බලවේගයක් බලයට පැමිණි පළමු අවස්ථාව ලෙස පසුගිය ජනාධිපතිවරණය ඉතිහාසයට එක්විය. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ අභිබවා තෙවෙනි බලවේගයක් ලංකාවේ පළමු තැනට පළමු අවස්ථාව එයයි. ජනාධිපති ධුරය දරන දේශපාලන පක්ෂය හෝ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගෙන දේශපාලන ස්ථාවරභාවය ලබාගැනීමට පවත්නා හැකියාව සාමාන්‍ය කාරණයකි.
ඒ නිසාම මෙම මහමැතිවරණය යනු ඉකුත් ජනාධිපතිවරණයෙන් ලැබූ ජය පාර්ලිමේන්තුවෙන් තහවුරු කරනු ලැබූ අවස්ථාව ලෙස පළමුව හඳුනාගත හැකිය. එහෙත් ජනාධිපති ධුරය හොබවන පක්ෂයකට පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණයක් ලබාදීමෙන් ලැබෙන දේශපාලන ස්ථාවරත්වයෙන් එහාට ගිය පිළිතුරක් මෙම ප්‍රතිඵලය තුළ තිබේ. ඒ අප රටේ දැවැන්ත ප්‍රශ්නයක් බවට පත්ව ඇති මහජන මුදල් අනිසි ලෙස වියදම් කිරීම හා දූෂණ අක්‍රමිකතා පිළිබඳ පවත්නා මහජන සවිඥානකත්වයයි. ජනාධිපතිවරණයෙන් පසු මාසයක කාලය තුළ ජනාධිපති, අගමැති ප්රමුඛ කැබිනම් මණ්ඩලය විසින් පෙන්වන ලද වියදම් අවම කිරීමේ මෙන්ම විනිවිදභාවයෙන් යුතු ක්‍රියාකලාපයේ ආදර්ශය මේ ජයග්‍රහණය සුවිශේෂී කරන්නට හෙතුවක් වූ බව පැහැදිලිය. සෙසු දේශපාලන පක්ෂ විසින් තමන්ගෙ පරාජය බාරගෙන තිබීමත්, ආණ්ඩු බලය ලබාගැනීම වෙනුවට ශක්තිමත් විපක්ෂයක් යන්න තේමා කර ගැනීමත් ඔවුන්ගේ පරාජයට හා මාලිමාවේ ජයග්‍රහණයට හේතු විය. මන්දයත් විපක්ෂයේ එකී දේශපාලන පක්ෂ විසින් සිය වගකීම් පැහැරහැරීමක් එමඟින් සිදුවඇති බැවිනි. ඔවුන් ජනතාවගෙන් අවලංගු වීමට එය හේතුවකි.
දේශපාලන බලය වඩාත් ශක්තිමත් කරගැනීමේ අවශ්‍යතාව
මෙම සුවිශේෂී ජයග්‍රහණය තුළ හැඟවෙන දෙවෙනි කාරණය නම් ලංකාව මේවනවිට මුහුණදී සිටින ආර්ථික අර්බුදය තුළ දේශපාලන බලය වඩාත් ශක්තිමත් කරගැනීමේ අවශ්‍යතාවයි. පසුගිය කාලයේ මුහුණදුන් දේශපාලනය අස්ථාවර වීම් ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලට බාධා පැමිණවූ බව නොරහසකි. අස්ථාවර මොහොතක පාර්ලිමේන්තුව තුළින් තෝරාපත් කරගත් ජනාධිපතිවරයෙකුගෙන් යම් ස්ථාවර මාර්ගයකට ප්‍රවේශ වීමේ හැකියාවක් ලැබුණත්, එය තහවුරුවීමක් නොවුණි. ඒ තත්ත්වය තුළ ලංකාවේ දේශපාලන බලය වඩාත් ස්ථාවර කර ගැනීමේ අභිලාෂය ජනතාවට තිබුණි. ජාතික ජන බලවේගය ලැබූ ජය සුවිශේෂී වන්නේ පැවති අස්ථාවරත්වය තුළ මෙතෙක් රටේ බලය නොදරපු දේශපාලන පක්ෂයක් කෙරෙහි ජනතාව විශ්වාසය තැබීමය. එක් පක්ෂයකට ජනාධිපති ධූරයත්, තවත් පක්ෂයකට ව්‍යවස්ථාදායකයත් යාම යම් ආකාරයක ගැටුම්කාරී, තවදුරටත් රට අරාජික තත්ත්වයකට කැටුව යාමක් බව ජනයා අත්දැකීමෙන් දැක තිබුණි. එම නිසා එම තත්ත්වය වෙනස් කර ගැනීමට මෙම ප්‍රතිඵලය තුළින් ඉඩකඩ ලැබෙන බව කිව හැකිය.
මෙම මැතිවරණයේ වඩා සුවිශේෂීත්වය වන්නේ මේ කිසිවක් නොව ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ දකුණෙන් බිහිවූ ප්‍රධාන පක්ෂයකට උතුරේ බලය සන්ධානගතවීමකින් තොරව ලබාදීමය. පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ කිසිම අවස්ථාවක එය මීට පෙරාතුව ඉටු කර ගැනීමට නොහැකි විය. ද්‍රවිඩ හෝ මුස්ලිම් දේශපාලන පක්ෂ විසින් ඒ සෑම අවස්ථාවකම එකී ජය තහවුරු කරගනු ලැබිණි. එහෙත් මෙවර සමස්ත මැතිවරණ ඉතිහාසය තුළ මුල්වරට ජාජබයට යාපනය ඇතුළු උතුරේ ප්‍රධාන දිස්ත්‍රික්ක හා ජන්ද බල කොට්ඨාසවල බලය ලබා ගැනීමට හැකි විය. උතුරු හා නැඟෙනහිර වාර්ගික වශයෙන් දේශපාලනය ධ්‍රැවීකරණය වී තිබුණු අතර යුද්ධය නිසා එය වඩාත් තීව්ර වී තිබුණි. යුද්ධයෙන් පසුව වුවද, එම එකමුතුභාවය හෝ සහජීවනය ළඟා කර ගැනීමට දකුණේ කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට හැකියාවක් නොලැබුණි. මීට පෙරාතුව ජනාධිපතිවරණ ජයග්‍රහණ පවා ලබාගනු ලැබුවේ උතුරේ පක්ෂ හෝ කණ්ඩායම් සමඟ යම් යම් ගිවිසුම්වලට නතුවීමෙන් හෝ සන්ධානගත වීමකිනි. ඒ එබැවින් මෙහිදී එම තත්ත්වය මුළුමනින්ම වෙනස්ව ඉතිහාසයේ මුල්වරට දකුණේ දෙශපාලන බලවේගයක් උතුර ජයග්‍රහණය කරන ලදී. එහි සාම්ප්‍රදායික ද්‍රවිඩ දේශපාලන පක්ෂ දෙවෙනි තැනට ඇද වැටීම සිදුවිය. මෙම ඡන්ද ප්‍රතිඵල විමර්ශනය කිරීමේදී ජාජබය 4 වෙනි ස්ථානයට පත්ව තිබුණේ කල්කුඩා ආසනයේදී පමණය. සෙසු සෑම ආසනයක්ම ජයග්‍රහණය කිරීමට නොහැකිවීනම් දෙවෙනි ස්ථානයට හෝ පත්ව තිබුණි. ඒ අනුව මුතූර් හා මන්නාරම හැරුණු විට අනෙකුත් සෑම තැනකම බලය තහවුරු කර ගැනීමට මාලිමාවට හැකි විය.
රජුන් තැනීමේ කලාවෙන් මිදුණු හැටි
අනෙක් අතට මෙවර මහමැතිවරණයේදී මීට පෙරාතුව මෙන් සාම්ප්‍රදායික ලෙස උතුරේ දේශපාලන නායකයින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කරන්නට හෝ එතැනින් එහාට ගිය බලතල බෙදීම් ගැන සාකච්ඡාවක් ගෙන ඒම දක්නට නොලැබුණි. උතුරේ ජනයා බොහෝ විට හැසිරුණේ ඒ ඒ දේශපාලන පක්ෂවල ඉල්ලීමට අනුවය. පෞද්ගලික න්‍යාය පත්රවලට අනුවය. පුද්ගලිකව ජනතාවට එම තත්ත්වයෙන් මිදීමක් නොතිබුණි. එහෙත් මෙවර මහමැතිවරණයේදී සාමාන්‍ය ජනයා තමාට අවශ්‍ය පාලනය කුමක්ද යන්න තේරුම් බේරුම් කරගෙන තිබේ. තමාට අත්‍යවශ්‍ය වන්නේ ආර්ථික වශයෙන් කුමක් හෝ ප්රතිලාභයක්ද? එසේත් නැතිනම් නිදහස් පුරවැසියෙකු ලෙස, ගෞරවනීය ලෙස ජීවත්වීමේ නිදහසද? එසේත් නැතිනම් සාම්ප්‍රදායික නායකයින් ඉල්ලන 13 වැනි සංශෝධනයදයන්න නිසි ලෙස වටහාගෙන ඇත. එබැවින් මෙම දේශපාලනික මොහොත පොදු ජනයාගේ දේශපාලන අභිලාෂයන් මුදුන් පැමිණවීමක් ලෙස හඳුනාගත හැකිය. සාම්ප්‍රදායික ප්‍රාදේශීය දේශපාලන නායකත්වයන්හි අභිමතාර්ථයක් පරදවා සාමාන්‍ය ජනයා ලැබූ ජයග්‍රහණයකි. රජුන් තැනීමේ කලාවෙන් මිදී වතුකරයත් අලුත් දේශපාලන ගමනකට අවතීර්ණ වී තිබීම අගය කළ යුත්තකි.
මධ්‍යම කඳුකරයේ ද්‍රවිඩ ජනයා හසුරුවන දේශපාලන නායකත්වය විසින් මෙම ද්‍රවිඩ ජනයාගේ ඉරණම තීරණය කරනු ලැබුණි. මෙම නායකයන් විසින් දේශපාලනය මෙතුවක් කාලයක් කරනු ලැබුවේ පීඩිත ජනයා පෙන්වා තමන්ගේ වරප්‍රසාද ලබාගැනීම වෙනුවෙන් බහුතර බලයක් ලබාගත් දකුණේ ආණ්ඩු සමග කේවල් කිරීම පමණි. එය බොහෝවිට දෛනික වැටුප ඉතා සුලු වශයෙන් ඉහළ නංවා ගැනීම, යම් යම් සුබසාධන දීමනා ආදියට අදාළව පමණි. ඒ හැරුණුවිට සමාජ, ආර්ථික, දේශපාලන අයිතිවාසිකම් හෝ වරප්‍රසාද කිසිවක් මෙම ද්‍රවිඩ ජනයාට නොලැබුණි. එපමණක් නොව බලයට පත්වූ රජයන් පවා කටයුතු කරනු ලැබුවේ තම දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගැනීමට මෙම නායකයින් මත විශ්වාසය තබා කටයුතු කිරීමය. නුවරඑළිය-මස්කෙළිය ආසනය ඒ සම්බන්ධයෙන් දිය හැකි හොඳම නිදසුනකි. මෙය බහු මන්ත්‍රී ආසනයකි. මෙයින් විශාල ඡන්ද සංඛ්‍යාවක් යම් දේශපාලන පක්ෂයකට හිමිකර ගැනීමට අවස්ථාව සැලසේ. මෙය ජනාධිපතිවරණය වැනි මැතිවරණවලදී සමස්ත ප්‍රතිඵලයට විශාල බලපෑමක් එල්ල කරනු ලැබූ ප්‍රතිඵලයක් ලෙස සැලකීම අවිවාදිතය. එහෙත් මෙවර මහමැතිවරණයේ ප්‍රතිඵලය විසින් පෙන්නුම් කරන්නේ මෙම තත්ත්වය වෙනස්වී ඇති බවයි. සාම්ප්‍රදායික උතුරේ මෙන්ම මධ්‍යම කඳුකරයේ නායකයින්ගේ පොරොන්දු දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් යම් ආකාරයක නිදහස්ව ඡන්දය භාවිත කිරීමක් මෙහිදී දකින්නට ලැබේ. එකී ‘නිදහස‘ සංකේතවත් වනුයේ මෙතෙක් මෙම ප්‍රදේශවල සාම්ප්‍රදායිකව බලය ලබාගත් සියල්ලම පරාජයට පත්වී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීම ඓතිහාසික මොහොතය. මන්ද යත් ජාජබය යනු වතුකම්කරු ජනයා ආශ්රිත වැඩ කළ දේශපාලන පක්ෂයක් නොවන බැවිනි. එවැනි පක්ෂයක් මධ්‍යම කඳුකරය වැනි සුළු වාර්ගික ජන පදනමක තමාගේ ඡන්ද පදනම තහවුරු කර ගැනීම යනු සුවිශේෂී කාරණයකි.
සැබෑ ජනවරමක්
මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය තුළ 1956 දී, මහජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කිරීම, 1970 දී සමගි පෙරමුණ ජයග්‍රහණය, 1977 දී එක්සත් ජාතික පක්ෂය ලැබූ සුවිශේෂී ජයග්‍රහණය යනාදිය කැපී පෙනෙන සංධිස්ථානයන්ය. එයින් තනි දේශපාලන පක්ෂයක් ලැබූ විශිෂ්ටතම අවස්ථාව වන්නේ පාර්ලිමේන්තුවේ 6න් 5ක බලයක් තහවුරු කළ 77 එජාප ජයග්‍රහණයයි .නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම, ආර්ථිකය විවෘත කිරීම ඇතුළු පසුකාලීනව දේශපාලන හා ආර්ථික වෙනස්කම් සඳහා හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස වෙනස්කම් රාශියක් කරන ලද්දේ මේ ජයග්‍රහණය සමඟින්ය. එහෙත් 56දී, 70දී , හෝ 77 දී පැවති ව්‍යවස්ථාවන් තුළින් එකී මහමැතිවරණවල සුවිශේෂී බලයක් අත්පත් කරගනු ලැබුවේ පැවති සරල බහුතර නියෝජන ක්‍රමය තුළිනි. 78 ව්‍යවස්ථාවෙන් සමානුපාතික නියෝජන ක්‍රමය යෝජනා කරන ලද එක් හේතුවක් වූයේම තුනෙන් දෙකක බලයක් කිසිවකුටත් ලබාගැනීමට නොහැකි තරමට බාධා කිරීමය. 2019දී ගෝඨාභය රාජපක්ෂ වුවද, තුනෙන් දෙකක් පාර්ලිමේන්තුව තුළ සාදාගනු ලැබුවේ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවට වෙනත් පක්ෂවවලින් තේරී පත්වූ කිහිපදෙනකු ගේ සහාය ආණ්ඩු පක්ෂයට ලබාගැනීමෙනි. එහෙත් ඊට වෙනස්ව සියලු උපකල්පනයන් වැරදි බව තහවුරු කරමින් තනි දේශපාලන පක්ෂයක් තුනෙන් දෙකකට අධික බලයක් සමානුපාතික නියෝජන ක්‍රමයක් තුළ මෙලෙස අත්පත් කර ගැනීම අතිශය සුවිශේෂීය. සැබෑ ජනවරමකි.
ශක්තිමත් පාර්ලිමේන්තුවක් සහිත මෙතෙක් බලයට පත්වූ ආණ්ඩු සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවල සිදුවූයේ මහජනයාට වඩා හිතකර අණ පනත් හෝ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමකට වඩා ප්රජාතන්ත්ර විරෝධී කටයුතුවලට මංපාදා ගැනීමය. ඒ ඒ පාලකයන්ගේ පුද්ගලික න්‍යාය පත්රයන්ට ප්‍රමුඛත්වය ලබා ගැනීමය. මෙම අවස්ථාවේදීත් එවැනි තත්ත්වයක්ම උද්ගතවේදැයි ඇතැම් විපක්ෂයේ කණ්ඩායම් කල්පනා කරනු පෙනෙයි. එහෙත් ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්තිය හා ඔවුන් ජනාධිපතිවරණයෙන් පසු කටයුතු කළ කෙටි කාලය ඊට වඩා යහපත් බලාපොරොත්තුවක් ජනතාවට ඉතිරි කර තිබේ.
විධායක ජනාධිපති ධුරයෙන් තොර රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අත්‍යවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද, පුන පුනා පවසා තිබිණි. විධායක බලතල සහිත විධායකය කෙතරම් හානිදායකදැයි මාලිමා අපේක්ෂකයන් පවා නිරන්තරයෙන් පෙන්වා දී තිබිණි. ව්‍යවස්ථාමය බලතල සහිතව තනි පුද්ගලයකුගේ පාලනයක් බවට පත්වීමේ අනිටු ඵලවිපාක අප ඕනෑතරම් අත්දැක තිබේ. මෙම තත්ත්වය අවසන් කිරීම හා සුදුසු ක්‍රමයක් පවත්වා ගැනීම අභිනව රජයේ ප්‍රමුඛතම කාර්යභාර්යයක් වනු ඇත. විධායක බලය තුළ ඇතැම් බලතල තිබිය යුතුය. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම් කාරණා මෙන්ම අස්ථාවර දේශපාලන තත්ත්වයන් තුළ විධායක බලතල නිසා යම් රැකවරණයක් ලැබුණු බව අප පිළිගත යුතුය. එසේ වුවද සමස්තයක් ලෙස සලකා බැලීමේදී වඩාත් සිදුව ඇත්තේ මෙම බලතල අවභාවිතා කිරීමකි. එමඟන් ජනජීවිතයට අනිසි බලපෑම් කිරීමය. සමාජ සාධාරණත්වය හා සමාජ යුක්තිය ඉටු කරනවාට වඩා ප්රජාතන්ත්රවාදයට, පුරවැසියන්ට හානිදායක ලෙස යම් යම් දේ සිදුවූ බව ද ඒ තරමටම පිළිගත යුතුය. මේ නිසාම විධායක බලතල සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට හෝ රටට ගැළපෙන යුක්තිය හා සාධාරණත්වය තහවුරු කෙරෙන විශේෂයෙන්ම සුලු වාර්ගික ජන කොටස්වල සමාජ යුක්තිය ඉටුවන නව ව්‍යවස්ථාවකට අප යා යුතුය. මෙම මැතිවරණයෙන් තම සහජීවනයේ දෑත දිගු කළ සුලු වාර්ගික ජනයා බලාපොරොත්තුවන දේශපාලන, ආර්ථික අවශ්‍යතා වෙනුවෙන්, ඒ අය කැමති ක්‍රමයකට යාමේ අවශ්‍යතාව තිබේ. එබැවින් ලැබුණා වූ බලය කුමන දිශානතියකට භාවිත කරන්නේ ද යන්න අනාගත ක්‍රියාකාරීත්වය තුළ නිරීක්ෂණය වනු ඇති නමුත් අපට සුබවාදී බලාපොරොත්තුවක් ඇති කරගත හැකිය.
ප්‍රියාන් ආර් විජේබණ්ඩාර