මීට අවුරුදු පනහකට පමණ පෙර 1974 අප්‍රේල් මස 24 වෙනි දින ලේක්හවුස් පුවත්පත් ජාලයේ දිනපතා පළවන “ඩේලි නිවුස්” ඉංග්‍රීසි පත්‍රයේ අමුතුම මාදිලියේ අරුම පුදුම මරණ දැන්වීමක් පළ වූයේ ය. එකල ශත 35ක් මිල වූ පිටු හයකින් සමන්විතව නිකුත් වී ඇති එම පත්‍රයේ දෙවන පිටුවේ මරණ දැන්වීම් එකොළහක් එදින පළ වී ඇත. එයින් නමවන මරණ දැන්වීම අපගේ මෙහි ප්‍රස්තුතයට සම්බන්ධ දැන්වීමයි. එය පළ වී ඇත්තේ මෙසේය.
“O’ CRACY – The death occurred under tragic circumstances of D.E.M. O’CRACY beloved husband of T. Ruth, Loving father of L.I. Bertie, brother of Faith, Hope and Justitia. Interred on Saturday. 20th inst. Araliya Medura, Panagiyawatte, Anduruwala.”
ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූ යථෝක්ත මරණ දැන්වීමේ සිංහල අර්ථය දක්වතොත් මෙසේය. ඕ ක්‍රිසි ටී රූත් මහත්මියගේ පෙම්බර ස්වාමිපුරුෂයාණන් වූද එල්.අයි. බර්ටිගේ ආදරණීය පියාණන් වූද ෆේත්, හෝප්, සහ ජස්ටිෂියාගේ දයාබර සොහොයුරාණන් වූ ද ඩී.ඊ.එම්.ඕ. ක්‍රිසි මහතා ඉතාමත් කනගාටුදායක ලෙස හදිසිමෙ මියැදුණ අතර භූමදාන කටයුතු මේ මස 20 වෙනි සෙනසුරාදා සිදු කරන්නට යෙදුණ බව ඉතා සංවේගයෙන් යුතුව මෙයින් දැනුම් දෙනු ලැබේ. අරලිය මැදුර, පනගියවත්ත, අඳුරුවෙල.
මෙම අපූරු විස්මයජනක මරණ දැන්වීමේ ඇතුළත් අන්තර්ගතය පිළිබඳව විමසා බැලීම ඉතාමත් වැදගත් වේ යැයි සිතමි. D.E.M. O’cracy (Democracy) සමානාත්මතාවය පදනම් කරගත් සාධාරණ සමාජයක වූ ප්රජාතන්ත්රවාදය, T. Ruth (Truth) ඇත්ත, ඇති සැටියෙන්ම පිළිබිඹු වන පරිදි පිළිගත් සත්‍යය, L.I. Bertie (Liberty) ස්වාධීනත්වය පිළිබිඹු කරන නිදහස, Faith දැඩි විශ්වාසයෙන් යුත් අවංකකම Hope ළෙන්ගතුකම, අපේක්ෂාව සමඟ මුසු වූ විශ්වාසය, Justitia සාධාරණය, ධර්මිෂ්ඨකම සමඟ මුසු වූ යුක්තිය යනාදියයි.
ඉහත දැක්වූ වචනාර්ථ සම්බන්ධතාවය අනුව සලකා බැලීමේදී මෙම දැන්වීමෙන් අදහස් කරන්නේ පහත සඳහන් පරිදි මෙවන් අදහසක් විය හැකි බව පෙනේ. එනම්
සත්‍යයෙහි සදාදාර පෙම්බර ස්වාමිපුරුෂයාණන් වූද, නිදහසේ ආදරණීය දයාබර පියාණන් වූද, යුක්තිය විශ්වාසය හා අවංකත්වයේ දයාබර සොහොයුරාණන් වූද, ප්රජාතන්ත්රවාදය නමැති ශ්‍රේෂ්ඨ පුද්ගලයා ඉතාමත් අවාසනාවන්ත ලෙස හදිසියේම මියගිය අතර අවසන් කටයුතු මෙම මස 20 වෙනි දින සිදුකරන ලද බවය.
තවදුරටත් ඒ පිළිබඳව කරුණු විමසීමේදී පැහැදිලි වන්නේ එකල රටේ පැවති අසාධාරණ පාලනයට විරුද්ධව රටේ මහජනතාව දැනුම්වත් කිරීම සඳහා ඒ මස 20 වෙනිදාට යොදාගෙන තිබූ රැස්වීමක් රජය මඟින් එදින ඇඳිරි නීතිය පැනවීම නිසා තහනම් කෙරිණි.
ඊට ප්‍රතිචාර දැක්වූ විරුද්ධවාදීන් කියා සිටියේ නිදහස නම් වූ ප්රජාතන්ත්රවාදයේ මළගම රජය මඟින් අප්‍රේල් 20 වෙනි දින සිදු කළ බවයි.
එදා අවුරුදු පනහකට පෙර කියූ ඒ අඳුරු යුගය අදට ද පුරා අවුරුදු 50ක් නොව 76ක් පුරාම විනාශ කරමින් පවතින බව වර්තමානයේ සෑම දේශපාලන වේදිකාවකින්ම පාහේ ඇසේ. එය එදා මෙන්ම නොවෙනස්ව පවතින බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. නාස්තිය, දූෂණය, අල්ලස, අවනීතිය, බලලෝභීත්වය, ඥාති සංග්‍රහ, සුදුස්සාට සුදුසු තැන නැතිවීම ආදී මේ දේවල් ඒ ආකාරයෙන්ම තවමත් පවතින බව එහිදී පැහැදිලිව පෙනේ.
එහෙයින් පවතින මේ ක්රමයන් වෙනස් කර සාධාරණ සමාජයක්, යුක්ති ගරුක රටක්, ස්වයංපෝෂිත දිවයිනක් මෙන්ම ශ්‍රී ලංකාව නව මඟකට, හරි මඟකට ගැනීම සඳහා වර්තමාන ජනාධිපතිතුමාට රටේ බහුතර ජනතාවකගේ බලය නීත්‍යනුකූලව පවරා ඇත. එතුමාට ඒ කාර්ය ඉටු කිරීම සඳහා ශක්තිමත් රජයක්, ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා බලය අවශ්‍ය වේ. එසේ නොවුණහොත් පසුගිය යහපාලන ආණ්ඩු කාලයේ මෙන්ම දෙපසට ඇඳිම නිසා රට එතැනම සිටීවි යැයි සැකයක් පවතී.
එහෙයින් එළඹෙන මැතිවරණයේදී එ් බලය නොලැබුණ හොත් එතුමාට ද කීමට උත්තර බොහෝ තිබෙනු ඇත.
ලංකාවේ පළමුවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීන් තෝරා පත්කර ගැනීමේදී ඡන්දදයකයා ඡන්දය දීමට පෙර සැලකිලිමත් විය යුතු, විමසිලිමත් විය යුතු කරුණු කීපයක් පිළිබඳව එකල සිටි ජාති හිතෛෂී, දේශමාමක ලේඛකයකු වූ පියදාස සිරිසේන ශූරීන් විසින් ලියන ලද කවි පන්තියකි මේ.
රටේ මහජනතාව වෙත ආයාචනය කරමින් එදා සිංහල ජාතිය පුවත්පතට එතුමා විසින් ලියන ලද එම කවි පන්තිය එදාට මෙන්ම අදට ද ගැළපෙන හෙයින් මෙසේ ලියා දක්වමි.
පාර කපන ජාතික නිදහස් බිමට
වීර ගුණය මිස හිස් බව නැත නිවට
නෑර යුතුකමට දිවි දෙන සියලු විට
වීරයෙකුට මිස ඡන්දය නොදෙන් පිට
කිසිත් බොරු මාන ගති නැති සුපසන්න
රටත් ජාතියත් සමයත් රැක ගන්න
මහත් වීරිය ගත් උතුමකු හට වන්න
ඔබත් සොහොයුර ඔබ ඡන්දය දෙන්න
මුදලට නැතහොත් නෑදෑ හිත මිතුරුකමට
මොනවට හවුල්ව කළහොත් වැඩ නිවට
එදිනට මහඟු නිදහස් සැපත ලබනට
නැත, අප රට ජාතිය සැම යයි අගාධයට
අනේ මැති සබයට මැතිවරු තෝරන්න
තවත් ටික කලක් ඇත්තේ සැබවින්න
ඔබත්, මාත් නොමඟට ඇදලා ගන්න
මහත් කපටි පිරිසක් සැරසෙති ඔන්න
රටට, දැයට, සමයට වැඩ සලසන්න
මෙමට උදව් දෙනු මැති සබයට යන්න
කපටි කමින් එන ඡන්දය ඉල්ලන්න
අයට එපා කිසි දවසක රැවටෙන්න
රජ මැති සබය සෙල්ලම් පිටියකුත් නොවේ
ගිහි අයට ඇති, නැති සලකන නිවසකුත් නොවේ
පණ නැති මහල් අය හට මඩමකුත් නොවේ
වැඩ නැති අය ලගින අම්බලමකුත් නොවේ