මම කොණ්ඩය කපන්නට සැලූනයට ගිය විට මගේ වෙලාව එනතුරු නිකම් සිටින්නට ලැබෙන්නේ නැත. මට කාරුණිකව පිරිනැමෙන තේ එක බොන්නට සිතෙයි. ඉස්තාන්බුල් නුවරදී පොතක් ගන්නට ගියත්, ජනෙල් තිරයක් ගන්නට ගියත්, ලෝයර් කෙනෙක් හමුවන්නට ගියත් ‘ඔබෙන් මුලින්ම තේ එකක් හෝ කෝපි එකක් බොන්නට කැමතිදැයි‘ අසනු ඇත. වචන කිහිපයක් ගැටගසා හෝ ඔබ ශ්‍රී ලංකාවේ බව කීවොත්, සිලෝන් ටී ගැන හෝ කුරුඳු ගැන කිව්වොත් බොහෝ විට ඔවුන් ඔබ සමඟ වඩාත් ළෙන්ගතු වනු ඇත.
තුර්කි සංස්කෘතිය හා සාහිත්‍යය වැඩිපුරම සම්බන්ධ වී ඇත්තේ කෝපි සමඟ වුවත් තුර්කි ජාතිකයන් නිතර දෙවේලේ බොන්නේ තේ ය. ඒ නිසාම ලෝකයේ වැඩිපුරම තේ බොන මිනිසුන් සිටින්නේ එසේත් නැත්නම් වැඩිම ඒකපුද්ගල තේ බීම ඇත්තේ තුර්කියේය. එක තුර්කි ජාතිකයෙකුට වසරකට තේ කිලෝ තුනහමාරක් පමණ අවශ්‍යය වේ. මගේ මිතුරෙක් විහිළුවකට මෙන් කිව්වේ මිනිසෙකුට වතුර නොබී දවස් තුනක් ඉන්නට පුළුවන් වුණත් තුර්කි ජාතිකයෙකුට තේ නොබී පැය තුනක්වත් ඉන්නට බැරි බවයි. සාමාන්‍ය පුද්ගලයෙක් තේ කෝප්ප හතරක්වත් බොන බව කියැවුණත් මට හමු වූ තුර්කි ජාතිකයන් නම් දවල් කාලයේ පමණක් තේ වීදුරු දහයක්වත් බොන බව පැහැදිලිය.
පැයක මීටිමක් ඇතුළත තුන් වරක්වත් තේ බෙදාදෙන අතර සීනි ඇටයක්වත් නැති තේ එක ගිජු ලෙස රස බලන මගේ සගයන් දෙස මම පුදුමයෙන් බලා සිටිමි. තේ බෙදන සහායකයන්ද එය කරන්නේ ඉතා වැදගත් රාජකාරියක් කරන උද්දාමයෙනි.
මේ රටටම ආවේණික ටියුලිප් හැඩයේ තේ බොන වීදුරු වර්ගයක් තිබේ. නගරයේ වීථි පුරා තැනින් තැන තිබෙන එළිමහන් අවන්හල්වල වාඩි වී ටියුලිප් වීදුරුවලට පුරවාගත් තේ බොමින් අල්ලාප සල්ලාපයේ යෙදෙන තරුණ හා වැඩිහිටි ගැහැනුන් හා පිරිමින් ප්‍රියමනාප දසුනකි. සීනි කැට දැමූ බඳුනක්ද සීනි දියකර ගැනීමට ලී හැන්දක්ද අහල පහළ තිබුණත් කිසිවෙක් සීනි මුසු කරගන්නවා මා දුටුවේ නැත. අපේ කන්තෝරුවෙත් ඉඳහිට හෝ සීනි කැටයක් ‘ටකලන්’ සද්දයෙන් වීදුරුවට දමා ගත්තේ මා පමණකි. එසේ දමා ගනිද්දීත් ළඟපාත හිතවතෙක් සිටියා නම් මෙසේ කියයි. “සීනි කියන්නේ වස”.
මා දන්නා මෙරට මිනිසුන් සීනි හා ලුණු භාවිතය අවම කරගෙන සිටින අතර එහෙමට තෙල් කන පුරුද්දක්ද ඔවුන්ට නැත.
මා කන්තෝරුවට ගිය මුල්ම දවසේ පැයක් දෙකක් යද්දී තේ එකක් බොන්නට ආසාවක් ඇතිවුණේ කන්තෝරුවේ බොහෝ මේස මත තේ කෝප්ප දුම් දමමින් තිබුණ නිසාය . ඔවුන් වරින්වර අසල කාමරයකට ගොස් වීදුරුව පුරවාගෙන එති. මා සමඟ මුව පුරා හිනැහුණු වැඩිහිටි ඉංජිනේරුවෙක් මා කැඳවාගෙන ගොස් තේ තිබෙන තැන පෙන්නුවේය. ‘ඔයාට තේ එකක් ඕන වුණාම මෙතනින් බොන්න. කෝපි බොන්න ඕන වුණොත් පහළ තට්ටුවේ විවේක කාමරයට යන්න’.
මම ඔහු බලා සිටිද්දීම තේ එකක් වීදුරුවට පුරවා ගත්තෙමි. දුම් දදා උතුරන ලොකු වතුර භාජනයක් උඩ කුඩා තේ පෝච්චියක් තබා තිබුණේය. තේ පෝච්චියෙන් තේ වීදුරුවට පුරවා ගනිද්දී මගේ සගයා කොක්හඬලා සිනාසෙමින් ” ඔහොම නෙවෙයි තුර්කිෂ් සැමෝවාර් එකෙන් තේ බොන්නේ . ඔයා ලංකාවේ නිසා තේ බොන විදිහ හොඳට දන්නවා කියල මම හිතුවේ.” මම ඔහුගේ උපදෙස් අනුව උතුරන වතුර බඳුන මත තිබූ තේ පෝච්චියෙන් ස්වල්පයක් වීදුරුවට දමාගෙන පහළින් වූ උතුරන උණු වතුර බඳුනෙන් වීදුරුවේ ඉතිරිය පුරවා ගත්තෙමි.
කොහොමින් කොහොම හරි හෝ ඉස්තාන්බුල් තේ සංස්කෘතියට අනුගත වී මේස මත තිබෙන අඩු කහට වැඩි කහට තේ කෝප්පවල විචිත්‍ර වර්ණ දෙස බලා සිට විනෝද වීම මගේ දින චරියාවට එකතු වී තිබේ. සමහරුන් බොන්නේ තද කහටය. සමහරුන් බොන්නේ ළා කහටය.
මෙහිදී හමුවූ ඉංග්‍රීසි මිතුරෙක් මගේ මේසය ළඟට පැමිණ පොඩි පාර්සලයක් පෙන්නා වරෙන් පොඩ්ඩක් ආලින්දෙට කියා මාවත් ඇදගෙන උණුවතුර කෝප්ප දෙකක් ටීපෝව මත තබා පාර්සලය ලිහුවේය. “මෙන්න ඔයාලගේ රටේ තේ. මට මෙහෙ පොඩි කඩේක තිබිල හම්බ වුණා” . මම ඒ ලේබලය දකිද්දීම “මේ ලංකාවේ තේ ම නොවෙයි. ඔය සමාගම ලෝකේ රටවල් ගණනක පැතිරිච්ච එකක්. එක එක රටවල තේ බ්ලෙන්ඩ් කරලා හදන්නේ” කියා කිව්වෙමි. ඉන්පසු මම ලංකාවෙන් ගෙනා තේ පැකට් එකක් ඔහුට දුන්නෙමි .
මම අපේ රියදුරාටද සිලෝන් ටී පැකට් එකක් දුන්නෙමි. බොහෝ සතුටු වූ ඔහු ‘ මම මේක අපේ නෝනට දෙනවා. එයා රීසා පළාතේ කෙනෙක්. තේවලට බොහොම ආසයි.’ කියා කීවේය.
රීසා පළාත යනු කළු මුහුද අද්දර තේ බහුලව වවන ප්‍රදේශයකි. තුර්කියේ තේ වවන්නට පටන් ගත්තේ එක්දහස් නවසිය තිස් ගණන්වලදී ඒ පළාතේදීය. හීනි මැලියම් කහට රසක් දිවට දැනෙන තුර්කිෂ් තේ ඇබ්බැහි වෙන සුළුය.
කන්තෝරුවේදී තේ කෝප්ප දහයක් විතර බී ගෙදර යන මම කිසිදා මගේ එපාර්ට්මන්ට් එකේදි තේ එකක් බී නැත. ගෙදර යද්දී අර කන්තෝරු තේ රස කටේ රැඳී තිබෙන අතර සති අන්තයේ දවස් දෙකෙදිවත් එය මැකී යන්නේ නැත .
තුර්කියේ තේ වගාවේ හා තේ බීමේ නව ප්‍රවණතාව ඇරඹෙන්නේ විසිවන සියවසේ මුල පටන්ය. ලංකාවේ මෙන් හතර ගුණයක් තුර්කියේ තේ නිපදවෙයි. මේ ප්‍රමාණය තුර්කියේ පාරිභෝජනය කරන ප්‍රමාණයට වඩා වැඩියි. එහෙත් ඔවුන් තේ පිටරටින්ද ගෙන්වයි. අපනයනයද කරයි. මේ විවෘත ලෝක වෙළෙඳපළේ හැටිය. එපමණක් නොවේ තුර්කිය ශ්‍රී ලංකාවෙන්ද විශාල තේ ප්‍රමාණයක් ආනයනය කරයි. ශ්‍රී ලංකාව තේ වැඩියෙන්ම යවන රටවල් අතර මුල් කිහිපයේ තුර්කිය තිබෙයි.
වරක් මම තුර්කි තේ කතාව ‘තිලකසිත ‘ බ්ලොග් අඩවියට ලියූ විට මතු වූ සංවාදයේදී බොහෝ නොදන්නා තොරතුරු කතාබහ වුණේය. ඒ අනුව පුරාතන සේද මාවතේ කේන්ද්‍රස්ථානයක් වූ කොන්ස්තන්තිනෝපලයට චීනයෙන් තේ හෙවත් චායි ලැබෙන්නට ඇතැයි සැලකෙන්නේ සියවස් ගණනාවකට පෙර සිටයි. ගොඩබිම් සේද මාවතේ පිහිටි බොහෝ රටවල තේවලට චායි කියන අතර තුර්කියේත් එය එසේමය. සමුදුරු සේද මාවතේ බොහෝ රටවල තේවලට කියන්නේ ‘තේ’ හා සමාන වචනයකි. එසේ වී තියෙන්නේ උතුරු දිග චීන වැසියන් තේවලට චායි කියාදී දකුණු දිග චීනයේ ‘තේ’ කියා කීමත් නිසාය .
තේ යනු මිනිසුන් එක්කාසු කරන හා ප්‍රබෝධමත් කරන පානයකි. එයට දේශයේ හෝ කාලයේ භේදයක් නැත. තේ, කුරුඳු හා මුසු වූ කියා ගන්නට බැරි හිතවත්කමක් බොහෝ තුර්කි ජාතිකයන් ළඟ ලංකාව කෙරෙහිද තිබෙයි. ඒවා ජාත්‍යන්තර සබඳතාවලදී ඉතා හොඳ තානාපති සේවාවක් කර ඇති බව මට සිතෙයි.