Home » නඩු කියා රැකගත් එප්පාවලින් වී, එළවළු සහ පලතුරු වගාවට පොස්පේට් පොහොර

නඩු කියා රැකගත් එප්පාවලින් වී, එළවළු සහ පලතුරු වගාවට පොස්පේට් පොහොර

by Mahesh Lakehouse
November 16, 2024 12:30 am 0 comment

න්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලි ලත් මුතු,මැණික්, රන්, රිදී, වටිනා පාෂාණ, පොස්පේට් ආදී ස්වාභාවික ඛනිජවලින් පොහොසත් ශ්‍රී ලංකාව ලෝකයට ණය රටක් බවට පත් වූයේ රට කරවූ පාලකයන්ගේ වරදින් වුවත් ඒ අන්ධකාරයට සාප කරමින් තවත් කල්මැරීම ඵල රහිතය. රට ගොඩනැඟීමේ කාර්යය කොහේ කොතැනින් හෝ කඩිනමින් ආරම්භ කළ යුතුය. එළැඹ ඇත්තේ ඒ සඳහා රන් අරුණලු නැඟෙන යුගයකි.

එප්පාවල පොස්පේට් නිධිය කේන්ද්‍ර කරගනිමින් පොහොර නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා මැදිහත්ව කටයුතු කරන ශ්‍රී ලාංකේය විශේෂඥයන් පිරිසක් පිළිබඳ ඉකුත් දිනවල වාර්තා විය. එප්පාවල පොස්පේට් නිධිය ජාතික සම්පතක් ලෙස හඳුනා ගෙන එය ආරක්ෂා කරගන්නා අතරම එයින් ලබාගත හැකි උපරිම ආර්ථික ලාභය ලබාගත යුතු බව ඔවුහු අවධාරණය කරති.

එප්පාවල පොස්පේට් නිධියේ වැදගත්කම

විද්‍යා හා තාක්ෂණප්‍රති­පත්ති කමි­ටුවේ 
සාමා­ජික, මහා­චාර්ය 
ඔලි­වර් ඉලේ­පෙ­රුම

විද්‍යා හා තාක්ෂණ ප්‍රති­පත්ති කමි­ටුවේ සාමා­ජික, මහා­චාර්ය ඔලි­වර් ඉලේ­පෙ­රුම

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි එප්පාවල පොස්පේට් නිධියේ මුලින්ම කැණීම් ආරම්භ වූයේ 1974 වර්ෂයේදීය. මෙම පොස්පේට් නිධියේ පොස්පේට් ටොන් මිලියන 60ක් ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සිදු කළ ගවේෂණයකින් හෙළි වී ඇත. ලොව හොඳම පොස්පේට් සහිත නිධියක් ලෙස මෙය සැලකීමට හේතුව එහි ඇති බැර ලෝහ ප්‍රමාණය ඉතා අවම වීමය. එහෙත් එදා මෙදාතුර රටේ පාලකයන් මෙම පොස්පේට් නිධියේ වටිනාකම වටහාගෙන එයින් නිසි ප්‍රයෝජන ගැනීමට කටයුතු කළා ද යන්න සැක සහිතය.

ඒ වෙනුවට එහි විනාශය වෙනුවෙන් ගත් පියවර නම් බොහෝය. ඒ අතරින් එප්පාවල පොස්පේට් නිධියේ පොස්පේට් පාෂාණ තැන්පත් කිරීම සම්බන්ධයෙන් රජයේ නියෝජිතයන් හා එක්සත් ජනපද සමාගමක් වන මැක්මොරන් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමකට එරෙහිව පෙත්සම්කාර පාර්ශ්ව හතක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරූ නඩුව සුවිශේෂී වේ. එම නඩුවේ තීන්දුවෙන් එප්පාවල පොස්පේට් නිධිය රටේ අනාගත පරම්පරාවට ආරක්ෂා කර දුන්නද විටින් විට පොස්පේට් නිධියේ පැවැත්මට අහිතකර තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට විවිධ පාර්ශ්වයන් විවිධාකාරයෙන් ගත් උත්සාහයන් නැවතුනේ නම් නැත.

විශේෂඥ කණ්ඩායමේ අදහස්

එවැනි තත්ත්වයක් යටතේ ඉකුත් දා විශේෂඥයන් පිරිසක් එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් කළ යෝජනාව කළු වළාකුලක නැඟුණු රීදී ඉරක් බඳුය. ඉකුත් 10 වැනිදා එප්පාවල පොස්පේට් නිධිය පිහිටි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු එම විශේෂඥ පර්යේෂක කණ්ඩායමට ඛනිජ සම්පත් පිළිබඳ කීර්තිමත් විද්‍යාඥයකු වන මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම, මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සහ වරලත් ගණකාධිකාරි අමරසේන අතුකෝරළ ඇතුළු පිරිසක් ඇතුළත් වූහ. මහාචාර්ය ගෝමික උඩුගමසූරිය අමෙරිකාවේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම්. ඩී. ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්යවරයකු ලෙස සේවය කරන අතර, අමෙරිකාවේ නව නිපැයුම්කරුවන්ගේ ජාතික ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වය ද දරන්නේය.

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් විවිධාකාර පර්යේෂණ සහ දැනුවත් කිරීම් කරමින් එහි වටිනාකම පැවැති හැම රජයකටම වටහා දීමට සිය දැනුම, කාලය මිඩංගු කළ වත්මන් රජයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කමිටුවේ සාමාජික, මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුමගෙන් අප මේ පොහොර ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර කරුණු විමසුවෙමු.

ත්‍රිත්ව සුපිරි පොස්පේට් සහ තනි සුපිරි පොස්පේට් පොහොර අතර වෙනස

“පොස්පේට් කියන්නේ වගාවට අත්‍යවශ්‍ය පෝෂකයක්. එප්පාවල පොස්පේට් ඝෘජුවම පාවිච්චි කළ හැක්කේ තේ, පොල් සහ රබර් වැනි දිගුකාලීන භෝගවලට පමණයි. ඒවා වී, එළවළු සහ පලතුරු වගාවට පාවිච්චි කරන්න බැහැ. ඒ සඳහා අපි පොස්පේට් පොහොර හදාගත යුතුයි. දැනට ඒ සඳහා පාවිච්චි කරන්නේ පිටරටින් ගෙන්වන ත්‍රිත්ව සුපිරි පොස්පේට් (TSP- Triple Super Phosphate) පොහොර වර්ගයයි. ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන් විසින් දිගු කාලයක් කළ පර්යේෂණ ඇසුරින් නිගමනය කර තිබෙනවා, තනි සුපිරි පොස්පේට් හෙවත් සිංගල් සුපර් පොස්පේට් (SSP- Single Super Phosphate) පොහොර මෙරට පසට ඉතාමත් යෝග්‍ය බව. එය පරිසර හිතකාමියි වගේම ඉතාම සරල තාක්ෂණයකින් නිපදවිය හැකියි. අපි යෝජනා කළේ ආනයනික ත්‍රිත්ව සුපිරි පොහොර වෙනුවට ආදේශකයක් ලෙස එම පොහොර නිපද වීමටයි. ඒ තුළින් පොහොර ආනයනය සඳහා විදෙස් රටවලට ඇදී යන විශාල මුදලක් රටට ඉතිරි කර ගත හැකියි. ”

එසේ වුවද නිපද වීමට යෝජිත පොහොර වර්ගය ආනයනික පොහොර මෙන් මෙරට වගාවන්ට ඵලදායී වේදැයි ප්‍රශ්න කරන්නන් ද නැත්තේ නොවේ. ඊට මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම දුන්නේ මෙවැනි පිළිතුරකි.

“වර්ෂ 2007දී පමණ එප්පාවල පොස්පේට් ආයතනය මඟින් තනි සුපිරි පොස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 20ක් පමණ හැදුවා. ඒ බොහොම සරල ක්‍රමවේදයකට අනුවයි. එහෙම සකසා ගත් පොහොර ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සිදු කරන සියලුම පළාත්වල පාහේ වගා කන්න හතරකට පමණ යොදා පරීක්ෂා කළා. ඒ පොහොර ත්‍රිත්ව සුපිරි පොස්පේට් පොහොර වගේම, සමහර අවස්ථාවල ඊටත් වඩා කාර්යක්ෂම බව අපට එහිදී නිරීක්ෂණය වුණා. ඊට හේතුව අපි එසේ නිපදවූ පොහොර තුළ කැල්සියම් සල්ෆේට් ද අඩංගු වුණා. එය පැළෑටිවල වැඩීමට අත්‍යවශ්‍ය පෝෂකයක්. පොස්පේට්වලට අමතරව සල්ෆර් ද මේ පොහොරෙන් අපේ පසට ලැබෙන නිසා එයින් ලැබුණු ප්‍රතිඵලය පිටරටින් ගෙන්වන පොහොරවලට වඩා උසස් මට්ටමක තිබුණු බව අපේ පර්යේෂණවලින් සනාථ වුණා. ”

එහෙත් ඒ උත්සාහය ක්‍රියාත්මක නොවීමට හේතු වූයේ රටේ දේශපාලන අධිකාරිය බව මහාචාර්ය ඉලේපෙරුම සඳහන් කළේය. තමා ඇතුළු විද්‍යාඥයන්ගේ අදහස් තුට්ටුවකට මායිම් නොකරමින් විජාතික සමාගම්වලට එප්පාවල පොස්පේට් නිධිය විකිණීමට පැවැති ආණ්ඩු ගත් උත්සාහයන් ද මහාචාර්යවරයා මෙහිදී සිහිපත් කළේය.

“එප්පාවල පොස්පේට් නිධිය මැක්මොරන් සමාගමට විකිණීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කළ නඩුවේ තීන්දුව ලැබුණේ එය කිසිසේත් පිටරට සමාගමකට විකිණීම තහනම් කරමින්. නමුත් ලංකාවේ දේශපාලඥයන් හැමදාම හිතුවේ ඒක පිටරට ආයෝජකයන්ට දීලා එයින් ලාභ ප්‍රයෝජන ගන්න නිසා තනි සුපිරි පොස්පේට් පොහොර නිෂ්පාදනය සිදු වුණේ නැහැ. 2007 වසරේදී ඒ සඳහා උපකරණ පවා ගේන්න සැලසුම් කර තිබියදී පොස්පේට් සමාගමේ එවකට සිටි සභාපතිවරයා රජය විසින් ඉවත් කළා. දැන් පොස්පේට් සමාගමට තිබෙන ප්‍රශ්නය ඔවුන් නිපදවන පොහොර සමාගම්වලින් මිලදී ගන්නේ නැහැ කියන එකයි. නමුත් පොස්පේට් නිධිය විකිණීම හෝ පොස්පේට් පිටරටට පැටවීම සමාගම ලබන අලාභය මඬින විසඳුමක් නොවෙයි. ”

මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම පවසන්නේ මෙරටට වාර්ෂිකව ත්‍රිත්ව සුපිරි පොස්පේට් (TSP) පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ අවශ්‍ය වන බවය.

“නමුත් අපි හදන තනි සුපිරි පොස්පේට් පොහොරවල සල්ෆර්ත් අඩංගු වන නිසා පොස්පේට් ප්‍රතිශතය තරමක් අඩුයි. ඒ නිසා වගාවට ත්‍රිත්ව සුපිරි පොස්පේට් පොහොර යොදන ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ මේ පොහොර යෙදිය යුතුයි. ඒ නිසා දේශීය අවශ්‍යතාව සපුරාලීමට නම් මේ පොහොර වර්ගයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් වාර්ෂිකව නිෂ්පාදනය කළ යුතුයි.”

එය අසීරු හෝ අභියෝගාත්මක කාර්යයක් යැයි බැලූ බැල්මට කෙනෙකුට සිතිය හැකි වුවත් මෙම තනි සුපිරි පොස්පේට් (SSP) නිෂ්පාදනය නිසා රටට ලැබෙන ආර්ථික, සමාජයීය ප්‍රතිලාභ රැසකි. ඒ පිළිබඳ මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මෙසේ පැහැදිලි කළේය.

” ලෝක වෙළෙඳපොළේ ත්‍රිත්ව සුපිරි පොස්පේට් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 500ක් පමණ වනවා. ටොන් ලක්ෂයක් ගෙන්වීමට වාර්ෂිකව රුපියල් බිලියන 15ක් පමණ අවශ්‍යයි. පොහොර සහනාධාරය ලබාදීම සඳහාත් රජය රුපියල් බිලියන 7ක් පමණ වැය කරනවා. නමුත් තනි සුපිරි පොස්පේට් පොහොර නිෂ්පාදන වියදම සහ පොහොර ආනයනය සඳහා වැය වන වියදම අතර විශාල පරතරයක් තියෙනවා. මෙම පොහොර නිෂ්පාදනය සඳහා සල්ෆියුරික් අම්ලය අවශ්‍ය වෙනවා. ඉන්දියාවෙන් සල්ෆියුරික් අම්ලය ආනයනය කරලා ඒ කාර්යය ආරම්භ කළ කළත් අපට සෑහෙන ලාභයක් තිබෙනවා. ඒ නිසා ගොවියාට අඩු මුදලට පොහොර ලබාගන්න අවස්ථාව ලැබෙනවා වගේම පොහොර සහනාධාරය සඳහා වැය කළ යුතු මුදලින් රුපියල් බිලියන 5ක්වත් රජයට ඉතිරි කරගත හැකියි. ”

මෙහිදී තවත් සුවිශේෂි කරුණක් ද මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම අනාවරණය ක‍ළේය. ආනයනික ඒ පොහොරවල මිනිස් සිරුරට අහිතකර ආසනික් සහ කැඩ්මියන් වැනි බැර ලෝහ විශාල ප්‍රමාණයක් අඩංගු වුව ද නිෂ්පාදනය කිරීමට යෝජිත එප්පාවල තනි සුපිරි පොස්පේට් පොහොරවල අඩංගු ආසනික් සහ කැඩ්මියන් සංයුතිය විසි ගුණයකින් පමණ අඩු බවය. රටට ආර්ථික ලාභයක් මෙන්ම ගොවි ජනතාවටත් පොදුවේ රටේ සමස්ත ජනතාවටත් හිතකර මෙම පොහොර නිෂ්පාදනය ආරම්භ කිරීමේ කාර්යය පිළිබඳ අප මහාචාර්යවරයාගෙන් තවදුරටත් කරුණු විමසීමු.

ආරම්භ වන්නේ කවදා ද?

“මෙම ක්‍රියාවලිය සම්පූර්ණ විනිවිදභාවයකින් යුතුව ආරම්භ කිරීම අපේ අරමුණයි. මේ වන විටත් දේශීය ආයෝජකයන් තිදෙනකු පමණ අපේ රටට අවශ්‍ය සියලුම සුපිරි පෝස්ට් පොහොර අවශ්‍යතාව නිපදවීම සඳහා ඉදිරිපත් වී සිටිනවා. මෙය රජයේ හිතවත්කම් මත සිදු වන ව්‍යාපෘතියක් නොවෙයි.

ඒ නිසා ඊළඟ පියවර වශයෙන් මේ පිළිබඳ පුවත්පත් දැන්වීම් මඟින් ප්‍රසිද්ධ කරලා ආයෝජකයන් කැඳවලා ඔවුන්ගෙන් ලබාගන්නා යෝජනා හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ආරම්භ කරන ව්‍යාපෘතියක්. සුදුසු ආයෝජකයකුට ඒ ප්‍රදානය සිදු කළ පසු රජය විසින් ඊට අවශ්‍ය පහසුකම් ලබාදී මේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරනවා.

ඇතැම් විට ඒ සඳහා ලංකා පොස්පේට් සමාගමට පොස්පේට් ලබා ගැනීම සඳහා වැඩිපුර කැණීම් සිදු කරන්න අවශ්‍ය වුණොත් හෝ කර්මාන්තශාලාවක් ඉදි කිරීමට අවශ්‍ය වුණොත් ඒ පහසුකම් ද රජය විසින් ලබා දෙනවා. පරිසරයට කිසිදු හානියක් නොකර මෙම නිෂ්පාදන කටයුතු සිදු කිරීම මූලික අරමුණයි. මාස තුනක් ඇතුළත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. අපගේ තක්සේරුව අනුව මේ සඳහා ආයෝජකයකු වැය කරන වියදම වසර තුනකින් පමණ පියවාගත හැකිවීමත් විශේෂ කරුණක්.”

කොතරම් ඵලදායක ව්‍යාපෘතියකදී පවා ඒ පිළිබඳ පටු අදහස් ඇත්තෝ මේ ව්‍යාපෘතිය ගැන ද පදනම් විරහිත චෝදනා නැඟීම අරුමයක් නොවේ. ඒ පිළිබඳ මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මෙසේ කීවේය. “මෙම පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය නිසා ලංකා පොස්පේට් සමාගමට කිසිදු අහිතකර බලපෑමක් සිදු වන්නේ නැහැ. ඒ සමාගම වසා දැමීමක් හෝ ආයෝජකයන් විසින් එහි කැණීම් සිදු කිරීමක් සිදු වන්නේ නැහැ. අයෝජකයන්ට අවශ්‍ය පොස්පේට් ප්‍රමාණය මිලදී ගන්නේ ගිවිසුමක් මඟින් පොස්පේට් සමාගමෙන්ම නිසා සමාගමට ඒවා විකුණා ගැනීමට අවස්ථාවක් වගේම හොඳ ලාභයක් ලබා ගන්නත් අවස්ථාව ලැබෙනවා. එය හැම අතින්ම සමාගමේ පැවැත්මට හිතකරයි. මෙය දිගු කාලයක සිට අප දුටු සිහිනයක්. කිසිදු මුදලක්, පෞද්ගලික ලාභ ප්‍රයෝජනයකින් තොරව මේ කාර්යය සඳහා අයෝජකයන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමට අප සූදානම්.”

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division