Home » ඩිජිටල් ආර්ථිකය නව පුනරුදයේ ගමනාන්තයයි

ඩිජිටල් ආර්ථිකය නව පුනරුදයේ ගමනාන්තයයි

කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ හිටපු අංශාධිපති ආචාර්ය අජන්තා හපුආරච්චි

by Mahesh Lakehouse
November 16, 2024 12:30 am 0 comment

ටේ හෙට දිනය තීරණය වන නව රජයක බලාපොරොත්තුව නව පාර්ලිමේන්තුවක් සමඟ සැකසෙනු ඇත.එය ඓතිහාසික,සංස්කෘතික, පරිණාමික අනුස්ථාපනයක සංධිස්ථානයකි. අන් කිසිදාක නොසිදුවුණු දේශපාලනික වෙනසක අනාගත දිශානතිය වෙත දිලෙන පහනක ආලෝකයක් රටවැසි සැමගේ සිත් තුළ ඇති වී තිබීමත් ඒ වෙනසේ නවමු දැක්මකි. එය අනාගතයට ජීවය ලැබෙන නව ශ්‍රී ලංකාවක් වනු ඇත.

රටේ නව ජනාධිපතිවරයා පත්වීමත් සමඟ රටේ බහුතරයක් පුරවැසියාගේ ජීවිතවලට නව බලාපොරොත්තු එකතු වී ඇති සෙයකි. පාලකයාට අවැසි මෙතෙක් පැවති පාලන ව්‍යුහය හා බලව්‍යුහයේ පුපුරායාමක් ඇති වී තිබෙන බවක් පැහැදිලිය. එහි සාර්ථක අසාර්ථක බව රඳා පවතින්නේ බහුජන විශ්වාසය, අවබෝධය හා සහයත් සමඟිනි.මෙතැනින් ඇරඹෙන නව පාර්ලිමේන්තුව යනු පුනරුදයේ පාර්ලිමේන්තුවයි. ඒ සඳහා ජනතාව සහය දී ඇති බව හෙට නුදුරේදීම පැහැදිලි වනු ඇත. සෑම දේශපාලන පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් රටේ පාලනයට දායක වුවද තවමත් නිවැරදි මාවතකට පත්වූ බවක් නැතැයි ඔවුන්ම පවසන්නේ රට බංකොලොත් වූ බවද පවසමිනි. ඒ සඳහා ජනතාව මේ වන විට දෙවතාවක්ම තම ශක්තිය පෙන්වූ බවක් ද පෙනේ.නව දේශපාලන ප්‍රවාහයක සමාජ, සංස්කෘතික, පරිණාමික අවස්ථාවකට පත්ව ඇති මේ මොහොතේ සැබැවින්ම ආරම්භ වන්නේ පුනරුදයක උදාවයි.

වත්මන් ජනාධිපතිවරයාගේ පත්වීමත් දෛවය විසින් රටේ ආරක්ෂාවට සිදු වූවක් වැන්න. පැවති පාර්ලිමේන්තුවේ සිටි පිරිසත් සමඟ සටන් කළ යුතුව තිබුණේ තනි පුද්ගලයකුටය. අද ඒ තනි සිංහයාට ඒ ගැන සතුටුවිය හැක්කේ රටේ බහුතරයක් ඒ සිංහයා වටාඑක් රොක් වී සිටි බැවිනි. ඔහුගේ සිංහලීලාව කා වෙනුවෙන් දැයි යන්න ජනතාව අනුමත කළ බැවිනි. එසේම රටේ අනාගතය උදෙසා ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ තම වැඩපිළිවෙළ ද ජනතාව අනුමත කළ සෙයක් පෙනේ. එසේනම් මතු පත්වන පාර්ලිමේන්තුවට ඇති අභියෝග රැසකි. පොරොන්දු ඉටු කිරීමට බල කරන ජනතාවක් නොමැත. ජනතාව කියා සිටියේ තමන්ට ද කිසියම් කැපකිරීමක් කළ යුතුව ඇතැයි යන්නය.

එහිදී බලය ගිලිහී ගිය කණ්ඩායම් විසින් ජනතාව කුපිත කරවන අසත්‍ය පුවත් මතුකර දැක්වීම නොවැළැක්විය හැක්කකි.

එහෙත් ඒ සඳහා ක්‍රමවත් නීති පද්ධතියක් සකස් කර ගැනීමට ජනතාව ප්‍රථමයෙන් කළ යුතුව ඇත්තේ බලයේ සිටි දේශපාලකයන්ගේ මුසාබස් හෙළා දැකීමයි. එසේම මහා ජනතා සහයක් මේ අවස්ථාවේ රට වෙනුවෙන් ලබාදිය යුතුව ඇත.

මේ රට නැවත ගොඩනැඟීමට ඔවුන්ට බලය ලබාදිය යුතුය. එහෙත් අපේ මතකයේ තබාගත යුතු දෙයක් නම් දශක ගණනාවක් පුරා මේ රට විනාශ කළේ මේ නව ජනාධිපතිවරයා ඇතුළු පිරිස නොවන බැවිනි. එසේම රටේ සම්පත් සොරා ගත්තේ ද මොවුන් නොවන බැවිනි.

කෙසේ වුවත් මේ නව ආණ්ඩුවේ ප්‍රමුඛතාව දිය යුත්තේ කෙටිකාලීන ජනතා සුබසාධනය බව ඔවුන් අවබෝධ කරගෙන ඇත. ආර්ථික, දේශපාලන, සමාජ පුනරුදයක සෙමින් මෙන්ම කඩිනමින් ද ගමන් කළ යුතු මාවත් පහදා ගැනීමේ දී ජන කණ්ඩායම්වල සහාය අවශ්‍ය වෙයි. රටේ යහපත උදෙසා ගන්නා බොහෝ තීරණවලදී ප්‍රථමයෙන් පාර්ලිමේන්තුව ශක්තිමත් එකක් විය යුතුමය. මෙතෙක් පැවති පාර්ලිමේන්තුව පිළිබඳ බොහෝ දෙනාගේ අදහස වූයේ එය විකෘති පාර්ලිමේන්තුවක් බවයි.ඒ විකෘතියෙන් වියුක්ත සැබෑ පාර්ලිමේන්තුවකින් කළ යුතුව ඇති අපරිමිත වෙනස්කම් රැසක් පෙළගැසී ඇත. වසර 76ක් පුරාවට නොවිසඳුණු ගැටලු රැසක් විසඳාගැනීමට අපට අවැසිය. පාර්ලිමේන්තුව සැබෑ මහජන නියෝජිත ස්ථානයක් වීමට නම් එය මුලින්ම සකස් විය යුතු වුව මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ හදිසියේ විසඳිය යුතු, මූලිකත්වය දියයුතු කරුණු විසඳීමේදීය. ඒ සඳහා ජනතාව සැබෑ නියෝජිත පිරිසක් එහි යවා ඇතැයි සිතිය හැකිය.

මෙහි අභාග්‍යසම්පන්න තත්ත්වය එය නොවේ. වෙනත් රටවල විපක්ෂයක් යනු රටේ ප්‍රශ්න විසඳීමේදී සහාය වනු ලබන කණ්ඩායමයි.

මෙරට විපක්ෂයක් යනු පාලක පක්ෂයට සහාය නොදී බලය සඳහාම පමණක් දියත් වුණු කණ්ඩායමක් ලෙස හඳුනාගත හැකිය. මෙහිදී මෙරට පුරවැසියන් නිරන්තරයෙන් ඒ කරුණ පිළිබඳව අවධියෙන් සිටිය යුතුය. එසේ පාලක පක්ෂයේ කටයුතුවලදී සහාය දිය යුතු තැන්වලදී සහාය නොදෙන්නේ නම් ඒ බව ජනතාවට දැනුම්වත් කරන නීතිඥ ප්‍රජාව වැනි කණ්ඩායම්වල සහාය මතුවිය යුතුමය. රටේ ආර්ථිකය බලගැන්වීම රජයේ මූලික කරුණ බැවින් ජනතාව නිරන්තරයෙන් දැනුම්වත් නොකිරීමේ ඵල විපාක ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍යය පතුරු වන්නන්ට ජනතාව කුපිත කළ හැකි මං විවර කිරීමයි. වත්මන් ජනාධිපතිවරයා අනාගතවාදී මූලික ආර්ථික පියවරක් වශයෙන් ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීමේ මාර්ගයට අවතීර්ණ වී ඇත. එය අතිශය සාර්ථක පියවරක් වනු ඇත. ලෝකයේ දියුණු රටවල් අතර අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රධාන ඩිජිටල් ආර්ථිකයෙන් ගොඩගිය රටවල් වන අතර ආසියාවේ ප්‍රධාන රටවල් අතර චීනය, ජපානය, දකුණු කොරියාව,සිංගප්පූරුව,ඉන්දුනීසියාව මෙන් ම ඊශ්‍රායලය හා සවුදි අරාබියාව ඒ අතර මූලික වේ.

විශේෂයෙන් මාලිමා රජයක් යනු ජේවීපි නමින් මුලින් හැඳින්වීමේ බලසාධකය වී තිබුණේ වාමාංශික හෝ කොමියුනිස්ට්වාදී සංවෘත ආර්ථිකයක් සහිත රජයක් වශයෙනි. බොහෝ දෙනාගේ එකී මතය විසුණු කරමින් වාමාංශිකත් නොවන දක්ෂිණාංශිකත් නොවන ඩිජිටල් ආර්ථිකයක් යනු, මෙසේ හඳුනාගත හැකිය.

The economic activity that results from the use of digital technologies,infrastructure,services, and datain all aspects of the economy.it includes online transactions and connections.

….e-business,e-commerce, advanced manufacturing, precision agriculture, algorithmic economy, sharing economy and gig economy.

ඉහත දක්වා ඇති නිර්ණායකයන්ට අනුව නව රජයේ, නව ඉලක්කය වත්මන් ලෝක තත්ත්වයන්ට සාපේක්ෂ දියුණු දැක්මකි. ආර්ථිකය හා බැඳි සියලු අංශ ඩිජිටල්කරණයට ගමන් කිරීම යනු දූෂණයට, වංචාවට හා කිසිදු මූල්‍ය අකටයුත්තකට ඉඩක් නොතැබෙන පිරිසුදු වේදිකාවකි.

විනිවිදභාවය යහපාලනයක මූලිකාංගය වන්නේ ඒ නිසාය.

මෙතෙක් මෙරට සිදුවු මහාපරිමාණ වංචාවන්ට තිත තැබෙන මෙන්ම සෑම අංශයක්ම ආවරණ කෙරෙන -Internet economy, new economy ,web economy වශයෙන් හැඳින්වෙන ඩිජිටල් ආර්ථිකය යනු නව රජයේ දිගුකාලීන පැවැත්මක් සඳහා ජනතාව විසින් ඉල්ලා සිටින සංවර්ධනයේ සැබෑව වනු ඇත. බොහෝ තරුණ කණ්ඩායම් පවා බලා සිටින්නේ මාලිමා රජයේ පැරණි ස්වරූපයේ ගෝත්‍රික තත්ත්වයකි.

ඒ, විවිධ කණ්ඩායම් විසින් ඔවුන්ගේ වාසිය තකා මවාගත් ඒවා මිස නව රජයේ දැක්ම නොවේ. ඒ සඳහා පළමු පියවර ලෙස ජනපතිවරයාගේ ඩිජිටල් ආර්ථික දැක්ම යනු මින් පසු රට තවදුරටත් සංවර්ධනය වන රටක් නොව සංවර්ධිත තත්ත්වයකට පත්වන දිනයක් පිළිබඳ බලාපොරොත්තුවකි.

එකින් එක විසඳිය යුතු කරුණු අතර ආර්ථික, දේශපාලන සමාජමය වශයෙන් එකිනෙක ගැටගැසී ඇත.එහි නීතිය යන්න රටේ ජනතාවගේ මූලිකම අභිප්‍රායයි. දේශපාලකයන් විසින් සියලු නීතීන් තම වාසියට ව්‍යවස්ථාගත කොටගත් කොටස් ලිහා දැමීම නව රජයක මීළඟ කර්තව්‍යයයි. ජනතාව බොහෝ අවස්ථාවලදී සෘජුවම ප්‍රකාශ කර සිටි කරුණක් නම් ඡන්දය පාවිච්චි කළේ නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක වනු දැක්මට බවයි. වසර ගණනාවක් නීතිඥ ප්‍රජාව වුව තම අයිතිවාසිකම් පාර්ලිමේන්තුව විසින් පවරා ගනිද්දී කරකියා ගැනීමට දෙයක් නොමැති වුව වත්මන් නීතිඥ ප්‍රජාවට රජය නිසි මගට පත් කිරීමේ නෛතික පැවැරුම ඔවුන් දැන්මම පවරා ගත යුතුමය.

බොහෝ අවස්ථාවලදී ජනතාව නොමඟ යවන මාධ්‍ය භාවිතය වෙනුවෙන් වෙනත් රටවල ක්‍රියාත්මක වන්නේ රජයන් නොව විවිධ සමාජ සංවිධානයන් ය. රටේ මතු පරපුරේ යහපැවැත්ම වෙනුවෙන් සමාජ මාධ්‍ය අවභාවිතයේ දී ජනතාව නොමඟ යවන අසත්‍ය ප්‍රචාර වෙනුවෙන් ජනතාව පෙළ ගැසිය යුතුය. දැනට තරුණ කණ්ඩායම් සමාජ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරන බොහෝදෙනෙකුට ඒ කාරණයට අත ගැසිය හැකිය. කිසිදු උද්ඝෝෂණයක් හෝ නොකොට සමාජ විරෝධී ප්‍රචාරයන්ට විරෝධයපෑමට හැකි මහා ජනතා බලයක් ඇත.

එය විනීතව සංවිධානය විය යුතුය. මෙහිදී විශාල කාර්යභාරයක් මාධ්‍යවේදීන්ට පැවැරී ඇත. ජනමාධ්‍ය තරම් මානව හැඟීම් හා චින්තනය සමඟ කටයුතු කරන වෙනත් මානව සම්බන්ධතාන් තිබුණද ඒවා එතරම් ප්‍රබල නොවේ. ඒ නිසා ජනතාවත් රටත් එක් සංවර්ධිත මඟකය යොමු කරවීමේ මහා කාර්යභාරය ජනමාධ්‍ය ද බාරගත යුතුව ඇත. මේ සියල්ල සමඟ එක්ව ගමන් කළ යුතු අනෙක් ප්‍රධානම කාරණයක් වනුයේ මානව සංවර්ධනයයි. මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලිකත්වයක් දී තිබුණේ ද එම මානව සංවර්ධනය උදෙසා වීම ද වත්මන් රජයක සුබ පෙරනිමිත්තකි. මානව සංවර්ධනයෙන් තොර රටක සංවර්ධනයක් එක් පැත්තක් වසා දැමූ මාවතකට ප්‍රවිෂ්ට වීමක් පමණකි.

මේ කාරණයේදී ජනතාව දැනුම්වත් කිරීම රජයේ ප්‍රධාන කාර්යයක් ලෙස ඉටු විය යුත්තකි.තරුණ කණ්ඩායම්වල අවබෝධය ඇති කොටස් විවිධ මැදිහත්වීම් සඳහා යොදා ගත හැකිය.

එහෙත් තරුණයන් නිතර උද්ඝෝෂණවලට පොලඹවන දෑ නොසිදුවන තැනකට ඒ ඒ සංවිධානවල වගකීමක් ද වනු ඇත. හෙට දිනයේ බිහිවන නව රජයකින් අප බොහෝ දේ නොව අවශ්‍යම දේ ඉටුවන තැනකට එක්ව ගමන් කරමු. ඒ හෙටට උරුමකම් කියන මතු පරපුර වෙනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division